www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නීරෝලා නෝන්ඩි වුණ දකුණෙ කුඩු පාතාලයේ මුල-මැද-අග


2019-01-28 12:19:23 -  709 යි

දෙස් විදෙස් මත්ද්‍රව්‍ය මාෆියාවක අලුත් තැනක් සොයාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම සතියේ රුපියල් කෝටි සියයක් වටිනා මත්කුඩු (හෙරොයින්) තොගයක ඉලක්කයක් සොයා යන්නට සමත්විය.

මේ සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් මහතා යටතේ ඇරැඹි මත්ද්‍රව්‍ය වටලන මෙහෙයුම්වලදී ගතවූ මාස එකහමාරක් තුළ හෙරොයින් කිලෝ හත්සියයක් කොටු කරදෙන්නට එම ඒකකයේ බුද්ධි නිලධාරීහු සමත්වූහ.

මෙවර ඔත්තුව ලැබෙන්නේ හොංකොං සිට මෙහෙයවන කුඩු ජාවාරමක් ගැනය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු වෙත මෙම ඔත්තුව ලැබෙන්නේය. ඔහු මීට පෙර තවත් හෙරොයින් තොග හා කොකේන් තොග පිළිබඳව ඔත්තු ලබාගත් දක්ෂ නිලධාරියකු විය. වැඩිම මත්කුඩු ඇල්ලීමේ ඔත්තු ලබාගත්තේද මෙම නිලධාරියාය.

එම තොරතුර පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට දැනුවත් කළ පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුමට සම්බන්ධ කළහ.
මේ වන විට ලංකාවට හොර රහසේ ගෙනැවිත් තිබූ හෙරොයින් තොගය ඉක්මනට විකුණාගන්නට එම ජාවාරම්කරුවන් සැලැසුම් කර තිබිණි.

හික්කඩුවේ පන්හිද බාර් නමින් සුප්‍රසිද්ධ අවන්හලේ හිමිකරු දිමුතු අමරසිංහ හෙවත් හීරෝ සහ ඔහුගේ ගෝලයා වූ ඉන්ද්‍රජිත් පත්මකුමාර කොළඹට එන්නේත් විදේශිකයන්ගෙන් මෙම මත්කුඩු මිලදී ගන්නටය.
මේ වන විට විමර්ශන නිලධාරීන්ද මත්කුඩු මිලදී ගන්නා කණ්ඩායමක් මෙන් එහි යන්නේ විදේශිකයන් කොටුකර ලන්නටය.

ගනුදෙනුව සිදුකරන්නට තිබුණේ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසාහිදීය. සුපිරි වෙළෙඳ සංකීර්ණයට කලින්ම ගිය වැටලීම් නිලධාරීන් එහි රැකවල්ලා සිටියේ කොයි මොහොතක හරි ගනුදෙනුව සිදුවන බව තහවුරු වූ නිසාය.
මෙම 22දා උදෑසන 11.00ට පමණ මෙම ගනුදෙනුව සඳහා ඇමෙරිකානු ජාතිකයකු පැමිණ හික්කඩුවෙන් පැමිණි කෝටිපති ව්‍යාපාරිකයා හට පාර්සලයක් දෙද්දී වහාම ක්‍රියාත්මක වූ නිලධාරීහු ඔවුන්ව අත්අඩංගුවට ගත්හ.

ඇමෙරිකානු ජාතිකයා හුවමාරු කළේ හෙරොයින් පාර්සලයක් බව තහවුරු කරගත් නිලධාරීන් ඔහුව පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ තිබී සුපිරි නිවාස සංකීර්ණයකට අයත් නිවෙසක යතුරක් සොයා ගත්තේය.

වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් අත්අඩංගුවට ගත් තිදෙනා සමඟ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස පොලිසියට ආසන්නයේම වූ සුපිරි නිවාස සංකීර්ණය සොයා යන්නේය.

එහි පළමු මහලේ අංක හතර දරන නිවෙස පරීක්ෂා කරන නිලධාරීන් විශාල ගමන් මලු හතරක් තුළ බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් අනූපහක් එහිදී සොයාගත්තේය. කිලෝග්‍රෑම් එක බැගින්ද වූ පාර්සල් එහි වූයේය. එම නිවෙස තුළ සිටි තවත් ඇමෙරිකානු ජාතිකයකු හා ඇෆ්ගනිස්තාන ජාතිකයකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණේය.

මොවුන් මෙම සුපිරි නිවාස සංකීර්ණය මිලදී ගෙන තිබුණේ ඉකුත් දෙසැම්බර් 21දා සිටය. මාසිකව රුපියල් ලක්ෂ දෙහකමාරක කුලියට ජාත්‍යන්තර මාෆියාවේ නිරත ඇමෙරිකානුවන් මෙය මිලදී ගෙන තිබුණේය. මොවුන් ජනවාරි 21දා වන විට තවත් මසකට තම කාලය දීර්ඝ කරගෙන තිබුණේ තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් ගෙවාය.

සංචාරක වීසා මත මෙරටට විටින් විට පැමිණ තිබුණු මොවුන්ගෙන් ඇෆ්ගන් ජාතිකයකු ලෙස සිට ඇත්තේද ඇමෙරිකානුවෙකි. ඔහු ඇමෙරිකාවේ සිදු වූ කොල්ලකෑමකට වසර දහසයකට අච්චුකළ අයකු විය. අවුරුදු දාහතරෙන් ඇප ලැබුණු පසුව මොහුව ඇමෙරිකාවෙන් ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කර තිබුණේය.

දැනට ඇති තොරතුරුවලට අනුව ඇෆ්ගනිස්තානයට පිටුවහල් කළ ඇමෙරිකානුවා මඟින් මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ආ බවට සැක පහළ වී ඇත. මෙම හෙරොයින් පාර්සල් සියල්ලේම 999 යනුවෙන් අංකයක් සහිත ස්ටිකරයක් අලවා 2018 යනුවෙන් සටහන් කර තිබුණේය.

මෙය ජාවාරම්කරුවන් භාවිත කරන රහස් අංකයක් විය හැකිය. 2018 වසරේදී මේවා මෙරටට රැගෙන එන්නට ඇති බවට සැකකරන්නේ එහි ඇති සඳහන අනුවය.

විමර්ශන කණ්ඩායම්වලට අනුව පාකිස්තාන් හා ඩුබායිවල සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ සිටින කණ්ඩායමක් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේය. ඔවුන්ට මෙරට ජාවාරම්කරුවන් සම්බන්ධ කර දෙන්නේ හොංකොංවල සිටින සිංහල ජාවාරම්කරුවෙක්ය.

දැනට ඇති තොරතුරු අනුව මෙම කුඩු තොගය කන්ටේනර්වල සඟවා මෙරටට ගෙනැවිත් ඇත්තේය. මෑත ඉතිහාසයේ සීනි කන්ටේනර්වල බහා මෙරටට කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන එන මාෆියාවක් කොටුකරගත්තේද මෙම ඔත්තුව ලද නිලධාරීන්මය.

පසුගිය වසරේදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් හතළිස් දෙදෙනකු මෙරටදී කොටුවී තිබුණේය. මත්ද්‍රව්‍ය ජාවාරමකට ඇමෙරිකානු ජාතිකයකු මීට පෙර කොටුවන්නේ 1995දීය. පොලිසිය පවසන අන්දමට ඇෆ්ගස් ජාතිකත්වය හිමි අයකු මත්ද්‍රව්‍ය සමඟ අවසන්වරට කොටු වන්නේ 2008දීය.

මෙවර හසු වූ හෙරොයින් තොගය කොකේන් හා සමානව ශරීරයට එන්නත් කරගත හැකි හා උරා බීමට හැකි තත්ත්වයේ ඒවා බව විමර්ශන නිලධාරීන් පවසයි.

හික්කඩුවට එන විදේශිකයන් ඉලක්ක කර දකුණේ පාතාලයේද සහාය අතව මෙම මත්ද්‍රව්‍ය විකුණන්නට මිලදී ගන්නට හීරෝ ඇතුළු කණ්ඩායම පැමිණ ඇතැයි හෙළිවන්නේය.

හීිරෝ හෙවත් පන්හිඳ බාර් නම් කෝටිපති ව්‍යාපාරිකයා මීට පෙරද මත්කුඩු ජාවාරම් මෙහෙයවූ අයෙක් බව විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම ජාවාරම වසර දහයකට වැඩි කාලයක් තිස්සේ හොර රහසේ පවත්වාගෙන යන්නකි.

හීරෝ කරළියට එන්නේ දකුණේ පාතාලයට නායකත්වය දුන් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් සමඟින්ය. මනෝජ් මෙන්ඩිස් දකුණු පාතාලයේ කුඩු ලැසී අතින් මරණයට පත්වන්නේත් පන්හිඳ බාර්හි ඇතිවූ ගැටුමක් මුල්කරගෙනය.
සර්විස් දයාගේ පුතා සමඟ පන්හිඳ බාර්හි පැවැති සාදයකදී ඇතිකරගත් ගැටුමකදී මනෝජ් මෙන්ඩිස් දයාගේ පුතාට පහර දුන්නේය. එයට පළිය ගන්නට කොන්ත්‍රාත්තුව දෙන්නේ තෙල්වත්තේ කුඩු ලැසියාටය. කුඩු ලැසී මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළ පසු හීරෝලාගේ බලය යටගියද ඔවුන් ඒ වන විටත් කුඩු ජාවාරමෙන් කෝටි ප්‍රකෝටිපතියන් වූ බව මත්ද්‍රව්‍ය නාශක අංශ අනාවරණය කරගත්තේය.

උනවටුන, මිරිස්ස, හික්කඩුව කේන්ද්‍රකරගත් කොකේන් හා හෙරොයින් ජාවාරම සිදුකරන්නේ හීරෝලාගේ ගෝල බාලයන්ය. අනෙක් පැත්තෙන් කළේ කුඩු ලැසීය. කුඩු ලැසී බන්ධනාගාරයේ සිට එය මෙහෙය විය.
මනෝජ් මෙන්ඩිස් නැතිවූ පසුව කුඩු ලැසී ෂේප් කරගන්නට හීරෝ කළේ වරකට රුපියල් හැත්තෑ පන්දහසක් පමණ වියදම් කර හිරේ සිටින ලැසීට සියලු දේ යැවීමය.

වරෙක මාතරදී හීරෝගේ කෝකේන් තොගයක් විශේෂ පොලිස් කණ්ඩායමකට කොටු වුණේය. සර්ෆින් බෝඩ් අස්සේ සඟවා අරුගම්බේ සිටින විදේශිකයන්ට විකුණන්නට මේවා යවා තිබුණේ මහතුන් හා බානු අතේය. එම වැටලීමේදී අසුවූ කොකේන් ගල්කර හෂීස් පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඉක්මනින් ඇප ගත්තේ රුපියල් ලක්‍ෂ හතළිහක් පොලිස් කණ්ඩායමට වියදම් කරය.
දකුණේ පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියා හමුවේ පොලිසිය නිහඬව සිටින්නේ මෙවැනි වරප්‍රසාද ලැබෙන නිසාය.

දකුණේ පාතාලය යොදවා හීරෝ මත්කුඩු ජාවාරම ජයටම කරගෙන යන්නේය. හික්කඩුවට කේරළ ගංජාද බෙදා හරින්නේ ඔවුන්ගේ ඥාතියකුය. මේ සියලු තොරතුරු මත්ද්‍රව්‍ය නාශක අංශවලට ලැබී ඇත්තේය. හික්කඩුව ඇතුළු පොලිස් ස්ථාන මේවාට ඉඩ ප්‍රස්තාව දී බලා සිටින බවද හෙළිවී ඇත්තේය.

මනෝජ් මෙන්ඩිස් මියයන විට කෝටි ගණනක් ඔහුගේ මුදල්ද තිබුණේ මොවුන් ළඟ බව ගම්මු කියන කතාය. රුපියල් කෝටි විස්සක් මොවුන් ළඟ තිබූ බවද කියන්නේය. ඒ නිසාම මනෝජ්ගේ සොහොනට හැමදාම පහනක් තබන බවද එහි ගිය අපට ගම්මු කීහ. මේ ගම්මු කියන කතාය.

මත්ද්‍රව්‍ය නාශක අංශ කියන්නේත් මෙම කණ්ඩායම් දකුණේ පාතාලය සමඟින් විදේශිකයන් ඉලක්ක කර හෙරොයින් හා කොකේන් බෙදාහරින වගය.

හීරෝලා මේ ළඟදී විදේශික කතුන් යොදවා හික්කඩුවේ ගෙස්ට් හවුස් එකක් ආරම්භ කර ඇති වග එහි ගිය අපට දකින්නට හා අසන්නට වූයේය.

දැනට ඇති තොරතුරු අනුව හීරෝ සමඟ අල්ලාගත් ගෝලයා කලින් පැවිද්දෙකි. පාතාලේ අනුරට අච්චු කරන්නේ ඔහුය. කලින් ත්‍රීවීල් එළවපු මොහු දැන් හයිබි්‍රඩ් වාහන, කේ.ඩී.එච්. වාහනවල හිමිකරුවෙක්ය.
හික්කඩුවේ විදේශිකයන්ට මෙන්ම සිල්ලර හා තොග වශයෙන් අනෙක් පුද්ගලයන්ට විකුණන්නටද මොවුන් කොල්ලුපිටියට පැමිණ හෙරොයින් මිලදී ගන්නට ගිය බව සනාථ වන්නේය. මොවුන් විදේශික මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ කාලයක් තිස්සේ සබඳතා ඇති කරගෙන සිටි අය බවටද හෙළි වී ඇත්තේය.

ඒ බව සනාථ වන්නේ මුදල් පසුව ගෙවන්නට හෝ මත්ද්‍රව්‍ය තොගය මොවුන්ට ලබා දෙන්නට හොංකොං සිටි ගනුදෙනුකරු ඩීල් ගසා තිබූ නිසාය.

දවස් ගණනක් තිස්සේ කෙසේ හෝ මොවුන්ට මේ කුඩු තොගය විකුණන්නට විදෙස් ජාවාරම්කරුවන් කතා කරගෙන ඇත්තේද මොවුන් අතර තිබූ දිගුකාලීන සබඳකම් නිසා විය හැකිය.

මෙම ජාවාරමේ පසුපස සිටින තවත් තෝරුන් මෝරුන් මෙන්ම ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ගැනද විමර්ශන මඟින් අනාවරණය කරගැනීම මීළඟ අභියෝගයය.

දකුණේ පාතාලය ඇමෙරිකානුවන් සමඟ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල අගමුල සොයා ගත හැක්කේ ඉදිරි විමර්ශනවලදීය.

පුබුදු වික්‍රමතිලක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com