www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සල්ලාලයෙකුගේ අරක්කුවලට රහ වැටුණු රේණුකා, සිය තරුණ දියණිය ඔහුගේ ඕනෑ එපාකම්වලට දී සිදුකළ මහා අපරාධය ජීවිතයක් නැති කළ හැටි


2019-07-26 13:32:24 -  985 යි

එදා අපි දෙන්නා බෝතල් එකහමාරක් බිව්වා...
මගෙයි කෙල්ලගෙයි සම්බන්ධයට ප්‍රශ්න දාන්නේ ඇයි...
අපි ඒ ගැනීව ගෙයි පිටිපස්සට ඇදගෙන ගියා...

කරන්දෙණිය පොලිස් වසමේ දකුණු මාගල, මහවත්ත ලිපිනයේ පදිංචිව සිටි කුලසේකර ආරච්චිගේ රංජනී අබිරහස් ලෙස මිය ගොස් තිබුණේ මැයි මස 13 වැනිදා රාත්‍රීයේයි.

ඇය මිය ගොස් සිටින අයුරු මුලින්ම දකින්නේ ඇයගේ බාල සහෝදරියක වන රේණුකා යි. ඇය පදිංචිව සිටින්නේ රංජනිගේ නිවෙස අසළයි. සිය වැඩිමහල් සහෝදරිය නිවෙස පිටුපස වැටී මියගොස් සිටින අයුරු ඇය දකින්නේ යම් අවශ්‍යතාවයකට නිවෙසට පැමිණි අවස්ථාවේදීයි.

නිවෙස පිටුපස වැටී මියගොස් සිටි රංජනීගේ සිරුර නිරුවත් වුණා. ඇයගේ පපුව මත කහට ගෑවී කිළිටි වී ගිය පිරිමි කොට කලිසමක් දක්නට ලැබුණා. ඊට අමතරව ඇය හැඳ සිටි ඇඳුමක් මුලුතැන්ගෙය පැත්තේ වහළයේ තිබී හමුවූ අතර යට ඇඳුමක් ඇය වැටී ස්ථානය අසළ තිබී ඇල්පිටිය සොකෝ අංශය විසින් සොයා ගනු ලැබුවා.

රංජනිගේ එක් කනකින් රුධිරය ස්වල්පයක් ගලා ගොස් ඇති අතර ඇයගේ සිරුරේ කිසිදු තුවාල සලකුණක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත්.. මෙය ඝාතනයක් විය යුතු බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කරන්දෙණිය පොලීසියේ කණ්ඩායමට වැටහුණා.

සිද්ධිය වූ නිවෙසට ඇල්පිටිය මහේස්ත්‍රාත් කැඳ වූ අතර ඔහුගේ නියෝග මත රංජනිගේ මරණයට හේතුව සෙවීම සඳහා ඇයගේ මළ සිරුර ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණා.

රංජනිගේ මරණය ඝාතනයක් විය යුතු බව මහේස්ත්‍රාත්වරයාගේ අදහස වූ අතර පොලීසිය විමර්ශන කළේ ඒ මතයේ සිටයි. ඒ අනුව මෙම විමර්ශන සඳහා අම්බලන්ගොඩ අපරාධ නිල සුනඛයා (අයිසා) කැඳවීමට කටයුතු කළා.

කිළිටි කොට කලිසම ඉව කළ අයිසා, ඉව ඔස්සේ ඉලක්කය කරා ගමන් කළා. නිවසේ සිට කිලෝමීටරයක් ගිය අයිසා එක්තරා නිවසකට ගොඩ වුණා. එම නිවසේ හිමිකරු වූයේ නිශාන්ති යන අයගේ මල්ලියි. ඔහු පවසා සිටියේ 'බූස්ස' තමයි ගෙදර හිටියේ ලෙසයි'.

රුවන් නිශාන්ත නැමැති 36 හැවිරිදි පුද්ගලයා කවුරුත් හඳුන්වන්නේ "බූස්ස" යන නාමයෙනුයි. එනම් ඔහුගේ ගම් පළාතේ නමිනුයි.

ඔහු කලක් ගාල්ල බන්ධනාගාරයේ කල් ගෙවූ අතර ඒ අවධියේ කරන්දෙණියේ පදිංචි නිශාන්ති යන අයගේ අනියම් පුරුෂයාද කල් ගෙවූයේ ගාල්ල බන්ධනාගාරයෙයි. ඒ අවදියේ නිශාන්ති ඔහු බැලීමට ආ ගිය අතර ඇය 'බූස්ස' හඳුනාගන්නේ සිර ගෙදරදීයි.

මේ අතර බූස්සට ඇප ලැබෙන නමුත් නිශාන්තිගේ අනියම් පුරුෂයාට දිගින් දිගටම සිරගතව සිටින්නට වුණා. ඇප ලබා එළියට එන බූස්ස සමඟ අනියම් ඇසුරක පැටලෙන නිශාන්ති ඔහුට සිය නිවසේ නවාතැන්ද ලබා වසරක් ඔහු සමඟ දීග කෑවා.

ඒ අතරතුරේ දෙදෙනා අතර ආරවුල් හටගත්තා. එහි ප්‍රථිපලය ලෙස බූස්සට එම නිවසේ කල්ගෙවීමට තිබූ අවසරය අහිමිව ගියා. එහෙත්.. ඔහුට ඒ නිවෙස නැති වුණාට වෙන නිවසක් ලැබුණා. ඒ නිශාන්තිගේ මල්ලිගේ නිවෙසයි.

එහි ඉදිරිපස කාමරයේ ලැගුම් ගත් බූස්ස කුරුඳු තැලීමේ යෙදෙමින් මුදල් හරිහම්බ කරගෙන කල් ගෙවීමට වග බලාගත්තා.

හිරගෙදරින් පිටවීමෙන් අනතුරුව ඔහු සිය ගම් ප්‍රදේශය වූ බූස්සට පය ගැසුවේ නැහැ. ඒ ඔහු සිය විවාහක බිරියගෙන් වෙන්ව කල්ගෙවන අතර ඇය ඔහුට නඩත්තු නඩුවක්ද පවරා තිබෙන නිසාවෙනුයි.

නිශාන්ති එලවා දැමුවත් ඇයගේ මල්ලිගේ නිවසේ නවාතැන් ලැබුණු බූස්සට තරුණියක පහස ලැබීමේ අවස්ථාවද යළි උදාවී තිබුණා. ඇය... රංජනිගේ නංගි වන රේණුකාගේ දියණියයි.

රේණුකා යනු පව්කාරකමට මවු පදවිය ලබාගත් එකියකැයි කිවහොත් නිවැරදියි. ඇය තම තරුණ දියණිය බූස්ස වැනි යන එන මං නැති ස්ත්‍රී ලෝලියෙකුට දෙන්නේ ඔහුගෙන් ලැබෙන අරක්කු බෝතල්වලටයි. කුරුඳු තැලීම රැකියාව වුවද බූස්සට මුදල් තිබුණා. එලෙසම ඔහු සතුව නානාවිධ වර්ගවල මත්වතුරද තිබුණා.

නිශාන්තිගේ හිස් වූ තැනට රේණුකාගේ දියණිය පිවිසි අතර මේ දෙදෙනාට නවාතැන් දීමට නිශාන්තිගේ මල්ලි කැමති වූයේ නැහැ. ඒ හේතුවෙන් බූස්ස හා රේණුකාගේ දියණිය නිශාන්තිගේ මල්ලිගේ නිවසේ නතර වී ලිංගික කටයුතුවල යෙදෙමින් කල් ගෙවුවා.

තම නැගණිය කරන මේ වැඩ පිළිවෙලට රංජනිගේ දැඩි විරෝධය එල්ල වුණා. ඇය සිය නැගණියට තරයේ කියා සිටියේ බූස්සට දියණිය ලබා දීම වහාම නතර කරන ලෙසයි. එහෙත්.. නංගි අක්කාගේ කීමට එකඟ නොවූයේ බූස්සගෙන් ලැබෙන සන්තෝසම් ඇයට බොහෝ වටිනා නිසායි. අබිරහස් ලෙස රංජනි මිය යන්නේ ඔය අතරතුරයි.

කෙසේ වෙතත් බූස්ස පදිංචිව සිටි නිවසට සුනඛයා යාමත් රංජනි මියගියදා සිට බූස්ස ප්‍රදේශයෙන් අතුරුදහන් වීමත්, ඔහුගේ දුරකථනය අංකය අක්‍රිය වීමත් රංජනිගේ ඝාතනය මොහුගේ වැඩක් බවට පොලීසිය සැක කළ සාධක වුණා. එලෙසම මොහු ළඟින් ඇසුරු කළ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි අයෙකු සිටියා. කුලප්පුවාවල නිශාන්ත නොහොත් 'සුනාමි' යන අනවර්ථ නාමයෙන් හඳුන්වන එම පුද්ගලයා ද රංජනිගේ මිය ගිය දිනයේ සිට ප්‍රදේශය හැර පලාගොස් තිබුණා. ඒ නිසා රංජනිගේ ඝාතනය මේ දෙදෙනා එක්ව සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කළා.

රංජනී මියගොස් මාස දෙකක් ගෙවී යද්දි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා රංජනිගේ මරණයට හේතුව වාර්තා කර තිබුණා. ඒ අනුව ඇය මියගොස් ඇත්තේ හිසට එල්ල වූ මොට ආයුධ පහරවලින් හිස අභ්‍යන්තරයේ තුවාල වලින් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයත්, ගෙල මිරිකීමත් නිසා බව තහවුරු වුණා.

එම වාර්තාව ලැබෙන තෙක් පොලීසිය නිකන් සිටියේ නැහැ. ඇය මරා දැමූ බවට සැක කෙරෙන බූස්සත්, මිතුරාත් සොයා මෙහෙයුම් ඇරඹුවා.

අක්‍රිය වීමට පෙර බූස්සගේ ජංගම දුරකථනයට ලැබුණු හා ලබාගත් ඇමතුම් ගැන සොයා බැලීමේදී විමර්ශන කණ්ඩායමට එක් දුරකථන අංකයක් ගැන සැක සිතුණා. බූස්ස ලබාගත් ඇමතුමට අයත් දුරකථනය ක්‍රියාත්මක වූයේ පිළියන්දල ටවර් එකක් හරහායි.

කෙසේ වෙතත්, බූස්සගේ අලුත් දුරකථන අංකය පිළියන්දල ටවර් එක හරහා ක්‍රියාත්මක වන බව විමර්ශන කණ්ඩායම සනාථ කරගත්තා. බූස්ස පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක සැටලිමක වැඩ කරන බව තහවුරු වුණා. එම වැඩපළේ අත්උදව්කරුවෙකු ලෙස පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු යොමු කරන්නේ ඉන් අනතුරුවයි.

එහි සේවයට ගිය එම නිලධාරියා බූස්ස ගැන තොරතුරු සොයා ගත් අතර පසුගිය 18 වැනිදා සවස පිළියන්දලට යන පොලීසියේ කණ්ඩායමක්, බූස්ස අල්ලාගැනීමේ ක්‍රියාන්විතය දියත් කළා.

ඒ අනුව එදින සවස වැඩ නිමවී නගරයට යමින් සිටි බූස්ස අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවුණා.

ප්‍රශ්න කිරීමේදී රංජනී ඝාතනය මෙන්ම දැනට වසරක කාලයක් නොවිසඳුනු අපරාධ ලෙස පැවති, රත්ගම, බූස්ස හා ඇල්පිටියේ 'බාර්' මුදල් හා මත්පැන් බෝතල් පැහැර ගැනීම මෙන්ම දොඩංගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් කඩා ලක්ෂ 8හමාරක් සොරා ගැනීම ගැනද ඔහු හෙළි කළා.

මේ බාර් තුනම කඩා තිබුණේ බූස්ස, හා සුනාමි එක්වයි.

රංජනි මරා දමන්නේ රේණුකාගේ දියණියත්, තමාත් අතර පවතින සම්බන්ධයට ඇය දිගින් දිගටම අකුල් හෙළන නිසා බවද ප්‍රශ්න කිරීමේදී බූස්ස හෙළි කළා.

සිද්ධිය වූ දින බූස්ස සුනාමි හා එක්ව රංජනිගේ නිවෙස අසළ පිහිටි නිවෙසක සිට මත්වතුර බීමට පටන් ගන්නේ හවස හයට හතට පමණයි.

"එදා අපි දෙන්නා බෝතල් එකහමාරක් බිව්වා. මට හිතුණා රංජනි හම්බෙලා මගේ වැඩවලට උදැල්ල දාන්නේ ඇයි කියලා අහන්න..."

 "බීලා ඉවරවෙලා අපි ඒ ගෙදරට ගියා..රංජනිට කතා කළාම ඉස්සරහට ආවා. මම ඇහුවා, මගෙයි කෙල්ලගෙයි සම්බන්ධයට ප්‍රශ්න දාන්නේ ඇයි කියලා. එහෙම අහද්දි එයා හිටපං උඹට හොඳ වැඩක් කරනකං කියලා ගේ ඇතුළට යන්න හැදුවා.."

ඇය මොවුන්ට පහර දීමට යමක් අතට ගන්නට නිවස ඇතුළට යාමට සැරසෙද්දි මොහු එක්වරම ඇය වෙත දරුණු පා පහරක් එල්ල කළා. එය ඇයගේ පපුවේ වැදී ඇය විසිවී ගොස් බිම වැටුණා. ඇයගේ හිස අසළ වූ පඩියේ වැදෙන අතර ඇය එයින්ම අඩපණ වුණා.

ඉන් අනතුරුව මොහු ඇයගේ ගෙල සිරකරන අතර පසුව ඇය නිවෙස පිටුපසට ඇදගෙන යන්නේ ඇයට යම් අතවරයක් කිරීමට සිතාගෙනයි.

 "අපි ඒ ගැනීව ගෙයි පිටිපස්සට ඇදගෙන ගිහින් ඇඳුම් ගලවලා එහාට මෙහාට විසි කළා. අපි එයාව දූෂණය කළේ නෑ. මට මගේ කෙල්ලත් එක්ක ඉන්න දෙන්නේ නැති තරහට ඒ ගෑනිගේ.."ඔහු කිසිදු පැකිලීමකින් තොරව එලෙස පැවසුවා.

බූස්ස නම් වූ ඒ පවුකාරයා ඒ වන විට ජිවිතයත් මරණයත් අතර පොර බඳමින් සිටි රංජනිට කළ ලිංගික වධ හිංසන සදාචාරාත්මකව අකුරු කිරීමට අපහසුයි. ඔවුන් පවසන පරිදි ඇය දූෂණය නොකළත් ඒ හා සමාන අතවරයක් ඇයට සිදු කර තිබුණා.

මොහු එලෙස පැවසුවද මොවුන් ඇය දූෂණය කළාද යන්න තහවුරු කර ගැනීමට සඳහා අවශ්‍ය සිරුරු කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණ වෛද්‍යවරයා කටයුතු කර තිබෙනවා.

මෙලෙස ඝාතනය වූ රංජනි තිදරු මවක්. ඇගේ දියණියන් තිදෙනාම විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින අතර සැමියා කල් ගෙවන්නේ දියණියකගේ නිවසේයි. ඒ ඇය රංජනි මීට කලකට පර ඇති වූ ආරවුලක් නිසා නිවස හැර යාමෙන් පසුවයි.

මේ නිවසේ තනිව කල් ගෙවූ ඇයගේ ආදායම් මාර්ගය වූයේ කුලී වැඩවල යෙදීමයි. තනිව ජිවත් වුවද ඇය හොඳ නරක හොඳින්ම දැන සිටියා. බූරු ගසන, මත්වතුර බොන සිය නැගණියගේ අනුවණ ක්‍රියාකාරකම් ගැන ඇය දැඩි කනස්සල්ලෙන් පසු වූවා. නංගිගේ දියණියට අත් වූ ඉරණම ගැනද ඇය පසුතැවුණා. අවසානයේ ඇයට මෙවන් අවසානයකට මුහුණදීමට සිදු වූයේ ද ඒ දියණියගේ අවාසනාවන්ත අනාගතය ගොඩ නැඟීමට ගත් උත්සහය නිසායි.

- තක්ෂිලා ජයසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com