www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි ඉන්දියාවේ සිටකොළඹ මිනී මරන්නේ මෙහෙමයි


2019-01-26 14:00:09 -  888 යි

මේ වෙඩික්කරුවන් ගහන්නේ ඈන්ගල් එකකටයි. හොඳට වෙපන් හැඬ්ල් කරන්න පුළුවන් දෙන්නෙක් ප්‍රහාරයට ඇවිත් හිටියේ. වෙපන් එක උස්සලා සරල විදියට ඈන්ගල් එකකට ගහන්නේ එක්ස්පර්ට්ලා හින්දා. එක්කෝ හමුදා පුහුණුවක් තියෙන අය. නැතිනම් එල්ටීටීඊ පුහුණුව තියෙන අය තමයි මේකට එන්න ඕනෑ.

ඉකුත් ඉරිදා (13 දා) සවස 3.30 ට වත්තල හේකිත්ත පාරේ අයියාන් සබ්රිමලේ කෝවිල අසල ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් මෙන් විය. රෝස පැහැති වැගන්ආර් රථයක් එකවරම මග හරස් කර නවතින්නේය. එසැණින් මුස්ලිම් කතුන් අඳින ෆර්දාවක් ඇඳගත් අයකු මෝටර් රථයෙන් බැස ගන්නේ ටී 56 ගිනි අවියක් අතැතිවය. තවත් එකෙකු මුහුණු ආවරණය වන හෙල්මටයක් පැලඳගෙන බැස ගන්නේ තවත් ටී 56 ගිනිඅවියක් අතැතිවය.

ඉලක්කය ඉදිරියට ආ තවත් මෝටර් රථයකි. එසැණින් එයට වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරන වෙඩික්කරුවන් තත්පර ගණනකදී වෙඩි උණ්ඩ තිහක් පමණ එල්ල කරන්නේය. ඉන්පසු තුවක්කුකරුවන් වාහනයට නැග පලා යන්නේ අසුරු සැණින්ය. මෝටර් රථය තුළ ඉදිරි අසුන්වල සිටි දෙදෙනාට අවසන් හුස්මක්වත් ගන්නට ඉඩක් නොමැති තරම්ය. හුන් තැනම අවසන් හුස්ම ගොසින්ය.

තත්පර එකොළහක මෙහෙයුමකින් ඉලක්කය සපුරාගත් වෙඩික්කරුවන් පලා යන්නේ වත්තල දෙසටය. මෝටර් රථයේ පසුපස අඳුරු වීදුරු නිසා පිටුපස සිටි කාන්තාව හා දරු දෙදෙනා වෙඩික්කරුවන්ට මග හැරුණේය. මෙහි සිටියේ කොළඹ හොල්ලගෙන සිටි කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වූ ජම්පටාවීදියේ කුඩු සෙල්විගේ පවුලේ අය ය.

ප්‍රහාරයෙන් මියදෙන්නේ කොටහේන ජින්තුපිටි වීදියේ පදිංචි ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් (31) හා සුප්පයියා මදිවානන් (38) හෙවත් මදීය. චාල්ස් යනු කුඩු සෙල්විගේ බාල දුව විවාහ වූ පුද්ගලයාය. කුඩු සෙල්විගේ ලොකු පුතා පලනි ශිරාන් විවාහ වී සිටියෙත් චාල්ස්ගේ නැගණිය සමගය. චාල්ස් සමග මෝටර් රථයේ ඉදිරිපස අසුනේ යන්නේ ඔහුගේ සමීපතම පාතාල සගයා මදීය. පසුපස අසුනේ ඉන්නේ චාල්ස්ගේ නැගණිය වූ පලනි ශිරාන්ගේ බිරිඳ හා දරු දෙදෙනාය. වෙඩි වරුසාවත් සමග මෝටර් රථයේ පසුපස අසුනේ යටට රිංගාගෙන දිවි ගලවා ගන්නට එම කාන්තාව හා දරු දෙදෙනාට හැකි විය. වෙඩි උණ්ඩ මැරකම්වලට බිය නැති කාන්තාවක් වන දිවිබේරාගත් ඇය මෝටර් රථයෙන් බැසගත් විගස කතා කරන්නේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයටය. ඒ තම සැමියා වන පලනි ශිරාන්ටය.

මේකට තොපි පළිගත්තේ නැත්නම් තොපි නපුංසකයෝ යැයි දෙමළෙන් කතා කරමින් ඇමතුම දෙන ඇයගේ මුහුණේ කිසිදු තැති ගැන්මක් නොවීය. ඒ ඔවුන්ට මෙවැනි දෑ සාමාන්‍ය සිද්ධීන් වූ නිසාය.

කුඩු සෙල්විගේ පවුලේ අයත් පුකුඩිකන්නාගේ කල්ලියත් අතර මත්කුඩු සම්බන්ධව ඇති පාතාල ආරවුලකට මිනීමරාගන්නේ වසර ගණනක සිටමය. එයට එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් පවා එකතු වන්නේ කුඩු සෙල්වි සමග ඇති වූ සම්බන්ධයත් සමගය.

දැනට ඇති තොරතුරුවලට අනුව මෙම ප්‍රහාරය පසුපස සිටින්නේ බුම්මා හෙවත් සුබ්‍රමනියම් සෙල්වරාජා ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු (31)ය. කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන පසුගිය වසරේ සිදු වූ අබිරහස් ඝාතන රැල්ලක් සමග කෙනඩි හෙවත් බුම්මා ඉන්දියාවට පැන ගන්නේ පුකුඩිකන්නා සමගය. මේ දෙදෙනාම කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන්ය.

මෝදර කිඹුලාඇළේ සිට දෙමළ පාතාලයට නායකත්වය දුන් කිඹුලාඇළ ගුණාගේ ළඟම ගෝලයා මෙන්ම ඥාතියකු ද වන පුකුඩිකන්නා හෙවත් බාලචන්ද්‍රන් පුෂ්පකරන් අනෙකාය. පුකුඩිකන්නා යුද සමයේ කොටින්ගේ අවි ආයුධ ප්‍රවාහනය කළ කොටි ක්‍රියාකරුවෙකි. පුකුඩිකන්නාගේ නිවසේ සඟවා තිබූ අවි ආයුධ තොගයක් ආරක්ෂක අංශ සොයා ගත්තේ 2007 දීය. හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර කොළඹ පුරහල් භූමියේ පැවති රැලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නට බෝම්බකරු එවන්නේද කිඹුලාඇළේ ගුණා හා පුකුඩිකන්නාගේ සහායෙන්ය. යුද සමයේ කොටි ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සඟවා තැබුවේද කිඹුලඇළ ගුණාගේ තිප්පොළවලය.

අද මේ කියන පුකුඩිකන්නා හා කෙනඩි (බුම්මා) කොළඹ පාතාල කණ්ඩායම් සමග එක්ව අපරාධ මෙහෙයවන ප්‍රබලයන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනාම ඉන්දියාවට පැන ගන්නේ මීට මාස කීපයකට පෙරාතුවය. ඒ කොළඹ සිදු වූ ඝාතනවලට අල්ලන්නට සොයද්දීය.

බුම්මා කොළඹ මාලු වෙළෙඳපොළේ සේවය කළ සිය පියා සමග පාසල් යන කල සිටම එහි ආගිය කොටහේනේ පදිංචිකරුවෙකි. කොච්චිකඩේ පාසලක අට වසර දක්වා ඉගෙනගත් බුම්මා මාළු වෙළෙඳාම සඳහා කිලිනොච්චියට ගිය විටෙක හඳුනාගත් නාදන් මාර්ගයෙන් කොටි සංවිධානයට එක් වන්නේ වයස අවුරුදු 13 දීය. කිලිනොච්චියේ දී සුබන් මාස්ටර් යටතේ අවි පුහුණුව හදාරන බුම්මා යුද හමුදාව සමග ඇති වූ සටන්වලදී මල්ලාවි, කිලාලි, සුගන්දිපුරම්, ආනන්දපුරම් යන ප්‍රදේශවලදී සිව් වතාවක් තුවාල ලැබ බේරුණු දක්ෂ කොටියෙකි. අත්දෙකින්ම වෙඩි තබන්නට හැකි දක්ෂතාවක් බුම්මාට ලැබෙන්නේ කොටි නායක ප්‍රභාකරන්ට ආරක්ෂාව සපයන චාල්ස් ඇන්තනී බළකායට එක් වූ පසුවය.

සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් දින කීපය යන අතරේ 2009 මැයි 14 දා සිවිල් වැසියන් අතරේ සැඟවී හමුදා පාලන ප්‍රදේශයට පැමිණෙන බුම්මා හමුදා බුද්ධි අංශයට කොටු වූ පසුව ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට භාර කරන්නේය. එතැනින් පුනරුත්ථාපනය කර බූස්සේ සිරගෙදර රඳවා තිබියදී දකුණේ පාතාලයේ නායකයකු වන කොස්ගොඩ සුජී හමුවන්නේය.

වසර තුනකට පසු හිරෙන් නිදහස් වී කොළඹ එන බුම්මා නිවසට යද්දී තම පවුලේ අය කුඩු සෙල්විගේ පවුලේ අයගේ මරණීය ඉලක්ක බවට පත් වී ඇති වග දැන ගන්නේය. සෙල්විගේ පුතා ශිරාන් බුම්මාගේ නැගණියගේ අතින් අල්ලා බලහත්කාරකම් පාන්නට ගිය විට ශිරාන්ට බුම්මාගේ සොයුරා ස්ටැන්ලි මර්ක්ස් එළව එළවා පහර දුන්නේය. ශිරාන් කැපුම් තුවාල සමග රෝහල්ගත කරද්දී සෙල්විගේ පාතාල කුඩු කල්ලිය බුම්මාගේ ගෙදරට කඩාවැදී බුම්මාගේ මවට හා නැගණියට පහර දුන්නේ පළිය ගන්නටය. ඉන් නොනැවතුණු කුඩු සෙල්වි රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් දී බුම්මාගේ සොයුරු මර්කස් මරන්නට පාතාලයට නියෝග කරන්නේ ය.

වසර තුනක් හිරේ සිටි කෙනඩිට මව ආයාචනය කරන්නේ සෙල්විගේ තර්ජනයෙන් සොයුරා බේරාගන්නා ලෙසය. ඒ සමග සෙල්විව අවසන් ගමන් යවන්නට සැලසුම් කරමින් සිටින කෙනඩි (බුම්මාට) තම හිරගෙදර සිටම ඒ සඳහා කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේය. ඒ පුකුඩිකන්නාගෙන්ය. තමන්ව අවි ආයුධ සමග පොලිසියට කොටුකර දුන්නේ සෙල්වි බවට පුකුඩිකන්නාට තරහක් තිබුණේය. එමෙන්ම තමන්ව හයියට සිටි ජම්පටා වීදියේ රෙක්ස් රීගන්ව කුඩු සෙල්විගේ සැමියා හා පුතුන් තිදෙනා එක්ව කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියේ පළිය ගන්නටද පුකුඩිකන්නට අවශ්‍යව තිබුණේය. රීගන් හා පුකුඩිකන්නා යන දෙදෙනාම බන්ධනාගාරගතව සිටියදී එකට මත්කුඩු ජාවාරම මෙහෙයවූවන්ය. ජම්පටා වීදිය හොල්ලාගෙන කුඩු ජාවාරම ජයටම කළ සෙල්විට රීගන් අභියෝගයක් වූ තැන ඉකුත් මහ මැතිවරණ උණුසුමේම ඝාතනය කරන්නේය.

හිරේ සිටින පුකුඩිකන්නාගෙන් කෙනඩි ඉල්ලන්නේ ආයුධයක් පමණය. ජම්පටා විදියේ දී දෙනෝදාහක් බලා සිටියදීම කෙනඩි, කුඩු රැජිනක් වූ කුඩු සෙල්විව ඝාතනය කරන්නේ ය. ඒ 2015 සැප්තැම්බර් 12 දාය.

සෙල්වි මරා දමන කෙනඩි එතැනින් පසු රැකවල් පතන්නේ කොස්ගොඩ සුජීගෙන්ය. කොස්ගොඩ සුජී ඩුබායිවලට පැන සැඟවී පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නට කැසකවන පාතාල නායකයාය.

2016 පෙබරවාරි 16 දා දකුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකුණු මෝල් පියා හෙවත් පියරත්න හා රසික යන දෙදෙනා බලපිටිය උසාවිය ළඟදී මයික්‍රෝ පිස්තෝල ප්‍රහාරයකින් මරා දමන්නේ ය. කොන්ත්‍රාත්තුව සුජීගේය. වෙඩික්කරු බුම්මාය. යළිත් බලපිටිය උසාවිය ළඟදී නන්දසිරි අමරසිංහව ඝාතනය කරන්නේ 2016 අප්‍රේල් 11 දාය. මයික්‍රෝ පිස්තෝලයක් යොදාගෙන කරන මෙම ඝාතනයට බුම්මා (කෙනඩි) සමග ඌරගහ මයිකල් ආවේය. මුල් කාලයේ බුම්මාට රැකවරණ දෙන්නට සුජී පවරන්නේ ඌරගහ මයිකල් හා ඌරුගහ ජෝශප්ටය. මිද්දෙණිය පැත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයකුද කෙනඩිට රැකවල් දුන්නේ ය.

මේ අයුරින් දකුණේ පොලිස් ස්ථානවලටත්, ප්‍රශ්නයක් වූ අබිරහස් වෙඩික්කරු කොටි ත්‍රස්තවාදියකු බවට මුලින්ම බුද්ධි තොරතුරක් ලැබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂක කැලුම් සංගීත්ටය. බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රියගේ මෙහෙයවීමෙන් ගාල්ල සිමෙන්ති කම්හල ඉදිරිපිටදී කෙනඩි හෙවත් බුම්මා පිස්තෝලයක් සමග කොටුකරන්නේ දකුණේ පාතාලයේ තවත් ඝාතනයක් සඳහා යමින් සිටියදීය. දකුණේ පාතාලය සිය ඝාතන සඳහා කොටි සාමාජිකයන් යොදා ගන්නා බවට මුල්වරට හෙළි වන්නේ මෙහිදීය. ඒ 2016 අප්‍රේල් 17 දාය.

ඉන්පසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදෙන බුම්මා කලක් බන්ධනාගාරගතව සිට පසුගිය වසරේ ඇපමත නිදහස්ව එන්නේය. හිරෙන් එළියට එද්දීම පුකුඩිකන්නාගේ කණ්ඩායමක් පැමිණ බුම්මා ත්‍රීවීල් රථවල දමාගෙන තම රාජධානියට හොර රහසේ ගෙන යන්නේය.

එතැන් පටන් බුම්මා ඝාතන රැල්ල අරඹන්නේ නගර සභා මන්ත්‍රීවරයකු වෙළෙඳසලක් තුළදීම වෙඩි තබා ඝාතනය කරමිනි. මීළඟට ජම්පටා වීදියේ පොල් කඩයක් කරගෙන ගිය කුඩු සෙල්විගේ සැමියා වූ කරුපයියා මිලති (ගනේෂ්)ට වෙඩි තබන්නේය. ඒ 2018 ජුනි 24 දාය. ඉන් දවස් නවයක් යද්දී සෙල්විගේ බාල පුතුන් දෙදෙනා වන පලනි ඉමෝෂන්, පලනි කැනිස්ටර් යන දෙදෙනා අඹුසැමි යුවළක් ඝාතනය කරන්නේ ජම්පටා වීදියේදීමය. ඒ තම පියාට වෙඩි තබන්නට ඔත්තුව දුන් චෝදනාවටය.

2018 අගෝස්තු 03 දා පුකුඩිකන්නාගේ පියාව මෝදර තැපැල් කන්තෝරුව අසලදී ඝාතනය කරන්නේ කුඩු සෙල්විගේ පුත්තු දෙදෙනාය. සෙල්විගේ පුතුන් දෙදෙනාට මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ සහාය ලැබෙන්නේ කෙනඩිට කොස්ගොඩ සුජීගේ සහාය ලැබෙද්දීය. මාකඳුරේ මධුෂ් විසින් තමාගේ ව්‍යාපාරික සගයා වූ රිස්වාන් ඝාතනයේ පළිය ගන්නට අඟුණකොළපැලැස්සේ දී ගෙල කපා මරා දමන කොස් මල්ලිගේ ගෙල අලුත්කඩේ උසාවිය ළඟට ගෙනැවිත් දමා යන්නේද කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනාය.

සෙල්විගේ ලොකු පුතා වූ පලනි ශිරාන්ගේ බිරිඳ හා ඇගේ සොහොයුරා වූ චාල්ස් තම පියා ඝාතනයට හා ජම්පටා වීදියේ අඹුසැමි යුවළ ඝාතනයට සම්බන්ධ වූ බවට පුකුඩිකන්නාගේ අය තොරතුරු සොයාගෙන තිබුණි. ශිරාන්ගේ බිරිඳත් කුඩු ජාවාරමට හා මිනීමැරුම්වලට උදව් කළ බවට පොලිස් විමර්ශන කණ්ඩායම්ද තහවුරු කරගෙන සිටියහ.

කොයි මොහොතේ හෝ තමන් සොයා එන බව දැනගත් ශිරාන්ගේ බිරිඳ හා සොහොයුරු චාල්ස් හුනුපිටිය බණ්ඩාරනායක මාවතේ නිවසකට රහසේම පදිංචියට යන්නේ මීට මාස හයකට පෙරාතුවය.

පසුගිය ඉරිදා (13 දා) මොවුන් පල්ලියට ගොස් එමින් සිටියේය. ශිරාන්ගේ බිරිඳත්, චාල්ස් හා ඔහුගේ මිතුරකු වූ මදීත් වාහනයේ සිටියහ. 151 වත්තට හැරෙන තැනදී පුකුඩිකන්නාගේ හිතවතකු වූ ධනුෂ්ක හමු වී කතා කර චාල්ස් ඇතුළු පිරිස අතරමග නිවසක වූ ශිරාන්ගේ දරු දෙදෙනාත් දමාගෙන හුනුපිටිය බලා පිටත්වන්නේය.

මේ යන්නේ අවසන් ගමන බව ඔවුහු නොදැන සිටියෝ ය. මේ වන විටත් ඔවුන් පසුපස මාරයා එන බවද නොදැන හුන්හ. සියල්ල තත්පර එකොළහක මෙහෙයුමකින් අවසන් කරන්නට බුම්මාගේ හා පුකුඩිකන්නාගේ වෙඩික්කරුවන් කටයුතු කළහ. චාල්ස්ගේ සිරුරට වෙඩි උණ්ඩ විසි එකක් කිදා බැඳ තිබුණේය. හොඳ එක්ස්පර්ට්ලා තමයි මේ ප්‍රහාරයට යොදවලා තිබුණේ. වෙපන් එකක් දෙපාරක් හිරවෙලත් ආයේ කොක් කරලා ගැහුවා කියලා එතැන වැටුණු ලයිව් ඇමෝ (ටී. 56 උණ්ඩ) දෙකෙන් හෙළිවෙනවා. මේ වෙඩික්කරුවන් ගහන්නේ ඈන්ගල් එකකටයි. හොඳට වෙපන් හැඬ්ල් කරන්න පුළුවන් දෙන්නෙක් ප්‍රහාරයට ඇවිත් හිටියේ. වෙපන් එක උස්සලා සරල විදියට ඈන්ගල් එකකට ගහන්නේ එක්ස්පර්ට්ලා හින්දා. එක්කෝ හමුදා පුහුණුවක් තියෙන අය. නැතිනම් එල්ටීටීඊ පුහුණුව තියෙන අය තමයි මේකට එන්න ඕනෑ.

විමර්ශන නිලධාරියකු අනාවරණය කළේ ය.

කෙසේ ​හෝ වේවා මේ සියලු අපරාධවලට බන්ධනාගාරය තුළිනුත් සහාය ලැබෙන බව මෙම ඝාතනයෙන් පසු හෙළිවන්නේ ය. වෙඩි ප්‍රහාරයෙන් පසු චාල්ස්ගේ සොහොයුරිය සිරගෙදර සිටින තම සැමියාට දුරකථනයෙන් කතා කිරීමෙන් ඒ බව තහවුරු වේ. එම කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගනිද්දී ශිරාන් හා ඔහුගේ බාල සොහොයුරා හිරගෙදර සිට පොලිස් විමර්ශන නිලධාරින්ට කතා කළේ ය.

සර් පොලිසිය එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අපේ එකාට ගහපු පළිය ගන්නවාමයි ඔවුහු හිරගෙදර සිටම කියා සිටියහ.

මීට පෙර මහර බන්ධනාගාර අධිකාරී ලෙස උඩුවර මහතා සිටියදී මහර බන්ධනාගාරය ජංගම දුරකථනවලින් තොර කලාපයක් කර මහර සිට සිදු වූ අපරාධ රැල්ල නැවැත්වූයේය. එය පාතාල ලෝකයේද ප්‍රසිද්ධ වූයේ සිරකරුවන්, නීතිඥවරුන් මගින් මහර බන්ධනාගාරය වෙනුවට වෙනත් බන්ධනාගාර ඉල්ලා සිටින තත්ත්වයක් උද්ගත වෙද්දීය.

මෑත කාලයේ සිදු වූ සියලු අපරාධ සිදු වූයේ කොළඹ හා මහර බන්ධනාගාර කේන්ද්‍ර කරගෙනයි. පිටරට ඉන්න පාතාල නායකයන් හිරගෙදර ඉන්න සගයන්ට කෝල් කරනවා. ඇතුළේ ඉන්න අය ගෝලයන්ව දාලා රටේම මිනීමරුම් හා අපරාධ කරනවා. කුඩු ජාවාරමන් සිද්ධ වෙන්නේ මේ විදිහටයි. හිරගෙවල්වල තියෙන් ​ෆෝන් ඔක්කෝම අල්ලලා අපරාධකාරයෝ හුදකලා කළා නම් අපරාධවලින් සියයට හැත්තෑවකට වඩා අඩු කරන්න තිබ්බා. එස්ටීඑෆ් දාලා හරි බන්ධනාගාර සුද්ධ කරලා ෆෝන් නැතිව මාස දෙකක් තිබ්බා නම් මේ රටේ අපරාධ බින්දුවට බස්සවන්න තිබුණා. හිරගෙවල්වල තියෙන ෆෝන් ඔක්කෝම අල්ලන්න පුළුවන් නම් මත්කුඩු ජාවාරමත් බින්දුවට බස්සන්න පුළුවන්. මේ සංවිධාන්තමක අපරාධ මර්දනයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියන්නේය.

ගාල්ල බන්ධනාගාරයේ සිටින කුඩු ලැසී, කරන්දෙනියේ සුද්දා යන පාතාලයන්ද දකුණේ අපරාධ මෙහෙයවන්නේ සිර ගෙදර සිට බව පොලිස් විශේෂ කාර්ය බළකාය සාක්ෂි සහිතව හෙළිකර ගෙන ඇත.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටින කොටි සාමාජිකයන් යළි කොටි ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට පාතාලයේ සහාය ගන්නට දෙමළ ඩයස්පෝරාව කළ සැලසුමක් අරුණ පසුගිය සතියේ මුල් පිටුවෙන්ම අනාවරණය කළේ මේ කියන ජාවාරම් නිසාය. පාතාලයේ ඝාතනවලට කොටි සාමාජිකයන් භාවිත කරන බව කෙනඩි ගැන හෙළිකරමින් එම පුවතින් පෙන්වා දුන්නෙමු. වත්තල හෙල්ලූ ඝාතනයට හොයන බුම්මා මේ කියන කෙනඩිය.

අත්දෙකින්ම වෙඩි තබන්නට හැකි දක්ෂතාවක් බුම්මාට ලැබෙන්නේ කොටි නායක ප්‍රභාකරන්ට ආරක්ෂාව සපයන චාල්ස් ඇන්තනී බළකායට එක් වූ පසුවය



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com