www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දික්කසාදයට උසාවියට ආපු අම්මාගේ තුරුලට ගිය සාමණේර හිමියෝ සෙනෙහස ඉල්ලා කඳුළු සලති


2019-06-03 08:14:20 -  746 යි

අම්මාගේ ආදරය තරම් වටිනා වෙන කිසිවක් මේ ලොව නැති බව සානාථ කරමින් දික්කසාදය සඳහා අනුරාධපුර අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි මව තුරුලට ගොස් හඬා වැටෙමින් අම්මාගේ සෙනෙහස ඉල්ලූ හය හතර නොදත් සාමණේර හිමිනමක් නිසා අනුරාධපුර අධිකරණයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ නෙත් කඳුළින්  තෙත් විය.

අම්මා සහ තාත්තා විවාහයෙන් වෙන්වීම සඳහා අනුරාධපුර අධිකරණයේ නීතිය සමඟ සටනක නිරත වෙද්දී සිය මව හා සහෝදරිය දැකබලා ගැනීමට අනුරාධපුර අධිකරණයට පැමිණි හය හැවිරිදි සාමණේර හිමිනම අම්මා තුරුලට යෑමට නොහැකිව අධිකරණ භූමියේ කඳුළු සලමින් සිටින අයුරු කාගෙත් අවධානයට ලක්විය. 

සිත් පිත් නැති මවුපියන් අතර දරුවන්ගේ දුක දන්නා අධිකරණ රාජකාරියට පැමිණි පොලිස් නිලධාරියකු සාමණේර හිමියන් අසලට ගොස් උන්වහන්සේ සනසාලීමට විවිධ උපක්‍රම භාවිත කළත් අම්මා හැරෙන්නට වෙනත් විකල්පයක් සාමණේර හිමියන්ට නොමැති බව දැකගන්නට ලැබිණි. උන්වහන්සේ සනසාලීමට පොලිස් නිලධාරියා බොහෝ උත්සාහ කළත් අම්මා ඕන මට, අම්මා ඕන යනුවෙන් පවසමින් උන්වහන්සේ හඬා වැටුණහ. 

මව හා පියා විවාහයෙන් වෙන්වීමට අනුරාධපුර අධිකරණයේ නඩු පැවැරීම නිසා වයස අවුරුදු 15ක්, 12ක් හා 6ක් වන දරුවන් තිදෙනා අන්ත අසරණ භාවයට පත්වී ඇතත් ඔවුන් දෙදෙනාටම ඒ පිළිබඳව කිසිදු හැඟීමක් හෝ දුකක් ඇති බවක් ඔවුන්ගෙන් දක්නට නොලැබිණි. වයස අවුරුදු 15ක් හා 6ක් වන දරුවන් දෙදෙනාම ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා සසුන්ගතවී තිබෙන අතර වයස අවුරුදු 12ක් වන සහෝදරිය හැදී වැඩෙන්නේ ඥාති නිවෙසකය. 

දරුවන් තිදෙනාටම අම්මා දකින්නට ලැබෙන්නේ අධිකරණයේ දික්කසාද නඩුව විභාගයට ගැනෙන දිනයකදීය. නඩුව විභාග වන අවස්ථාවේ අම්මා දකින්නට පැමිණි සාමණේර හිමියන්ගේ දෑස් අගින් කඳුළු කැට කඩා වැටෙන ආකාරය අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට හා අධිකරණ සේවකයන්ට දක්නට ලැබිණි. සාමණේර හිමියන් අස්වසාලීමට අනෙක් සාමණේර හිමියන් වන අයියා බොහෝ උත්සාහ කළත් උන්වහන්සේ අත්දෙකින් මුහුණ වසාගෙන සාක්ෂි දෙමින් සිටි අම්මා දෙස බලමින් කඳුළු සැලූහ. 

මෙම සිදුවීම දුටු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු කුඩා සාමණේර හිමියන් ආසන්නයට ගොස් උන්වහන්සේට විවිධ දේවල් අරගෙන දෙන්නදැයි ඇසූවත් ඒ කිසිවක් අවශ්‍ය නැති බව කියමින් අම්මා ඕන අම්මා ඕන යනුවෙන් පවසමින් හඬා වැටුණහ. 

නඩු කටයුත්ත අවසන්වී මව අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි වහාම ඇය අසලට දිවගිය සාමණේර හිමියන් අම්මා තුරුලට ගොස් ඇයගේ ඇඟේ දැවටෙමින් තමන් තවමත් අම්මාගේ කුඩා පුතු බවත් පවසමින් සෙනෙහස පැතූ අතර අම්මා සමඟ සිටි අක්කාගේ ඇඟේ දැවෙටමින් ඇයගේ මුහුණ සිප ගනිමින් අධිකරණ භූමියේදී විවිධ පුද්ගලයන් පූජා කළ මුදල් හා වෙනත් දේ පෙන්වමින් බොහෝ දේ ඇයට පවසන අයුරු කාහටත් දැකගත හැකිවිය. 

මවු සෙනෙහස අහිමිව සහෝදර බැඳීම් අහිමිව ඒ සියල්ල හදවතේ සිරකරගෙන කසාවත පැලඳ සිටින කුඩා සාමණේර හිමියන්ගේ හැඟීම් වටහාගත් අධිකරණයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් මෙන්ම පොලිස් නිලධාරීන් බොහෝ දෙනකුගේ දෑස් අග කඳුළු කැට නතර වී තිබූ අයුරු දක්නට ලැබිණි. 

දරුවන් හැදුවත් දරුවන් තිදෙනා පිළිබඳව මවට හෝ පියාට කිසිදු හැඟීමක් නොමැති බව ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් හැඟී ගිය අතර මවගෙන් දරුවන් පිළිබඳව විමසූ විට මට ඒ ගොල්ලන් හදාගන්න විදිහක් නෑ. ඒකයි දෙන්නෙක් සසුනට භාරදුන්නේ. දුව ඥාතීන්ට දුන්නේ. මම දැන් ඉන්නේ කොළඹ. යනුවෙන් පවසමින් ඇය අධිකරණ භූමියෙන් පිටවී ගියාය. 

මහේෂ් විජේසූරිය 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com