www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාසල් නවීකරණයට දුන් මුදලින් විදුහල්පතිවරු A/C දාගෙන


2019-03-18 12:48:24 -  276 යි

පාසල් නවීකරණ කටයුතු සඳහා විදුහල්පතිවරුන් වෙත මුදල් රුපියල් ලක්ෂ විස්ස (20,00000/-) බැගින් පාසල් 77 ක් සඳහා රුපියල් පහලොස් කෝටියකට (1500,000000/-) අධික මුදලක් ලබා දී ඇතත් ඇතැම් විදුහල්පතිවරුන් එම මුදල් විදුහල්පතිවරයාගේ කාර්යාල කාමර වායුසමීකරණය කිරීමට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

දකුණු පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන පාදන යටතේ එක් පාසැලකට රුපියල් ලක්ෂ 20 බැගින් දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි පාසල් 77 ක් සදහා මෙම මුදල් ප්‍රධානය කර තිබේ.

මෙම මුදල් ප්‍රධානය කර ඇත්තේ සෘජුවම පාසැල් දරුවන්ට බලපාන කාරණා අළුත්වැඩියා කර ගැනීමට හෝ සකසා ගැනීම සඳහාය. මේ මගින් වැසිකිලි කැසිකිලි පද්ධති අළුත්වැඩියා කර ගැනීම, ජල ව්‍යාපෘති සකස් කර ගැනීම, අබලන්ව ඇති පංති කාමර සකස්කර ගැනීම, ඩෙස් බංකු හිඟයට පිළියම් යෙදීම ආදී කාරණා සකස් කර ගන්නා ලෙසට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇතත්, ඇතැම් විදුහල්පතිවරුන් මෙම ලක්ෂ 20 මුදලින් විදුහල්පතිවරයාගේ කාර්යාල කාමරය වීදුරු ආවරණ යොදා පොළොවට ටයිල් අල්ලා වායුසමීකරණ පද්ධති සවිකරගෙන තිබෙන බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මෙම තත්ත්වය දරුවන්ගේ මුලික අවශ්‍යතාවයන් අමතක කර විදුහල්පතිවරුන් තමන්ගේ සුඛවිහරණය තර කරගෙන තිබෙන බවට හොදම සාක්ෂියක් බවද මව්පියෝ ප්‍රකාශ කරති. විදුහල්පතිවරුන් මෙසේ කටයුතු කරන්නේ දෙමාපියන් ලවා පංති කාමර අළුත්වැඩියා කර ගැනීම ආදිය සිදුකර ගැනීමට හැකි බව දන්නා නිසා යැයිද දෙමාපියල් අධ්‍යාපන බලධාරින්ට පැමිණිලිකර තිබේ.

දකුණු පළාතේ ඇල්පිටිය, අම්බලන්ගොඩ, උඩුගම, ගාල්ල, මාතර, මුලටියන, දෙනියාය, අකුරැස්ස, වලස්මුල්ල, තංගල්ල හා හම්බන්තොට යන කලාප අධ්‍යාපන බල ප්‍රදේශයන් 11 ක් තුළ ඇති අවම පහසුකම් ඇති පාසල් 77 ක් තෝරා මෙම මුදල් ලබා දී ඇත්තේ පාසල් තුළ දරුවන්ට අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු සිදු කිරීම සඳහා බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එක් පාසලක් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් වු චෙක්පත් විදුහල්පතිවරුන් වෙත කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් මඟින් මේ වන විටත් ලබා දී එම කටයුතු සඳහා නිර්නායක චක්‍රලේඛන විදුහල්පතිවරු වෙත ලබා දී තිබුණ ද එම චක්‍ර ලේඛන බරපතල ලෙස උල්ලංඝණය කරමින් හිතුමතේට ඇතැම් විදුහල්පතිවරුන් මෙසේ ක්‍රියාකර තිබෙන බවද අකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. පාසල් පද්ධතින් තුළ අනවශ්‍ය කටයුතු සිදු කර ඇති බවට තම අමාත්‍යාංශය වෙත මේ වන විටත් පැමිණිලි ලැබි ඇති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අංශය සදහන් කරයි.

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ මහවිල කනිෂ්ඨ විද්‍යාලය, ගනේගොඩ බෝගහ හන්දිය කනිෂ්ට විද්‍යාලය, මාර්තුපිටිය ප්‍රාථමික විද්‍යාලය, උතුරු මාගල විද්‍යාලය, කැටැන්දොල කනිෂ්ඨ විද්‍යාලය, අමුගොඩ මහා විද්‍යාලය යන පාසල් 06 ක් සඳහා ලක්ෂ 20 බැගින් මුදල් ලැබී ඇත. එම පාසල් ඉලක්ක ගත සංවර්ධන කටයුතු ඉටු නොවී විදුහල්පති කාමර වායු සමීකරණය කිරීම සඳහා මේ මුදල් වැය කර ඇති බවට ලැබී තිබේ. මෙම තොරතුරු මත සොයා බලා චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති විදුහල්පතිවරු ඇත්නම් ඔවුන් ට එරෙහිව විනයානුකූලව නිති මගින් කටයුතු කරන බවද දකුණූ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂිකා එන් දොඩම්පේගම මහත්මියගෙන් අපකල විමසීමකදී මෙසේ පැවසීය.

"ආර්ථික අතින් දුප්පත් පාසල් වල නවීකරණ කටයුතු සදහා රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දුන්නා. ඒ සදහා වූ චෙක්පත් ලබා දී එම පාසල් වල පවතින අඩුපාඩු සකස් කර ගැනිමට චක්‍රලේඛණයක් මගින් විදුහල්පතිවරුන්ට උපදෙස් දුන්නා. මෙම මුදලින් කල යුත්තේ මොනවාද කියන එක සම්බන්ධයෙන් එම චක්‍රෙල්ඛණයේ පැහැදිලිව සදහන් කර තිබෙනවා.මෙම මුදල් වලින් පාසල තුල සිදුකරන යම් ව්‍යාපෘතියක් ඇත්නම් ඒවා නියමිත පරිදි ඇස්තමේන්තු කර කාර්මික තාක්ෂණික නිලධාරින්ගේ උපදෙස් මත එම වැඩකටයුතු ඉටුකල යුතුයි. ඒ විදුහල්පතිවරුන්ට මුලින්ම අපි උපදෙස් දුන්න විදියට පාසල් තුළ ජල ව්‍යාපෘති, සිසු දරුවන්ගේ සනිපාරක්ෂක කටයුතු සදහා වු ව්‍යාපෘති, පන්තිකාමර අලුත්වැඩියාව, ආරක්ෂක තාප්ප ගේට්ටු ඩෙස්පුටු කබඩ් ලබා ගැනිම ආදියට ප්‍රමුඛත්වය දී එම මුදල් වැය කරන ලෙසද උපදෙස් ලබා දුන්නා. කලයුතු වැඩ පාසල් සංවර්ධන සමිතියේ යෝජනා ස්ථිරත්වයෙන් ද කල යුතු බවට කොන්දේසියක්ද පැනෙව්වා. නමුත් බොහොමයක් විදුහල්පතිවරුන් මව් දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයක් අරගෙන රුපියල් ලක්ෂ 20 වෙනුවට ලක්ෂ 40 ක පමණ වැඩකරගෙන තිබෙනවා.
එවැනි විදුහල්පතිවරුන් ඉලක්කකරගෙනයි, මේ ව්‍යාපෘතිය සකස් කරේ. ඇල්පිටිය කලාපයේ ඔය කියන පාසල් කිහිපයට ලබා දී ඇති මුදල් නිසි ලෙස භාවිතා කර නොතිබුණහොත් චක්‍ර ලේඛණය අනුව නියම විදියට විනයානුකූල පරික්ෂණයක් කර එවැනි විදුහල්පතිවරුන්ට දඩුවම් ලබා දීමට කටයුතු කරනවා" යැයිස පැවසීය.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com