www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුද්දෙට අපි ගියා....


2019-03-25 10:20:54 -  232 යි

විදේශගතවන සෑම අවස්ථාවකම අත්අඩංගුවට ගැනීමේ අවදානමට මුහුණ දෙන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියකු ශ්‍රී ලංකාවේ සිටිතැයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු වන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා ප්‍රකාශ කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ ඉකුත් ජනවාරි 09 වැනිදා සිට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ දෙවැනි පුටුව වන මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමග ය. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන්නටත් පෙර ඇය කළ ප්‍රකාශය විශේෂයෙන් සලකා බැලිය යුත්තකි.

යස්මින් සුකා කරළියට පැමිණ ඇත්තේ නිකම්ම නොව වන්නි මානුෂීය මෙහෙයුමේදී ​කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට සුවිශේෂී මෙහෙවරක් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන ජාත්‍යන්තර මෙහෙයුමේ එක් පියවරක් වශයෙනි. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඔවුන්ගේ අරමුණ හෙළිදරව් විය.

 

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව කියමින් ජිනීවා මානව හිමිකම් සමුළුවෙදී යස්මින් සුකා සහ දෙමළ ඩයස්පෝරාවේ අය හඬ නැගුවේ, ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවත්, ඒ නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු බවත් කියමිනි.

​මේජර් ජෙනරාල් සිල්වා ගැන අප විසින් සකස් කොට ඇති සැලකිය යුතු තරමේ​ තොරතුරු ගොනුවක් ඉක්මනින්ම ප්‍රසිද්ධියට පත් කිරීමට බලාපොරොත්තු වෙමු. අවස්ථාව උදා වූ විටක ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට වුවමනාවටත් වඩා සාක්ෂි ඇති බව අපගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඕනෑ කර තිබෙන පුද්ගලයා මොහු බවට තර්ක කළ හැකිය. ඉතාම කනගාටුදායක කරුණ වන්නේ දශකයක් ගත වී තිබියදීත් ඔහුට එරෙහිව නඩු පවරනු වෙනුවට තව තවත් උසස් කරනු ලැබීමයි. එසේ කියන්නේ යස්මිත් සුකා ය. ඒ මීට මාස දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයට ද අභියෝග කරමිනි.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනපතිවරයා විසින් ගත් තීන්දුව යස්මින් සුකාට අනුව බාල ගණයේ වැඩකි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනය කළේත් බරපතළ චෝදනාවලට මුහුණ දී සිටින පුද්ගලයන්ට නැවත නැවතත් උසස්වීම් ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව අපරාධකරුවන් ආරක්ෂා කරමින් සිටීම ගැන අවධානය යොමුව ඇති බවය.

2015 දී යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් ජගත් ඩයස් පත් කළ අවස්ථාවේත් විපකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඊට විරෝධය පළ කළේය.

මේ අතර ලංකාවේ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමන වන්නි අවසන් මෙහෙයුමට නායකත්වය දුන් සේනාංකාධිපතිවරුන් අණ දෙන නිලධාරීන් ඇතුළු හැට හත් දෙනෙකු යුද අපරාධකරුවන් සේ සලකන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලී බැච්ලට් ඉකුත් සතියේ තීරණය කළාය. ඒ අනුව, ඔවුන් තම රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව යුරෝපා රටවල් දාහතකටම ලැබිණි.

යුද්ධය අවසන් වූ දා පටන් යුද්ධයේ සෙන්පතියන් වූ මේජර් ජනරාල්වරුන් වන ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා, චාගී ගාල්ලගේ, ප්‍රසන්න ද සිල්වා, කමල් ගුණරත්න, නන්දන උඩවත්ත යන නිලධාරීන් විදෙස් රටවලදී කොටු කරන්නට විදේශගත කොටි ජාලය උත්සාහ ගත්තේය. අපි මේ කාරණය විමසා බැලුවෙමු.

රට​ බේර ගත්ත නිසා දැන් මම අපරාධකාරයෙක්

- චාගී ගාල්ලගේ

මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ලන්ඩනයට ගිය මොහොතේ අත්අඩංගුවට ගැනීමට දෙමළ ඩයස්පෝරාව උත්සාහ ගත්තේ 2010 දීය. ඔහු සිය අතීත මතකයන් සිහියට නගන්නේ මෙසේය.

ජනාධිපතිවරයාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයකට ආරාධනාවක් ලැබුණා. සතියකට කලින් මම හමුදා නිලධාරීන් සමග එහි ගියා. අපි පූර්ව ආරක්ෂක කටයුත්තක් සඳහා මුලින්ම ගියේ. මම එතකොට ජනාධිපති ආරක්ෂක සේනාව භාරවයි හිටියේ.

දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිතුමා ලන්ඩනයට එන දිනයේම විරෝධතා පැවැත්වීමට සූදානම් කරලා තිබ්බා. මාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා කියලා දැනගත්තා. ජනාධිපතිතුමා ලන්ඩනයට බහිද්දිම විරෝධතා ලෑස්ති කරල තිබුණා. මාව අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක් ගන්න ඩයස්පෝරාව සූදානම් වන බව බුද්ධි අංශ මට දැනුම් දුන්නා.

තත්ත්වය බැරෑරුම් කියල දැනගත්තම ජනාධිපතිතුමා මටයි මාත් එක්ක ගිය ටීම් එකටයි ලංකාවට යන්න කිව්වා. මගේ කාර්යභාරය වුණේ ජනපතිට ආරක්ෂාව සැපයීමයි. මගේ වගකීම අතැරලා යන්න බැහැ කියලා මම ඒ මොහොතේ දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමාත් ආපු කණ්ඩායමත් එක්කම දේශනය තියන්නේ නැතිව ලංකාවට යමු කිව්වේ. මම නැවතිලා හිටපු හෝටලය අසලදී ඩයස්පෝරාව උද්ඝෝෂණය කරන්න ගත්තා. හෝටලයේ වෙන තැනකින් එළියට ඇවිත් ප්‍රසන්න සිල්වා එක්ක තමයි එයාර් පෝට් එකට ආවේ.

මගේ සහෝදරයාගේ විවාහ සංවත්සරයට ඔස්ට්‍රේලියාවට යන්න ලැබුණු ආරාධනාවට එහේ යන්න වීසා ගන්න ගියාමත් වීසා ප්‍රතික්ෂේප වුණෙත් අපි යුද අපරාධකාරයන් ලෙස හංවඩු ගසන්නට ඩයස්පෝරාව කරන මෙහෙයුම් නිසයි.

මම මේ රට වෙනුවෙන් අවුරුදු තිස්පහක් සේවය කරලා වෝ ක්‍රිමිනල් කෙනකු (යුද අපරාධකරුවකු) විදියට සන්තෝෂෙන් එළියට යනවා. රජයෙන් ලැබුණු තෑග්ග තමයි මාව යුද අපරාධකාරයෙක් ලෙස එළියට යවන එක. අපි කරපු සේවයට යුද අපරාධකාරයෙක් කියල නම්බු නාමයක් විතරයි රටට කරපු සේවයට ලැබුණෙ. මේජර් ජනරාල් චාගි ගාල්ලගේ එසේ කියනු ඇසුණේ ඔහු හමුදාවෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ පැවති සමුගැනීමේ සාදයේදී කළ කතාවෙනි.

දුවගේ උපාධි උත්සවයට යන්නත් තහංචි වැටුණා

- ප්‍රසන්න ද සිල්වා

මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මීට මාස තුනකට පෙර තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට ඔස්ට්‍රේලියාවට යාමට වීසා අයැදුම් කරන්නට ගිය මොහොතේ ඔහුටද ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කෙරෙන්නේ යුද අපරාධකරුවකු ලෙස හංවඩු ගසන්නට යන ඩයස්පෝරා මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය.

අපි විනයගරුක යුද හමුදාවකටයි අණ දුන්නේ. මගේ පනස් පස්වන සේනාංකය යාපනය මුහමාලේ ආරක්ෂක වළල්ලේ සිට ඉදිරියට ගමන් කළේ අසීරු ගමනක්. අපි කොටි ත්‍රස්තවාදීන් පරාජය කළා මිස යුද අපරාධකරුවන් විදියට වැඩ කළ හමුදාවක් නෙවෙයි.

ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ හිටපු සිවිල් වැසියන් ලක්ෂ ගණනක් යුද මුක්ත කලාපය තුළින් බේරා ගෙන එන්නට අපේ සෙබළුන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමක් කළා. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි අහිංසක ජනතාව මුදාගෙන සෙබළුන් කන්න තිබුණු කෑම එක පවා ඔවුන්ට පරිත්‍යාග කළා. එවන් මානුෂීය මෙහෙයුමක නිරත හමුදාවකටයි මේ යුද අපරාධ චෝදනා නගන්නේ.

මේක රටක් විදියට ගත්තොත් විශාල ප්‍රශ්නයක්. යුද්ධයට සහභාගි වුණු නිලධාරීන්ට රටවල්වලට යන්න බැහැ. විදේශ හමුදා පුහුණුවීම් ලැබෙන්නේ නැහැ. පාට පක්ෂ භේද අතැරලා මේ ප්‍රශ්නයේදී අපි රටක් විදියට එකතු විය යුතුයි. දේශපාලනිකව අපි බෙදිලා ඉන්නකම් මේ වගේ ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න වෙනවා. සියලු දෙනා එකතු වෙලා රටක් විදියට බලන්න කාලය ඇවිල්ලා.

හයිටි ගියෙත් ඇමරිකාව මගහැරලා

- ජගත් ඩයස්

යුද හමුදාවේ දෙවැනි පුටුවට පත්වූදා පටන් යුද අපරාධකරුවකු ලෙස ජාත්‍යන්තර බලවේග හංවඩු ගැසූ ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්ට යුද හමුදා සේවයේ සිටියදීම යුරෝපා රටවලින් මෙවැනි තහංචි එල්ල වූයේය.

ඒ පශ්චාත් යුද සමයේ මෙම රණවිරුවන් රැක ගැනීමට කිසිදු පාලකයකු නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට අසමත් වූ නිසාය.

අපි ලොව දරුණුම ත්‍රස්ත සංවිධානයක් පරාජය කළ හමුදාවක්. අපේ සටන තිබුණේ ත්‍රස්තවාදීන් එක්ක පමණයි. ජාත්‍යන්තරය නගන චෝදනා අනුව අපි රෝහල්වලට ගැහුවේ නැහැ. අපි කළේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ හිටපු අහිංසක සිවිල් වැසියන් මුදා ගැනීමයි.

මගේ 57 වැනි සේනාංකය යුද බිමේ අසීරුම ගමන් මාර්ගයේ ඇරඹූ වන්නි මානුෂීය මෙහෙයුම කොටි නායක ප්‍රභාකරන්ගේ අවසානය දක්වාම සියලු බාධක මැදින් ජිවිත පරිත්‍යාගයෙන් ගිය ගමනක්. අපි මේ භාරදූර කර්තව්‍යය කළේ ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමටයි. අපි යුද්ධ ක‍ළේ රට වෙනුවෙන්. ජාත්‍යන්තරය මොනවා කිව්වත් ජාතික මට්ටමින් අපිව නියෝජනය කරන්න ඕන. රටක් විදියට අපිත් එක්ක හැමෝම ඉන්න ඕන.

අපිට රටවල්වලට යන්න බැරි වුණා කියලා දුකක් නැහැ. අපිට අපේ රටේ හරි නිදහසේ ඉන්න දෙන්න ඕන. ඒ මේජර් ජෙනරාල් ජගත් ඩයස් කියන කතාවය.

මම හමුදාවේ ඉන්නකොට රාජකාරි සඳහා තුන්පාරක් හයිටි යන්න වුණා. පළවැනි වතාවේ ඇමෙරිකාව හරහා ගිහිල්ලා හයිටිවල හිටපු ගජබා බැටෑලියන් එකේ විසිට් එකක් කළා. ඒ රෙජිමේන්තු අධිපති විදිහටයි.

ලංකාවට ආවට පස්සේ ගජබා බැටෑලියන් එකේ විසිට් එකකට හමුදා මූලස්ථානයෙන් හයිටි යන්න මාව නම් කළා. ඇමෙරිකාව හරහා යන්න ගියාට වීසා දුන්නේ නැහැ. අන්තිමට මම ප්‍රංශයට ගිහින් ඩොමිනිකන් රිපබ්ලික්වලට ගිහින් තමයි හයිටි ගියේ. මම හයිටි ගියාම යූ.එන්. ඔෆිස් එකේ අය සලිත​ වෙලා හිටියා. මම එයි කියලා කවුරුත් හිතුවේ නැහැ. මම ඒ අභියෝග භාරගෙන ගියේ ම​ගේ බළඇණිය එහෙ තිබුණු නිසයි. ප්‍රංශයේ ගුවන් තොටුපොළේදී මගේ පාස්පෝට් එක තියාගෙන රඳවාගන්න හැදුවත් ඒ වෑයමත් හරිගියේ නැහැ.

ආයෙත් පාරක් මට හයිටි යන්න වුණේ මම විධායක ජෙනරාල් ලෙස හයිටියේ සෙබළුන්ගේ විනය පරීක්ෂණයකට යා යුතු වූ නිසයි. මාත් එක්ක නීති අධ්‍යක්ෂ, ප්‍රෝ මාර්ෂල් (යුද හමුදා පොලිස් ප්‍රධානී) තුන් දෙනාම යවන්න වීසා අයැදුම් කළා. ඇමෙරිකානු එම්බසියෙන් මට වීසා ප්‍රමාද කළා. අන්තිමට මම ආයෙත් ප්‍රංශය හරහා හයිටි ගියේ. ඒ ගමනේදී කස්ටම් ඔෆිසර්ලා එක්ක ඩයස්පෝරාව මාව කොටු කරන්න දෙපාරක් උත්සාහ කළත් ඒ සැලසුම්වලට මාව කොටු කරන්න බැරිවුණා.

රටේත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට මුල් වූ සෙන්පතියකු මේජර් ජෙනරාල් ජගත් ඩයස් හමුදාවේ දෙවැනි පුටුවට පත් කළ මොහොතේ යස්මින් සුකා ප්‍රමුඛ විදෙස් බලවේග කළ බලපෑම් හමුවේ යහපාලන රජය ඔහුව හමුදාපති පුටුව පෙනි පෙනීම විශ්‍රාම යාමට ඉඩ හැරියේය.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්නටද මානව හිමිකම් චෝදනා නැගුණේ උතුරු සටන්බිමේ සිට ප්‍රභාකරන්ගේ අවසානය දක්වා 53 වන සේනාංකයට අණ දීමේ වරදටය. තම දියණිය සමග ඔස්ට්‍රේලියාවට යාමට ගිය මොහොතක ඔහුටද වීසා දීම ප්‍රතික්ෂේප කළේ යුද අපරාධ චෝදනා මතය.

අපි යුද අපරාධ කරපු හමුදාවක් නෙවෙයි. මානුෂික මෙහෙයුමක් කරපු හමුදාවක්. එල්.ටී.ටී.ඊ. තුවක්කු බලයෙන් තියාගෙන හිටපු සිවිල් මිනිස්සු මුදාගත්ත හමුදාවක්. ඒ මිනිස්සු බේරාගෙන කන්න බොන්න දීලා බෙහෙත් කරල මැණික් ෆාම්වල තියල ඔවුන්ගේ ඉඩම්වල යළි පදිංචි කෙරෙව්වා. ඒ ඉඩම්වල කොටි දාපු බෝම්බ මරඋගුල් ගැලෙව්වෙත් හමුදාවයි.

චීනය, රුසියාව, පුදුම වෙනවා ඇයි උඹලගේ මීනිවළ උඹලම කපා ගන්නේ කියල

- කමල් ගුණරත්න

කොටි ත්‍රස්තයන් දොළොස්දහස් හතළිස් දෙකක් පුනරුත්ථාපනය කරලා දෙමාපියන්ට භාරදුන්නේ අපියි. අපි යුද අපරාධ කරපු හමුදාවක් නම් ඒ අයවත් මරලා දාන්න තිබුණා.

දැන් පණ්ඩිතයෝ ඇවිත් සංහිඳියාව ගැන කතා කරනවා. රජ කාලේ ඉඳන් සෑම ආගමකම මිනිසුන් සහජීවනයෙන් ජීවත් වුණා. අපට අලුතෙන් සංහිඳියාවක් උගන්වන්න ඕන නැහැ.

ත්‍රස්තවාදයෙන් බැට කෑ දෙමළ ජනතාව බේරාගෙන අපි ඒ අයට යළි ජීවිතය දෙන්න ඉඩම් සුද්ද කරද්දි කොටින්ගේ බෝම්බවලට අපේ සෙබළුන් කී දෙනකුගේ කකුල් නැතිවුණාද කියල ඔය සංහිඳියා කාරයෝ දන්නේ නැහැ. මෙච්චර දෙයක් කළ හමුදාව යුද අපරාධ කළා කියලා හංවඩු ගහන්න යනවා. ආණ්ඩුව එයට සහාය දෙනවා. චීනය, රුසියාව, වැනි රටවල් පුදුම වෙනවා ඇයි උඹලගේ මීනිවළ උඹලම කපා ගන්නේ කියලා. මේ රජයට රට දෙකඩ කරන්න ජනතාව භාර දුන්නේ නැහැ.

තුන්පාරක් කොමිසම් ඉදිරියේ පෙනී සිටියා

- ශවේන්ද්‍ර සිල්වා

වන්නි මානුෂීය මෙහෙයුමේ 58 වන සේනාංකයට නායකත්වය දුන් ජිනීවා මානව හිමිකම් සමුළුවේ වැඩිපුරම කතාබහට ලක්වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියන්නේ මෙසේය.

මානව හිමිකම් කොමසාරිස්වරිය 58 වන සේනාංකාධිපතිට යුද අපරාධ චෝදනා ගේන්න හදනවා. වන්නි මානුෂීය මෙහෙයුමේදී ලෝකයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම කළේත් අපියි. අපේ හමුදාව කිසිම මොහොතක යුද අපරාධ කළේ නැහැ. කොටි ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් මිනිස් පළිහක් විදියට රඳවා ගත්තා. සිවිල් වැසියන් ලක්ෂ ගණනක් මුදා ගත්තේ අපේ වී​රෝදාර හමුදාවයි. එහෙම මානුෂීය මෙහෙවරක් කරපු හමුදාවකටයි මේ චෝදනා එල්ල කරන්නේ.

යුද අපරාධ චෝදනා එල්ල වෙද්දි ඒ ගැන සොයා බලන්නට ලංකා රජයෙන් පත් කළ විමර්ශන තුනකට 58 සේනාංකාධිපති ලෙස මා සහභාගි වුණා. උගත් හා පාඩම් කොමිසම, පරණගම කොමිසම යන ජනාධිපති කොමිෂන්වලදීවත් මට චෝදනා ඉදිරිපත් වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් යුද හමුදාව කළ විමර්ශනවලදීවත් මගේ සේනාංකයට යුද අපරාධ ​චෝදනා එල්ල වුණේ නැහැ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණු උසස්ම පරීක්ෂණවලට සහභාගි වුණත් අපට යුද අපරාධ චෝදනා නැගුණේ නැහැ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග වැඩිපුරම හැපෙන්නේ යස්මින් සුකාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තනතුර හොබවද්දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යස්මින් සුකා ප්‍රමුඛ එන්.ජී.ඕ. සංවිධානවල බොරු ප්‍රචාරවලට එරෙහිව සටනක් කර තිබුණේය.

යස්මින් සුකා අද ඔහුට එළවා එළවා පහර දෙන්නේ ඒ නිසාය. මේ අයුරින් යුද්ධය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ මේජර් ජෙනරාල්වරුන් සියලු දෙනාට අද ඩයස්පෝරාවේ බලපෑමට යටත් රට වලට යන්නට ඉඩක් නැත. එ් කොයි මොහොතේ හෝ යුද අපරාධ නගා ඔවුන් කොටුකරන්නට විදෙස් බලවේග සූදානම්ව සිටින නිසාය.

මූලාශ්‍ර මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com