www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එස්ටීඑෆ් කොමඩාන් විශ්‍රාම ගැනීමට විනාඩි ගාණකට කලින් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සමග පාතාල බුරුත්තක් ඇල්ලීමේ මෙහෙයුමේ රහස් කතාව


2019-02-06 08:22:19 -  7513 යි

-ටෙලිනාට්‍ය නළුවෙකුත් මාට්ටු-

ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා සහ තවත් පාතාල නායකයක් පිරිසක් ද සමග විවිධ අපරාධ වලට සම්බන්ධ 20 ක පමණ පිරිසක් අබුඩාබි පොලිසිය මගින් 4 දා රාත්‍රී අත් අඩංගුවට ගැනීමේ මහ මොළ කරුවා අන් කිසිවෙක් නොව අවසන් තත්පරයේදී සේවා දිගුවක් ලැබූ එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ. නි. පොලිසිපති එම්.ආර්. ලතීෆ් මහතා වේ.

ලතීෆ් මධූෂ්ව අත් අඩංගුවට ගැනීමට දැල එලා තිබුනේ මාස ගණනකට පෙර සිටය. ඒ සඳහා එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් ඩුබායි වෙත යවා තිබූ බව පොලිස්පතිවරයා හෝ දන්නේ නැත. මන්ද යත් පොලිස්පති පූජිත සහ ඔහුගේ ලඟම නිලධාරීන් පවා මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන සාක්ෂි තිබූ බැවිනි. මේ වැටලීම සිදුකෙළේ එසේ ගිය එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් අබුඩාබි පොලිසිය සමග එක්වය.

වහක් වූ පාටිය
--------------------
මධූෂ්ලා ඩුබායි හි 4 දා රාත්‍රී පාටියක් දමා තිබුනේ සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ වෙනත් පාතාල ක්‍රියාවන්ට හිසරදයක්ව සිටි ලතීෆ් එදින විශ්‍රාම ගන්නා නිසා එය සැමරීමට ය. ඒ සමග පාතාල නායකයෙකුගේ උපන් දිනයක්ද සෙට් වී තිබීම තවත් උත්තේජනයක් විය. දැනට සිරගෙදර සිටින කුඩු කින්ග්පින් වෙලේ සුදා දුරකථන මාර්ගයෙන් සිය සගයන්ට පවසා තිබුනේ පෙබරවාරි 4 වෙනිදා පසුවන තුරු මඳක් යට ගොස් සිටින ලෙසය. ඒ අන් කිසි හේතුවකට නොව එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ් විශ්‍රාම ගන්නා තුරුය.

ලතීෆ් පසුගිය මාස 2 ක කාලය තුල අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය සුළුපටු නොවන මෙට්‍රික් ටොන් එකකට ආසන්න ය. ඒ අන් ඩීල්කාර නාකොටික් නිලධාරීන් මෙන් පුද්ගලයන් නැති මත්ද්‍රව්‍ය නොව පුද්ගලයන්ද සහිත මත්ද්‍රව්‍ය වීම විශේෂිත ය.

පසුගිය කුමන්ත්‍රණ කාලයේ දී කිලෝ 700 ක් පමණ හෙරොයින් විශාල තොගයක් පුද්ගලයන්ද සහිතව මුහුදේ දී අත් අඩංගුවට ගත්තේ ලතීෆ් ගේ මෙහෙයැවීමෙන් එස්ටීඑෆ් නිලධාරීන් පිරිසක් මාස 3 ක පමණ කාලයක් තිස්සේ කරන ලද හඹා යෑමක ප්‍රතිඵලයක් ලෙස ය.

අං‌‌ගොඩ ලොක්කා ඇස්සෙන් පැන යයි
-----------------------------------------
මේ වැටලීමේ දී මාකඳුරේ මධූෂ් සමග පසුගිය දා පිටකොටුවේ පාතාල ඝාතන රැසක් සිදුකළ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ ලොක්කා නමැති පාතාලයාගේ අංක එකේ සගයා අබුඩාබි පොලිසියේ අත් අඩංගුවේ පසුවෙති. අවාසනාවකට අංගොඩ ලොක්කා වැටලීමේ දී පැන ගොස් තිබේ.

ලංකාවේ පාතාල නායකයන් පිනවීම සඳහා එහි ගොස් සිටි අමල් පෙරේරා ද, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සමග රයන් නමැති ටෙලි නළුවෙකුද අත් අඩංගුවේ පසුවෙති. මොවුන් කලා කරුවන් සේ පෙනී සිටිමින් පාතාලය සමග දැඩි සම්බන්ධතා පවත්වමින් තමන්ට ඇති ජනප්‍රියත්වය පාතාල වැඩ කටයුතු සඳහා අවභාවිතා කරන ජඩයන් බව දැන් සහතික වශයෙන්ම ඔප්පු වී තිබේ.

ජනාධිපතිටත් මල් මිටක්..
---------------------------
ජනාධිපති සිරිසේන පෙර දිනක ලතීෆ් කැඳවා විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක අංශයේ ප්‍රධානී වෙන්නැයි කියා ඉල්ලීමක් කර තිබිණ. තමාට අදාල නිලධාරීන් නොමැතිව එවැනි තැනක හිඳ මත්ද්‍රව්‍ය නාශනය කළ නොහැකි දෙයක් යයි කියමින් ලතීෆ් සිරිසේනගේ ආරාධනය ගෞරවනීයව ප්‍රතික්ෂේප කර තිබිණ. ඔහු නිදහස් උළෙලට සහභාගී වී අවසානයේ ගෙදර යෑමට සූදානමින් සිටි අතර ජනාධිපතිවරයා 4 දා සවස තමා විසින්ම කැබිනට් පත්‍රිකාවක් සකසා කැබිනට්ටුවට ඉදිරිපත් කරමින් ලතීෆ් නම් ඒ ශ්‍රේෂ්ට පොලිස් නිලධාරියාට වසරක සේවා දිගුවක් අනුමත කරවා ගෙන තිබිණ. ජනාධිපති සිරිසේනගේ වැරදි වැරදි ලෙස දකිනවාත් සමගම මේ කරන ලද ක්‍රියාව උසස් ක්‍රියාවක් ලෙස සලකා ඔහුට දිය යුතු ගරුත්වයද දිය යුතු ය.

ඒ අනුව ලතීෆ්ට විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්තමාචාරය 41 වසරක සේවයට උපහාර උත්තමාචාරයක් ලෙස වෙනස් කර උත්තමාචාර පැවැත්වීය.

එදිනම රාත්‍රී තම සැඟවුණු ඉලක්කය කරා සේනා මෙහෙයැවූ ලතීෆ් ලංකාවේ පාතාල නායකයන් රොත්තක්ම එක මිටට අල්ලා ගැනීමට සමත් විය.

මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ලංකාවට ගෙන ඒම සඳහා මේ වන විටත් පොලිසියේ අදාල නීති නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ලඟා වී ඇති අතර හෙට හෝ අනිද්දා පාතාලයන් පිරිස ලංකාවට දක්කාගෙන ඒමට නියමිත ය.



මදුෂ් ඉන්න තැන දැන ගන්න පාතාලය සමග සම්බන්ධ අමල් පෙරේරා පසුපස පොලීසිය පන්නලා" මදූෂ් කොටු කරපු විශ්මිත මෙහෙයුමේ සම්පූර්ණ කතාව!



පාතාල නායක මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට මෙහෙයුම පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටීම විශේෂයි.

පසුගිය දින (050 උදෑසන ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට මෙලෙසින් කොටුවුනා. මාකඳුරේ මදුෂ් ලංකාවෙන් පළාගොස් තිබුනේ මීට වසර 4 කට පෙර 2015 දීය.

ඔහු ලංකාවේ නොසිටියද ඩුබායි සිට සියලුම ආකාරයේ පාතාල ජාවාරම් මෙහෙයවනු ලැබූ අතර කිසිදු බියකින් චකිතයකින් තොරව ඒවා සිදු කරන්නට ඔහුට දේශපාලන හිතවතුන්ගේ ආධාරද ලැබී තිබුණි. මෙලෙස හැසිරෙන මදුෂ් පසුගිය වසර දෙක තුන තුළ ලංකාවේ ප්‍රධාන ධාරාවේ තහනම් ද්‍රව්‍ය ජාවාරම වෙත එල්ල කළ බලපෑම විශාලය.

ඔහු ආරක්ෂක අංශවලට පවා අභියෝග කරමින් සිය කටයුතු නිදහසේ එහි සිට කළේය.

ඩුබායිහි ඔහු සිටින තැන කිසිවෙකු දැන සිටියේ නැත. ඔහු අල්ලාගැනීමේ උවමනාව බොහෝ අයට තිබූ නමුත් එය කරන්නට දුෂ්කර කටයුත්තක් වී තිබුණි. ඩුබායි පොලිසියේ සහායෙන් ජාත්‍යන්තර නිල් නිවේදන නිකුත් කර තිබූ නමුත් මාකඳුරේ මදුෂ් එරට ආරක්ෂක අංශ වලටද වැලිගසා සැඟවී සිටියේය.

ඊයේ දින ඔහුව හෝටලයක් තුළදී මෙලෙස කොටු කිරීම දීර්ඝ කාලීන පොලිස් සැලසුමක් සඵලවීමකි. මාකඳුරේ මධුෂ් මේ කාලයේ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට සය හැවිරිදි පුත්‍රයකු සිටින බවත්, ඔහුගේ උපන් දින සාදය මහ ඉහළින් සැමරීම සඳහා ඩුබායි රාජ්‍යයේ තරු හයේ සුපිරි හෝටලයක් වෙන් කරගෙන ඇති බවටත් පොලිසියට ආරංචියක් ලැබී තිබුණි. මෙම සාදයට පැමිණෙන ලෙස පාතාල නායක මදූෂ්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුටද ඇරයුම් ලැබී ඇති බව පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණි.

කොළඹ කෙසෙල්වත්තේ පාතාල නායකයින් මධුෂ්ගේ සමීපතමයන් ය. මෑතක සිදු කළ තහනම් ද්‍රව්‍ය වැටළීමකදී අත්අඩංගුවට පත් කෙසෙල්වත්තේ පාතාලයෙකුගෙන් මේ තොරතුර පොලිසියට ලැබී තිබුණි.

මධුෂ්ගේ ළඟම හිතවතුන්ට මෙම සාදය සඳහා ආරාධනා ලැබී ඇති බවත් මේ අනුව ඇරැයුම් මත අමල් පෙරේරා, රයන් වැන් රෝයන් සහ රියැලිටි වේදිකාවේ තරු වූ ගායිකාවන් කිහිප දෙනෙක්ද ඩුබායි බලා යනු ඇති බවත් ඒ අනුව පොලිසියට තොරතුරු අනාවරණය කරගන්නට හැකි විය.

මෙම සාදයට යන අනෙක් පිරිස අතර පසුගිය කාලයේ රියැලිටි වේදිකාවේ ගීත ගායනා කළ ප්‍රකට කිහිප දෙනෙකු සිටින බවටද ආරංචි ලැබිණි.

අමල් පෙරේරා තහනම් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට මින් කලකට ඉහත ලක්වූ අයෙකි. අමල් වඩාත් ප්‍රකට වූයේ සුදු කැස්බෑවෙකු සම්බන්ධ සිද්ධියක් නිසාය. ඔහුට මදුෂ් සමග සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසියට විශ්වාසදායි තොරතුරු ලැබී තිබුණි.

පොලිසිය මෙම ආරංචි අනුව ඉතා කෙටි කලක් තුළ සැලසුමක් සකස් කර තිබේ. ඒ ඩුබායි පොලිසියේ සහාය ඇතිව එරටදී වැටළිමක් කරන්නටය. වඩාත් පහසුම ක්‍රමය වන්නේ අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන් ඇතුලු පිරිස යන තැන් විමසා ඒ පසුපස ලුහුබැඳීම බව තේරුම් ගෙන මෙම සැලසුම අනුව උපායන් සකස් විය.

ලැබුණ ආරංචි අනුව ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් පිටත්ව යන අවස්ථාවේ සිට පොලිස් ඔත්තුකරුවන් ඔවුන් පසුපස යොදවන්නට මෙහෙයුම් කණ්ඩායමට හැකි විය.

කල් ඇතිව කථිකා කරගත් පරිදි ඩුබායි නිලධාරීන් ලංකාවේ කණ්ඩායම එහිදී හමුවී තිබේ.

ඩුබායිහි අමල් නැවතුන හෝටලයේ සිට එරට පොලිසියට මෙම ක්‍රියාකාරකම් අනුව සිද්ධවන දේවල් වාර්තා කර තිබූ අතර සාදය පවත්වන හෝටලය වෙත අමල් ඇතුළු පිරිස ගමන් කරන වේලාව ඒ අනුව ලබා දෙන්නට සූදානම්ව සිටින ලදි.

පෙබරවාරි 4 වනදා රාත්‍රී කාලයේ මෙම සාදය පවත්වන බව ඒ අනුව වාර්තාවී තිබුණි.

සාදයට හෝටලයේ 125 ක් පමණ රැස්වන ශාලාවක් වෙන්කර ඇති බවත් හෝටලය වෙන්කිරීමේ කටයුත්ත වෙනුවෙන් පාවිච්චි කර තිබුනේ ඩුබායිහි සිටින මදුෂ්ගේ සොහොයුරාගේ නමක් බවත් ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා එරට ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබේ.

ඒ අනුව වැටලීම් කරන්නට නම් සාදය සඳහා සියලු පිරිස් පැමිණෙනතුරු සිටීම වැදගත් වියහැකි බව ලංකාවේ කණ්ඩායමේ මතයවී තිබේ. එයට හේතුව පැමිණෙන සියල්ලන් වැදගත්වන බැවිනි.

එම තොරතුරු අනුව එරට රහස් පොලිසිය මෙම සාදය පිළිබඳ අවදියෙන් සිට පෙරේදා (4දා) රාත්‍රියේ සාදය පැවතෙමින් තිබෙන අතර 5 වනදා පාන්දරට වන්නට මෙම වැටලීම සිදුකර තිබේ.

හෝටලයේ පිටත දැඩි ආරක්ෂාවක් සලසා ශාලාව වෙත වැටලීම් කන්ඩායම ඇතුළුව ඇත්තේ ශාලාවේ දොරවල් අගුළු ලාගෙනය. දැඩි ලෙස ක්‍රියාකාරකම් සිදුකරන පිරිසක් බැවින් ඔවුන් එසේ අල්ලගතයුතු බව ලංකාවේ කණ්ඩායමේ උපදෙස වී තිබේ. එසේ ඇතුළුවූ ඩුබායි පොලිස් නිලධාරීන්ට නිරායුදව සිටි 25 ක් හසුකරගත හැකිවිය.

සැකකරුවන් 25 දෙනා කාමරයක් වෙත ගෙනගොස් බිම වාඩිවෙන්න යයි දන්වා එකිනෙකාගේ තොරතුරු වෙන වෙනම පරීක්ෂාකර තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මාකඳුරේ මධුෂ්ගේ සහ කංචිපාන ඉම්රාන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා බලපත්‍ර බවද අනාවරණය වී ඇත.

මෙම වැටලීම කරන අවස්ථාව වන විට එහි තිබී ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සහ තහනම් ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බවද වාර්තා විය. සිය සගයන්ට විනෝදවීම සඳහා තහනම් ද්‍රව්‍ය තොග රැගෙන ආ බව මදුෂ් පවසා තිබේ.

තහනම් ද්‍රව්‍ය සමග විනෝදවීම එරට නීතිය අනුව දන්ඩනය පවා ලද හැකි වරදකි. ඒ අනුව ලංකාවේ වරෙන්තුකරුවන් වීමට අමතරව එරට නීතිය අනුවද වරදවලට යටත්වූ පිරිසක් බවට ඔවුන් පත්වූ අතර සියල්ලන් අත්අඩංගුවට පත්විය. ඒ අයගෙන් එරට ආරක්‍ෂක අංශ ඊයේ වන විට ප්‍රශ්න කරමින් තිබිණි.

මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත ඊයේ (5දා) උපදෙස් ලබාදී ඇත. මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වේ.

(අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තා කරුවෙකු විසිනි)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com