www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්තරේ වීදි සටන් එක වහලක් යටට ගෙනා ළහිරු-තිළිණි පෙම් හටන


2019-06-17 11:12:04 -  199 යි

ආදරය කියන්නේ අපූරු හැඟීමක්. සියුම් බන්ධනයක්. ඒ සියුම් බන්ධනයේ වෙළුනවුන්ගෙන් විවාහ බන්ධනය දක්වා දුර යන්නේ කීයෙන් කී දෙනාද? තමන්ගේ ආදරය දිනාගෙන විවාහ බන්ධනයෙන් බැඳිලා ජීවිත කාලයටම එකම කැදැල්ලක කූඩු වෙන්න අවකාශය හදාගන්න එකත් සුන්දර අරගලයක්.

 ඒ අරගලය ජයග්‍රහණය කළ දෙන්නෙක් ගැන මේ දවස්වල හරි හරියට කතා වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ ඔහුගේ හිත ගත්ත, අතගත්ත ජීවන සහකාරිය තිළිණි නානායක්කාර ගැන. 

ළහිරු විශ්වවිද්‍යාල පද්ධතියේ ආදරණීය ආමන්ත්‍රණය හැටියට ඇකා, බොහෝ දෙනෙක් හඳුනාගන්නේ අරගලකාරයෙක් විධියට. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලිකත්වය කැප කරගත්, සටන් කළ හිරේ ලැග්ග, මේ අරගලකරුවා හැමෝටම වීරයෙක් නෙවෙයි. ඇකා කෙනකුට වීරයෙක් වෙද්දී තවත් කෙනකුට කරදරකාරයෙක්, අරගලකාරයෙක්ම විතරයි. නමුත් ඔහුව මේ දෙකෙන්ම වෙන්කරගෙන තමන්ගේ ජීවිතේ අයිතිකාරයා කරගන්න හීන දැක්ක කෙනා තමයි තිළිණි. ඇය දෙරණ නාළිකාවේ නිවේදිකාවක්. අරගලකාරයෙක්ගේ ජීවිතේ සහකාරිය වෙන්න කවුද කැමැති. නමුත් ඇය ඒ අරගලකාරයාට ආදරය කළා. ඒ ආදරය දිනාගන්න ළහිරුටත් වඩා අරගල කරන්න වුණේ තිළිණිට. විවාහය දක්වා දුර ගෙනාපු ඇකාගෙයි තිළිණිගෙයි ආදර කතාවටත් මීට අවුරුදු නවයකට එපිටට දිවයන ආරම්භයක් සටහන් වෙලා තිබුණා. ඇකාගේ හිමිකාරිය වූ තිළිණි ඒ ආරම්භය මතක් කළේ මේ විධියට. 

මට ළහිරුව මුණ ගැහෙන්නේ 2010දී. මමත් උසස් පෙළ කරලා ඉවර වෙලා වන් ශ්‍රී  ලංකා කියන සැටලයිට් චැනල් එකට එකතු වුණා. ළහිරුව හමුවුණේ එතැනදී. 

ළහිරුත් ඒ වෙනකොට විශ්වවිද්‍යාලයට තේරීලා හිටියේ නැහැ. අපි මුලින්ම යාළුවෝ. ඊට පස්සේ අපි හොඳම යාළුවෝ වුණා. මම මගේ හැමදේම එයාට කියන්නේ. සමහර වෙලාවක දුකක් දැනුණු දේවල් වුණත් මම ගෙදර අයට කියන්න කලින් කිව්වේ ළහිරුට. මට තේරුණා එයාගේ හිතේ මං ගැන කැමැත්තක් තියෙනවා කියලා. ඒත් එයා ඒ ආදරය මට ප්‍රකාශ කළේ නැහැ. මං ගැන හැම තිස්සෙම හොයලා බැලුවා. මට ඕනේ මොනවද එයා ඒ දේ මට ගෙනත් දුන්නා. ඔෆිස් ඇරුණත් එයා මාව බස් එකට ඇරලවලා තමයි බස් එකේ නඟින්නේ. එයා පුදුම විධියට මාව තේරුම් අරගෙන හිටියා. මාව විතරක් නෙවෙයි එයා ආශ්‍රය කරන ඕනම කෙනෙක්ව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. මාරම හොඳ ගතිගුණ එයාට තිබ්බේ. ඒ ගතිගුණවලට මට ළං වෙන්නවත් බෑ. මට කේන්ති ගියත් එයාට කේන්ති යන්නේ නෑ. ඉතින් එයාගේ ගතිගුණ එයාගේ යාළුකම මම හඳුනාගෙන හිටියා. එයාගේ හිතේ මං ගැන තිබ්බ ආදරයත් මට දැනිලා තිබ්බා. ඒත් එයා මං ගැන තියෙන අදහස කිව්වේ 2014දී. 

හොඳම යෙහෙළියක් කරගෙන ආදරය දුන්න තමන්ගේ හොඳම යාළුවාට ආදරණීය හැඟීමක් තිළිණ කරන්නත් තිළිණි මැළි වුණේ නැහැ. 

එයා මගේ ජීවිතේ මට විශේෂම වුණු කෙනෙක්. මාව දන්න මාව තේරුම් ගත්ත ළහිරුට ආදරය කරන්න මම අකැමැති වුණේ නැහැ තිළිණි තමන්ගේ ආදරණීය සහකරුවා විධියට ළහිරුව තෝරාගන්න කරුණු ඉදිරිපත් කළේ ඒ විධියට. 

ළහිරුගෙයි තිළිණිගෙයි ආදරය දිනාගන්න පහසු වුණේ නැහැ. එයට අරගල කරන්න වුණේ තිළිණිට. මේ ආදර සම්බන්ධය කන වැකුණු සැණින් තිළිණිගේ මවුපියන් තදබල විධියට එයට දක්වපු විරෝධය මේ ආදර කතාව ජය ගන්න අවශ්‍ය සියලු ‍ෙදාරගුළු වසා දැම්මා. 

මගේ අම්මා ළහිරුට පුදුම විධියට ආදරය කළා. ඒත් අපි අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම මගේ අම්මයි අයියයි ඒකට තදින්ම විරුද්ධ වුණා. අම්මලා අකැමැති වුණේ ළහිරුට නෙවෙයි. එයාගේ දේශපාලන අරගලයට. අපේ ජීවිත ගැන බියක් එයාලට තිබුණේ. ගෙදරින් මට විවාහ යෝජනා ගේන්න පටන් ගත්තා. මම සූක්ෂ්ම විධියට ගෙදරටත් නොදැනෙන්න ඒ යෝජනා ප්‍රතික්ෂේප කළා.

බාධාවලට මුහුණ දෙන්න බැරි අය අරමුණ අතහරිනවා. නමුත් ආපු බාධාවලට ළහිරුගෙයි තිළිණිගෙයි ආදර කතාව බිඳින්න බැරි වුණා.

ආපු බාධා එක්ක ළහිරුව විවාහ කරගන්න පුළුවන් වෙයි කියලාවත් මම හිතුවේ නැහැ. මම අන්තිම වෙනකල් එයා එක්ක ඉන්නවා කියන බලාපොරොත්තුවේ හිටියේ. 

ගිය අවුරුද්දේ අග තමයි අපේ අම්මා මට කිව්වේ මං කැමැති දේ කරගන්න කියලා. අවසරය ලැබිච්ච ගමන් අපි විවාහයට දින දා ගත්තා. 

ළහිරුට ආදරය දිනාගන්නවාට වඩා තිබුණේ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ වුවමනාව. සාමාන්‍ය පෙම්වතුන් විධියට ළහිරුට තිළිණි මත්තේම රැඳිලා ඉන්න අවකාශය තැනුණේ නැහැ. කෙල්ලෝ ආදරේට ලෝබයි. ඒත් තිළිණි ඒ ලෝබකම ළහිරුගේ අරගලය වෙනුවෙන් කැප කරලයි තිබුණේ. 

ළහිරු අන්තරේ කැඳවුම්කරු වුණු එක ගැන මම හිටියේ කැමැත්තෙන් නෙවෙයි. එයාට එයාගේ වැඩත් එක්ක මාව මුලදී මඟහැරුණා. මම ඒ දේවල්වලට කැමැති වුණේ නැහැ. එයාට මාව මඟහැරෙද්දී මට කේන්තිත් යනවා. එයා දේශපාලනය කරනවාට මගේ අකැමැත්තක් තිබුණේ නැහැ. මොකද ඉස්සර ඉඳන්ම මම ඡන්දය දුන්නේ පක්ෂ බලලා නෙවෙයි. පුද්ගලයෝ බලලා. ළහිරු කරන දේ හරි කියලා මම දැනගෙන හිටියා. එයාට මං ගැන බලනවා වගේම විශ්වවිද්‍යාල ළමුන්ගේ වගකීම් ඉෂ්ට කරන්න තිබ්බා. පස්සේ මම එයාගේ තත්ත්වය තේරුම් ගත්තා. එයාට අනෙක් අය වගේ ජීවත් වෙන්න තිබ්බේ නැහැ. එයා හොඳට ඇඳුම් ඇන්දේ නැහැ. එයා තුන් වේලක් හරියට කෑවේ නැති දවස් අනන්ත අප්‍රමාණ තිබ්බා. සමහර වෙලාවට එයා නිදාගත්තේ එහේ මෙහේ යන එන බස් එකේ. අපිට නිදහසේ එළියෙදී කතාබහ කරන්නවත් අවස්ථාව අඩුයි. අනෙක් පෙම්වතුන් වගේ පාක් ගානේ බීච් ගානේ අපිට යන්න බැහැ. ඒත් එයාට මාව ඒ තැන්වලට එක්ක යන්නත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි යාළු වෙලා හිටපු අවුරුදු 5ටම බීච් එකට යන්න ඇත්තේ තුන් වතාවයි. එයා හරි ආසයි බීච් එක දිහා බලාගෙන ඉන්න. නමුත් මම හිතුවා අපි එළියේ   එහෙම ඉන්න එක එයාට හොඳ නැහැ කියලා. අපි දුරකථනයෙන් තමයි ගොඩක් වෙලාවට කතා කළේ. එයාට එයාගේ සම්පූර්ණ කාලය මං වෙනුවෙන් වැය කරන්න බැරි වුණත් මට කරදරයක් වුණොත් එයා මං ළඟ හිටියා. 

තමන්ගේ ආදරයේ හිමිකරුවා අනෙකුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරද්දී තිළිණි තමන්ගේ ආදරය සුරක්ෂිත කරගත්තේ එවැනි කැප කිරීමකින්. 

රජරට විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා සිටි කාලෙදි වගේම අන්තරේ කැඳවුම්කරු විධියට ළහිරුට අවස්ථා ගණනාවකදීම බන්ධනාගාර ගත වෙන්නට සිදු වීම ළහිරුගේ ආදරයේ හිමිකාරියට කොහොම දැනෙන්නට ඇතිද? ඇය ඒ සෑම අවස්ථාවකටම නිර්භීතව මුහුණ දුන්න විධිය වචන කළා. 

මට මතකයි ළහිරු මුලින්ම රිමාන්ඩ් වුණේ රජරට විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා ඉන්න කාලේ. රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාව පිරිසක් හිර කරගෙන ඉද්දී ළහිරු මාත් එක්ක මැසේජ් කර කර හිටියේ. හිටි හැටියේ මැසේජ් කරන එක නැවතුණා. මම කෝල් කළත් කතා කළේ නෑ. ඊට පස්සේ වෙන කෙනෙක් කතා කරලා කිව්වා ළහිරුව රිමාන්ඩ් කළා කියලා. මට හිතාගන්න බැරි වුණා. ගෙදර අය අපේ සම්බන්ධයට කැමැති නැති නිසා අඬන්නත් බෑ. මම පුදුම විධියට දරාගෙන හිටියා. අන්තරේ කැඳවුම්කරු වුණාට පස්සෙත්් එයා කිහිප වතාවක් රිමාන්ඩ් වුණා. මම එයා බන්ධනාගාරගත වෙලා ඉද්දී ගෙදරට හොරෙන් එයාව බලන්න ගියා. සතියට දවස් දෙකක් යනවා එයාව බලන්න. එයා නිදහස් වෙලා ඉද්දිවත් අපි දෙන්නා සතියට දෙපාරක් මුණගැහෙන්නේ නැහැ. ඒත් එයා බන්ධනාගාරගත වුණාම මම එයාව මඟහැරියේ නැහැ. මම බන්ධනාගාරයට ළහිරුව බලන්න තනියම එනවට එයා කැමැති වුණේ නැහැ. 

එයා බන්ධනාගාරගත වෙලා හිටියා කියලා කවදාවත් මම එයාට බැනලා නැහැ. මොකද එයා සොරකම් කරලවත්, ස්ත්‍රී දූෂණ කරලවත් නෙවෙයිනේ. අනෙක් අය වෙනුවෙන් කතා කරලානේ බන්ධනාගාරගත වුණේ. එයා අරගල කළේ අනෙක් අය වෙනුවෙන්. සමහරු එයාට බනිනවා. හැබැයි මට තියෙන්නේ එයා ගැන ආඩම්බරයක්. එයාට බනින අයට ළහිරු කළ කැප කිරීම කරන්න හිතන්නවත් බැහැ. 

ළහිරු ගිය වසරේදී අන්තරේ කැඳවුම්කරුගේ භූමිකාවෙන් සමුගත්තා. ඒ සමුගැනීම එක්ක තිළිණි තමන්ගේ ප්‍රාර්ථනය මුහුණු පොතට මුදාහැරලා තිබ්බා. 

දැන්වත් වෙලාවට කන්න. (වෙනදා වේල් තුනම කෑවේ නෑනේ) දැන්වත් වෙලාවට නිදාගන්න. (වෙනදා නිදාගන්න තැනක් වෙලාවක් තිබුණේ නෑනේ, වැඩිපුරම නිදා ගත්තේ බස්වලනේ)

දැන්වත් ලස්සනට පිළිවෙළට අඳින්න. (වෙනදා ඔයා අහුවෙන ඇඳුමක් ඇදන් බාටා කෑලි දෙක දාගෙන ගියානේ. සරලවම කිව්වොත් දැන්වත් ඔයා ඔයා ගැන ටිකක් හිතන්න. ආදරෙයි..... 

ඇය තමන්ගේ අරගලකාරයා වෙනුවෙන් අනාගතය ප්‍රාර්ථනා කරන්නියක් වුණේ එලෙසයි. 

උපාධියවත් සම්පූර්ණ කර ගත්තේ නැතිව තමන්ගේ උන් වෙනුවෙන් කට්ට කාපු ඇකාට ප්‍රශංසා වගේම විවේචන එල්ල වුණු එක නවත්තන්න බැරි වුණා. හැබැයි ඇකා අරගල කරද්දී ඒ දේවල් විඳගෙන ඉන්න වගේම අනෙකුන්ගෙන් ඇකාට එල්ලවන චෝදනා, විවේචන තිළිණිටත් දරාගන්න සිදුවුණා. මොකද ඇය ඇකාගේ පෙම්වතිය නිසා. 

ළහිරුට රිපීට් තුනක් තියෙනවා. උපාධිය සම්පූර්ණ කරන්නේ නැද්ද කියලා එයාගෙන් ඇහුවම එයා කියන්නේ උපාධියට වඩා දේවල් එයා ඉගෙන ගෙන තියෙනවා කියලා. එයා කවදාවත් මගේ කැමැත්තට බලපෑම් කරලා නැහැ. මමත් එයාට බලපෑම් කරන්නේ නැහැ. එයා කවදා හරි දවසක කැමැත්තෙන් උපාධිය සම්පූර්ණ කළොත් මම කැමැතියි. 

ළහිරුගෙයි තිළිණිගෙයි ජීවිතේ අමාරුවෙන් 

ගළපා ගන්න කාරණා ඉතිරි වෙලා තිබුණේ නැහැ. දෙපාර්ශ්වයේ ආශීර්වාදය මැද්දේ සම්ප්‍රදායෙන් බැහැර වූ විවාහ උත්සවයක් අරගෙන ළහිරුයි තිළිණියි එක කැදැල්ලක කූඩු වුණා. මහා ලොකු විවාහ සැමරුමක් කරන්න එකඟ නොවුණු ළහිරුගේ කැමැත්තට ඉඩදීලා ළහිරු දන්නා කියන ගෙදරක විවාහ මංගල්‍යය සැමරුව බව තමයි තිළිණි අපිට කිව්වේ. සෑහෙන පිරිසකුත් මේ දෙන්නාගේ හීනය හැබෑ කරගන්නත් උදවු කර තිබුණා. ළහිරුට ඕන විධියට චාරිත්‍ර නැති විවාහ උත්සවයක් ඇතුළේ තිළිණි ළහිරුව පුදුම කරවන්න අමතක කරලා තිබුණේ නැහැ. ළහිරුව නියෝජනය වෙන ආකාරයේ අරගලකාර ඇකා සහ ඔහුගේ අත ගත් තිළිණිව වෙඩින් කේක් අනුරුව බවට පත් වුණේ ඒ පුදුම කිරීමේ ප්‍රතිඵලයක් විධියට.

ළඟම මිත්‍රයන්ට රහසක් නොවී තිබුණු අනෙකුන්ට රහසක් වුණු ඇකාගෙයි තිළිණිගෙයි ආදර අරගලය ජය ගත්තේ මේ විධියට. හෙටත් ඇකා අයිතීන් වෙනුවෙන් අරගල කරාවි. ඒ අරගල ඇතුළේ වුවත් ඔහු තමන්ට හොඳ සැමියෙක් වෙන බව තිළිණි විශ්වාසය තබා අවසන්. ඇය ඔහුගේ අරගල විඳීවි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com