www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩෝරා ඇවිත් වසර 39 යි - කොටි බෝට්ටු පහක් සමග ඩෝරා යාත්‍රාවක් තනි සටනක


2019-06-25 08:24:13 -  1637 යි

කන්කසන්තුරෙන් ඇරඹි නගරෝමා නැව පෙරටු කරගත් නාවික යාත්‍රා, කොටි නායක ප්‍රභාකරන් උපන් වැල්වැටිතුරෙයි මුහුදු සීමාව පසු කළා පමණි. වේලාව දවල් 12.00 ට පමණය. සවස හතරට පෙර මෙම අවදානම් කලාපය පසුකර යාම නාවික යාත්‍රා පෙළේ ඉලක්කයයි.

සර් එකෝස් පහක් එනවා. පී. 470 ඩෝරා යාත්‍රාවේ රේඩාරය මත පතිත වූ සැක කටයුතු තිත් පෙළ දුටු ලුතිනන් අරුණ තෙන්නකෝන් තම අණදෙන්නාට දැන්වීය. ඩෝරා යාත්‍රා අණදෙන්නා වූයේ ලුතිනන් කමාන්ඩර් සිරිමෙවන් රණසිංහය.

වහාම යුහුසුලු වූ අණ දෙන්නා අනතුරක සේයාවක් දැනගත් වහාම මුලින්ම ඇක්ෂන් ගහන්න යැයි නියෝග කළේ ය. ඒ අනතුරු හැඟවීමේ වෙඩි ප්‍රහාරයන්ය. වහාම අනතුරු හැඟවීමේ නළාව නාද කරන්නේ ඩෝරා යාත්‍රාවේ භට කණ්ඩායම් හදිසි ප්‍රහාරයකට සූදානම් කිරීමටය.

අනතුරු හැඟවීමේ නළා නාද කළ සැණින් වෙඩි නොවදින කබා, හෙල්මට් පැලඳ ගන්නා නැවියන් තත්ත්පර ගණනක් තුළ ආයුධ ස්ථානගත කර ඇති තැන්වලට යා යුතුය.

දුරදක්නයක් ගෙන ඈත දියඹ නිරීක්ෂණය කළ සිරිමෙවන් රණසිංහට සතුරු බෝට්ටු පහක් නැව් දෙසට ගමන් කරන වග නිරීක්ෂණය විය.

සර් ටෙරා බෝට්ටු මුහුදට දාලා තියෙන්නේ.

ලුතිනන් කමාන්ඩර් රණසිංහ, වේග ප්‍රහාරක යාත්‍රාවලට නායකත්වය දුන් ලුතිනන් කමාන්ඩර් රෝහණ පෙරේරාට පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් දැන්වීය. ඉතිරි දෙන්න අරගෙන මුහුදට පලයන්. රණවිජය නෞකාවට අණදුන් ලුතිනන් කමාන්ඩර් නන්දන දියබලනගේට උපදෙස් ලැබුණේය.

මේ වන විටත් නගරෝමා නැව ගොඩබිමට නාවික සැතපුම් දොළහක් ඈතින්ය. එහි උතුරේ සිට දකුණට යන දෙමළ වැසියන් දෙසීයකට වැඩිය. නගරෝමා නැවත් සමග උතුරේ සිට නිවාඩු ලබා යන සෙබළුන් රණවිජය නෞකාවේය. මේ දෙකටම ආරක්ෂාව සපයන්නේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා යාත්‍රාවලින්ය.

ලුතිනන් කමාන්ඩර් සිරිමෙවන් රණසිංහ අණදුන් පී. 470 යාත්‍රාව මුහුදු වෙරළට හැතැප්ම පහක් ආසන්නයේ ගමන් ගන්නේ හදිසි කොටි ප්‍රහාරයකදී එය නවත්වාලීමටය. ලුතිනන් කමාන්ඩර් ජූඩ් ලක්මාල් විජේතුංග අණදුන් පී. 458 වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවද මෙම ගමනට එක් වූයේය. එය ත්‍රිකුණාමලය බලා ගමන්ගත්තේ එන්ජිමේ යාන්ත්‍රික දෝෂයක් අලුත්වැඩියා කිරීමටය.

නාවික හමුදාව සතු පැරණිම ඩෝරා යාත්‍රාවක් වූ එහි එන්ජින් කාමරවල බ්ලෝවර්ස් අක්‍රිය වූයෙන් ත්‍රිකුණාමලයට යවන්නේ අලුත්වැඩියාවටය. යාත්‍රාව රණවිජය නැවේ ගැටගසා ඇදගෙන යාමට උපදෙස් දුන්නද මහමුහුදේ දස්කම් පෑ අත්දැකීම් ඇති නිලධාරියකු නිසා ඒ වෙනුවට යාත්‍රාව හිමින් සීරුවේ නැවට ආසන්නයෙන් රැගෙන යාමට ඔහු කටයුතු කළේය. යම් හෙයකින් සතුරු ප්‍රහාරයකට ලක් වුවහොත් බෝට්ටුවේ වේගය වැඩි කරන්නට තිබූ එකම විකල්පය වූයේත් එන්ජින් කාමරයේ ආරක්ෂිත දොරටු විවෘත කරගෙන යාම පමණකි. එම දොරටු විවෘත කිරීමේදී බෝට්ටුවට වතුර පිරී ගිලෙන්නට ඇති අවදානමත් වැඩිය. එකී සියලු අභියෝග තම කර මත තබාගෙන නිර්භීතකම නිසාම යාත්‍රාව තමාට යාමට හැකි උපරිම වේගයෙන් ත්‍රිකුණාමලය බලා රැගෙන යන අතරේ සතුරු බෝට්ටු පෙළ ඉලක්කයක් සොයා ඇදෙන්නට වූයේය.

නැව් දෙසට යන මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රා ඉදිරියට ගොස් බෝට්ටු යන මග නවත්වන්නට ලුතිනන් කමාන්ඩර් සිරිමෙවන් රණසිංහ තම කණ්ඩායම සූදානම් කළේ ය.

සතුරු යාත්‍රා පහ සමග හැප්පෙන්නට නාවික කණ්ඩායමට තිබූ එකම අවිය වේගය පමණකි. සටන දුෂ්කර වුවත්, වේගය භාවිත කරමින් උපක්‍රමශීලීව පහර දෙන්නට අණදෙන නිලධාරියා තීරණය කළේ ය.

සටන ඇවිලෙන්නේ ඉන් පසුවය. නාවික ඩෝරා යාත්‍රාවෙන් වෙඩි වරුසාවක් නිකුත් වෙද්දී සතුරු යාත්‍රා පහකින් වටකරගෙන වෙඩි වරුසාවක් නිකුත් කරන්නට වූයේය. සෑම යාත්‍රාවකින්ම නිකුත්වන උණ්ඩ බොහෝමයක් ඉලක්කයක් නොමැතිවම ඉවතට යන්නේ වේගය වැඩි නිසා ඉලක්ක ගැනීමට අසීරු නිසාය.

කොටි හපුවන් රැලකට මැදිවන්නට යන මුව පොව්වෙකු මෙන් කොටි යාත්‍රා පහකින් ඩෝරා යාත්‍රාව වටකර පහර දෙන්නට උත්සාහ කළත් ලුතිනන් කමාන්ඩර් රණසිංහ ඊට ඉඩ දුන්නේ නැත. සතුරා විස්මයට පත් කරමින් ඩෝරා යාත්‍රාව වේගයෙන් එහාට මෙහාට හසුරුවන්නට වූයේ සතුරාට නැව් දෙක වෙත ළඟා වීමට ඉඩ නොතබමිනි.

ජයසිංහගේ කකුලට වෙඩි වැදී ලේ ගලා හැලුණද ඔහු තම ෆයිව් සීරෝ ගිනි අවිය අත නොහැර එය දිගටම ක්‍රියාත්මක කළේය. තම ප්‍රහාර නැවතුණහොත් සතුරාට භූමියේ වාසිය ලැබෙන බව දන්නා නිසාය. ජයසිංහගේ ෆයිව් සීරෝ අවිය එක්වරම හිරවන්නේ මේ අතරේය. වහාම දකුණු පැත්තේ අවිය වෙත දිවගොස් එයින් සතුරා අඩපණ කරන්නට ජයසිංහ ක්‍රියා කරන්නේ අවසන් තත්ත්පරයත් වටිනා නිසාය.

මේ වන විට මුහුදු කොටින්ගේ යාත්‍රා දෙකක්ද ප්‍රහාරයෙන් අඩපණ වී සටන තිබුණේ තවත් යාත්‍රා තුනක් සමගය. මුහුදු කොටින්ගේ ඉලක්කය මරාගෙන මැරෙන්නටය. ඩෝරා යාත්‍රාව මගහැර ගොස් නැව්වලට පහර දීම අරමුණ වුවත් ලුතිනන් කමාන්ඩර් රණසිංහ අණදුන් ඩෝරා යාත්‍රාවෙන් ඊට ඉඩක් නොවීය.

සටන් අතරේ ඔර්ලිකන් ගිනි අවියේ ක්‍රියාකරු වූ රෝහණටත් වෙඩි වැදුණේය. නාවික ඩෝරා යාත්‍රාවේ මිලිමීටර් විස්ස වර්ගයේ ඔර්ලිකන් අවි දෙකක් ඉදිරිපස හා පසුපස විය. කොටි ත්‍රස්තයන් ඔවුන්ගේ යාත්‍රාවල සවිකර තිබුණේ මිලිමීටර් විසිතුනේ නාවික හමුදාවටත් වඩා දුරට ප්‍රහාර එල්ල කළ හැකි අවිය.

රෝහණ සතු ඔර්ලිකන් අවිය අක්‍රීය වූ සැණින් පාලිත දකුණු පස අවියට පැමිණ එයින් සතුරු ඉලක්ක සොයා පහර දෙන්නට වූයේය. සුළු මොහොතකින් සතුරු වෙඩි උණ්ඩයකින් පාලිත අවසන් හුස්ම හෙළුවේය.

ඩෝරා යාත්‍රාවේ ඉදිරිපස හා පසුපස ඔර්ලිකන් වර්ගයේ ප්‍රධානතම අවි දෙක ක්‍රියා විරහිතවී අවිකරුවන් තිදෙනකු සටනින් ඉවත්ව සිටියදී මීළඟ පියවරක් ගැන සිතන්නට ලුතිනන් කමාන්ඩර් රණසිංහට කාලයක් නොවීය. මීළඟ සටන තිබුණේ ඉතිරි කොටි යාත්‍රා තුන සමගය.

අපි ටෙරා බෝට්ටුවලට උඩින් ගිහිල්ලා හප්පමු සටන අතරේ දෙවරක් නොසිතා තම දෙවන අණ දෙන්නා වූ ලුතිනන් තෙන්නකෝන්ට යෝජනා කළ ලුතිනන් කමාන්ඩර් එස්. එස්. රණසිංහ මීළඟ අභියෝගයට යන්නේ තම ජීවිත ගැනද නොතකමින්ය.

සතුරු බෝට්ටු දෙසට හීයක වේගයෙන් ඉදිරියට ඇදෙද්දී මුහුදු කොටි ත්‍රස්තයෙක් ආර්.පී.ජී. රොකට් විදිනයක් මානාගෙන ඩෝරා යාත්‍රාව පුපුරුවා හරින්නට උත්සාහ දරන අයුරු දැසින්ම දැකගත හැකි විය. එසැණින් ඩෝරා යාත්‍රාවේ වේගය වැඩිකරමින් මුහුදු කොටි යාත්‍රාවට උඩින් යන්නේ කොටි ත්‍රස්තයන් සමගම මුහුදේ මුහුදුබත් කරමිනි.

කොටි ත්‍රස්තයන් දස දෙනකුට වැඩි පිරිසක් සමග මුහුදු කොටි යාත්‍රාව දෙකට කැපී මුහුදුබත් වෙද්දී ඇති වූ චිත්ත ධෛර්යයෙන් ඉතිරිව තිබූ තවත් මුහුදු කොටි යාත්‍රාවක් ඩෝරා යාත්‍රාවේ හප්පා ගිල්වා දමන්නට නාවික විරුවෝ සමත් වූහ.

ඉතිරිව තිබූ කොටි යාත්‍රාව වෙත යන්නට ලුතිනන් කමාන්ඩර් එස්. එස්. රණසිංහ උත්සාහ කරද්දී නහයෙන් කටින් ලේ පෙරාගත් ලුතිනන් තෙන්නකෝන් උඩට මතු වන්නේය.

සර් අපේ ඩෝරා එකත් ඩැමේජ් ලුතිනන් තෙන්නකෝන් කියාගෙන උඩට එද්දී කමක් නැහැ අපි අනිත් බෝට්ටුවටත් යමු යැයි අණ දෙන්නා කීවේය.

සර් පල්ලෙහා ඉණ ගාවට වතුර. තවත් ගහන්න යන්න බැහැ කියමින් එන්ජින් කාමරයේ නැවියෙකුත් ඒ මොහොතේ එන්ජින් කාමරයෙන් උඩට පැමිණියේය. ලුතිනන් තෙන්නකෝන්ට ඩෝරා යාත්‍රාව මෙහෙයවීම භාරදී අණදෙන නිලධාරියා එන්ජින් කාමරයේ තත්ත්වය බලන්නට පහළට බැස්සේය. සතුරු බෝට්ටුවල හප්පවද්දී එන්ජින් කාමරයට වතුර එන මට්ටමට ඩෝරා යාත්‍රාවේ තහඩු ඉරීගොස් ඇතැයි තේරෙන්නේ එවිටය. සටන යන අතරේ වෙනදාට එන්ජිමට මුහුදෙන් ගන්නා වතුර වෙනුවට එන්ජින් කාමරයේ පිරුණු වතුර යොදවන්නට ප්‍රනාන්දු නමැති නැවියා කටයුතු කර තිබූ නිසා එන්ජින් කාමරයේ වතුර පිරෙන්නට ඉඩක් නොවුණු බව තහවුරු විය.

එන්ජින් කාමරයට තවත් වතුර පිරුණහොත් ඩෝරා යාත්‍රාව ගිලීයන නිසා අන්තිමට ඉතිරිව තිබු කොටි බෝට්ටුවට පහර දීම, වේග ප්‍රහාරක යාත්‍රාවට භාරදීමට අණ දෙන්නා තීරණය කළේ ය.

සර් මගේ බෝට් එක ඩැමේජ්. මම විත්ඩ්‍රෝ වෙනවායැයි ලුතිනන් කමාන්ඩර් රණසිංහ වේග ප්‍රහාරක යාත්‍රාවේ අණ දෙන්නා වූ ලුතිනන් කමාන්ඩර් රෝහණ පෙරේරාට පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් දැන්වීය.

හරි උඹ පලයන්. මම ඒ බෝට්ටුව බලා ගන්නම් කියා ලුතිනන් කමාන්ඩර් රෝහණ පෙරේරා මීළඟ අභියෝගය භාර ගත්තේය.

මේ වන විටත් තවත් මරාගෙන මැරෙන යාත්‍රාවක් නැව් දෙසට එන බව අනෙක් ඩෝරා යාත්‍රාවේ සිටි ලුතිනන් කොමාන්ඩර් ජූඩ්ට නිරීක්ෂණය වූයේය.

නමුත් තමන් ප්‍රමාද වුවහොත් නගරෝමා නැවත් සමග අහිංසක දෙමළ වැසියන් දෙසිය දෙනාත් මුහුදු බත්වන වග ජූඩ්ට තේරුම් ගියේ මුහුදු සටන්වල තිබූ අත්දැකීම් මතය. පැත්තකට වී බලා සිටිනවාට වඩා මරාගෙන මැරෙන බෝට්ටුවේ ගමන නවත්වන්නට යාම ඔහුගේ අරමුණ විය. ජූඩ් සමග දාහතර දෙනකුගේ කාර්ය මණ්ඩලයක් එම ඩෝරා යාත්‍රාවේ වූහ. වේගයෙන් නැව කරා එන කොටි යාත්‍රාව නවත්වන්නට එකම බාධාව ඩෝරා යාත්‍රාවේ වේගය අඩුවීම බව සියලු දෙනා තේරුම් ගත්හ. එන්ජින් කාමරවල ආරක්ෂිත දොරටු විවර කර වේගය වැඩිකර ගැනීම පමණකි විකල්පයකට තිබුණේ. සියලුම දොරටු විවෘත කළහොත් යාත්‍රාවට වතුර පිරී ගිලෙන අවදානමක් තිබුණත් එය නොතකා නගරෝමා නැව බේරා ගැනීම අණ දෙන්නාගේ අභිප්‍රාය විය.

සටන් කර කොටි බෝට්ටුව නවත්වාලන්නට කාලයක් නොමැති බව දැනගත් ලුතිනන් කමාන්ඩර් ජූඩ් ලක්මාල් වහාම තම ඩෝරා යාත්‍රාව හරස් කර නවත්වන්නේ කොටි යාත්‍රාවේ ගමන අවහිර කරමිනි. එසැණින් ඩෝරා යාත්‍රාවත් පුපුරුවාගෙනම කොටි යාත්‍රාව පුපුරා යන්නේය.

තමා ඇතුළු කණ්ඩායමේ ජීවිත ගැන නොසිතා මරණය දැක දැකම දෙමළ වැසියන් දෙසිය ගණනකගේ ජීවිත වෙනුවෙන් ලුතිනන් ජූඩ් ලක්මාල් ජීවිතය පුදන්නේ අභීත රණවිරුවකු ලෙසය.

ලුතිනන් කමාන්ඩර් ජූඩ් ලක්මාල් කළ අභීත ක්‍රියාව නගරෝමා නැව තුළ ආරක්ෂාවට සිටි නාවිකයන්ද සියැසින් දුටුවේය. ඔවුන්ට පෙනි පෙනීම නැවට ගහන්නට ආ කොටි බෝට්ටුවේ හප්පා ඩෝරා යාත්‍රාවත් මුහුදේ ගිලෙන්නේ සදාතනික සිහිවටනයක් ලෙසින්ය.

එදා අපි කොටින්ගේ බෝට්ටුවලට ගහන අතරේ මරාගෙන මැරෙන බෝට්ටුව සිවිල් වැසියන් ගිය නගරෝමා නැවට ගැහුවා නම් අපි කරපු මුළු නාවික මෙහෙයුමම අසාර්ථක වෙනවා. ජූඩ් ජීවිතය නොතකා කළ කැපකිරීම නිසා අපි කළ සම්පූර්ණ මෙහෙයුම ම සාර්ථක වුණා. එදායින් පස්සේ මුහුදු කොටි අපිත් එක්ක දවල් ඇටෑක්වලට ආවෙත් නැහැ. යැයි මීට විසිතුන් වසරකට පෙරාතුව කළ අභීත නාවික මෙහෙයුමේ ඩෝරා යාත්‍රාවලට අණදුන් සිරිමෙවන් රණසිංහ හිටපු නාවික හමුදාපතිවරයා සිය මතකය අවදි කළේ ය. ඔහු එදා සටනේ ලුතිනන් කමාන්ඩර් එස්. එස්. (සිරිමෙවන්) රණසිංහය. දැන් විශ්‍රාමික නාවික හමුදාපතිය.

එදා ඔහු සමග මුහුදු සටනේදී අභීත සිංහයකු ලෙසින් සතුරා අබිමුවට ගොස් දිවිපුදා රන් අකුරින් ඉතිහාසයට නම එක් කළ ලුතිනන් කමාන්ඩර් ජූඩ් ලක්මාල් ද සිල්වා විජේතුංග තම රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවාට හිමිවන ඉහළම පදක්කම වන පරම වීර විභූෂණ (PWV) පදක්කම පිරිනැමීය.

එදා මෙදාතුර ඉතිහාසයේ නාවික මෙහෙයුම්වලදී ජූඩ් ලක්මාල් මෙන් කැපකිරීම් කළ නිලධාරින් දොළොස් දෙනකු හා නාවිකයන් හැත්තෑ එක් දෙනකු ඩෝරා වේග ප්‍රහාරක බළගණයේ සේවය කරමින් දිවිපුදා ඇත. මුහුදු කොටි බළකාය වනසන නාවික මෙහෙයුම්වලදී ඊළාම් යුද ඉතිහාසය පුරාවටම අපට අහිමි වූ ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රා ගණන විස්සකි. එම මෙහෙයුම්වලදී නිලධාරින් තිස්පහක් හා නාවිකයන් 141 ක් අතුරුදන් වූහ. අතුරුදන් ලැයිස්තුවේ සිටියද එම අභීත විරුවන්ද මුහුදේ දී දිවිපිදූවන් ලෙස ඉතිහාසගත වන්නේය. මේ අනුව 1980 දී ලුතිනන් කමාන්ඩර් පී. එස්. රාජරත්නගෙන් ඇරඹි ඩෝරා යාත්‍රා සහිත හතරවන මුර යාත්‍රා බළගණයට එක් වී රට වෙනුවෙන් මහ මුහුදේ දිවිපිදූ ගණන දෙසීය පනස් නවයකි.

1989 ජූලි 09 දා කමාන්ඩර් එස්. පී. වීරසේකර යටතේ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය ලෙස ඇරඹෙන මෙම බළගණය තිස් වසරක් තිස්සේ කළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම සෙනසුරාදා (22) අධිකාරියට පත් කෙරිණ.

සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙනුත්, තිස් වසරක යුද්ධයේ මුහුදු කොටි බලය පරදන්නටත් අගනා මෙහෙවරක් කළ අභිමානවත් බළගණයක් ලෙසින් නාවික හමුදාවේ එකම ප්‍රහාරක බලගණයට එහිදී ජනාධිපති වර්ණ පිරිනැමීමද සිදු විය.

අවසන් මොහොතේ කොටි බෝට්ටුවට උඩින් ඩෝරාව පදවයි

සිවිල් වැසියන් සිටි නැව සොයා මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක්

ඩෝරාවකින් හප්පා නැව බේරාගනී

ජූඩ් ලක්මාල් ජීවිතය පුදා දෙමළ වැසියන් බේරාගනී

තිස්ස රවීන්ද්‍ර පෙරේරා




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com