www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්ලාස්ටික් දුරු කිරීමට ලංකාවයි රටවල් 170කුත් එකඟයි


2019-03-25 10:29:44 -  197 යි

බොම්බි සුළි කුණාටුව ඇමෙරිකාවට කඩා වදින විට ජගත් පරිසර සමුළුව නිමාවට පත් වී පැය 24 ක්වත් ගත වී තිබුණේ නැත. ඉන් පෙනී යන්නේ වාර්ෂිකව පරිසර සමුළු පැවැත්වුවද, තවමත් මෙවන් ආපදා වළක්වා ගැනීමට හෝ ලෝකය සමත් වී නොමැති බවය.

බොම්බි සුළි කුණාටුව නිසා නෙම්බ්‍රෙස්කා ගුවන්තොටුපොළ ගංවතුරට යට වී ඇති අතර එම ප්‍රදේශවලට බලපෑ වාර්තාගත ගංවතුරක් ලෙස මෙය සැලකේ.

ලෝකය උණුසුම්වීම, මහා පරිසර විනාශ මැද පැවැත්වූ ජගත් පරිසර සමුළුව යනු පරිසරය පිළිබඳ තීරණයන්ට එළැඹෙන ලොව ඉහළම පෙළේ සාකච්ඡා මණ්ඩපයයි. ඊට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම නියෝජනය කරමින් රාජ්‍ය නායකයෝ, පරිසර ඇමැතිවරු මෙන්ම බහුජාතික සමාගම්වල ප්‍රධානීහු ද සහභාගි වෙති. මෙවර එම පිරිස 5000 කට ආසන්න විය.

මෙවර සමුළුවේදී මූලික අවධානය දිනාගත් මාතෘකා අතර දිළිඳුකම, ස්වාභාවික සම්පත් කළමනාකරණය හා ඊට බලපාන්නා වූ පාරිසරික අභියෝග, ධරණීය ආහාර රටාවක්, ආහාර සුරක්ෂිතතාව, ජෛව විවිධත්ව විනාශය, බලශක්තිය හා බලශක්ති කාර්යක්ෂ්මතාව, රසායනික ද්‍රව්‍ය හා කසළ කළමනාකරණය, ධරණීය ව්‍යාපාර සංවර්ධනය හා නවෝත්පාදනයද තිබිණි.

සාමාජික රටවල් අර්බුදයේ තරම තම තමනට දැනෙන තැනින් පටන්ගෙන ඒ මාතෘකා ඔස්සේ සිය යෝජනා ඉදිරිපත් කළහ. මැත කාලීනව දශක කිහිපයක් තිස්සේ සෑම පරිසර සමුළුවකම ප්‍රධාන අවධානය යොමුකර ගන්නා ගෝලීය උණුසුම ඉහළ නැගීම මෙවර සමුළුවේද කේන්ද්‍රීය මාතෘකාවකි. මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස ධ්‍රැව ප්‍රදේශවල හිමකඳු ඛාදනය වීමට පටන්ගෙන ඇති අතර එය සාගර මට්ටම ඉහළ දැමීමට හේතු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින වැනි දූපත් රාජ්‍ය සාගරයට යටවනු ඇතැයි බිය පළ වී ඇත්තේ වසර ගණනාවක පටන්මය. ධරණීය නොවන ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියක යෙදී සිටින ලෝකයට නිෂ්පාදනය තව තවත් වැඩිකරමින් වැඩි වැඩියෙන් ආදායම් ඉපැයීම හා ලාභය උපරිම කර ගැනීම මිස එවැනි තත්ත්ව වැදගත් වී ඇතැයි පෙනෙන්නට නැත.

මීට වසර කිහිපයකට පෙර තිබුණාට වඩා ශ්‍රී ලංකාවටද මෙකී දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් දැනෙමින් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත්තේ ස්වාභාවික ආපදා අවදානම සැලකිල්ලට ගත් විට ලොව දෙවැනි තැනට ඇති රාජ්‍ය වශයෙනි. අපට ඇති සාගර සම්පත්ද ශීඝ්‍රයෙන් දූෂණය වෙමින් ඇති බව පර් යේෂණ මගින් පෙන්වා දී තිබේ.

ගෝලීය උණුසුම ඉහළ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වායුගෝලයේ හරිතාගාර වායු සංයුතිය ඉහළ යාමය. ඊට බලපා ඇත්තේ ධරණීය නොවන නිෂ්පාදන හා කාර්මික ක්‍රියාවලියයි. ධරණීය නොවන පරිභෝජන රටාවයි. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ දැමීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙස ගවමස් සැකසීමේ ක්‍රියාවලිය හඳුනාගෙන තිබේ. ලොව බලවත් රටවල් මාංශ පරිභෝජනය අඩු කිරීම ගැන අවධානය යොමු කරන තැනටම එය බලවත් වී ඇත.

පරිසර සමුළුවේ සභාපතිවරයා අනාගතයේදී හරිත කරපටි රැකියා නිර්මාණය වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නේය. එය අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා ආයෝජන කළ යුතු යැයිද පෙන්වා දී තිබේ.

ජගත් පරිසර සමුළුව ගෝලීය ආර්ථිකයට හා සමස්ත සමාජයට ඇති කරනු ඇති බලපෑම කෙබඳු දැයි අවධානය යොමුව පවතී. සභාපතිවරයාගේ අදහස එය ධනාත්මක බලපෑමක් වනු ඇති බවය. පාරිසරික නීති හේතුවෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අසාධාරණයක් වී ඇතැයි මතු වූ හඬනැගීම් ගැනද මෙහිදී අවධානය යොමු කිරීමට සිදු වේ. ලෝකයේ වැඩිම සම්පත් පරිභෝජනය කරනුයේ වැඩිම පාරිසරික හානි සිදුකරන බලවත් රටවල් අතලොස්ස විසින් බව පැහැදිලි කාරණයකි. වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම සෙල්සියස් අංශක 1.5 කින් අඩුකරගත යුතුය යන්න දැනට ලොව හමුවේ ඇති ඉලක්කයයි. එය සපුරා ගැනීමට නම් හරිතාගාර වායු නිදහස් කිරීම 45% කින්වත් අඩු කළ යුතුය.

එහෙත් 1970න් මෙපිට දත්ත විමසන විට පෙනෙනුයේ හරිතාගාර වායු මුදාහැරීම 43% කින් වැඩි වී ඇති අයුරුය. පොසිල ඉන්ධන දහනය ඉහළ ගොස් තිබීම ඊට බෙහෙවින් බලපා තිබේ. පොසිල ඉන්ධන පරිභෝජනයට අදාළව වැඩිම විවිධත්වයක් පෙන්නුම් කර ඇත්තේ 20 වැනි සියවසේදීය. චීනය සිය බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් ගල් අඟුරු දහනයෙන් සපුරා ගන්නා විට ආර්ජන්ටිනාව 60% ක් සපුරා ගන්නේ ගෑස්වලිනි.

ජගත් පරිසර සමුළුවේ 4 වැනි සැසිවාරයේදී වසර 2030 වන විට ප්ලාස්ටික් භාවිතය තීරණාත්මක ලෙස අඩු කිරීමට රටවල් 170 ක් එක්වීම විශේෂ කාරණයකි. අප ජීවත්වන්නේ හැමදේම ප්ලාස්ටික් වූ ලෝකයක කියන තරමටම ප්ලාස්ටික් ප්‍රබල හා ලාභදායී ආදේශකයක් ලෙස මතුව තිබේ. මේ වන විට සමුද්‍ර දූෂණයට ප්‍රධාන හේතු කාරකයක් ලෙස ක්ෂුද්‍ර ප්ලාස්ටික් හඳුනාගෙන තිබේ. එදිනෙදා ජීවිතයේ ඇති කර තිබෙන පහසුව ප්ලාස්ටික් නිසා සෞඛ්‍යයට එල්ල වී ඇති තර්ජනය සමග ගැළපීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. පරිසර සමුළුවේදී ඇතිකරගත් එකඟතාවන්ට අනුව ප්ලාස්ටික් බෑග් භාවිතය වසර 2025 වන වට සැලකිය යුතු ලෙස අඩු කෙරෙනු ඇත. සෑම වසරකදීම සාගරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 8 කට වැඩි බව ගණනය කර ඇත. මුහුදු ජීවීන්ට අත්වන ඉරණම ගැන නිශ්චය කිරීමට ඊට වැඩි සාධක අවශ්‍ය නොවේ. කෙසේ වුවද, ප්ලාස්ටික් තහනම ගැන තවමත් ඇමෙරිකාව වැනි රටවල් එරෙහි වෙති. ඒ දශකයක් තුළ සාගරයේ ගොඩගැසෙන ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් තිබියදීය.

ආහාර අපතේ යාම අවම කළ යුතු බවටද මෙවර එකඟතාවක් ඇති විය. ධනවත් රටවල අධි පරිභෝජනය මෙන්ම විශාල වශයෙන් ආහාර අපතේ හැරීම කාලයක පටන් සාකච්ඡාවට ලක්වෙමින් ඇති කාරණයකි.

සාකච්ඡා කිරීම හොඳය, තීන්දු, තීරණවලට එළැඹීම ඊටත් වඩා හොඳය. එහෙත්, ඒවායේ ප්‍රතිඵල නෙළා ගැනීමට වඩා ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුය. එතැනදී නම් තවමත් ලෝකයට සතුටුවිය නොහැකි බවට බොම්බි සුළි කුණාටුව ඇති කළ බලපෑම් වුවද නිදසුනකි...

ධම්මික සෙනෙවිරත්න

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com