www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දඬුගම් ඔයේ සැඟවුණු පස් පාතාලයේ කතාව


2018-10-13 20:27:10 -  1069 යි

මාවරමණ්ඩියේ සුදාගේ සොහොයුරා නලින් ඇතුළු කණ්ඩායමක් සමග අනුරාධපුර ජයශ්‍රීමහා බෝධියට ගොස් වැඳපුදාගෙන භාරහාර වූ අමුණුගොඩ සංජීව ඇතුළු කණ්ඩායමක් කොළඹට එන්නේ අලුත් ඉලක්කයක් සොයාගෙනය.
මේ කියන අමුණුගොඩ සංජීව, පාතාල ලොව දක්ෂ වෙඩික්කරුවෙක් වූයේය.

අමුණුගොඩ සංජීවට ඉලක්කය ලැබෙන්නේ පාතාල නායක ගණේමුල්‍ලේ සංජීවගෙනි. බන්ධනාගාරයේ සිට කොන්ත්‍රාත් මිනීමැරුම් හා අපරාධ මෙහෙයවන ගණේමුල්ල සංජීවගේ හොඳම ගෝලයකු වූයේ අමුණුගොඩ සංජීවය.

කැලණිය, වනවාසලදී එච්.එස්.බි.සී. බැංකුවේ වාහනයක රැගෙන ගිය රුපියල් හයකෝටි අසූලක්ෂයක් 2010 සැප්තැම්බර් 24 දා කොල්ල කන්නේ අමුණුගොඩ සංජීව ඇතුළු කණ්ඩායමක් යොදවාය. අමුණුගොඩ සංජීවට එම මංකොල්ලයෙන් ලැබුණු රුපියල් කෝටියක මුදලින් ගම්පහින් මිලදී ගත් නිවාස දෙකක් ද පසුව සොයාගැනිණි.

යුද හමුදා විශේෂ බළකායේ සුවිශේෂි පුහුණුවක් ලද විශේෂ බළකා භටයකු වූ අමුණුගොඩ සංජීව 2000දී යුද හමුදාවෙන් පැනයන්නේ පාතාල ලොව දක්ෂ වෙඩික්කරුවකු ලෙසය.

ඉඹුල්ගොඩදී තොරණ හන්දියේ ‍පොඩ්ඩේ ඝාතනය කරමින් පාතාල ලොවට පිවිසෙන අමුණුගොඩ සංජීව ඉන් පසුව අපරාධ රැසකටම දායකවන්නේ ගණේමුල්ල සංජීවගේ පාතාල කණ්ඩායමට එක්වෙමිනි.

ගණේමුල්ල සංජීවගේ කල්ලියේම අපරාධ මෙහෙයවූ තවත් පාතාලයකු වූ මිනුවන්ගෙඩ පත්අඬුවන අජිත් ඝාතනය කරන්නට තෝරා ගන්නේද අමුණුගොඩ සංජීවමය.

මට පීසන් බස් එකේදි ගහන්න එකෙක් ප්ලෑන් කරලා තියෙන්නේ. උඹට මම කොල්ලෝ ටිකක් වෙපන් එක්ක එවනවා. මේක ඉවරයක් කරලා දීපන්යැයි ගනේමුල්ල සංජීව අඬාවැටෙමින් ඉල්ලන්නේ අමුණුගොඩ සංජීවගෙනි.

අමුණුගොඩ සංජීව එම සැලසුමට සූදානම් වන්නේ අනුරාධපුරයත්, වැඳ පුදාගැනීමෙන් පසුවය.

පෑලියගොඩ සුරාජ්, මහනුවරින් කුලී මෝටර්රථයක් ගෙන සැප්තැම්බර් 28 වැනිදා පිටත්වන්නේ ගණේමුල්ල සංජීවගේ දැනුම්දීමටය.

මොහොමඩ් රහිම්, ලක්මාල් ඇතුළු කණ්ඩායමක් වාහනය මිණුවන්ගොඩට රැගෙන ආ පසුව සුරාජ් සමග එක්වන්නේ මෙහෙයුමකටය. සුරාජ් මඤ්ඤාෙක්කා අලයක් ගෙන ආ බව කියමින් ගිනි අවියක් රැගෙන එන්නේ සැප්තැම්බර් 30 ඉරිදා ඉලක්කයක් වෙත යන්නටය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ අත්සන් කිරීම සඳහා සෑම ඉරිදාවකම එහි එන පත්තඬුවන කලු අජිත්, නිලන්ත ප්‍රනාන්දු, ලක්මාල් යන තිදෙනා ඉලක්ක වී තිබුණේය.

පාතාල නායක උදම්මිට සමරේට වෙඩි තැබිම, දෙමටගොඩ චමින්ද රැගෙන ගිය බන්ධනාගාර බස්රථයට වෙඩි තැබිම, ගම්පහ ඔස්මන්ට වෙඩිතැබිම යන චෝදනාවලට පත්තඬුවන අජිත් ඇතුළු කණ්ඩායමට සෑම ඉරිදාම ‍පොලිසියේ අත්සන් තැබිමට දුන් අධිකරණ නියෝගයක් මත මොවුන් පසුගිය 30දා ‍පොලිසියට එන්නේය.

පත්තඬුවන අජිත් එම්එ-0744 කාර් රථයෙන් එන බවට යතුරුපැදියකින් ගිය ඔත්තුකරුවන් දෙදෙනකු අමුණුගොඩ සංජීව සමග ඉලක්කය සොයා එන පාතාලයන් වෙත පණිවිඩය ලබාදෙන්නේය.

මිනුවන්ගොඩ පාතාලයේ මෙම ඉලක්කය පස් කොන්ත්‍රාත්කරුවන් විසින් ගණේමුල්ල සංජීවට දුන් කොන්ත්‍රාත්තුවකි. වෙඩි තබන්නට යන්නේ තම කල්ලිය සමග එකට සිට උරණ වූ පත්තඬුවන අජිත්ට බව අමුණුගොඩ සංජීවට නොකියන්නට ගණේමුල්ල සංජීව වග බලාගත්තේය. කොන්ත්‍රාත්තුව දෙන්නේ මිනුවන්ගොඩ, වෑලිය ප්‍රදේශයේ පදිංචි ලක්මාල් සුරාජ්ගේ බාප්පාය.

පෑලියගොඩ ‍පොලිසිය අසලදී ඔත්තු බැලීමට යතුරුපැදියෙන් ගිය දෙදෙනාගෙන් පණිවිඩය ලැබෙන්නේ අජිත් ගමන් කළ මෝටර් රථය ‍පොලිසිය අසලින් පිටත් වූ වගය. සුළු මොහොතකින් මෝටර් රථය ගිය වහාම වෙනත් රාජකාරියක් සඳහා ‍පොලිස් ජීප් රථයක් ද ඒ මොහොතේම පිටත් වෙද්දී යතුරුපැදියේ ගිය පාතාලයන් කාර් එකට ‍පොලිසියෙන් ස්කොඩ් කරනවා. ටාගට් එක අතාරිමු යැයි දැනුම් දෙන්නේය.

ඉලක්කය අතහැර යන්නට කතාකරන සංජීව ඇතුළු කණ්ඩායම සඳහා වැලිගම්පිටිය ප්‍රදේශයට ළංවෙද්දී යළිත් ඇමතුමක් එන්නේ පාතාලයේ යතුරුපැදිකරුවන් ගෙනි. ‍පොලිස් ජීප් එක වෙන ගමනක් යන්නේ ආයේත් වරෙන්යැයි දුරකථන ඇමතුමෙන් කියමිනි.

වැලිගම්පිටිය හංදියේ වාහනය නතර කරගත් සංජීව ඇතුළු කණ්ඩායම ඉලක්කය එනතුරු මඟ රැඳී සිටින්නේය. එම්එ සුදු පැහැති මෝටර්රථයක් ගැන තොරතුර වුවත් හදිසියට එම මාදිලියේම එම් 0101 දරන මෝටර් රථය ළඟාවත්ම අමුණුගොඩ සංජීව වෙඩි වරුසාවක් එල්ල කර මීගමුව දෙසට යතුරුපැදියෙන් පලායන්නේය.

ඉලක්කයෙන් අට හැවිරිදි දැරියක් සමග මෝටර් රථය පදවාගෙන ගිය ජාඇල පදිංචි රසිකා රොවෙල් මහත්මිය මරණයට පත්වන්නේය. ඉලක්කය වැරදුණු බව නොදත් සංජීව ඇතුළු කණ්ඩායම වත්තල දෙසට පැමිණ ගණේමුල්ල සංජීව බලායන්නට සූදානම් කළ ත්‍රිරෝද රථයක නැගී මිනුවන්ගොඩ ලක්මල්ගේ නිවසට යන්නේය.

එහිදී ගණේමුල්ල සංජීව දුරකථන ඇමතුමක් දී කොකිස් කඩේ හන්දියට අමුණුගොඩ සංජීව ගෙන්වා ගන්නේ ගිනි අවියද සහිතවය. එතැනින් යතුරුපැදියක එන ගණේමුල්ල සංජීවගේ ගෝලයන් දෙදෙනකු මේ අවිය රැගෙන ගිය පසු අමුණුගොඩ සංජීවට අවිස්සාවේල්ල පැත්තට ගොස් කතාකරන්නැයි උපදෙස් ලැබුණේය.

ප්‍රහාරයට ගෙන දුන් ගිනි අවිය ලබාදුන් පසුව ගණේමුල්ල සංජීවගෙන් එන ඇමතුම් නතරවූයෙන් අමුණුගොඩ සංජීව අසරණ වූයේය. බන්ධනාගාරයේ සිට එවූ දුරකථනයකින් අමුණුගොඩ සංජීව දිගු ඇමතුම් ගත් අතර ගණේමුල්ල සංජීවගේ දුරකථන අංකයද මෙයින් පසුව ක්‍රියාත්මක විය.

පොළොන්නරුව බලා යාමට තීරණය කරන අමුණුගොඩ සංජීව යළිත් කොළඹ පැමිණ අනුරාධපුරය තලාව බලා යන්නේ මේ වනවිටත් ‍පොලිස් විමර්ශන ඇරඹී තිබුණු නිසාය.

කඳාන ‍පොලිස් වසමේ සිදුවූ ඝාතනය සම්බන්ධව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත විමර්ශන ඇරඹෙන්නේ කණ්ඩායම් දෙකක් යොදවමිනි.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා විශේෂ කාර්යාංශයේ නිලධාරීන් තොරතුරුකරුවන් මාර්ගයෙන් හා දුරකථන අංක විශ්‍ලේෂණයකින් මෙම සිද්ධිය පසුපස අමුණුගොඩ සංජීව සිටින බව අනාවරණය කර ගත්තේය.

අනුරාධපුර, තලාව, නොච්චියාගම ප්‍රදේශයේ අමුණුගොඩ සංජීව සැඟවී සිටින බවට අනාවරණය වීමත් සමග නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත ‍පොලිස් කණ්ඩායම් දෙකක් එහි පිටත් වන්නේය.
අමුණුගොඩ සංජීව පැමිණෙන යතුරුපැදිය ගැන ලද තොරතුර මත වහාම එහි ගිය ‍පොලිස් කණ්ඩායමේ නිලධාරීන් සංජීව හඳුනාගෙන වහා අත්අඩංගුවට ගත්තේය.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා කැලණිය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහත්වරුන්ව මේ සම්බන්ධව දැනුවත් කළ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, උප ‍පොලිස් පරීක්ෂක සමීර මංජුල, ‍පොලිස් සැරයන් ධර්මසිරි (25310) අරවින්ද (88617) සමග ‍පොලිස් විශේෂ කාර්යාංශයේ ‍පොලිස් කොස්තාපල් බණ්ඩාර (53252),‍පොලිස් කොස්තාපල් සෝමසිරි (14868) යන නිලධාරීන් අමුණුගොඩ සංජීවත් රැගෙන කොළඹ බලා එන්නේය.

කොළඹට රැගෙන එන අතරේම කඳානේදී අමුණුගොඩ සංජීව සිදුකළ ගණේමුල්ල සංජීවගේ ඝාතන කොන්ත්‍රාත්තුවේ වැරදුණු කුරුමානම ගැන සියල්ල හෙළි කරන්නට විය. ඒ එන අතරතුරේදී අමුණුගොඩ සංජීව පෙන්වූ තොරතුරු මත සුරාජ්ගේ බාප්පාත් කොටු කර ගත්තේය.

සුරාජ්ගේ බාප්පා ත්‍රිරෝද රථය සමගම ‍පොලිසියට ගෙන එද්දී සංජීව වෑන් රථයේ පෑලියගොඩ බලා රැගෙන එමින් තිබිණි. ජාඇල, ප්‍රදේශයේදී තමාට මලපහ කිරීමට අවශ්‍ය බව අමුණුගොඩ සංජීව අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටි නිසා පාන්දර 4.00ට පමණ වෑන් රථය ජාඇල දඬුගම පාලම අසල නවත්වා ඔහුට ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේය. දෑත් පිටුපසට කර මාංචු දමා උප‍පොලිස් පරීක්ෂක සමීර හා ‍පොලිස් කොස්තාපල් අරවින්ද ඔහු සමග බැස යද්දී කොස්තාපල් අරවින්දගේ පපුවට හිසෙන් පහරක් එල්ල කර අත් විලංගු සහිතවම ඉවුර දිගේ දිව ගොස් දඬුගම් ඔයට පැන ගත්තේය.

විශේෂ බළකා සෙබළුන්ට අතපය බැඳ දැමුවද පිහිනා යාමට හැකි නිසා අත්විලංගු සහිතවම පිහිනා යාමට අමුණුගොඩ සංජීව උත්සාහ ගත්තේය. දඬුගම් ඔයේ වැල් අතරේ හිරවෙන්නට වීමත් සමග දියේ ගිලෙමින් දඟලන්නට වූ සංජීව ‍පොලිස් නිලධාරීන් පැන බේරාගෙන ගොඩට ගෙන එන්නේය.

ඒ මොහොතේම කෘත්‍රිම ශ්වසනය දී සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රාගම රෝහල වෙත ගෙන යද්දී අමුණුගොඩ සංජීවගේ මරණය සිදුවී තිබිණි.

රටම කම්පා කරමින් අටහැවිරිදි දියණිය ඉදිරිපිට දැරියගේ මවව ඝාතනය කළ පාතාලයේ ඉරණම දඬුගම් ඔයේදීම විසඳෙන්නේ ඔහු සමාජයට බරක් වූ අපරාධකරුවකු නිසාය.

මම කවදාවත් ගෑනියෙකුට වෙඩි තියන්න හිතුවේ නැහැ සර්. අඩුම තරමේ මට වෙඩි තියන්න තිබුණේ කළු අජිත්ට කියලවත් ගණේමුල්ල සංජීව කියලා තිබුණේ නැහැ. කඩවතදී ‍පොලී මෙන්ඩියාගේ වයිෆ්ට වෙඩි තියන්න කියලා ගණේමුල්ල සංජීව මට ලක්ෂ දහයක් දෙන්න ඇහුවා. මම ගෑනුන්ට වෙඩි තියන්න බැහැ කිව්වම සංජීව වෙන එකෙක් දාලා වෙඩි තියලා තිබුණා. කඳානෙදි මගේ අතින් ගෑනු කෙනාට වෙඩි වැදුණේ වැරදීමකින් යැයි ද කොළඹට එන අතරමගදී අමුණුගොඩ සංජීව හෙළිදරව් කර තිබිණි.

වැරදීමකින් හෝ අවි අත දරා කුලියට මිනී මරන්නන්ගේ ඉරණම ස්වභාව ධර්මයෙන් විසඳුණේ නොසිතූ මොහොතකය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com