www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අහිගුණ්ටක ගුබ්බෑයම් වල නිරුවත මෙන්න


2019-07-17 11:15:33 -  421 යි

මගේ හිත මිත්‍ර රංගනාදන් සැබැවින්ම අහිගුණ්ටකයෙක් ලෙස දිවි ගෙවීමට කැමැත්තක් දක්වන්නෙක් නොවේ. ඔහුගේ සහ මගේ මිතුරුකම පරිපූර්ණ හදගැස්ම මතම ඇති වූවා යැයි කීම නිවැරැදිය. රංගනාදන් මට මුලිච්චි වුණේ කටුනායක නයි කන්දේදී. පළමු හමුව මිනිසුන් තුළ සුවිශේෂී යමක් ගොනු කරන්නේ යැයි අදද පිළිගනු ලබන්නේ රංගනාදන් නිසාය. රංගනාදන්ගේ වැයික්කිය මැදරටය. මැදරට අහිගුණ්ටක ගුබ්බෑයම්වලට නම් දරාපු බිම්කඩක හතර පල නිවෙසක් ඔහුට තිබේ. එම නිවෙස දියුණු ගෘහ උපකරණයන්ගෙන් සන්නද්ධය. නමුත් තම ආර්ථික ක්‍රමය ශක්තිමත් කර ගැනීම සඳහා රංගනාදන්ගේ පරපුර තවමත් භාවිත කරනු ලබන්නේ තැනින් තැන ඉදිකරනු ලබන මෙවැනි අහිගුණ්ටක ගුබ්බෑයම්ය. මගෙත් කැමැත්ත වුණේ එවැනි අහිගුණ්ටක ගුබ්බෑයමකට රිංගා බැලීමටය.

ලේන් වඩ තාච්චියේ පදමට පැහේ. මළ ලේනාගේ මුව කොටස සහ වල්ගය ඉවත් කරගත් පසු සෙසු අවයව අඹරාදෙන සාදනු ලබන ලේන් බඩ සැබැවින්ම රසමුසලකි. එය ඔවුන්ගේ සංස්කෘතියට උචිතය. ඒවා සැබැවින්ම යාපනයේ දමිළයන්ගේ කොහොඹ මල් වඩේ මෙනි. මා අසා ඇති ආකාරයට යාපනයේ දමිළයන් කොහොඹ මල් වැටෙන කාලයේදී ගස යට සාරියක් වැනි යමක් අතුරා ඒ මතට කොහොඹ මල් එක්කාසු කරගෙන ඒ මල් මතින් වඩේ පස්සවා ගනී. ඒ අරුතින් ගත් කල රංගනාදන්ගේ පරපුර කැටපෝල දඩයමකින් අනතුරුව ලේන් බඩේ සකසා ගැනීම අරුමයක් නෙවේ. අපි ගුබ්බෑයම තුළ වාඩිලා ලේන් වඩයක් අඩියකට අඩයක් ලෙස ගෙන කතාබහ කරන්නෙමු.

දැන් අහිගුණ්ටක සමාජය ගැන මිනිසුන්ට තියෙන්නේ කුතුහලයක්. නමුත් අපිත් සාමාන්‍ය මිනිස්සු විධියට ජීවත් වෙන අය. ඉස්සර මේ විධියට ගුබ්බෑයමක් හදා ගන්න මිනිස්සු අපට ඉඩ දුන්නේ නැහැ. වේයන්ගොඩ, ගම්පහ ස්ටේෂන් ගාව විතරයි රජයේ පොදු ඉඩමක කියලා අපි ගුබ්බෑයම් හැදුවේ. මීගමුවට බේරුවලට ආසන්නයේ තියෙන අහිගුණ්ටක ගුබ්බෑයම් හදන්න ගත්ත ඉඩම් ඔක්කොම පාහේ කුලියට ගත්ත ඒවා කියලා ගත්තොත් මිනිස්සු පුදුම වෙයි. ඒත් ඒක තමයි ඇත්ත. ඉස්සර මිනිස්සු කිව්වේ අපි ගුබ්බෑයමේ මාසයක් හිටියොත් ඒ පොළොවේ පණුවෝ උපදිනවා කියලා. ඇත්තම කතාව ඒක නෙවෙයි.

මේ ගුබ්බෑයම ඇතුළේ අපි හදන ගෙවල් විතරයි සාම්ප්‍රදායික. ඒ ගෙවල් අකුළන්න පුළුවන් විධියටයි අපි හදන්නේ. හැබැයි එහෙම අකුළන්න පුළුවන් විධියට ගෙවල් හදලා ඒක ඇතුළේ ආරක්ෂිත විධි තියෙන කූඩාරමක් අටෝ ගන්න වෙලාවලුත් තියෙනවා. මේ විධියට අහිගුණ්ටක ගුබ්බෑයම් පවත්වාගෙන ගියේ නැත්නම් අපිටත් වෙන්නේ දවසකට රුපියල් 1500ක් දීලා හෝටල් කාමරයක් ගන්න. ඒක නොකළ යුතු නිසා තමයි අපි මේ විධියට අහිගුණ්ටක ගුබ්බෑයම් තවදුරටත් පවත්වාගෙන යන්නේ. ඉස්සෙල්ලා කිව්ව විධියට මිනිස්සු සිතනවා අපි අහිගුණ්ටක ගුබ්බෑයම ගලෝගෙන යන්නේ පොළොවට පණුවෝ ගහපු හින්දා කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි.

සනීපාරක්ෂක ක්‍රම ගොඩක් අපේ අලුත් පරම්පරාව භාවිත කරනවා. වැසිකිළි කැසිකිළි තියෙන නගරයකට ආසන්නයෙන් ඉන්න ගුබ්බෑයමක් පවත්වාගෙන යන්න තමයි අපේ අය කැමැති. ඒක බොහෝ විට රේල් පාරක් ආසන්නයේ සිද්ධ වෙන්නේ පොදු ප්‍රවාහනයක් විධියට. උදාහරණයක් විධියට අපි ගම්පහ නතර වෙලා හිටියොත් වැඩිපුර විදේශිකයන් පැමිණෙන බේරුවල ගාල්ල, මාතර වැනි ප්‍රදේශවලට උදේ කෝච්චියෙන් ගිහින් ආදායමක් උපද්දවා ගෙන හවසට ආපසු එන්න හැකියි. එක දිගට මාස තුනක් විතර මහන්සි වෙලා ඒ ලැබෙන මුදල් පොතක පතක දා ගත්තොත් ඉතිරි මාස ගාණ අවමයෙන් තව මාස දෙකක්වත් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒකයි මේ විධියට අවුරුද්දට දෙපාරක් උපරිමයෙන් තුන්පාරක් අහිගුණ්ටක ගුබ්බෑයම් මිනිස්සුන්ට දකින්න ලැබෙන්නේ. මේ ගුබ්බෑයම ඇතුළේ හැමදේම තියෙනවා.

බොහොම සරලව ජීවත් වෙන්න පුළුවන් උපකරණ. පිරිමි අය උදේම දුර බැහැර ප්‍රදේශවලට රැකියාවේ ගියාම ගෑනු අය අවට ප්‍රදේශවල සාස්තර කීම වගේ වැඩ කරනවා. අපේ ගෑනු අනාරක්ෂිතයි. සාස්තර කියන්න ගෙවල් ගාණේ ගියාම ගොඩක් මිනිස්සු අපේ කාන්තාවෝ දිහා බලන්නේ වපර ඇහැකින්. සියයට සියයක් නිවැරැදි ගැහැනුන් සිටිනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපේ රැහේ තෙල් තාච්චි දිවුරුමත් ඔය ගැහැනුන්ට සම්බන්ධ දෙයක්. නමුත් ඇත්තටම ඒක දැන් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් මම කියන්නම්. අපේ රැහේ ඉන්නවා එක තරුණයෙක්. එයා එයාගේ බිරියට ඇත්තටම ආදරෙයි. ඒ ආදරය හින්දම එයා බිරියව සැක කරනවා. මිනිහා මේ ළඟදී මාසයක් තිස්සේ එක දිගට වැඩ කරලා රුපියල් 53000ක අන්ඩේ‍රායිඩ් ෆෝන් එකක් අර ගෑනු ළමයට ගෙනත් දීලා.

මිනිහගේ ෆෝන් එකෙන් ගෑනු ළමයා ඉන්න තැන හොයන්න පුළුවන්. පැයකට දෙකකට වරක් මිනිහා කියනවා වයිබ හරි වස්ට් අප් හරි වීඩියෝ කෝල් එකක් ගන්න කියලා. පිටතට නොපෙනුණාට ඇතුළතින් අහිගුණ්ටක සමාජය එහෙමයි. දියුණුයි. ඒ දියුණුව එළියට පෙන්නුවොත් අහිගුණ්ටක පැවැත්මක් නැහැ. ඒකයි නොපන්වා ඉන්නේ. දවස මහන්සිවෙලා හෙඳ ගාණක් හොයා ගෙන පොඩි අඩියක් ගහලා ලේනෙක් දෙන්නෙක් මරාගෙන වඩයක් කන එක තමයි අලුත් අහිගුණ්ටක තරුණයන්ගෙ සතුට. හැබැයි අපි අතරින් දුරස් නොවුණු පාරම්පරික විශ්වාසයන් සහ ඇදහිලි පවතිනවා. උදාහරණයක් නයි ගල. ඇත්තටම නයි ගලට නයාගේ විස අදිනවා. අපේ පරම්පරාවේ පැරැණි අය කියන විධියට නයි ගල හදලා තියෙන්නේ කතෝලික පූජකවරයෙක්. ඔය අනුරාධපුරයි පුත්තලමයි මැද්දට වෙන්න තිබ්බ කතෝලික පල්ලියක පූජකවරයෙක් අපේ අයව ක්‍රිස්තියානි ආගමට හරෝගෙන තියෙනවා. ඔය එක් දහස් නවසිය විසිගණන්වල. ඒ පූජකයා තමයි නයි ගල මුලින්ම හදලා තියෙන්නේ. හොඳ නයෙක් අල්ලගෙන නයාගේ විස දළ ගැලෙව්වා කියමු. හැබැයි ඒ විස දළ දතක් නිසා ආයෙක් වැවෙනවා. නයා දෙවැනි පාර වැවෙන විස දළ එහෙම නැත්නම් දත් හංගගෙන ඉන්නේ. කේන්ති ගිහිල්ලා ගහන අවස්ථාවක තමයි අපි දන්නේ දෙවැනි පාරට දත වැවිලා කියලා. ඕකට පිළියමක් විධියටයි අර පූජකයා විස ගලක් හැදුවේ.

ඇත්තටම විස ගල කියන්නේ අරුමයක්. නයෙක් දෂ්ට කළොත් ඒ දෂ්ට කළ තැනට ගල තිබ්බාම දෂ්ට මුඛය ගලේ ඇලෙනවා. විස බැහැලා ගියාට පස්සේ තමයි ආපසු ගල දෂ්ට මුඛයෙන් ගැලවෙන්නේ. නයි විතරක් නෙවෙයි මී මැස්සෝ, කඩියෝ, පැත්තෑයෝ වගේ ඕනෑම සතෙක් දෂ්ට මුඛයක් ඇති වන විදිහට මිනිහකුට වින කළොත් ඒ විස නයි ගලෙන් අද්දන්න පුළුවන්. නයි ගල හදන්න ගන්න බෙහෙත් ජාති ගොඩක් තියෙනවා. පොළොන් තෙල් පවා ඒකට ලබා ගන්නවා. හැබැයි ඒවා රහස්. මැල්සිරිපුර අපේ ප්‍රධාන අහිගුණ්ටක ගම්මාන තමයි නයි ගල හදන්න දන්න පැරැණි අය ඉන්නේ. නයි ගල එහෙම හදා ගත්තට නයින්ව අපිට ඕන විධියට හදාගන්න බැහැ. මම හිතන විධියට මිනිස්සු කොච්චර ළඟ ඇසුරකට තියා ගත්තත් මිනිසුන්ට හීලෑ නොවන එකම සතා නයා. ඒක වෙන්න ඇති මිනිස්සු කියන්නේ අර මනුස්සයා හරියට නයෙක් වගේ කියලා. නයි අල්ලා ගන්න දැන් ඇත්තටම අමාරුයි. නයි කියන්නේ වඳ වෙලා යන සත්තු විශේෂයක්.

අපි නයෙක් අල්ලා ගන්න පුදුම මහන්සියක් ගන්නේ. ජීවත් වෙලා ඉන්න නයෙක් මැරුණාම තව නයෙක් හොයාගන්නකම් අපිට අපේ රස්සාව කරන්නත් බැහැ. නයා අල්ලා ගත්තාම නයාගේ ඇගේ පුරුක් අද්දවන ක්‍රමයක් තියෙනවා. නයා ඉස්සරහට ඇදෙද්දී පිටිපස්සෙ වලිගයෙන් අල්ලගෙන හරියට පුරුක් ඇදෙන්න දෙපැත්තට ගැහුවොත් එතැනින් එහාට නයාට ඉස්සරහට ඇදෙන්න බැහැ. ඕන් නම් මීටර් 200ක් දුර යයි. මම නම් මගේ නයාව හවසට පොඩි බේසමක් ඇතුළේ අතහැරලා දානවා. හරකගේ කකුල්වල මස්වලින් ග්‍රෑම් 100ක් විතර අරගෙන ඒක තම්බලා පොඩි පොඩි කෑලි සතාට කන්න දෙනවා. ඊට අමතරව බිත්තරත් දෙනවා. එහෙම නැතිව ඔය ගෙබ්බෝ අල්ලාගෙන පොඩි පොඩි සත්තු අල්ලාගෙන නයින්ට කන්න දෙන්න වෙලාවක් ඇත්තටම අපිට නැහැ. මගෙ සතා නම් තම්බපු හරක් මස් හොඳට ගිලිනවා. නයා එහෙම වුණාට වඳුරා එහෙම නැහැ. වඳුරා මිනිස්සුන්ට හිතවත්. ඒ කියන්නේ අපිට හිතවත්. අපි ගාව ඉන්න වඳුරෙක් ගැන කවුරුවත් නොදන්න කතාවක් මම කියන්නම්.

දඹුල්ල, හබරණ වගේ පැතිවලට ගිහිල්ලා තමයි අපි වඳුරෝ අල්ලන්නේ. වනජීවී මහත්තුරුන්ගෙ ඇස්වලට වහන් වෙලා මදුවගේ සාම්ප්‍රදායික ක්‍රමවලින් තමයි අපි වඳුරු පැටියෙක්ව අල්ලා ගන්නේ. එහෙම අල්ලා ගත්තා කියලා වඳුරු පැටියා හීලෑ කරගන්න අමරුයි. වඳුරු පැටිලා හීලෑ කරගන්න හොඳම බේත තමයි මෝරගුළි. වඳුරෝ මෝරගුළිවලට පුදුම කැමැත්තක් දක්වන්නේ. වඳුරු පැටියෙක් අල්ලා ගත්තොත් මුලින්ම ලූනු ගෝනියක දාලා ගැටගහනවා. වඳුරා ලූනු සුවඳට කැමැතියි. ඊට පස්සේ ගෝනිය ඇතුළේම තියාගෙන ඔළුව ඇඟ අතගාලා ගෝනි හිලකින් මුලින්ම මෝර ගුළි දෙනවා. පස්සේ තමයි කෑම දෙන්නේ. ඒ මොනවා කළත් වතුර නැති වෙච්ච ගමන් වඳුරෝ කඩා හැලෙනවා. එතකොට ඇල් උණුවතුර දුන්නම වඳුරා හීලෑ වෙනවා. ඕක තමයි වඳුරු සාස්තරේ. හැබැයි වැදගත්ම දේ ඔහොම හීලෑ වුණු වඳුරා මැරෙනකම් අපි ගාව ඉන්නෙ නැති එක. දරුවෙක් වගේ හැදුවත් අවුරුදු ගාණක් ඇතුළත උෟට ලැබෙන පොඩි ඉඩෙන් පැනලා යනවාමයි.

මම නම් දන්නේ නැහැ අපේ රැහේ හදපු වඳුරන්ගෙන් කීයෙන් කීයක් ස්වාභාවිකව ගුබ්බෑයම් ඇතුළේ මැරුණාද කියලා. අනෙක වයසට යන වඳුරෝ අපි කියන දේ අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් වඳුරා කියන්නේ වනචර සතෙක්. කල් වයස් පිරුණු වඳුරෙක් ගුබ්බෑයකම තියාගන්න බැහැ. ඒ හින්දා ළාබාල වඳුරෙක් අරගෙන වයසක වඳුරව අතහැරලා දානවා හරි පැනලා යන්න ඉඩදෙනවා හරි අපි කරන්නේ. ගොඩක් අය ගාව වඳුරෝ නැත්තේ ඒකයි. විදේශිකයෝ. ඒ අය නයින්ට දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. අරාබි කාරයෝ, ඊජිප්තුකාරයෝ එහෙම නයින්ට පණ වගේ ආදරෙයි. අවුරුද්දට සැරයක් නොවරදවාම එංගලන්තේ ඉඳලා මහත්තයෙක් අපේ ගුබ්බෑයමට එනවා. ඒ එන්නේ අලුතින් අල්ලන නයෙක් කොහොමද හීලෑ කර ගන්නේ කියලා බලන්න. ඒ මහත්තයාට මම මේ නයා හීලෑ නෑ, නයා හින්දම තමයි නටන්නේ කිව්වට පිළිගන්නෙත් නැහැ. ඕකයි ඇත්ත කතාව. අහිගුණ්ටක සමාජය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැතිවෙලා යාවි. අපේ අනුරාධපුර පළාතේ ගුබ්බෑයම්වල ඉන්න අලුත් පරම්පරාව ඉස්කෝලවලට යනවා.

හොඳට ඉගෙන ගන්නවා. පරිගණක තාක්ෂණය පවා ප්‍රයෝජනයට ගන්නවා. අම්මා තාත්තා දුරබැහැර ගිහින් ගුබ්බෑයම රැය පහන් කරලා කීයක් හරි හොයාගෙන තමන්ගේ අනාගතය ගොඩදාන්න හදනවා කියන විශ්වාසය ඒ දරුවෝ ගාව තියෙනවා. හවසට කලින් කිව්වා වගේ වයිබ වට්ස්අප් වගේ කෝල් අරගෙන අම්මා තාත්තා එක්ක කතා කරන දරුවෝ තමයි අලුත් පරම්පරාවේ ඉන්නේ. මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරි නම් ඒ අයට පවතින්න බැහැ. ඒක අපි හොදාකාරවම දන්නවා. ඒ හින්දයි ඒ දරුවන්ට එහෙම පවතින්න ඉඩකඩ අපි හදලා දීලා තියෙන්නේ. මේ කතාවේදී මම කියන්නේ අපි දිහා සාම්ප්‍රදායිකව බලන්න එපා කියලා නෙවෙයි. අපි දිහා සාම්ප්‍රදායිකව බලන ගමන් අපිව තේරුම් ගන්න කියලයි. එතකොට අපි හැමෝටම පවතින්න ලේසියි. පහසුයි. එහෙම නොවුණොත් මත ගැටුම් ඇති වේවි. රංගනාදන් එහෙම කියනවා. මම ඔහුට සවන් දෙනවා. ලේන් වඩ ඇතිළියෙන් පිසෙද්දී රංගනාදන්ගේ බිරිය එයාට ස්කයිප් කෝල් එකක් අරගෙන. අහිගුණ්ටක එහෙමයි, අපි අහිගුණ්ටක ගැන හිතන්නේ මෙහෙමයි කියන එක වෙනස් විය යුතුයි කියලා මම හිතන්න ගන්නවා.

කතාව පින්තූර - ප්‍රභාත් අත්තනායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com