www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙවැනියට කොටි ගැසූ කෙන්ට්ෆාම් ගම බලන්න ගිය ගමන


2019-03-04 09:59:38 -  537 යි

කල්‍යාණි පුර ග්‍රාමයේ ඇති එකම පාසල

කල්‍යාණිපුර ග්‍රාමයට ඇති එකම වැව (කල්‍යාණිපුර වැව)

පාසල් යන සිසුවියන් දෙදෙනෙක්

ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් විසින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සමූහ ඝාතනයක් කළේ මීට වසර 35 කට පෙරයි. එනම් 1983 නොවැම්බර් 30 වැනිදායි. මෙම ප්‍රහාරයන් එල්ල කළේ කෙන්ටි ෆාම් සහ ඩොලර් ෆාම් යන ගම්මානවලටයි. එදා ඩොලර් ෆාම් ලෙස හැඳින් වූ එම ගම්මානය අද හඳුන්වන්නේ ඇහැටුගස්වැව ලෙසයි. කෙන්ට් ෆාම් ගම්මානය අද හැඳින්වෙන්නේ කල්‍යාණි පුර 1 යනුවෙනි.

කෙන්ට් ෆාම් ගම්මානයට ජානපදිකයන් පදිංචි කරවන්නේ 1983 ජුලි මාසයේ දීයි. එම ජනපදය කරා පැමිණි අහිංසක ගම්වාසීන්ට අවශ්‍ය වූයේ ස්ථිර ජීවන මාර්ගයක් මෙන්ම සිය පවුල් සමග සතුටින් කාලය ගත කරන්නටයි. එවකට බන්ධනාගාර අධිකාරිවරයකු ලෙස සිටි බුලුමුල්ල හා ජයසේකර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ නව ගම්මාන ඉදිකෙරුණේ නිදහස ලැබූ වැරදිකරුවන් එම ගම්මානවල පදිංචි කරවීමටයි. ඔවුන් සිය පවුල් සිටින් නව ගම්මාන වෙත පැමිනුණේ දහසක් බලාපොරොත්තු පොඳි බැඳ ගනිමිනි.

හරියටම 1983 නොවැම්බර් 29 වැනිදා ගම්මානයේ පැවති සංවර්ධන සමිතිය රැස්වූයේ ගම්වාසීන්ගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් ගම සංවර්ධනය කර ගොවිතැන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. නිදහස ලබා පුනරුත්ථාපනය සඳහා මෙම ගම්මානයට විශාල ප්‍රමාණයක් පදිංචියට පැමිණියහ. සිය ග්‍රාම සංවර්ධන සමිතිය නිම වී සිය නිවෙස් වෙත පැමිණි ගම්වාසීහු නව ​ෙලාවක සුන්දර අත්දැකීම් ලබන්නට සිහින දකිමින් සිටියහ. ගම්මානය වටා රූස්ස වනය අතරින් හිරු බැස යද්දී සිය ගත සිතේ වෙහෙස නිසා දෝ ගම්වාසීහු කඩිනමින් නින්දට වැටුණහ. සිය කුඩා සිඟිත්තියන් තුරුලට ගෙන දහසක් බලාපොරොත්තු තැබූ ගම්වැසියන්ට ඇසුණේ රාත්‍රියේ උලමෙකුගේ සහ රැහැයියන්ගේ කන් දෙදරවන නාදයත් පමණි. තවත් තැනක සිඟිත්​ෙතක් කිරි ඉල්ලා හඬන ශබ්දයද විටින් විට ඇසුණි. එම ශබ්දය මැදියම තෙක් පැවතුණ ද ගම්වාසීහු සුව නින්දේ පසුවූහ.
වෙලාව පහුවදා අලුයම 5.45 ට ළඟා විණි. එහෙත් මිනිස් හඬක් තවමත් ගම්මානය තුළින් ඇසුණේ නැත. ක්‍රම ක්‍රමයෙන් අලුයම අරුණලු වැටෙන අතරතුර කුකුළන් හඬලන්නට පටන් ගත්තේ ගම්වාසීන්ට අලුයම උදා වී ඇහැරෙන්න යයි ඉඟි කරමිනි. එහෙත් ගතේ විඩා බර ගතිය නිසා ඔවුන් තවමත් නින්දේය.

ඒ මොහොතේ මාන බලමින් සිට ත්‍රස්තවාදියෝ ළහිරු කිරණින් රත් පැහැ ගැන්වුණු ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් ගම්මාන වෙත කඩා වැදුණහ. ඉතිහාසයේ ප්‍රථම වතාවට සමූහ මිනිස් ඝාතකයාගේ ගෝල බාලයන් සිය රාජකාරිය ආරම්භ කළේය. එදා වේල යාන්තමින් සපයා ගත් අහිංසක ජනතාව වෙත දිගින් දිගටම වෙඩි තබා ගම්මානය සුනු විසුණු කළෝය. ත්‍රස්තවාදීන් දිගින් දිගටම වෙඩි තබමින් ගම් වැදීමට පටන් ගැනීමත් සමග ගම්මු හිස් ලූ ලූ අත දිව ගියහ. ඇතැමුන් සිය දරු මල්ලන් ඇකයේ තබාගෙන කැලයට වැදුණේ සිය ජීවිත අවදානම නොතකමිනි. වගුරු බිම්වල වැටෙමින් විටෙක කටු පඳුරුවල ගැටෙමින් ගල් මුල් අතරින් පැමිණි ගම්වාසීන්ගේ දෙපා සිරී ලේ ගලන්නට විය. එහෙත් ඊට වඩා තම ජීවිතයේ වටිනාකම තේරුම් ගත් ගම්වාසීහු ආතක්පාතක් නොමැති රූස්ස කැලේ කාලය ගත කළහ. වෙඩි වැදුණු ඇතැම් ගම්වාසීහු බිම පතිත වී පො​ෙළාවේ පස් දෑතින් මිරිකා ගෙන අවසන් හුස්ම හෙලූහ. ඇතැමුන් දෑස් වසා ගනිමින් වෙන දෙයක් වෙච්චාවේ කියා පො​ෙළාවේ දිගා වූහ. එහෙත් වෙඩි ශබ්දය තවමත් ඉවරයක් නැත.

දිගින් දිගටම වෙඩි ප්‍රහාර එල්ල වුණා. මම දරු දෙන්නයි බිරිඳයි එක්ක පිටිපස්ස දොරෙන් කැලේට රිංගුවා පණ බේරා ගන්න. කැලේ මැදින් යන කොටත් වෙඩි වරුසාවක් එල්ල කළා. කැලේ මැදින් යද්දි මම එතන තිබූ නිවසකට ගොඩ වුණා. ඒ නිවසේ අයත් පණ බේර ගන්න කැලේට ගිහින්. එතකොටත් ඒ ගෙදර ළිපේ බතකුයි පරිප්පු හොද්දකුයි ඉදෙනවා

එ් මෙම බිහිසුණු ප්‍රහාරයට මුහුණ දී සිය දිවි ගලවා ගත් යූ.ජී. හේරත් බණ්ඩා මහතාගේ අත්දැකීමයි. අද සැඳෑ සමය ගත කරන හේරත් බණ්ඩා එදා දිවි ගලවා ගත් දරු දෙදෙනා සමග කාලය ගත කරයි. එදා ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් දරු දෙදෙනා අද තරුණ විය ඉක්මවා ගොස් විවාහ වී දරු මල්ලන් හදාගෙන කෙන්ට් ෆාම් ගම්මානයේ වාසය කරයි. මෙම සිද්ධිය පිළිබඳ අප සමග විස්තර කළ හේරත් බණ්ඩා මහතා,

අපිව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මෙම ගම්මානයේ පදිංචි කළා වැලිඔය ව්‍යාපාරය යටතේ. ඒ කාලයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිදහස් වෙන්න ආසන්නයේ සිටින සිරකරුවන් සිය පවුල් සමග කෙන්ට් ෆාම්වල පදිංචි කළා.

1983 අවුරුද්දේ ජුලි මාසයේ තමයි මම පදිංචියට ආවේ. මුල් කාලයේ කඳවුරුවල ඉඳලා පස්සේ තාවකාලිකව ගෙවල් හදලා පදිංචි වුණා. එතකොට කෙන්ට්ෆාම්වල විතරක් පවුල් 170 ක් සිටියා. ඩොලර් ෆාම්වල පවුල් 100 ක් විතර පදිංචි වෙලා සිටියා. ඔවුන් ඔක්කොම සිටියේ එකම ගොඩනැගිල්ලක. එක ගෙදරක පවුල් 5 ක් 6 ක් වගේ සිටියා. පස්සේ කැලයෙන් කොටන් කපා ටිකෙන් ටික නිවාස ඉදි කරගෙන පදිංචි වුණා
ප්‍රශ්නය කොහොමද කොටි ප්‍රහාරය පිළිබඳ ඔබගේ අත්දැකීම?

පිළිතුර කොටි ගහන සිද්ධියක් ගැන අපි දන්නේ නැහැ. අපිට ඒ වගේ අත්දැකීමක් තිබුණේ නැහැනේ. අපි ආවේ පදිංචියටනේ. ලංකාවේ පළමු වතාවට මිනිස් සංහාරයක් ඇති වුණේ මේ ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් කියන ප්‍රදේශවලනේ. ඒකට අපි තමයි මුලින්ම හසු වුණේ 1983 නොවැම්බර් 30 වැනිදා.

ප්‍රශ්නය ඒ සිද්ධිය පිළිබඳ විස්තර කළොත් ?

පිළිතුර අපි නොවැම්බර් 29 වැනිදා ගමේ සියලු දෙනා රැස්වුණා අපේ පොදු ප්‍රශ්න කථා කරන්න.

අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තිබුණේ පදවියේ.

ඉතින් අපේ ගැටලු සොයා බලා ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න පසුවදා නැවත රැස්වෙන්නයි සිටියේ. අපි සමිතිය අවසන් කරලා සවස 6 ට විතර නිවෙස්වලට ගියා. ඊට පසුවදා අලුයම වෙඩි සද්දයක් ඇසුණා. අපි හිතුවේ අලි පැනලා ඒක නිසා අලි වෙඩි පත්තු කළා කියලා. නමුත් ටිකක් වෙලා යන කොට විශාල ගිනි ජාලාවක් දැක්කා. ඒ එක්කම දුමක් ගියා. එන්න එන්නම වෙඩි සද්දෙත් වැඩියි. මම නැගිටලා එළියට ගියාම තුවක්කු දික්කර ගෙන ඉන්නවා මගේ දිහාවට. මම හිතුවේ හමුදාවෙන් කියලා. ඒත් මම බැලුවා හමුදාවෙන් මොකටද මට වෙඩි කියන්න හදන්නේ කියලා. මම බය වෙලා දරුවො දෙන්නත් අරගෙන කැලේට පැන්නා. මගෙත් සමග දෙමළ පවුලක් සිටියා. ඒ දරුවො දෙන්නත් අරගෙන අපි සියලු දෙනාම කැලයට පැන්නා. ඒ මනුස්සයාට වෙඩි වැදුණා. මමයි මගේ බිරිඳයි දරුවො දෙන්නයි වෙනත් ගෙදරකට ගිහින් බේරුණා. අපට පන්න පන්න වෙඩි තබන කොට මගෙත් එක්ක 25 දෙනෙකු විතර ආවා. ඒ ඔක්කොම මැරුණා

මම බලා සිටියදීම. මම හැංගිලා හිටිය ගේ වටේ තමයි හුඟ දෙනෙක් මැරිලා වැටිලා හිටියේ. මම ඒ ගෙදරට වෙලා හැංගිලා හිටියේ. පස්සේ දොර කඩා ගෙන ඒ කට්ටිය ඇතුළට ආවා. මම දරුවො දෙන්නයි බිරිඳයි පැදුරක ඔතලා හංගලා තිබුණේ. පස්සේ උන් මට හොඳටම බැණලා බැණලා හිටියා. මම සිතාගන්න බැහැ මොකක් ද මේ වෙන්නේ කියලා. මම නම් සිතුවේ මම මැරෙයි කියලා. පස්සේ මමත් ළමයවත් අරගෙන දොර මුල්ලේ වකුටුවෙලා හිටියා. උන් ගේ වටේම ගියා. මගේ පැත්තට තුවක්කුව එල්ල කරගෙන ඉඳලා පස්සේ ඉල්​ෙල ඩා කියලා ගියා. ඊට පස්සේ ළමයි දෙන්න හංගලා හිටිය මුල්ලට පැට්ට්‍රල් ගහලා ගිනි තිබ්බා. විශාල ගිනි ගොඩක්. ඒත් මම හැංගිලා හිටියා. ඒත් ඉන්න බෑ. පස්සේ ළමයි දෙන්නෙක් ආවා එතනට. මම ටිකක් වෙලා ඉන්න කොට උන් ගියා. ඊට පස්සේ මම හිමින් හිමින් එළියට ආවා. ඊට පස්සේ තමයි කැලේ පාරෙන් ඇවිල්ලා හමුදා කඳවුරට ආවේ. මගෙත් එක්ක හිටිය අය බේරුණා. මගේ දරුවෝ දෙන්නයි අර අනිත් දරුවො දෙන්නයි බේරුණා. ඒ දරුවන්ගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා. මම හමුදා කඳවුර ළඟට ගිහින් කියනකම් කවුරුත් දන්නෑ සිද්ධිය මොකක්ද කියලා. ඊට පස්සේ අපි කඳවුරේ සිටියා. මට මාස 3 ක් විතර යනකම් ඇවිදින්න බැරි වුණා කකුල්වල නිදිකුම්බා වගේ කටු ඇනිලා. බල්ලෝ බළල්ලු ගාණට තමයි මිනිස්සු මැරිලා සිටියේ. දවස් 3 කට පස්සේ තමයි මිනී අරගෙන ගියේ.

දැන් මේ පළාතේ යළි පදිංචි කෙරුවා. ගමේ සිටිය බොහෝ දෙනෙක් ගම එපාවෙලා ගම අතහැර ගියා. මමයි තවත් පවුල් දෙක තුනක් තමයි ඒ සිද්ධියට මුහුණ දීපු අයගෙන් තවමත් මෙහි පදිංචි වෙලා ඉන්නේ. තවත් මේ අවට කිහිප දෙනෙක් සිටියා. ඔවුන් දැන් මියගිහින්. මැරිච්ච ගණන කියන්න බැහැ. අපි දන්න විදිහට මිනී 60 ගණනක් තමයි වැළලුවේ. දැන් ඩොලර් ෆාම් වල එක ගෙදර පවුල් 5 ක් 6 ක් විතර සිටියනේ. ඒ ගෙවල් වල ඉන්න පිරිමි අය එක දිගටම පෝලිම් කරලා ගැහැනු අය බලා සිටියදීමයි. වෙඩි තිබ්බේ. මෙහෙත් එහෙමයි.

අපි කඳවුරුවල සිටින කොට දුක්ඛිත ජීවිතයක් තමයි ගත කළේ. එක පැත්තකින් යුද්ධය. අපිට ගොවිතැන් කර ගන්න විදිහක් නැහැ. හැබැයි මේ සිද්ධිය පළමු වතාවටනේ සිද්ධ වුණේ. ඒක නිසා දිවයිනේ සෑම පළාතෙකින්ම වගේ කැම බීම ලොරි පිටින් හම්බ වුණා.

ප්‍රශ්නය දැන් සාමය උදාවෙලා තිබෙනවා. දැන් තත්ත්වය කොයි වගේද?

පිළිතුර දැන් එදාට වඩා ගොඩාක් හොඳයි. ඒත් අපේ මේ ගම් කැළෑ වැදිලා වගේනේ තිබෙන්නේ. ප්‍රධාන පාර හැදුවට ගමට එන පාරවල් හදලා නැහැ. හරියට බස් එකක් නැහැ. අපි ප්‍රධාන පාරට යන්න කි​ලෝ මීටර් 5 ක් විතර පයින් යන්න ඕනෑ. ප්‍රවාහන පහසුකම් නැති නිසා ළමයින්ට ඉස්කෝලෙකට යන්න බැහැ වේලාවකට. අපි එදා වගේ අදටත් දූපතක හිර වෙලා වගේ ඉන්නේ. කිසිම කෙනෙක් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා අපේ ගැටලු විසඳන්න තියා ගැටලු මොනවද කියලවත් බලන්න එන්නේ නැහැ.

ප්‍රශ්නය දැන් එන්න එන්නම දුෂ්කරතා වැඩියිද?

පිළිතුර ඔව්. දැන් එන්න එන්න ළමයි වැඩිවෙලා. පවුල් සංඛ්‍යාව වැඩිවෙලා. ගොඩක් සංවර්ධන කටයුතු අඩුයි. එ්ගොල්ලේ ඉස්කෝලේ යන්න ඕනැ. නමුත් පාසලක් නැහැ. මෑතකදී ගමේ පාසලක් විවෘත කළා. නමුත් ගුරුවරු අඩුයි. එන්නේ නැහැ. මේ පැත්ත දුෂ්කර නිසා. මෙහෙ දරුවන්ට සම්පත් නුවර ප්‍රදේශයේ ඉස්කෝලෙට තමයි යන්න වෙන්නේ. නමුත් කි​ලෝ මීටර් 5 ක් 6 ක් පයින් තමයි යන්න ඕනෑ. බස් නැහැ. මේක මායිම් ගම්මානයක් කියලනේ ඒ දවස්වල හැඳින්වුණේ. තවම කිසිම කෙනෙක් අවධානය යොමු කරලා නැහැ මේ ගමේ සංවර්ධනය කරන්න . බස් එකක් එනවා උදේ 7.55 පහු වෙලා. එතකොට පාසල පටන් අරන්. ඉතින් ළමයි ඊට පස්සේ ඇතුළත් කර ගන්නේ නැහැ. ඒ වගේ ගැටලු ගොඩාක් තිබෙනවා. ඉතින් අපි කාට කියන්නද මේවා. විසඳුමක් නැහැ. අපිට අඩුම තරමින් මේ පාරවත් හදලා දෙනවා නම් දැන් සම්පත් නුවර ප්‍රධාන පාර කාපට් කරලා සකස් කරලා තිබෙනවා. ඉතින් මේ කිලෝ මීටර 5 හරිගස්සන්නේ නැහැනේ. එහෙනම් බයක් නැතුව දරුවන්ව පාපැදියකින් හරි ඉස්කෝලේ යවන්න පුළුවන්. අඩුම තරමේ දැන් තිබෙන මේ පාරේ බයිසිකලයක් වත් යන්න බැහැ. ඉස්සර අලින්ගෙන් කරදර තිබුණා. දැන් අලි වැටක් ගහලා තිබෙන නිසා ඒ කරදරේ නම් නැහැ. පවුල් 200 ක් විතර දැන් ජීවිත් වෙනවා. ඉන් සුළු පිරිසකට විතරයි කුඹුරු තියෙන්නේ. ඒත් වතුර නැහැ. අහස් වැස්සෙන් තමයි කුඹුරු වැඩ කරන්න වෙන්නේ. ගමේ කොටසක් කනවා. තවත් කොටසක් නොකා ඉන්නවා. ඕක තමයි අද තත්ත්වය.

යුද්ධයෙන් බැට කෑ ඒ ජනතාව අද සිය ගැටලු විසඳා ගැනීම සඳහා තවත් යුද්ධයක නිරත වෙයි. එක් පැත්තකින් වගා කටයුතු කර ගැනීමට ජල පහසුකම් නැත. හදිසි අවස්ථාවකදී ගමනක් බිමනක් යාමට වාහන පහසුකම් නැත. ඔවුන් පිළිබඳ කිසිවකුගේ ඇස් ගැටෙන්නේ නැත්තේ ප්‍රදේශයට වග කියන දේශපාලන බල අධිකාරියක් නොමැතිවීමයි.

කෙන්ට් ෆාම් හෙවත් කල්‍යාණි පුර 1 ග්‍රාමයේ පදිංචි යුද්ධයෙන් අමිහිරි අත්දැකීම් ලැබූ ආර්.එම්. කාන්තිලතා මහත්මිය සිය අත්දැකීම් විස්තර කළේ මෙසේයි.

මේ ගම්මානය ඉස්සර එළි මහන් සිරකඳවුරක්. පිටින් ගෙන ආ අය තමයි මුලින්ම මෙහි පදිංචි කළේ. කොටි ප්‍රහාර එල්ල වෙන කොට ඔවුන් කඳවුරුවලට සීමා වුණා. මේ ප්‍රදේශය කොටින්ගේ දැඩි පීඩනයකට ලක් වූ ප්‍රදේශයක්. අපේ ගේ ඉදිරිපිට තිබුණා ඒ දවස්වල නළ ළිඳක්. එතන තමයි මුලින්ම පෝලිමට ගමේ අය ගෙනල්ලා මරා දැමුවේ. කඳවුරේ රැඳවියන් සැමදාම උදේ පෙරඩ් එකට එකතු කරනවනේ. අන්න ඒ වෙලාව බලලා තමයි කොටි ප්‍රහාරය එල්ල කළේ. එක පවුලක් තමයි ඉතුරු වුණේ. අනිත් සියලු දෙනාම මැරුණා. බොහෝම අමාරුවෙන් තමයි ඔවුන් ජීවිතය බේර ගත්තේ.

යුද්ධ කාලය ගැන කථා කළහොත් ඉතාම අමිහිරි අත්දැකීම් රාශියක් තමයි අපි අත් වින්දේ. අපි ජීවිතය රැක ගත්තේ බංකර යටට රිංගලා. අපේ ගෙවල් යට බංකර හදාගෙන කොටි ගහන කොට දරු මල්ලන් රැගෙන බංකරවලට යනවා. හරි හමන් කෑමක් බීමක් නැහැ. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. රැකියාවක් නැහැ. ඉතාම දුෂ්කරයි. නමුත් අපි මේ ගම් දාලා යන්න සිතුවේ නැහැ. පවුල් 300 ක් විතර සිටියා. 60 ගණනක් විතර තමයි ඉතුරු වුණේ අනිත් සියලු දෙනාම ගම් අතහැර ගියා. මේ ඉස්කෝලේ තමයි කඳවුරක් හැටියට අපිව රඳවා තබාගත්තේ කැලෑවල ළමයි තියාගෙන හිටියා. කන්න බොන්න නැහැ. අපිට ගොවිතැනක් බතක් කර ගන්න බැහැ. මොකද සීමාවෙන් පිටත අපට යන්න බැහැ.

ප්‍රශ්නය මේ කෙන්ට් ෆාම් ග්‍රාමය කල්‍යාණි පුර වුණේ කොහොමද?

පිළිතුර යුද්ධ කාලයේ මේ ප්‍රදේශයට සෑහෙන සේවයක් කළ හමුදා සෙන්පතියෙක් තමයි ජානක පෙරේරා මහතා. එතුමා මියගියා. එතුමාගේ බිරිඳ කල්‍යාණි. ඒ නම සිහිවෙන්න තමයි මේ ගම්මානයට කල්‍යාණි පුර කියලා නම් කළේ. ජානක පෙ​ෙර්රා මහතා සිහි වෙන්න ජානකපුර කියලා මේ අවට තවත් ගම්මානයක් නම් කළා. ජානක පෙරේරා මහතා ඇත්තටම අපට නම් දෙවියෙක්.

අපි නම් අදහන්න තරම් වටින කෙනෙක් හැටියටයි එතුමාව සලකන්නේ. එතුමා ඇතුළු හමුදාවේ පිරිස් නිසා තමයි අපි මේ ප්‍රදේශවල රැඳී සිටියේ. අප මේවා දාලා ගියා නම් අනුරාධපුරය වෙනකම් කොටි අල්ලා ගැනීමට ඉඩ තිබුණා.

ප්‍රශ්නය යුද්ධයෙන් පහුව දැන් කොයි වගේ ද මේ ප්‍රදේශයේ තත්ත්වය.

පිළිතුර යුද්ධයෙන් පසුව මේ ගම්මාන ගොඩාක් දුරට දියුණු වුණා. ගමට පාරවල් වැටුණා. අපිට කන්න දෙක වගා කරන්න ජලය තිබුණා. මිනිසුන්ගේ ආර්ථිකයත් යහපත් වුණා. හැබැයි දැන්නම් ඒ තත්ත්වය වෙනස් වෙලා.

ප්‍රශ්නය ඒ කියන්නේ ඒ පිළිබඳව පැහැදිලි කළහොත්?

පිළිතුර දැන් වසර 2 ක 3 ක පමණ සිට අපි ඉතා දුෂ්කර කාලයක් ගත කරන්නේ. අපිට ස්වභාව ධර්මයෙන් වද දෙනවද දන්නේ නැහැ. අපට වැස්ස නැහැ. කන්න දෙක තියා එක කන්නයක් වත් කර ගන්න වතුර නැහැ. දැන් මේ දවස්වල වැස්ස සුළු වශයෙන් තිබෙනවා. නමුත් ගොවිතැන් කටයුතු කරන්න ප්‍රමාණවත් නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මේ වෙන කොට මිනිස්සුන්ගේ ආර්ථිකය හුඟාක් දුරට කඩා වැටිලා තිබෙන්නේ. අද වෙන කොට හදිසියකට පිරිමි 10 දෙනෙක් එකතු කර ගන්න විදියක් නැහැ. සේරම ගමෙන් පිට පළාත්වලට ගිහින් එක එක වැඩවලට. දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ. ප්‍රවාහන පහසුකම් නැහැ. පොත් පත් නැහැ. සපත්තු වගේම නිල ඇඳුම් නැහැ. ඉතාම දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ. ගමේ කුලී වැඩක් වත් නැහැ. යම් තරමින් අපි ජීවන මාර්ග හදාගෙන තිබෙන නිසා ජීවත් වෙනවා. නැතිනම් මිනිස්සු පුදුමාකාර විදිහට දුෂ්කරව ජීවත් වෙන්නේ. ගමේ පවුල් බොහෝ දෙනෙක් බඩගින්නේ තමයි කාලය ගෙවන්නේ. ඒ කියන්නේ කිසිම ආදායම් මාර්ගයක් නැහැ.

ඉස්සර එහෙම නොවෙයි. යුද්ධ කාලයේත් යුද්ධයට පසුව අවුරුදු ගණනක් වැස්ස නැති වුණත් අපිට නියං සහනාධාර දුන්නා. වහින කාලයට ගංවතුර ආධාර ලැබුණා. අපි ආධාර ඉල්ලනවා නොවෙයි. නමුත් කිසිම බලධාරියෙක් අපි ගැන සොයල බලන්නේ නැහැ. අපි නිතරම මේ ගැන දිගින් දිගටම කිව්වත් වැඩක් නැහැ. විසඳුමක් නැහැ. දැන් ඉස්කෝලේ ගත්තොත් ​ෙපර පාසලේ ඉඳලා සැම දෙයක්ම සපයා ගන්න ඕනෑ. ඒවාට කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. දරුවා පාසල ඇරිලා එනකම් අම්මා ඉන්න ඕනෑ පාසල ළඟ. මොකද දරුවගේ අවශ්‍යතාවලට. ඒ වගේ පහසුකමක් වත් නැහැ. ඒ වගේ තවත් දෙයක් තමයි ගම්වල දැන් දූෂණය, සොරකම ඉහළ ගොස් තිබෙනවා. මේ ආර්ථිකය පිරිහීමත් එක්ක මේ සියලු දේවල් ම වර්ධනය වෙලා තියෙනවා. ලොකු විනාශයකට තමයි අද වෙන විට මේ ගම්මානය මුහුණ දීලා තිබෙන්නේ.

ප්‍රශ්නය මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වෙන්නේ නැද්ද?

පිළිතුර අපි මේ සම්බන්ධව සංවර්ධන කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. නමුත් විසඳුමක් ලබාදෙන්න කවුරුත් එන්නේ නැහැ. කිසිදු මැති ඇමැති වරයෙක් එන්නේ නැහැ. රජයේ ආයතනවලට මැදිහත් වෙන්න මෙහෙ තිබෙන ආයතනවලට ඇත්තටම සම්පත් නැහැ. මහවැලි අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැකි සෑම දෙයක්ම ජනතාවට කරලා දෙනවා. දැන් කළ්‍යාණිපුර ග්‍රාමයේ පවුල් 210ක් ඉන්නවා. ඉන් පවුල් 108 කට විතරයි කුඹුරු තිබෙන්නේ.

ප්‍රශ්නය ප්‍රවාහන පහසුකම් පිළිබඳ කතා කළහොත්?

පිළිතුර අපට උදේට එක බස් රථයක් ධාවනය වෙනවා. ඒක උදේට විතරයි දවල්ට හෝ හවස ධාවනය වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් බයිසිකල්, ත්‍රීරෝදවලින් තමයි ගමනාගමන කටයුතුවල නිරත වෙන්නේ දැන් මේ පාර අවුරුදු ගණනාවක ඉඳලා හදලා නැහැ. පාරේ යන්න බැහැ වළවල්. පාර කැඩිලා. නමුත් හදන්නේ නැහැ. හදිසි ලෙ​ෙඩක් ගැබිනි මාතාවක් එක්ක යන්න බැහැ. මේවා ගැන කියන කොට කියන්නේ මුදල් ප්‍රතිපාදන නැහැ කියලා. මොන දේ ගැන ඇහුවත් කියන්නේ මුදල් ප්‍රතිපාදන නැහැ කියලා කරන්න විදිහක් නෑ, මුදල් අනුමත වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ

ප්‍රශ්නය මේ ප්‍රදේශයට දේශපාලන අධිකාරියක් නැති එකත් බලපාලා තිබෙනවාද?

පිළිතුර ඔව්. ඒකත් ඒක ගැටලුවක්. හැබැයි දේශපාලන අධිකාරිය ඉන්නවා. ඡන්දයක් ආසන්න වෙලාවට. දැන් නැහැ කවුරුවත්. ඇත්ත කථාව ඒකයි. ඡන්ද කාලයට බුරුතු පිටින් එනවා. ඡන්දය පසුවුණාම කවුරුවත් නැහැ. දැන් මේ කාලයේ නැවතත් එන්න පටන්ගෙන තිබෙනවා. අපට ඡන්ද බල ප්‍රදේශය වෙන්​ෙන වව්නියාව. ඡන්දය අරගෙන ගියාට පස්සේ අපි ගැන කවුරුත් බලන්නේ නැහැ.

ප්‍රශ්නය මේ ප්‍රදේශය උතුරු පළාත් සභාවටයි අයිති. පළාත් සභාවේ අවධානය නැද්ද?

පිළිතුර උතුරු පළාත් සභාවට තමයි අයිති. අපි අපේ ප්‍රශ්න විතරක් නොවෙයි වෙනත් පළාත්වල ප්‍රශ්න ඉදිරිපත් කළත් ප්‍රතිපාදන නැහැයි කියලා තමයි කියන්නේ. පළාත් සභාවේ ඉන්න මන්ත්‍රීවරු එක් කෙනෙක් දෙන්නෙක් ඇරුණහම කවුරුත් උදව් කරන්නේ නැහැ.

අපි විශාල ගැටලුවකට මුහුණ දීලා තිබෙන්නේ. දැන් අපි ඉන්න ප්‍රදේශය අයිති මුලතිව් වලට. ඡන්ද බල ප්‍රදේශය වව්නියාව. එතකොට අපි ගැන හරිහමන් බැලිල්ලක් කවුරු තුළත් නැහැ. අපි අතරමංවෙලා. සුළු ජන කොටසක් වැලිඔය ප්‍රදේශයේ ඉන්නේ. දැන් අපි කල්පනා කරලා තිබෙන්නේ අපි දැන් වෙනත් පැතිකඩකට යන්න ඕනෑ. වැලිඔය කියන්නේ ගොඩක් දුක් වින්ද ජනතාවක් සිටිය ප්‍රදේශයක්. අපි මේවා අතහැරලා ගියා නම් මීට වඩා විශාල හානි වෙන්න තිබුණා රටට. එදා සිට ජීවත් වූ අයට තමයි ගොඩාක් අසාධාරණයක් වෙලා තිබෙන්නේ. තවමත් සිටිනවා වසර 30 කට අධික කාලයක් ජීවත් වෙච්ච අය. ඔවුනට තවත් නිවසක් හදාගන්න ක්‍රමයක් නැහැ. ඇතාවැටුනවැව, නිකවැව වම, දකුණ වගේ ප්‍රදේශවල ඉන්නවා. මිනිස්සු එදා ආටි ගහන කොට බෝම්බ ගහන කොට බංකර ඇතුළේ ජීවත් වුණ අය. බෝම්බවලින් හානි වුණ නිවාස හදාගන්න බැරුව තවමත් ඉන්නවා පිරිසක්. පවතින න්‍යාය නිසා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න බැහැලු. එක්කෝ වයෝවෘද්ධයි. නිවාස හදා ගන්න ක්‍රමයක් නැහැලු. එක්කෝ දරුවෝ වෙනත් ප්‍රදේශයක රැකියාවක. ඒක නිසා ප්‍රතිපාදන වෙන් කරන්න බැහැලු. ඒත් එදා ඉඳලා දුක් වින්ද ජනතාවට අවස්ථාවක් උදාවෙලා නැහැ තවමත් නිවසක් සාදාගන්න. ඕකයි අද මෙහෙ තිබෙන තත්ත්වය.

කෙන්ට් ෆාම් ග්‍රාමයේ ගැටලු විසඳීමට බලධාරීන් මැදිහත් නොවන්නේ පවතින අතිවිශාල දුෂ්කරතා නිසායි. අඩුම තරමින් ඔවුන්ගේ වගා කටයුතු කර ගැනීමට තිබෙන එකම වැව හෝ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර වෙයි.

පාසල නිම වී එන සිසුන් පිරිසක්.

​කෙන්ට් ෆාම් ග්‍රාමයේ පදිංචි මිලිනාවතී මහත්මිය අප සමග ප්‍රකාශ කළේ ආර්ථික ප්‍රශ්න නිසා ජනතාව දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති බවයි.

මෙහෙ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි. සමහරුන් වතුර තිබෙන කාලයට වැවේ ධීවර කර්මාන්තයේ නිරතවෙනවා. එ්ත් හැමදාම වැවේ වතුර නැහැනේ. ඊට අමතරව කුලී වැඩ කරනවා. ගඩොල් කපනවා. අක්කරයක් අපිට දීලා තිබෙනවා. ඒක එක කන්නයි වගා කරන්න පුළුවන්. දැන් කුඹුරු කරන්නේත් එක කන්නයයි. ජල පහසුකම් නැහැනේ. වහින කාලයට වැවේ ඉතිරිවෙන ජලයෙන් තමයි ඒ සියල්ලම කරන්නේ. අපි ඉල්ලන්නේ මේ තියෙන එකම වැවවත් හරියට හදලා දෙන්න කියලා වැවේ ගැඹුරු වැඩි කරලා. එතකොට වතුර දවස් ගණනාවකට හරි තිබෙනවානේ. ඒත් කවුරුවත් අපි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මේ වැවට කොහෙන්වත් වතුර එන්නේ නැහැ. වැසි වතුරෙන් තමයි වැව පිරී යන්නේ.

අපට ප්‍රවාහන පහසුකම් කියලා මොකෝවත්ම නැහැ. දැන් එක බස් එකක් වැඩ කරනවා. ඒක උදේට විතරයි. යනවා මිසක් එන්නේ නැහැ. උදේ 7.55 ට බස් රථය එන්නේ. එතකොට ළමයින් ඉස්කෝලෙට පයින් හෝ බයිසිකලයෙන් ගිහිල්ලා. මෙහෙ ඉන්න ළමයි ඉගෙන ගන්න දක්ෂයි. දැන් පසුගිය ශිෂ්‍යත්වයෙන් 172 ක් ලබා ගත්ත ළමයි ඉන්නවා. තවත් 100 ට වැඩියෙන් ලකුණු ගත්ත ළමයි 10 දෙනෙක් ඉන්නවා.

​හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි ඉන්නවා. නමුත් පහසුකම් නැහැ. රැකියා ප්‍රශ්නය තමයි අපට බොහෝ තිබෙන්නේ

අප සමග අදහස් දැක් වු කෙන්ට් ෆාම් හි පදිංචි සුනිල් ධර්මසිරි මහතා,

දැන් යුද්ධය නැහැ. නමුත් ජනතාවට හරි හමන් රැකියාවක් නැහැ. ගොඩක් ගමේ අය පිට පළාත්වලට ගිහිල්ලා කුලී වැඩ කරලා තමයි ජීවත් වන්නේ. හදිසි අසනීපයකට බෙහෙත් ගන්න මෙතන ඉඳලා කිලෝමීටර් 5 ක් 6 ක් සම්පත් නුවරට යන්න ඕනෑ. හරි හමන් බඩු මුට්ටුවක් ගන්න කඩයක් නැහැ. සම්පත් නුවරටම යන්න ඕනෑ. නමුත් යන්න ප්‍රවාහන පහසුකම් නැහැ. ඔය දේවල් ඉෂ්ඨ කරලා දෙනව නම් තමා හොඳ.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com