www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කන්ට්‍රිකෝඩ් සහ ටොප් ලෙවල් ඩොනේම් ස්වභාෂාවෙන් ලැබූ පළමු රට ලංකාවයි


2019-03-18 07:33:27 -  314 යි

ස්වදේශීය භාෂාවන්ගෙන් පරිගණකය හැසිරවීම සඳහා යටිතල පහසුකම් සැපයීම මූලික අරමුණක් කරගත් වැඩපිළිවෙළක් 2002-2003 වර්ෂවල දී ආරම්භ විය.

ශ්‍රී ලංකාව, පකිස්තානය, බංග්ලාදේශය, භූතානය වැනි රටවල් ගණනාවක් එම වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා තෝරාගත් රටවල් අතරට එක්ව තිබුණේය. ෆෑන් ලෝකලයිසේෂන් ව්‍යාපෘතිය මගින් එම වැඩපිළිවෙළ සඳහා පහසුකම් සපයන ලදී. ඊට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු වුණේ IDRC හෙවත් අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණායතනය නම් කැනේඩියානු ආයතනය මගින්ය. ෆෑන් ලෝකලයිසේෂන් ව්‍යාපෘතිය භාර ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහාචාර්ය සර්මදිය. මේ පිළිබඳ මූලික හැඳින්වීමක් මෙම ලිපිපෙළට අදාළව පසුගිය සතියේ පළකෙරිණි.

එහිදී ෆෑන් ලෝකලයිසේෂන් ව්‍යාපෘතිය ලෝකයේ විවිධ රටවල පරිගණක පිළිබඳ විශේෂඥ දැනුම ඒ ඒ රටවල් අතර හුවමාරු කරගැනීමට ද අවස්ථාව උදාකර දෙන ලද්දකි.

2002 වර්ෂය පමණ වන විට පකිස්තානය ද පරිගණක තාක්ෂණය අතින් ඉහළ මට්ටමක සිටියේය. පකිස්තානය ස්වදේශීය භාෂාවක් ලෙස උර්දු පරිගණකගත කිරීමටද ඔවුන් විශාල කාර්යභාරයක් ඉටුකර තිබුණේය. මහාචාර්ය සර්මද්ගේ මග පෙන්වීම ඊට ඉවහල් වන්නට විය. පකිස්තානයේ මෙම පරිගණක දැනුම අවට අනෙකුත් රටවල්වලට ලබාදීම ද අනෙකුත් රටවල්වල පරිගණක දැනුම බෙදාගැනීමට ද මහාචාර්ය සර්මද් වැඩපිළිවෙළක් සකස් කළේය. පකිස්තානයේ ලාහෝර් විශ්ව විද්‍යාලයේ පුහුණු වැඩමුළුවක් ආරම්භ කෙරුණේ ඒ අනුවය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය රුවන් වීරසිංහ සහ හර්ෂ විජයවර්ධන එම වැඩමුළු සඳහා සහභාගි වූහ.

ලාහෝර් විශ්ව විද්‍යාලයේ පාඨමාලාවෙන් විද්වතුන් ලද දැනුම භාෂා විද්‍යාගාරයේ පර්යේෂණයන්ට විශාල දායකත්වයක් සැපයීය. එම විදේශීය දැනුමත් දේශීය දැනුමත් එක්කොට භාෂා විද්‍යාගාරය මගින් නව නිර්මාණ රැසක් බිහි කළේය. ග්‍රැමර් චෙකර් ඉන් එක් නිර්මාණයකි. එමගින් සිංහල භාෂාවේ ණ, න, ල, ළ වැනි අක්ෂර ඇතුළු භාෂාවේ විභක්ති, නාමපද ක්‍රියාපද ආදී වෙනස් වීම් හඳුනාගැනීමට පරිගණකය හසුරුවන්නන්ට පහසුකම් සැලසීය.

තවත් නිර්මාණයක් වුණේ, වර්ෂ 1900 පමණ සිට සිංහල පුවත්පත්, ගුරුළුගෝමීන්ගේ සිංහල භාවිතය, මාර්ටින් වික්‍රමසිංහගේ සියලු ග්‍රන්ථ, පියදාස සිරිසේනගේ ප්‍රකාශන ආදී යුග නියෝජනය කරන සිංහල නිර්මාණ එක්තැන්කරන Porpus හෙවත් වාග්සංහිතාවක් බිහිකිරීමය.

මෙහිදී එම සියලු නිර්මාණ ඩිජිටල්කරණයට ලක්කොට යුනිකෝඩ් ප්‍රමිතියට ගබඩා කිරීමට පියවර ගත්තේය.

ඒ ඒ යුගවල සිංහල භාෂාවේ වෙනස්කම් හඳුනාගත හැකි මෙම වාග්සංහිතාව ශ්‍රී ලංකාවේ පවතින විශාලතම වාග්සංහිතාව වෙයි. එය කොළඹ විශ්ව විද්‍යාලයේ භාෂා විද්‍යාගාරයේ මේ වන විට තැන්පත්ව පවතී.

භාෂා විද්‍යාගාරයේ පවතින වාග්සංහිතාවේ ගබඩාකර ඇති දත්ත සිංහල භාෂාවෙන් දෙමළටත්, දෙමළ භාෂාවෙන් සිංහලටත් පරිවර්තනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ද සකස් විය. බඳවාගන්නා ලද උපාධිධාරීන්ගේ ද දායකත්වය ඇතිව එම කටයුතු සිදුකරන ලදී. මෙම සියලු පරිවර්තනයන් නැවත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ හැකි ලෙස ද පරිගණක වැඩසටහන් නිර්මාණය විය. එමෙන්ම පරිගණක හැසිරවීම පිළිබඳ දැනුවත් කෙරෙන විශාල පොත්පත් සංඛ්‍යාවක් ද පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් ද ප්‍රකාශයට පත් කිරීමට භාෂා විද්‍යාගාරය කටයුතු කළේය.

ඉන්පසු භාෂා විද්‍යාගාරයේ අවධානය යොමු වූයේ ස්වදේශීය භාෂාවෙන් ඉන්ටර්නැෂනල් ඩොනේම් ලබා ගැනීම කෙරෙහිය. ඩොනේම් වර්ග කිහිපයක් වෙයි. එකක් නම් ජෙනරික් ටොප් ලෙවල් ඩොනේම්ය. ලෝකයේ සැමට පොදුවේ භාවිතා කළ හැකි ලෙස අන්තර්ජාලයේ දැකිය හැකි Com, Org, Gov යන ඩොනෙම් ජෙනරික් ටොප් ලෙවල් ඩොනේම් ලෙස හඳුන්වයි. එය gTCD ලෙස සටහන් කෙරෙන අතර ඕනෑම රටකට භාවිතා කළ හැකි වේ.

කන්ට්‍රිකෝඩ් ටොප් ලෙවල් ඩොනේම් යනුවෙන් ඩොනේට් වර්ගයක් ද වෙයි. යම් රටක් නියෝජනය කිරීම සඳහා භාවිතා වන මෙම ඩොනේම් lk. UK. US. IN ෙලස නම් කොට ඇත. මෙය ccTLD සටහන් වෙයි.

අලුතෙන්ම හඳුන්වාදී ඇති ඩොනේම් වර්ගය වන්නේ රීජනල් ටොප් ලෙවල් ඩොනේම්ය. කලාපයක් නියෝජනය සඳහා මෙම ඩොනේම් භාවිතා වේ. ඒ asia. africa ලෙසය.

මෙලෙස ඩොනේම් ක්‍රියාත්මක වෙද්දී ජපානය, කොරියාව වැනි රටවල් ස්වභාෂාවෙන් ටොප් ලෙවල් ඩොනේම් භාවිතයට අවසර පතන්නට විය. 2003, 2004 වර්ෂ වන විට චීන, කොරියානු සහ ජපන් භාෂා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය පරයමින් අන්තර්ජාලයේ භාවිතය වැඩි වූයේය. ජපානය, කොරියාව වැනි රටවල් ස්වභාෂා ඩොනේම් යෝජනාව ගෙන එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ෆෑන් ලෝකලයිසේෂන් ව්‍යාපෘතිය මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට පෙලඹෙන්නේ ඒ අනුවය.

ශ්‍රී ලංකාවද ඒ මග යමින් ස්වදේශීය භාෂාවන්ගෙන් ශ්‍රී ලංකාවට ආවේණික ටොප් ලෙවල් ඩොනේම් ලබාගැනීමට උත්සුක විය.

2009 වර්ෂය වන විට ලංකා සහ ඉලංගෙයි යන ස්වභාෂා කන්ට්‍රිකෝඩ් ටොප් ලෙවල් ඩොනේම් ලෙස නම් වෙන්නේ එම ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙසය.

කන්ට්‍රිකෝඩ් ටොප් ලෙවල් ඩොනේම් දෙකක් ස්වභාෂාවෙන් ලබාගත් ලෝකයේ පළමු රට ලෙස ඉතිහාසයට එක්වන්නේ ද ශ්‍රී ලංකාවය.

භාෂා විද්‍යාගාරය මගින් ඉටු, තවත් කාර්යයක් ලෙස ටෙස් ටු ස්පීච් Test to Sperch වැඩසටහන හඳුන්වාදිය හැක. පරිගණකයට සිංහල භාෂාවේ හඬ ඇතුළත් කිරීම මෙම වැඩසටහනෙන් සිදු වූ අතර මෙය ඇසුරු කරගෙන පරිගණකයෙන් සිංහල හඬින් ටෙස්ට් එක හෙවත් පෙළ කියවා ගැනීමේ හැකියාව උදාවිය.

භාෂා විද්‍යාගාරයේ මේසා විශාල වැඩ කොටසකට දායකත්වය ලබාදුන් ලෝකලයිසේෂන් ව්‍යාපෘතිය 2014 වර්ෂයේදී අවසන් විය.

ඉන්පසු මෙම වර්ෂයේ (2019) මාර්තු මස 11 වැනිදා මොරටුව විශ්ව විද්‍යාලයේදී ද භාෂා පර්යේෂණාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. මහාචාර්ය ගිහාන් ඩයස් සහ මහාචාර්ය සහන් ජයවර්ධන යටතේ එම භාෂා පර්යේෂණාගාරය ක්‍රියාත්මක වෙයි.

මේ අතර ලෝකයේ අන්තර්ජාලය හැසිරවීම සඳහා අවශ්‍ය අන්තර්ජාල ලිපිනයන් නිකුත් කරන ආයතනය වන ICAN ආයතනය නව යෝජනාවක් ගෙන ආවේය.

ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන ස්වදේශීය භාෂාවලින්ම අන්තර්ජාලය හැසිරවීම සඳහා අවශ්‍ය රීති සම්පාදනය කරන ලෙස එම යෝජනාව ඉදිරිපත් විය.

ඒ අනුව කොළඹ, ගම්පහ ආදී ලෙස සිංහල භාෂා වන් ඩොනේම් භාවිතයට හැකියාව ලැබෙනු ඇත. මේ ගැන සොයා බැලීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් නම් කරන්නට යෙදෙයි. 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ඇරඹෙන මෙම විද්වත් කමිටුවේ රීති සම්පාදන වැඩ අවසන් වන්නේ 2019 මාර්තු මස 11 වැනිදාය. එම කමිටුවේ සම සභාපති වූයේ හර්ෂ විජයවර්ධන සහ රුවන් වීරසිංහ.

තුෂාර උඩවත්ත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com