www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හමුදාව ගොඩගන්න දක්ෂයාට තැනදෙන ක‍්‍රමයට යන්න; ජනාධිපතිගේ ක‍්‍රමයට හමු දාවේ තනතුරු ලබාදුන්නොත් ගැටලු නෑ...!


2019-01-27 10:19:58 -  2104 යි

 මනෝජ් අබයදීර

ඉන්ටෙක් අංකයෙන් ගොඩයන්නේ බුල් අයියලා...

යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්වීම සමග මෑත භාගයේ යුද හමුදාවේ තනතුරු සඳහා ඇතිවූ තියුණු යුද්ධයක නිමාව සනිටුහන් විය. මෙම යුද්ධය සඳහා දේවාල, ශාන්තිකර්ම, හදි හුනියම් යනාදී අනෙක විධ මෙහෙයුම් ක‍්‍රියාත්මක වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. තනතුර සඳහා තරග වදින හමුදා නිලධාරීන්ටත් වඩා ඔවුන්ගේ භාර්යාවන් මෙම මෙහෙයුම්වලදී ඉදිරියෙන් සිටි බව පැවසේ. එසේ ඇවිළී ගිය තනතුරු යුද්ධය නිමා වුවද හමුදාව දිගින් දිගටම බේද කරනා මෙම තත්ත්වය තවදුරටත් එසේම පවතියි. මේ නිසා ඇතිවන්නේ ශක්තිමත්, ගරු ගාම්භීර හමුදාවක් නොව තනතුරු උදෙසා සිය සමස්ත ශක්තිය, සිය රැහේ එවුන්ටම එරෙහිව යොදවන දුර්වල හමුදාවකි. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත් වුවද මේ ගැටුම් ඇතිකරනා තත්ත්වයෙන් මිදීමට යුද හමුදාවට නොහැකි වුවහොත් එය හමුදාව විෂයෙහි ආරම්භ වී දේශයේ ආරක්ෂාව දුර්වල කරනා තත්ත්වයක් දක්වා නියත වශයෙන්ම පැතිරී යනු ඇත.
 
 ජම්මික සතුටු කිරීමට සත්‍යප‍්‍රිය කරටියට නැංවීම
 
 දෙසැම්බර් මස මුල් සතිය වන විට හමුදාපතිවරයා විසින් සිය දෙවැනියා සඳහා වූ නම ජනාධිපතිවරයා වෙත යැවිය යුතුව තිබුණි. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඒ සඳහා නම් කර තිබුණේ, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ගේ නමය. සත්‍යප‍්‍රිය ලියනගේ නාමය,මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා නම් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගනු ලැබුවේ, ඔහු ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වය අතින් සිටින නියම සුදුස්සා නිසා නොවේ. එය සත්‍යප‍්‍රිය ලියනගේ වෙත තනතුරක් ලබාදීමට වඩා, තමන්ට තවත් දීර්ඝ කිරීමක් ලබාගෙන හමුදාපති තනතුරේ රැඳී සිටීම සඳහා යුද හමුදාපතිවරයා විසින් ගසන ලද ගැටයක් බව කිව හැකිය. මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ගේ සහෝදරයා සිටින්නේ, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ප‍්‍රධානියෙකු ලෙසය. ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයට ඉදිරියෙන් පිහිටා ඇත්තේ ඔහුගේ කාමරයය. යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කෙටි කලක් සේවය කරන ලද ඔහු, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජම්මික ලියනගේය. ජම්මික ලියනගේ මාර්ගයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත සමීප වී, සිය ඊළඟ සේවා දිගුව ලබා ගැනීම, සත්‍යප‍්‍රිය ලියනගේ නම, හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස නම් කිරීම සඳහා යුද හමුදාපතිවරයා වෙත ධෛර්යය සැපයීය. 
 
 තවත් ආරංචි මාර්ගයකින් කියවුණේ යුද හමුදාපතිවරයාගේ මස්සිනාගේ බේබදු සහකරුවීම නිසා, එම නම යුද හමුදාපතිවරයා විසින් මස්සිනාගේ බලපෑම මත ජනාධිපතිවරයා වෙත යවන ලද බවය. 
 
 කෙසේ නමුත් මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ගේ නම යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා වෙත යැවීම සාධාරණීකරණය කිරීම සඳහා යුද හමුදාවේ ඉහළ පුටු විසින් මඩ වෙබ් අඩවි වෙත අසත්‍ය තොරතුරු ගණනාවක් සපයා තිබුණි. එම වෙබ් මඩ අනුව, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ, ජ්‍යෙෂ්ඨත්වය අනුව හමුදාවේ සිටින තුන්වෙනියාය. ඔවුන් විසින් හමුදාවේ ඉහළ නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වය අනුව නම් කර තිබුණේ මෙසේය.
 
 1. මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන - විශ‍්‍රාම යා යුතු දිනය 2019 අපේ‍්‍රල් 21
 
 2. මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් - විශ‍්‍රාම යා යුතු දිනය 2019 අපේ‍්‍රල් 25
 
 3. මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ - විශ‍්‍රාම යා යුතු දිනය 2019 නොවැ 15
 
 4. මේජර් ජෙනරාල් රුවන් කුලතුංග - විශ‍්‍රාම යා යුතු දිනය 2019 ජුලි 05
 
 5. මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි - විශ‍්‍රාම යා යුතු දිනය 2019 ජුලි 22
 
 6. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා - විශ‍්‍රාම යා යුතු දිනය 2019 ජුනි 22
 
 ජ්‍යෙෂ්ඨත්වයෙන් මුල් ස්ථානයේ සිටින මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන අදාළ තනතුර සඳහා නුසුදුසු බවට කරුණු දක්වමින් අදාළ වෙබ් අඩවිය පවසා තිබුණේ, යුද හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳෙද්දී මේජර් ජෙනරාල් කාරියකරවන විසින් සිය පුහුණුව සමත් වී ඇත්තේ පළමු වතාවේ නොවන බව සඳහන් කරමිනි. පළමු වතාවේ අසමත් වී ඇති අතර කැඩෙට් නිලධාරියෙකු ලෙස සමත් වී ඇත්තේ දෙවන වසරේ වෑයම් කිරීමෙනි. එය මෙවැනි තනතුරකට යද්දී ලකුණු කැපෙන වැඩකි. අංක 2 ස්ථානයේ සිටින මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් යුද හමුදාවේ කාලතුවක්කු බළකායේ සේවය කර ඇතත් ඔහු යුද හමුදාවේ පහළම පදක්කම වන රණශූර පදක්කම හෝ ලබා නැති නිලධාරියෙකි. මෙවැනි තනතුරකට යද්දී එයද ලකුණු කැපෙන වැඩකි.
 
 ඊළඟට සිටින මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ... යනුවෙන් යුද හමුදාපතිවරයා විසින් මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ගේ නම යෝජනා කිරීම අදාළ වෙබ් අඩවිය විසින් සාධාරණීකරණයට ලක් කර තිබුණි. 
 
 යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය මැනීමේ අර්බුදය
 
 එක් පිරිසක් විසින් පවසන්නේ හමුදා නිලධාරියෙකුගේ ජ්‍යෙෂ්ඨත්වය මැනිය යුත්තේ බඳවා ගන්නා දිනය හෙවත් ඉන්ටෙක් අංකයෙන් බවය. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ උසස්වීම් ලද දිනය අනුව එය තීරණය කළ යුතු බවය. 1993 අගෝස්තු මස 17 වැනිදා නිකුත් කරන ගැසට් නිවේදනය අනුව ත‍්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය සඳහා තිබෙන නිර්ණායකය වනුයේ, නිලධාරියා උසස් වීම ලද දිනයය. ඒ මිස ඔහු සේවයට බැඳුණු දිනය සම්බන්ධයෙන් එහිදී කිසිදු සලකා බැලීමක් නොකෙරේ. මෙම පටිපාටියට අනුව යමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාව සිය උසස් වීම් පටිපාටිය තීරණය කරනු ලබයි. ශ‍්‍රී ලංකා යුද හමුදාව මෙයින් කිසිදු ක‍්‍රමවේදයක් ක‍්‍රියාවට නගන්නේ නැතිව අයාලේ යමින් තනතුරු පිරිනමන බව පෙනී යයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, යුද හමුදාපතිවරයා ලෙස පත්වීමෙන්පසුව බඳවා ගැනීමේ දිනය සලකා ලබා දෙන උසස් වීම් පටිපාටිය නවතා දමා දක්ෂයාට තැන දෙන පිළිවෙළ හෙවත් තනතුරු ලද දිනයෙන් ජ්‍යෙෂ්ඨත්වය තීරණය කරන්නට පටන් ගත්තේය. යුද ජයග‍්‍රහණය සඳහා වැදගත් වූ එම ක‍්‍රමවේදය, ඔහු හමුදාපති තනතුරෙන් ඉවත් ගිය පසු, අවුල් වන්නට විය. 
 
 ලෝකයේ සියලූ හමුදාවන් සිය ජ්‍යෙෂ්ඨත්වය මනිනුයේ, බඳවා ගැනීමේ දිනයෙන් නොව පෙන්වන ලද වැඩ අනුවය. බඳවා ගැනීමේ දිනය යනු හමුදාවේ ඉහළට යෑම සඳහා වන සුදුසුකමක් නම් ඒ සඳහා සුදුස්සා වන්නේද මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනය. එසේ තිබියදී බඳවා ගැනීම එකම සුදුසුකම ලෙස සලකන පිරිස ද සිය වුවමනාව වන, එකී බඳවා ගැනීමේ ක‍්‍රමවේදයෙන් තුන්වෙනියා වන මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ඉදිරියට ගෙන එන්නේ, ඔහුට පෙර සිටින දෙදෙනා දක්ෂයන් නොවන බව පෙන්වා දෙමිනි. එසේ නම් ඔවුන් විසින්ම ඔප්පු කර සිටින්නේ දක්ෂයාට තැන දෙන පිළිවෙත හෙවත් නිලයට පත්වූ දිනය හමුදාවේ ඉහළ තනතුරු සඳහා යෝග්‍ය ක‍්‍රමවේදය බවය. එක් දිනකදී සිය දෙනකු පමණ බඳවා ගන්නා හෙයින් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය අනුව හමුදාවේ ඉහළ තනතුරු පිරිනමන්නේ නම්, එම පිරිස් යුද්ධ කර සිය දක්ෂතා පෙන්වා ඉදිරියට යනවා වෙනුවට, සිය තනතුර උදෙසා, ඔහේ සිටින පිරිසක් බවට පත්වනු ඇත. එවැනි හමුදාවක් සුදුසු වනු ඇත්තේ සිකියුරිටි සේවාවක් ලෙස, කාර්යාල මුර කිරීම සඳහා මිස රටක ජාතික ආරක්ෂාව උදෙසා නොවේ. දක්ෂතාව අනුව ලැබෙන තනතුරු ප‍්‍රකාරව හමුදාවේ ඉහළ තනතුරු තීරණය වන්නේ නම්, සියලූ නිලධාරීන් සිය උපරිම දක්ෂතාව පෙන්නුම් කර, එයින් වඩා දක්ෂයා හමුදාවේ ඉහළට යනු ඇත. වෘත්තිය හමුදාවක් සඳහා සුදුසු වන්නේ එවන් ක‍්‍රමවේදයකි. රජය විසින් ගැසට් පත‍්‍රයකින් නියම කර ඇත්තේද එම ක‍්‍රමවේදයමය. එම ක‍්‍රමවේදය අනුව යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි නිලය සඳහා සුදුස්සා තෝරා ගත යුත්තේ, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටින මේජර් ජෙනරාල්වරුන්ගෙන් හෙවත් මේජර් ජෙනරාල් නිලයට පත්වීම අනුව ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීමෙනි.
 
 ජ්‍යෙෂ්ඨම මේජර් ජෙනරාල් කවුද...?
 
 මේජර් ජෙනරාල් නිලය ලබා ගත් දිනය අනුව වත්මන් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් පිළිවෙළින් මෙසේ සටහන් කළ හැකිය.
 
 2009 ජුලි 01
 
 මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක
 
 2009 ජුලි 29 
 
 මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
 
 2013 ඔක්තෝබර් 07
 
 මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන
 
 මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්
 
 මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ
 
 2014 දෙසැම්බර් 30
 
 මේජර් ජෙනරාල් රුවන් කුලතුංග
 
 මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි
 
 ඒ අනුව හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා නම් කළ යුතුව තිබුණේ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නමය. තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව බලන විට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට වහාම පහළින් සිටින නිලධාරියා වන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, මේජර් ජෙනරාල් නිලයට පත්වී ඇත්තේ ශවේන්ද්‍ර සිල්වාට වඩා වසර හතරයි මාස දෙකක් සහ දින හතක් ගතවීමෙන් පසුවය. එසේ නම් ලැයිස්තුවේ සිටින අනික් චරිත සිටිනු ඇත්තේ ශවේන්ද්‍ර සිල්වාට වඩා කෙතරම් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ තැනකද...? 
 
 හමුදාපතිවරයා විසින් මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ගේ අදාළ තනතුර සඳහා නම් කිරීමෙන් නොසෑහුණු ජනාධිපතිවරයා, යුද හමුදාපතිවරයා වෙත දන්වා සිටියේ, එම තනතුර සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු දස දෙනකුගේ නම් තමා වෙත එවන ලෙසය. හමුදාවේ අනාගතය සහ ඒ සඳහා නියමිත නෛතික පටිපාටිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුමක් තිබීම හේතුවෙන් හමුදාපති මහේෂ් සේනානායකට සිය නම් කිරීම ආපසු කැඳවා ජ්‍යෙෂ්ඨයන්ගේ ලැයිස්තුවක් සන්නද්ධ සේනා විධායක වෙත යවන්නට සිදුවිය. පසුගියදා විශ‍්‍රාම ලද නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ විසින් තමා විශ‍්‍රාම යන විට පත් කළයුතු නාවික හමුදාපතිවරයා ලෙස යවන ලද්දේ රියර් අද්මිරාල් පියල් සිල්වාගේ නමය. ඒ නම යැවීම තුළ කිසිදු දහන් ගැටයක් තිබුණේ නැත. ඒ නිසා ජනාධිපතිවරයා විසින් දින දෙකක් ඇතුළත් නාවික හමුදාපතිවරයා විසින් නම් කරන ලද පියල් සිල්වා, නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලද්දේය. එසේ වෙද්දී යුද හමුදාපතිවරයා විසින් සිය දෙවැනියා ලෙස යැවූ නම වෙනුවට ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවේ දසදෙනාගේ නම් ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටීම, හමුදාපතිවරයාගේ ගෞරවය කැළැල් කරන්නට සමත්විය.
 
 තමා හමුදාපති වූ ක‍්‍රමය අමතක කරන ලද හමුදාපති වත්මන් යුද හමුදාපතිවරයා යුද සේවයෙන් ඉල්ලා අස්වී යළිත් සක‍්‍රිය සේවය සඳහා එක්වනු ලැබුවේ, යහපාලන ආණ්ඩුව පැමිණි පසුවය. දේශපාලන පලිගැනීම් ලැයිස්තුවට රිංගා එසේ බොහෝ දෙනෙක් හමුදා සේවයට එක්වී, තනතුරු ලබා ගත්තේය. නාවික හමුදාපති තනතුරේ මාසයක් සේවය කරන ලද අද්මිරාල් ට‍්‍රවිස් සින්නයියා ද තම පුද්ගලික අවශ්‍යතාවක් සඳහා යැයි කියමින් නාවික හමුදාවෙන් ඉවත්ව යහපාලන ආණ්ඩුව පැමිණි පසු, සිය අස්වීම දේශපාලන පළිගැනීමක් බව පෙන්වමින් සක‍්‍රිය නාවික සේවයට එක්වී නාවික හමුදාපතිවරයා බවට පත්විය. කෙසේ හෝ මහේෂ් සේනානායක යුද හමුදාපති තනතුරට පත්වන විට, මේජර් ජෙනරාල් නිලය දරන ලද අය අතරින් එම නිලය සඳහා ජ්‍යෙෂ්ඨතමයා වූයේ ඔහුය. ඊට ප‍්‍රථම ඔහු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා වන්නේ ද එසේය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා වන්නේ ද මතු දිනක ඔහු ශ‍්‍රී ලංකා යුද හමුදාපති වනු ඇත්තේද එසේය. 
 
 මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද හමුදාපති ලෙස පත්වන අවස්ථාවේ, බඳවා ගැනීමේ දිනයෙන් ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලූව් නම් ඔහු සිටියේ තුන් වෙනි තැනටය. මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා, මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ යන දෙදෙනාම මහේෂ් සේනානායකට වඩා, ඉන්ටෙක් අංකයෙන් ඉහළ සිටියෝය. ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද සලකා බලන ආකාරයට, ඒ මොහොතේදී සලකා බැලූවේ නම් හමුදාපති තනතුර සඳහා සුදුසුම පුද්ගලයා වනුයේ මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරාය. ඔහු දක්ෂතා සපිරි හමුදා නිලධාරියෙකු විය. එසේම නැවත පදිංචි කිරීමේ යාන්ත‍්‍රණය උදෙසා ඔහු අනුපමේය සේවයක් ඉටු කළේය. එවැනි නිලධාරීන් සිටිනා විට තමාට හමුදාපති තනතුර ලබා  ගැනීම සඳහා මහේෂ් සේනානායක විසින් උපයෝගි කර ගත්, නිලය ලබා ගත් දිනය අනුව ජ්‍යෙෂ්ඨත්වයට පත්වීමේ ක‍්‍රමවේදය, ඔහු විසින්ම අද උල්ලංඝනය කර තිබේ. 
 
 නිලය ලබා ගත් දිනය සේම විශ්වාසය යුද හමුදාවේ උසස්වීම් සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ කට්ට මෝරා යෑම නොවේ. එනම් වයසට යන්න යන්න පටි හෝ තරු වැඩි වීම නොවේ. වයස වැනි සාධකයක් පමණක් සලකා බලා උසස්වීම් ලබා දීම හමුදාවකට මතු නොව වෙනත් ක්ෂේත‍්‍රයක් සඳහා හෝ ගැළපෙන්නෙක් නොවේ. එම උසස් වීම් හි පදනම වන්නේ දක්ෂතාව සහ විශ්වාසයය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාවේ දෙවනියා වූයේ මේ සියල්ල සපුරාය. ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සේම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සිය තනතුරු සඳහා පැමිණ ඇත්තේ දක්ෂයාට තැන දෙන, තනතුරු ක‍්‍රමය අනුව ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීමෙනි. ඒ නිසා මේ පළවෙනියා සහ දෙවැනියා එකතුවී, යල් පැන ගිය, ලෝකයේ කිසිදු හමුදාවක් අනුගමනය නොකරන, ඉන්ටෙක් අංකය සලකා බලා උසස් වීම් ලබා දීම අහෝසි කර, දක්ෂතා මත යුද හමුදාවේ උසස්වීම් ලබාදෙන ආකාරය, එහි ඒකායන උසස්වීම් පිළිවෙත බවට පත්කළ යුතුව ඇත. හමුදාවේ නිලතල හොබවන සියලූම පාහේ මෙම ක‍්‍රමය ඉල්ලා සිටිති. හමුදා භාෂාවෙන් කියන පරිදි බුල් ගසමින් සිට, වයස යන විට තනතුරු ලැබෙන ආකාරය ඉදිරියේ දක්ෂයන් රැසක් යුද හමුදාවට අහිමිවී ඇත. විවිධ අක‍්‍රමිකතා සඳහා සම්බන්ධ වන සමහර නිලධාරීන් තමන්ට උසස් වීම් අහිමිව ගිය විට, පසුව කාට හෝ ගොට්ටක් අල්ලා, තම උසස්වීම ලබා ගන්නා ආකාරය හමුදාවේ දකින්නට ලැබෙන දෙයකි. මෙවැනි සිද්ධි සහ ඉන්ටෙක් අංකයෙන් තනතුරු ලබාදීම නිසා හමුදාවේ දක්ෂයන්ට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ, පස්ස බලාගෙනය. එසේ යන ගමනක කාර්යක්ෂමතාව සහ පලදායිතාව පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. මේ අසාර්ථක ක‍්‍රමවේදයට තිත තබා, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අනුගමනය කරන ලද ක‍්‍රමවේදය, හමුදා තනතුරු සඳහා ස්ථිර ක‍්‍රමවේදය බවට පත් කරන්නේ නම්, හමුදාවේ ලොකු පුටු සඳහා සීතල යුද්ධ, එකිනෙකාට හදිහූනියම් කිරීම ආදී දේ නතර වි සියලූදෙනාට පිළිගත හැකි ආකාරයෙන් දක්ෂයා ඉදිරියට එනු ඇත. 


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com