www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වහබ්වාදයට එරෙහි වූ ඔත්තුකරුවන්, ගණිකාවන්ට ෂරියා නීතිය යටතේ මරණ දඬුවම දුන්නේ කව්ද?


2019-07-08 11:56:21 -  496 යි

මරණීය දණ්ඩනය ලබා දීම සම්බන්ධව දැන් රටම උණුසුම් වී තිබෙන්නේය. රටේ ජනපති හා අගමැතිත් දෙපැත්තකට ඇදෙන්නට වූයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධවය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය කිසිසේත් වෙනස් නොකිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන දැඩි තීරණයකට එළඹ සිටින්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ එම තීරණය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් විරුද්ධ වගය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන කඹ ඇදිල්ල අතරේ රට ඇතුළේ වෙනම නීතියක් යටතේ විසි දෙනකුට මරණීය දණ්ඩනය ලබාදුන් සිද්ධියක් ගැන රටට අනාවරණය කරන්නේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ය. වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ නුගේගොඩ පැවති ජන රැළියේදී උන්වහන්සේ මේ බව හෙළි කළහ.

ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් කාත්තන්කුඩියේ ජීවත් වුණු සහරාන්ලා වැනි අන්තවාදීන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ තොරතුරු මැදගොඩ අභයතිස්ස හිමියන්ට ලැබෙන්නේ කාත්තන්කුඩි පදිංචි මුස්ලිම් ජාතිකයකුගෙන්මය.

ඔහු දැනට සිටින්නේ ජීවිත තර්ජනයට ලක්වය. මානව හිමිකම් කොමිසම වෙත පැමිණෙන ඔහු පැමිණිලි කර ඇත්තේ තමාගේ ජීවිතයට අන්තවාදීන්ගේ තර්ජන එල්ල වී ඇති බැවින් ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

මෙම පැමිණිලිකරුට අනුව ෂරියා නීතිය යටතේ මරා දැමුණු අයට එල්ල වී තිබූ චෝදනා වන්නේ හමුදාවට බැඳීම, හමුදාවට ඔත්තු සැපයීම, ගණිකා වෘත්තියේ යෙදීම, සූදු ක්‍රීඩාවේ නිරතවීම, මුදල් පොලියට දීම වැනි කාරණාය.

නබි නායකතුමාගේ ශුද්ධ වූ කුරාණයට විරුද්ධව අබ්දුල් වහාබි නමැති අරාබි ජාතිකයකු ලියූ පොත්පත්වල දෑ අනුව යන වහාබ්වාදීන් මෙවැනි ඝාතන මෙහෙය වූ බව කාත්තන්කුඩිහි මෙම තර්ජනයට මුහුණ දුන් අය අරුණට පැවසූහ.

ෂරියා නීතියක් මේ රටට ගෙනාවේ ඔය කියන වහබ්වාදීන්. වහබ්වාදීන්ගේ දැඩි අන්තවාදීන් ලෙස ක්‍රියාත්මක වූයේ සහරාන්ලාගේ කණ්ඩායම් තමයි, ෂරියා නීතිය ක්‍රියාත්මක කළේ. කාත්තන්කුඩියේ අපි පයිල්වාන් ගුරුතුමා අනුගමනය කරමින් සුෆි නිකාය අනුගමනය කළා. ඒ නිසා අපි ෂරියා නීතියට විරුද්ධ වුණා. ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් 2004 ජූලි 26 දා මොහිදින් නමැති කාත්තන්කුඩි ව්‍යාපාරිකයාව වෙඩි තබා ඝාතනය කළේ සහරාන්ලා එක්ක සිටි වහබ්වාදීන්. මොහිදින් දරුවන්ට කෑම ගෙනියන්න ගිය මොහොතේ තමයි බයික් එකකින් ඇවිත් වෙඩි තියන්නේ. පයිල්වාන් ගුරුතුමාගේ උපන්දිනය වෙනුවෙන් දානය දුන්නට දවසකට පස්සෙ තමයි ඒ මිනීමැරුම කළේ. පයිල්වාන් ගුරුතුමා ෂරියා නීතියට එරෙහි වුණු නිසා සුෆි නිකායට වහබ්වාදීන්ගේ තර්ජන එල්ල වුණා. 2006 දෙසැම්බර් 06 දා පයිල්වාන් ගුරුතුමා නැතිවුණාම එයාගේ බොඩි එකටත් කාත්තන්කුඩිවලදී ප්‍රශ්න ආවා. එදා ඉඳන් දවස් නවයක් කඩ කඩලා, අපේ ගෙවල් මංකොල්ලකාලා ගෙවල් එකසිය ගාණකට ගිනි තිබ්බේ සහරාන්ලාගේ කණ්ඩායම්. අපි ගෙවල් එකසිය ගණනක පවුල් ගම අතෑරලා අවුරුදු දෙකක් යනකන් කාත්තන්කුඩිවලට ගියෙත් නැහැ.

යැයි වහබ්වාදීන්ගේ ෂරියා නීතියට එරෙහි වූවන් පැවසූහ.

එරාවුර් පරණ මාකට් පාරේ පදිංචිව සිටි මොහොමඩ් ලෙබ්බේ මොහොමඩ් නබි හසන් නමැති අය ඝාතනය කළ බව කියන්නේ සල්ලි පොලියට දීමේ චෝදනාවටය. ව්‍යාපාරිකයකු වූ ඔහුට ටී. 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2008 අගෝස්තු 16 දාය.

අබ්දුල් කරීම් ජෙස්මින් නමැති තිස්තුන් හැවිරිදි කාන්තාව ඝාතනය වූ බව කියන්නේ එරාවුර් මුහුදු වෙරළේදීය. ගණිකා වෘත්තියේ යෙදෙමින් ආගමට එරෙහි වූ බව කියා ඇයව ෂරියා නීතිය යටතේ ඝාතනය කර ඇති බව කියන්නේය. බෙල්ලට ලණුවක් ගැටගසා ජෙස්මින් ඝාතනය කර තිබුණේ පළාතම භීතියට පත් කරමිනි.

විසි දෙහැවිරිදි මොහොමඩ් අස්ලාම් ඝාතනය කරන්නේ බූරුවා ගැසීම ආගමට අනුව වැරදි බවට චෝදනා කරමින්ය.

තාමරාසා මනෝහරන්, කනේෂ් කමලන් යන ටී. එම්. වී. පී. පක්ෂයේ පිල්ලෙයාන් සාමාජිකයන් දෙදෙනකුද අන්තවාදී කල්ලිය අතින් ඝාතනය වූ බව කියන ලැයිස්තුවේ සිටිති. 2007 වසරේ මාර්තු, අප්‍රේල් මාසවල මෙම ඝාතනයන් සිදු වී තිබෙන්නේය. තම කණ්ඩායම් ගැන හමුදාවට තොරතුරු දුන් බවට චෝදනාවට පිල්ලෙයාන්ගේ සාමාජිකයන් ෂරියා නීතිය යටතේ මරණයට පත් කළ බව කියන්නේ පැමිණිලිකරුය.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා මත්ද්‍රව්‍ය භාවිතය යන චෝදනාවට සුලෙයිමාන් ලෙහෙබ්බේ අන්වර් නියාස් නමැති අය ඝාතනය කළ බව කියන්නේය. ලතිෆ් මොහොමඩ් ඉර්ෂාඩ් නමැති අයව ඝාතනය කළ බව කියන්නේත් මෙම චෝදනාවටය. ඉස්මයිල් ෆයිරුස් නමැති අයව ඝාතනය කළ බව කියන්නේ සොරකම් කිරීමේ වරදටය.

හමුදාවට තොරතුරු දුන් බවට චෝදනාවට අබුබකර් මුෆාස්ව ඝාතනය කළ බවත්, හමුදාවේ කෝප්‍රල්වරයකු ලෙස සේවය කළා කියමින් මොහොමඩ් නසීර් ඝාතනය කළ බවත් මානව හිමිකම් කොමිසමට දුන් වාර්තාවේ සඳහන්ය. තම්බිලෙබ්බේ අබ්දුල් මුහාබ්දින් නමැති බුද්ධි අංශවල තොරතුරු කරුවකු හා අබ්දුල් කාදර් අබ්දුල් හකීම් යන අයවත් ඝාතනය කළ බව කියන්නේ හමුදාවට තොරතුරු දීමේ වරදටය.

මොහොමඩ් මුහුදින් ජවුර් නමැති කලක් එල්ටීටීඊ ඔත්තුකරුවකුව සිට හමුදා ඔත්තුකරුවකු වූ අයෙකුවත් ඝාතනය කර ඇත්තේ ටී. 56 තුවක්කුවලින් වෙඩි තබා මුහුදේ ගිල්වා දමා බව කියන්නේය.

මේ අනුව මෙම අන්තවාදීන් ෂරියා නීතිය යටතේ හමුදාවට සම්බන්ධ වූ පස් දෙනකු ඝාතනය කළ බව පෙන්වා දී ඇත්තේය.

අබ්දුල් මජීඩ් ජවුෆර් නමැති අයකුව ඝාතනය කර ඇත්තේ තම පියා සමග තරගකාරී ලෙස වෙළෙඳාම් කරන්නට ගිය බව කියන චෝදනාවටය.

මේ ආකාරයට බූරුවා ගැසීම, ගණිකා වෘත්තියේ යෙදීම, හමුදාවට ඔත්තු සැපයීම යන චෝදනාවලට ෂරියා නීතිය යටතේ මරණ දඬුවම නියම කළ බව සත්‍යයක් නම් එය, රටේ නීති දෙකක් ඇති බවට කදිම සාක්ෂියකි.

රටක නීති දෙකක් ක්‍රියාත්මක වන්න බැහැ. මේ වගේ කැලෑ නීතියක් ක්‍රියාත්මක වනවා නම් වළක්වා ගැනීම බලධාරින්ගේ යුතුකමක්. මේකේ සත්‍ය, අසත්‍යභාවය වහාම සොයා බැලිය යුතුයි. අන්තවාදීන්ගේ ප්‍රශ්නය ඉවරයි කියලා රජය කියනවා. ඒ තියෙද්දී මරාගෙන මැරෙන අන්තවාදීන් තවත් අත්අඩංගුවට ගන්නවා යැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ෂරියා නීතිය යටතේ මරණ දඬුවම් ලැබුණු බව කියන පිරිසට මරණය උරුම කරදුන් අන්තවාදීන්ගේ කල්ලිය ගැන කරන අනාවරණයේ ඇති භයානකකම වන්නේ ඔවුන් සන්තකයේ තවත් අවි ආයුධ තිබෙන බව කියන කතාවය.

එම තොරතුරුකරු සඳහන් කරන ආකාරයට මෙම සංවිධාන සතුව තිබූ අවිආයුධ 2009 ජූලි 20 දා එරාවුර් පොලිසිය වෙත භාර දී ඇත. ඉන්පසුව මෙම කල්ලි සතු ටී. 56 අවි හැටක්, මිලිමීටර් නවයේ පිස්තෝල අටක්, ෂොට් ගන් තුනක්, මැගසින් පන්සියයක් සහිතව අවි ආයුධ භාර ප්‍රධානියෙක් මෙම අන්තවාදී ක්ලලිවල සිට ඇත. ඒ අනුව ඒවාට සිදු වූ දෙයක් තවමත් හෙළි වී නොමැත.

මේ සියලු කාරණා ගැන 2017 ජනවාරි 02 දා පොලිසිය, හමුදාව මෙන්ම වගකිවයුතු අංශවලට පැමිණිලි කර ඇතත් බලධාරින් එය තැකූ වගක් පෙනෙන්නට නොමැත.

මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ මෙම ඝාතන රැල්ල ගැන වාර්තාවක් ඊට පෙර 2018 ජනවාරි 02 දා කාත්තන්කුඩි පොලිසියට ද ලබාදුන් බව පැමිණිලිකරුට අනුව කියැවෙන්නේය.

මේ සියල්ල ගැන අවධානය යොමු වූවා නම් සහරාන්ලා ඇතුළු වහබ්වාදීන්ට මෙතරම් විනාශයක් කරන්නට ඇති ඉඩකඩ මගහැරී යාමට ද තිබුණේය.

මේ ගැන ජනාධිපතිවරයාටත්, පොලිස් කොමිසමටත්, නීතිපතිවරයාටත්, එක්සත් ජාතීන්ගේ කොමිසම, රතු කුරුස සංවිධානය, මානව හිමිකම් සංවිධානයට පවා නැවත පැමිණිලි කර ඇත්තේ පසුගිය ජුනි 25 දාය. සහරාන්ලාගේ අන්තවාදී කණ්ඩායම් ගැන 2017 ජුනි 07 දා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාට වාර්තාවක් ලබා දී ඇත්තේ ජාතික තව්හිද් ජමාද් සංවිධානය තහනම් කරන ලෙසටය. නීතිපති දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා යළිත් 2018 ජුනි 30 දා පිටු හැට ගණනක ගොනුවකින් සිහි කැඳවීමක්ද කර ඇතත් අදටත් වූ දෙයක් නැත. එම ගොනුව අසම්පූර්ණ එකක් නම් ප්‍රතික්ෂේප කර එවිය යුතුය. එසේ ප්‍රතික්ෂේප කර නොමැති ගොනුවට ගොනු අංකයක් ලබා දී ඇත.

අන්තවාදී සංවිධානවලට එරෙහිව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන පොලිසියට උපදෙස් දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවය. එසේ වී නම් මේ සියලු කාරණාවලදී පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීමත් සොයා බැලිය යුතුය.

අන්තවාදීන්ගේ හිස එසවීම මෙන්ම පාස්කු ප්‍රහාරය ගැනද රටේ ඉහළම පුරවැසියන්ගේ සිට සියලු දෙනාට වගකීම පැවරී යන බව දැන් පැහැදිලි වන්නේය. ඉතිහාසයේ පළමුවරට රටේ පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් හිරේ යන්නට සිදු විය.

ජනපතිත්, අගමැතිත් ආරක්ෂක කවුන්සිලයට පවා එක් නොවී දෙපැත්තට වී කඹ ඇදිල්ලෙන් පාස්කු ඉරිදා වූ විනාශය පොලිසියේ කර මතින් යන්නට පටන්ගෙන ඇත.

යහපාලන රජය සමයේ ජාතික ආරක්ෂාව බිඳවැටෙන්නට පටන් ගන්නේ හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ සිට ගෙනගිය ආරක්ෂාවේ හිඩැස් නිසාය. රටේ ආරක්ෂාව වෙනුවෙන් තිබූ මාර්ග බාධක පවා ඉවත් කරන්නේ අද රජයේ සිටින ප්‍රබල අමාත්‍යවරුන්ම මැදිහත් වීමෙනි.

එදා රටක් වැනසූ කොටි ත්‍රස්තයන් දේශපාලන සිරකරුවන් බවට පරිවර්තනය වන්නේ යහපාලනයට පින්සිදුවන්නටය.

2009 ජනවාරි 26 දා කොටි පාලන ප්‍රදේශයේ අත්අඩංගුවේ සිටි හමුදාවේ දහඅට දෙනකු හා නාවික හමුදාවේ සිව් දෙනකු සීනි හා පෙට්‍රල් දමා ගිනි තබා අමු අමුවේ මරා දැමූ ත්‍රස්තයන් පවා දේශපාලන සිරකරුවන් කරන්නට ගියේත් මේ නිසාය. අනුරාධපුර අධිකරණයේ පවතින නඩුව වව්නියාවට ගෙන යන්නට දෙමළ ඩයස්පෝරාව උත්සාහ ගන්නේත් ඔවුන්වත් මුදාගැනීමේ අරමුණින්ය.

උතුරේ ප්‍රභූ ඝාතන ඉලක්ක ගැනීමට ආ කොටි ත්‍රස්තයන් මරු තුරුලට යැවූ බවට චෝදනා කරමින් බුද්ධි බළකායට සුවිශේෂී මෙහෙවරක් කළ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී වැනි නිලධාරින්ට මරණ දඬුවම හිමි වන්නේත් යහපාලන රජයක් යටතේය.

උතු‌රේ අධිකරණ තුළ පසුගිය තෙවසර තුළ එල්ටීටීඊයට සම්බන්ධ නඩු හතළිහකින් පමණ කොටි ත්‍රස්තයන් නිදොස් කොට නිදහස් වන්නේත්, යහපාලනයට පින්සිදු වන්නටය.

ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති මොහොතක පොලිස්පති හිරේ යාමත් තවත් නිලධාරින් දාහතරක් මීළඟට බිල්ලට දීමත් හමුවේ ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවත් ඇදවැටෙන බව පැහැදිලිය. වැරදි කළ අයට දඬුවම් දීම කළ යුතු වුවත් මෙම තත්ත්වය නිසා පොතට පමණක්, චක්‍ර ලේඛවලට පමණක් සීමාවන පොතේ ගුරාලාගේ පොලිසියක් මිස වගකීම් අතට ගෙන වැඩ කරන්නට නිලධාරින් ඉදිරිපත් නොවිය හැකිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com