www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරේ නටන්නේ කොටිද? පූසොද?


2019-01-26 13:22:18 -  711 යි

යුද්ධය අවසන් වී වසර 10 කට ආසන්න වන මේ මොහොතේත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට කොටි සංවිධානය නිසා නිදහසක් නැත. කොටි සංවිධානයට යළි පණ දීම සඳහා ජාත්‍යන්තර තලයේ විශාල සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කවුරුත් දන්නා නමුත්, ඔවුන් ශ්‍රී ලංකාවේද ක්‍රියාකාරීව සිටින බව වැඩි දෙනෙක් දන්නේ නැත. ඊට හේතු වී තිබෙන්නේ යහපාලන ආණ්ඩුවේ සහජීවන වැඩපිළිවෙළ නිසා එල්ටීටීඊ මෙරට ක්‍රියාකාරකම් හැකි සෑම අවස්ථාවකදීම යටපත් කරන්නට කටයුතු කළ බැවිනි. මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ගේද සහාය ද ලැබෙන බව නොරහසකි.

පසුගිය මාස කීපය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් කොටි ක්‍රියාකාරකම් යැයි සැක කෙරෙන සිදුවීම් කිහිපයක්ම වාර්තා වූ නමුත් ඒ කිසිවක් කොටි සංවිධානයට සම්බන්ධ බව කිසිදු බලධාරියකු තහවුරු කර කියන්නේ නැත. ඒ කොටි තර්ජනයක් ඇතැයි යන්න ජනතාව අතර පැතිර යෑම වැළැක්වීමය.

අදින් වසර 30 කට 35 කට පමණ පෙර කොටි සංවිධානය ආරම්භ වූ අවධියේ දී මෙරට සිටි පාලකයන් කටයුතු කළේ ද මේ අන්දමටය. අවසානයේ වසර 30 ක් තිස්සේ රටටත්, ජනතාවටත් සිය ජීවිතවලින් ඊට වන්දි ගෙවන්නට සිදු විය.

කොටි සංවිධානයට සම්බන්ධ බව කියැවෙන ආසන්නතම සිදුවීම වන්නේ පුලියන්කුලමේදී ගිනි අවි හා බෝම්බ සහිත ගමන් බෑගයක් හමුවීමේ සිදුවීමය. බෑගය සමග සිටි සැකකරු තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැතත් ඔහු හා සබඳතා පැවැත් වූ කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කොටි සංවිධානය සමග ඍජුව සබඳතා තිබූ අයකුද සිටී.

යුද්ධයත් නොමැති තත්ත්වයක් තුළ සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාවට නොහැකිය. මේ නිසා කොටි සංවිධානයට සම්බන්ධ අනාවරණ වූ සිද්ධීන් යුද හමුදාපතිවරයා මාර්ගයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයට වාර්තා කිරීමෙන් සෑහීමකට පත් වන්නට යුද හමුදා බුද්ධි අංශයට සිදුව තිබේ. ඉන් පසු අදාළ පරීක්ෂණ හා ඉදිරි කටයුතු පැවරෙන්නේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය.

කෙසේ වුවද පසුගිය දෙවසරක් තිස්සේම එල්ටීටීඊ ප්‍රතිසංවිධානය වීම හා ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන තොරතුරු අනාවරණය කිරීම ත්‍රස්ත විමර්ශන ලොක්කාට වහ කදුරු විය. විදෙස් රටවලින් අරමුදල් ගලා ඒම, අවි ආයුධ ගොඩගැනීම ගැන හමුදා බුද්ධි අංශය දිගින් දිගටම අනතුරු හැඟෙව්වේය. සාක්ෂි සහිතව මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල වන ක්‍රියාකාරකම් ලබා දුන්නේ ය.

නමුත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යටතේ ඇරඹෙන්නේ මේ සියලු විමර්ශන කණපිට හරවා ජාතික ආරක්ෂක කවුන්සිලයත් නොමග යවන සූක්ෂ්ම මෙහෙයුමකි. එයින් සිදු වූයේ හමුදා බුද්ධි අංශ වසර ගණනක් තොරතුරුකරුවන් ලවා සොයාගත් තොරතුරු සියල්ල අධිකරණය හමුවේ ගෙනහැර දක්වා තොරතුරුකරුවන් ගැන රටටම හෙළිකිරීමය. එයින් වාසිය ගත් ජාත්‍යන්තර ජාලයේ ප්‍රබල කොටි ක්‍රියාකරුවන් මීට මාස කීපයකට පෙර රටින් පැන ගත්හ. මෙම විමර්ශන හරිහැටි සිදු වූවා නම් වන්නියේ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් මෙන්ම දෙමළ සන්ධානයේ ප්‍රබලයන් කිහිප දෙනකුම දැන් සිටිය යුත්තේ අත් අඩංගුවේය. එවැනි විමර්ශනයකින් අත්අඩංගුවට ගැනීමක් කර යහපාලන රජයෙන් ප්‍රශ්නයක් වනු ඇතැයි සිතූ පොලිස් ලොක්කන් විමර්ශන කළේ ආණ්ඩුවලින් ලකුණු බලාගෙනය.

එපමණක් නොව අවි ආයුධවත් හරියට සොයා නොගෙන රිමාන්ඩ් භාරයට පත් කළ කොටි ත්‍රස්තයන් අනුරාධපුර බන්ධනාගාරය තුළ අද යළි මීළඟ මෙහෙයුම්වලට අවශ්‍ය පරිසරය සකසන්නට වෙර දරමින් සිටිති. එල්ටීටීඊ ප්‍රබල සාමාජිකයන් රඳවා සිටියේද අනුරාධපුරයේ නිසා මෙම යළි නැගිටින්නට වෙර දැරූ කණ්ඩායම්වලටද අනුරාධපුරයේ සිර ගෙදරදීම යළි හමුවන්නට ඉඩකඩ ලැබුණි. ඔවුන්ගේ සහායට ඒවායේ සිරබත් කන නිදන් හොරුන්, කප්පම්කරුවන් හා දකුණේ සිංහල පාතාල කණ්ඩායම්ද නම්මා ගන්නට ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙයි. ඒ ඊසි කෑෂ් ක්‍රමයටය. ඒ හරහා ලැබෙන මුදල්වලින් පාතාල කල්ලි භාවිත කරන දුරකථනවලට සිම්කාඩ්පත් යොදා ඉදිරි කටයුතු සැලසුම් කරන්නට මෙම කොටි කණ්ඩායම්වලට හැකියාව ලැබුණු බව දැන් අනාවරණය වෙයි.

කොටි යළි නැගිටින බව ඒත්තු ගැන්වුවහොත් එය යහපාලන රජයට අවාසියක් වේ යැයි උපකල්පනය මත පිහිටා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ මහා පාවාදීම දෙවැනි වන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි හමුදා නිවස්නය වටලා කළ ජාතියේ මහා පාවාදීමටය. එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාව දෙමළ ජාතිකයන් යොදවා ඝාතනය කිරීමට පානලුව යුද හමුදා වෙඩි භූමියේ තර්මෝ බැරික් අවි පුහුණුවක් ලබාදෙන බවට චෝදනා කළේ පොලිසියය. මිලේනියම් සිටිහි අංක 844 දරන නිවසේ වූ හමුදා ආරක්ෂිත නිවස්නය වටලනු ලැබුවේ එම චෝදනාවටය. මහනුවර පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ විසින් මෙම ආරක්ෂිත නිවස්නය වටලනු ලැබුවේ ජාතික අාරක්ෂාව පරදුවට තැබු දේශපාලන පොලිස් රංගනයකින්ය.

සන්නද්ධ බුද්ධි බළකාය මගින් කොටින්ගේ රාධා බළකායට අයත් පැරණිම හමුදා ඔත්තුකරුවකු සූක්ෂ්ම ලෙස මෙම බුද්ධි ජාලයට රිංගවා තිබුණේ සාර්ථක බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයට අනුව දිගින් දිගටම වන සිදුවීම් බුද්ධි අංශය වෙත තොරතුරු ගලාගෙන ආවේය

එම අලුතින් හිස ඔසවන කණ්ඩායමට නායකත්වය දුන් දිනේෂ් යටතේ පුදුකුඩිඉරිප්පු හි ඇති කරන් නමැත්තාගේ ගරාජයේ දී ඉදිරි ත්‍රස්ත කටයුතු සඳහා යතුරුපැදි අටක් හා ත්‍රීවීල් හතරක් අලුත්වැඩියා කර තිබුණේය. දිනේෂ්ගේ ගමන් සඳහා සැකසූ පල්සර් යතුරුපැදිය එක් පැත්තකින් මයික්‍රෝ පිස්තෝලයත් රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත්තේද මෙහිදීය. මේ සියලු කාරණා හමුදා බුද්ධි අංශය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කෙරුවේ ජනපති ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලය දුන් නියෝගවලට අනුවය.

එහෙත් පළපුරුදු බුද්ධි නිලධාරින් ක්‍රියා නොකරන ආකාරයට සුදු වෑන් රථයකින් සැක සිතෙන අයුරින් කරන්ගේ ගරාජය වෙත කෙළින්ම ගොස් කරන් හා දිනේෂ් ගැන විමසන්නට වුයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි. තම කණ්ඩායමේ තොරතුරු පිටතට යන බවට කොටි ජාලයට සැක සිතුණේ එතැනදීය. නමුදු හමුදා බුද්ධි අංශය යෙදවූ ඔත්තුකරු ගැන සැක නොහිතෙන ලෙස හමුදා බුද්ධි අංශ උපක්‍රමශීලීව ක්‍රියාත්මක කළ නිසා ඔහු ගැන හෙළි නොවීය. මීළඟට මෙම ත්‍රස්ත විමර්ශන නිලධාරින් දිනේෂ්ට යතුරුපැදි දුන් විශ්වමඩුහි පුද්ගලයකුගේ නිවසට ගොස් යතුරුපැදිය සොයාදෙන ලෙස බලපෑම් කරද්දී යළිත් එවැනිම තත්ත්වයක් ඇති විය.

හමුදා බුද්ධි මෙහෙයුම කඩාකප්පල් වන අයුරින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තම ගෝල බාලයන් කිහිප දෙනකු යොදා කළ පාවාදීමේ මහා මෙහෙයුම කරළියට එන්නේ පසුගිය ජුනි 22 දා ඔඩ්ඩුසුඩාන් සිද්ධියෙන් පසුවය. හමුදා බුද්ධි අංශයෙන් කල්තියා දුන් තොරතුරු වාර්තා ඔස්සේ ඔඩ්ඩුසුඩාන්වලදී බෝම්බ හමුවීමත් සමග දිනේෂ් හෙවත් රිසිකේෂන් කොටු වූයේ ය. ඒ සමග දිනේෂ්ගේ කණ්ඩායමට අයත් දහසය දෙනකු පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කොටු වන්නේය.

හමුදා බුද්ධි අංශයෙන් රිංගවූ ඔත්තුකරුවකු ගැන යාපනයේ පළවන උදයන් පුවත්පත මගින් එළි කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ලබාගත් තොරතුරු මතය. එම පාවාදීමෙන් පසුව දෙවැනි මහා පාවාදීම වන්නේ වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත තොරතුරු ලබාගන්නට කොටි අතරට රිංගවූ ඔත්තුකරුවකු ප්‍රධාන සැකකරුවකු ලෙසින් නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙනි. මෙහිදී අධිකරණයට පවා කරුණු වාර්තා කර තිබුණේ බුද්ධි මෙහෙයුම් හෙළිවන පරිදිය.

මෙම කොටි සැලසුමට අනුව හෙළි වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන්, කරුණා අම්මාන් ඇතුළු ඉලක්ක ගැනීමට වූ කොටින්ගේ සැලසුමද අනාවරණය කරගත නොහැකි විය. කුමාන්කුලම්වලදී චන්ද්‍රමෝහන් නමැති කොටියකුගේ මවගේ නමට ඩයස්පෝරාවෙන් මිලදීගෙන දුන් නිවස පසුපස බැරලයක තිබී මෙකී ත්‍රස්ත කණ්ඩායම පසුගිය වසරේ ගොඩට ගත් ස්නයිපර් අවි දෙකද එකී ප්‍රභූ ඝාතන සැලසුම් සඳහා යොදාගත් ඒවාය.

හමුදා බුද්ධි අංශය තමන්ට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකාය එහි යවද්දීත් ස්නයිපර් අවි සැඟවූ බැරලය ගොඩගෙන අවසන්ය. ඒවා නැගෙනහිර පළාතට එවූ බව කියැවුණේය. ඉලක්කියන් මාස්ටර් නමැත්තකුට එක් අවියක් දුන් බව කියන්නේය.

එම ස්නයිපර් අවි දෙකින් එකක් ඕනෑම තැනකට ගෙනයා හැකි ලෙස කොටස් කපා නවීකරණය කර තිබුණද බවද හෙළි විය. බුද්ධි අංශයේ මහා පාවාදීමෙන් එම අවිවලට වූ දෙයක් අදටත් හෙළිකරගත නොහැකි වී ඇත්තේය. මෙම තත්ත්වය තුළ ප්‍රභූ ජීවිතවලට අදටත් ඇත්තේ ද තර්ජනයකි.

බුදුපිළිම කඩමින් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වූ කොටි රාධා බළකායේ කණ්ඩායමක් ගැන හමුදා බුද්ධි අංශ දුන් තොරතුරකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කිලෝ විස්සක් බරැති ක්ලේමෝ බෝම්බ සමග කොටි කණ්ඩායමක් කොටු කළේ 2017 වසරේදීය. මාස්ටර් හෙවත් වේදනායගම් නමැති කොටි ප්‍රබලයකු අල්ලාගත් කණ්ඩායමේ විය. ඔහු කිලිනොච්චියේ ඇති ඉන්දියානු රක්ෂණ සමාගමක සේවය කරන අතර මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වී තිබිණි. මදන් තව කෙනෙකි. මෙකී කණ්ඩායම ජාත්‍යන්තරයේ සිට මෙහෙය වූයේ රටවල් තුනක නායකයන්ය. බ්‍රසීලයේ සිට මාරන් යටතේ. ඔස්ට්‍රේලියාවේ වේට්රි, ප්‍ර්‍රංශයේ යාලිමෝහන් ඇතුළු කණ්ඩායමක් උතුරේ පන්සල්වලට ප්‍රහාර එල්ල කරන කණ්ඩායම්වලට වියදම් කර තිබුණි.

මෙම කොටි ජාලයේ විමර්ශනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන්ව ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය කරන සැලසුමද එළියට ආවේය. අවි ආයුධ රැස්කරන්නට පොලිසියේ අවි ආයුධ කොල්ල කන සැලසුමක්ද මෙම පිරිසෙන් හෙළි විය. ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට සිටි කොටි රාධා බළකායේ සැලසුම් අධ්‍යක්ෂ ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශනයේ දී කොටු වූ නමුත් එම්. සුමන්තිරන් කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ සිටින බව දෙමළ සන්ධානය පිළි නොගන්නා තත්ත්වයකට පත්වෙද්දී මෙම ඔත්තුකරුවන් උසාවියට ඉදිරිපත් කර පාවා දුන්නේ ය.

ආරම්භයේ දී මෙන්ම වර්තමානයේ දීද කොටි කණ්ඩායම්වලින් බහුතරය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව කේන්ද්‍ර කරගෙනය. බුද්ධි අංශවලට අනුව 2011 දෙසැම්බරයේ දී ඉන්දියාවට ගොස් සිටින මෙම කණ්ඩායම්වලට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පුහුණුව දුන්නේ මැලේසියාවේ ඩයස්පෝරා සාමාජිකයන්ය.

නව පරපුරේ තරුණයන් ලෙස උතුරේ තරුණයන් අන්තර්ජාලය හරහා එක්රැස් කර බැංකු ගිණුම්වලට මුදල් එවා ඉන්දියාවට ගෙන්වාගෙන තිබිණි. මන්නාරම හරහා ඉන්දියාවට ගොස් පුහුණුව ලද තරුණයන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මගින් ඉන්දියාවේදී ඉන්දීය ආරක්ෂක අංශ සමග එක්ව අල්ලා ගත්තේ ය. ඊළාම් යුද්ධයෙන් පසුව ඉන්දියාවේදී කොටි පුහුණුව දෙන බවට වූ ප්‍රධාන ම සාක්ෂිය එය වූයේ ය. මෙවර පුලියන්කුලමෙන් ජනවාරි 01 දා හසු වූ අවි ආයුධ, බෑගය රැගෙන ආ බව කියන රාසයියා ආනන්දරාසා කොටි සංවිධානයේ කොටි විමර්ශන අංශයේ ජෙයම් කණ්ඩායමේ ප්‍රබල චරිතයකි. දැනටමත් ඉන්දියාවට පැන ඇති බවට සැක කරන ආනන්ද රාසා මීට පෙරත් ඉන්දියාවට පැනගොස් සැඟවී සිට යළි මෙරටට පැමිණි බවට සාක්ෂි ඇත්තේය. ඔහු දෙවතාවක් මෙරට අත්අඩංගුවෙන් පැන ගිය අයෙකි.

දැනට අත්අඩංගුවට ගෙන ඇති වයිමුත්තුරාසා සුදාකරන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරන්නේ තමන් රැකියාවක් බලාපොරොත්තුවෙන් ජීවදත්ත තොරතුරු ආනන්ද රාසාට දී එක් වූ බවකි. මෙම විමර්ශනවලට අදාළව ටී. 56 ගිනි අවියක් හා මෝටාර් බෝම්බ තුනක් සමග අත්අඩංගුවට ගත් දර්ශනී ආලන්කුලමේ පදිංචිකාරියකි. අැය කාරිතික් නමැති මෙම සිද්ධියට අල්ලාගත් සැකකරුවකුගේ නැගණියය.

රාසයියා ආනන්දරාසා කැලෑවේ සැඟවී සිටියදී ආහාරපාන සපයා තිබුණේ පම්පෙමඩු සරසවියේ සුළු සේවකයකු වන සුතිර්ෂන්ය. සුතිර්ෂන් සමග හසු වූ සුදාකරන්ගේ පියාද එල්ටීටීඊ සාමාජිකයෙකි. ආනන්ද රාසා සමග මොවුන් තිදෙනා හමුවී ඇත්තේ පුවරසන්කුලම් කැලෑවේය. ආනන්දරාසාට නවාතැන් දෙන්නේ දර්ශනීය. දර්ශනිගේ සැමියා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සිටි දෙමළ ජාතික සෙබළෙකි. ඔහු හමුදාවෙන් පැනගොස් ආලන්කුලමේ හේන් කොටමින් සිටි අයෙකි.

පුලියන්කුලම සිද්ධියේ මහ මොළකරු තවම සොයාගෙන නැතත් ආයුධ බෑගය අතැර දමා ගිය රාසයියා ආනන්දරාසා ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ සිටියදී පැනගිය කොටි ත්‍රස්තයෙකි. මොවුන් කණ්ඩායම් රැස්කරන්නේ නොච්චිකුලම් කැලෑව කේන්ද්‍ර කරගෙනය. 2016 දී යුද හමුදා බුද්ධි බළකාය චන්ද්‍රමෝහන් නැමැති කොටි නායකයන් යටතේ එල්ටීටීඊය හිස ඔසවන්නට ගිය මොහොතේත් ඔවුන් චන්ද්‍රමෝහන්ගේ මවගේ නමට නිවසක්ද මිලදී ගෙන දී තිබුණේය. ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී හෙළි වූ දිනේෂ්ගේ කොටි කණ්ඩායම ස්නයිපර් අවි ගොඩගත්තේ චන්ද්‍රමෝහන්ගේ මවට අරගෙන දුන් කුමාන්කුලම්හි නිවස පසුපසින්ය. මේ අනුව පැහැදිලි වන්නේ ගෝපි, අප්පන් සිද්ධියත්, චන්ද්‍ර මෝහන්ගේ සිද්ධියත්, ඔඩ්ඩුසුඩාන් සිද්ධියත් මෙන්ම මෙවර හමු වූ පුලියන්කුලම් සිද්ධියත් එකිනෙක සම්බන්ධ ජාලයක් බවය. මේ වන විට බුද්ධි අංශ කරන විමර්ශනවලට අනුව සෑම සිද්ධියක් පසුපසම ජාත්‍යන්තර කොටි ත්‍රස්ත ජාලය සිටින්නේය. ඊට අමතරව ඉන්දියාවේ රැඳී සිටින කොටි නායකයන් හා යුරෝපයේ සිටින නායකයන් මෙම කණ්ඩායම් මෙහෙය වන්නේය.

මෙම විමර්ශන හා කලින් සිදුවීම් සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ජාත්‍යන්තර වශයෙන් සිටින කොටි නායකයන් හා දෙමළ ඩයස්පෝරාව තම පැවැත්ම හා අරමුදල් රැස්කිරීම උදෙසා ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියා වැපිරීමට දරන උත්සාහය අත්හැර නොමැති බවයි.

ඉන්දියාවේ විවිධ පුහුණුවීම් ලබා මෙරටට පැමිණි දෙසීයකට වඩා වැඩි පිරිසක් සූදානම් කොට තබා ඇති වගද ඔත්තු සේවා අනාවරණය කර ඇත. ඉන්දියාවේ අදටත් එවැනි පුපුරන ද්‍රව්‍ය පුහුණුවීම් ඇතුළු පුහුණුවීම් සිදුකරන බවටද තොරතුරු ලැබී ඇත.

පුලියන්කුලමෙන් පැනගිය ආනන්ද රාසාත්, ඉදිරි ප්‍රහාරයකට සූදානමකින් මෙම අවි ආයුධ රැගෙන ගියාද, එසේ නැතිනම් ආරක්ෂිත නිවස්නයක් තුළ (Safe House) අවශ්‍ය මොහොතක ගන්නට සඟවා තබන්නට ගියාද යන්න හෙළිකර ගත හැක්කේ විමර්ශනවලදීය පසුගිය කාල සීමාව තුළ ජාත්‍යන්තර ජාලයේ මෙහෙයවීමෙන් ගොඩගනු ලැබූ අවි ආයුධ සියල්ල ප්‍රධාන ගබඩාවකට රැස්කරන බවට බුද්ධි අංශ විශ්වාස කරන්නේය..

මෑතකදී කොකාවිල් හි හමුදා ආයුධ ගබඩාවක් අසලින් රාත්‍රී කාලයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනකුව නිවාඩු ගොස් එන හමුදා සෙබළකු විසින් දැක ඒ දෙසට බලන්නට යද්දී ඔහුට කොටන්නට උත්සාහ කර තිබුණේය. පසුව මෙම සිද්ධිය දඩයක්කරුවන් යැයි සැක සිතා බැහැර කළද හමුදාවේ ආයුධ ගබඩා ඇති තැනින් රිංගුවේ සැබෑම දඩයක්කරුවන් දැයි තවමත් කිව නොහැකිය.

ඊළාම් යුද ඉතිහාසය පුරාවට එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයන් තම සංවිධානයේ හමුදාමය ප්‍රහාරවලටත් වඩා බුද්ධි ක්‍රියාන්විතයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබුවේය.

මේ සියලු කාරණාවලින් තහවුරු වන්නේ රටින් පිටත සිටින කොටි නායකයන් තම පැවැත්ම උදෙසා යළි මෙරට තුළ ඊළමක් බිහි කරන්නට වෙර දරන බවය. රට කරවන බලධාරින් තම බලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කුලල්කා ගනිද්දී රටින් බැහැර ඊළාම් රාජ්‍යයක් තනන්නට කැසකවන කොටි ත්‍රස්තයන් විශාල පෙරළියකට අරඅඳින බව පැහැදිලිය.

උතුරේ

නටන්නේ

කොටිද?

පූසොද?

කොටි යළි නැගිටින බව ඒත්තු ගැන්වුවහොත් එය යහපාලන රජයට අවාසියක් වේ යැයි උපකල්පනය මත පිහිටා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ මහා පාවාදීම දෙවැනි වන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි හමුදා නිවස්නය වටලා කළ ජාතියේ මහා පාවාදීමටය

මන්නාරම හරහා ඉන්දියාවට ගොස් පුහුණුව ලද තරුණයන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මගින් ඉන්දියාවේදී ඉන්දීය ආරක්ෂක අංශ සමග එක්ව අල්ලා ගත්තේ ය. ඊළාම් යුද්ධයෙන් පසුව ඉන්දියාවේදී කොටි පුහුණුව දෙන බවට වූ ප්‍රධාන ම සාක්ෂිය එය වූයේ ය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com