www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආවා කල්ලියට ඉන්දියාවේදී අවි පුහුණුව


2018-10-13 19:09:30 -  1196 යි

කඩු, කිණිසි, යකඩ පොලු වැනි දෙයින් සන්නද්ධව යාපනයේ දැනට ක්‍රියාත්මක වී සිටින කල්ලි සංඛ්‍යාව අටක් පමණ වෙයි. මේ කල්ලි අතරින් පහක් ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වුවත් ඔවුන් අතර තවමත් අංක එකේ සිටින්නේ 'ආවා ගෘෘප්' ලෙසින් හඳුන්වනු ලබන යාපනයේ මුලින්ම බිහිවූ හා ක්‍රියාත්මක වූ කල්ලියයි.

යාපනය අතහැර යුද බිය නිසා ස්විට්සර්ලන්තයට ගිය පවුලක වැඩිමහල් පුතු විසින් මුලින්ම ආරම්භ කරන ලද 'ආවා ගෘෘප්' කල්ලියේ දැන් ඔහු නැත. ඒ වෙනුවට අතරමැදින් පැමිණි 'සොලැක්ස්' නම් ආරූඪ නමකින් පෙනී සිටින්නකු විසින් දැන් මේ කල්ලිය මෙහෙයවනු ලබයි.

යාපනයේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' කල්ලිය යළිත් වරක් යුද්ධයේ ආරම්භක ක්‍රියාවලියක් වශයෙන් දකුණේ බොහෝ දෙනා හඳුන්වනු ලැබුවත් පසුගිය සතිය දක්වාම එවැනි අවදානමක පෙර ලකුණු 'ආවා ගෘෘප්' කල්ලියෙන් දැක ගැනීමට නොලැබිණි. එකම මනුෂ්‍ය ඝාතනයකටවත් මේ කල්ලිය තවමත් හවුල්වී නැතත් 'ආවා ගෘෘප්' කල්ලිය නිසා මුළු යාපනයේම එදිනෙදා ජන ජීවිතයට විශාල අවුලක් උත්පාදනය වී තිබේ. යාපනයේ තැනින් තැන කඩුවලින් විවිධ පුද්ගලයන් කපා කොටා දමද්දී යාපනයේ නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීම විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

යාපනයේ සිටින යුද හමුදා ප්‍රධානීන් මෙන්ම රටේ සිටින යුද හමුදා ප්‍රධානීන්ද කියා සිටින්නේ ඔවුන්ට බලය ලබා දෙන්නේ නම් යාපනයේ ක්‍රියාත්මක 'ආවා කල්ලිය' දින දෙකකින් මර්දනය කොට අවසන් කිරීමට හැකියාව ඇති බවයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නෝර්වේ සංචාරය කරමින් සිටින අතරතුර ඒ රටවලට ගොස් සිටින ශ්‍රී ලාංකිකයෝද, අගමැතිවරයාගෙන් මේ 'ආවා ගෘෘප්' කල්ලිය පිළිබඳව තොරතුරු විමසා සිටියහ. ඒ අවස්ථාවේදී අගමැතිවරයා ඔවුන්ට පවසා සිටියේ ඉතාම ළාබාල තරුණයන් කීපදෙනකු විසින් පටු අරමුණු කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වන බවය. ඔවුන් මර්දනය කිරීමටත් පළාතේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් රජයට ඉතාම පහසුවෙන් කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

යාපනයේ සිටින පොලිස් ප්‍රධානීන්ට නම් මේ 'ආවා ගෘෘප්' කල්ලිය මහ හිසරදයකි. ඔවුන්ට ගෙදර යෑමට පවා නොහැකි වන අන්දමට ඔවුන්ගේ නිවාඩු අවලංගු වන්නේ යාපනයේ ක්‍රියාත්මක මේ 'ආවා ගෘෘප්' කල්ලිය නිසාවෙනි.

නමුත් යාපනයේ පොලිස් ප්‍රධානීන් මේ කල්ලියේ සාමාජිකයන්ට ‍ෙදාස් නඟනවාට වඩා ‍ෙදාස් නඟන්නේ ඔවුන් පිළිබඳව ලියන මාධ්‍යවේදීන්ටය.

'ආවා ගෘෘප්' කල්ලියට වඩා විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන්නෙත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඕනෑවට වඩා ප්‍රසිද්ධියක් ලබා දෙන්නෙත් මාධ්‍ය යැයි යාපනයේ පොලිස් ප්‍රධානීන් කියා සිටියි.

මේ මෑතකදී 'ආවා ගෘෘප්' කල්ලියේ නමින් වවුනියාව පුරා ද පෝස්ටර් අලවා තිබිණි. ඉන් කියා තිබුණේ ඔවුන් දැන් වවුනියාවේද ක්‍රියාත්මක බවයි. ඔවුන්ගේ බලය ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඒ පෝස්ටර්වල සඳහන් විණි. පළාතේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට පොලිස් ප්‍රධානීන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රධානීන් එකහෙළාම කියා සිටියේ වවුනියාවේ අලවා තිබූ පෝස්ටර් 'ආවා ගෘෘප්' කල්ලියට අයත් නොවන පෝස්ටර් බවයි. කිසියම් පිරිසක් ආරක්‍ෂක අංශ නොමඟ යැවීමේ හා කඩාකප්පල්කාරී ක්‍රියා ඇති කිරීමේ අරමුණින් එම පෝස්ටර් අලවා ඇති බවද පොලිස් ප්‍රධානීහු කියා සිටියහ.

වවුනියාවේ අලවා තිබූ පෝස්ටර් 'ආවා ගෘෘප්' කල්ලියේ පෝස්ටර් නොවන බව පොලිසිය විසින් එකහෙළාම කියනු ලැබුවත් එය ඒ අන්දමටම ප්‍රකාශ කරන ලද්දේ කෙසේදැයි යන්න විශාල ප්‍රශ්නයකි.

මේ සාකච්ඡාවේදීම යාපනයේ ක්‍රියාත්මක වූ කල්ලි පිළිබඳව දීර්ඝ විස්තරයක් පොලිස් ප්‍රධානීන් විසින් ඉදිරිපත් කරන ලදී.

'යාපනයේ සිදුවෙමින් පැවැති විවිධ අන්දමේ ප්‍රචණ්ඩ ක්‍රියා මේ වන විට පාලනය කිරීමට පොලිසියටත් පොලිස් විශේෂ කාර්ය බළකායටත් හැකිවී තිබෙනවා. මේ දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ ඒ කල්ලිවල ක්‍රියාකාරකම් අඩුවී තිබෙනවා. මේ සියලුම දේ කළේ යාපනයේ ක්‍රියාත්මක කල්ලිවලින් ප්‍රධාන කල්ලි පහක් විසින්. මේ කල්ලිවල සාමාජිකයන් පනස් අට දෙනෙක් පොලිසිය විසින් ගතවූ කෙටි කාලයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර නායකයන් හා මේ කල්ලි මෙහෙයවන ලද පුද්ගලයන් හත්දෙනකුත් සාමාජිකයන් පනස් එක් දෙනකුත් සිටිනවා. යාපනයේ විවිධ පළාත්වලින් අත්අඩංගුවට ගත් මේ පිරිසෙන් හතළිස් නව දෙනකු අධිකරණය විසින් ඇප මත නිදහස් කොට සිටිනවා. ඉතිරි නව දෙනා ඔවුන්ට තිබූ චෝදනාවලට අනුව තවදුරටත් බන්ධනාගාරගතව සිටිනවා.

පොලිසිය යාපනයේ සාමාන්‍ය වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් පළාතේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් විශාල කැපවීමකින් යුතුව කටයුතු කරනවා. යාපනයේ සිවිල් ආරක්‍ෂක කමිටු මේ කාර්යයන් සඳහා පොලිසියට විශාල සහයෝගයක් ලබා දෙනවා."

පොලිස් ප්‍රධානීන් මෙසේ ප්‍රකාශ කොට දින හතරක් යෑමට පෙර යාපනයේ ගුරුවරියකගේ නිවෙසකට පැමිණි කඩුවලින් සන්නද්ධ පිරිසක් ගුරුවරිය සතුව තිබූ රන් පවුම් දහඅටක් හා මුදල් පැහැරගෙන ගොස් ඇත. මීට පෙර මේ නිවෙසේ කප්පම් ඉල්ලා තිබුණේ 'ආවා ගෘෘප්' කල්ලියේ යැයි කියා ගත් පිරිසකි. මේ නිසාම නිවෙසේ උදවියත් ගම්මානයේ උදවියත් මේ කොල්ලයේ වගකීම 'ආවා ගෘෘප්' කල්ලියේ ගිණුමට බැර කළත් පොලිසිය එය පිළිගැනීමට අකැමැති විය.

මේ සිද්ධියෙන් දින දෙකකට පසුව යාපනයේ ස්ථාන දෙකකදී සිද්ධීන් දෙකක් ඇති විය. ඒවා 'ආවා ගෘෘප්' කල්ලියේ නොවන බවට ප්‍රකාශ කිරීමට පොලිසියට නොහැකි විය.

මින් පළමු සිදුවීම වූයේ ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රියේ යාපනයේ ප්‍රජා ශාලාවක් අසලදී එක් අයකුව කඩුවලින් කපා තුවාල සිදුකිරීමයි. එදිනම සිදුවූ අනෙක් සිද්ධිය වන්නේ රසකැවිලි අලෙවි සලකට කඩු රැගත් පිරිසක් පැමිණ වෙළෙඳසලේ සියලුම බඩුබාහිරාදිය විනාශ කොට දැමීමයි. ලැබුණු තොරතුරු හා ප්‍රකාශ මත මේ සිද්ධීන් දෙකටම හවුල්වී ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෘෘප්' කල්ලිය බවට පොලිසියට තහවුරු විය.
පොලිස් ප්‍රධානීන් වහාම රැස්වී තීරණය කළේ ඉතා ක්‍ෂණික මුර කපොලු දමා පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදු කිරීමටත්, යාපනයේ මේ කල්ලි සාමාජිකයන් වැඩි වශයෙන් ගැවසෙන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ පුරා සෝදිසි මෙහෙයුම් දියත් කිරීමටත්ය.

මේ දිනවල ඒ කටයුතු යාපනයේ බොහෝ පළාත්වල සිදුවෙමින් පවතී. යාපනයේ වැසියන්ට මේ ක්‍රියාව අලුත් දෙයක් නොවූවත් ඔවුන්ගේ මනස් තුළ විවිධ අදහස් ලියලා එන්නටත් තවත් බොහෝ දේ සිතන්නටත් මේ පරීක්‍ෂා කිරීමේ කටයුතු පාදක වී තිබේ.

උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු ගත් කටටම කියා සිටියේ,
"පුතා යුද්දේ තවම ඉවර වෙලා නෑ වගේ" යනුවෙනි.

"යාපනයේ මිනිසුන්ට එක එක කාලෙට එක එක දේවල් එනවා. යුද්දේ ආවා ගියා. ඒත් මේ ඇවිත් ඉන්න 'ආවා කල්ලිය' ආවා විතරයි. තවම ගිහින් නෑ. එයාලාට මිනිස්සු බයෙන් ඉන්නේ. පොලිසිය කියනවා අපිට මේක නවත්වන්න පුළුවන් කියලා. පොලිසිය උදේට හැම කෙනාම සෝදිසි කරනවා. අතගාලා පරීක්‍ෂා කරනවා. ඒත් හවසට හරි රෑට හරි කොතැනක හරි කවුරු හරි කපලා දානවා. එක්කෝ පහර දෙනවා.

පොලිසිය කරන මේ පරීක්‍ෂා කිරීම්වලට අපි විරුද්ධ නෑ. ඒ වගේම යාපනයේ මිනිසුන්ට මේක අමුතු දෙයක් නෙවෙයි. අපි කියන්නේ ඕනෙම දෙයක ඉවරයක් අවසානයක් තියෙන්න ඕනේ.

දැන් බලන්න මේ 'ආවා ගෘෘප්' අර ගෘෘප්, මේ ගෘෘප් කියන අයගෙන් තියෙන කරදරේ. කොච්චර කාලයක්ද? ආණ්ඩුව කියන්නේ ආයෙත් යුද්ධයක් එන්නේ නෑ. මිනිසුන්ට කලබල වෙන්න ඕනේ නෑ කියලයි.

ඒත් මේ යාපනයේ ඇතිවෙලා තියෙන යුද්දේ හොඳටම ඇතිනේ. මිනිස්සු බයේ ඉන්නේ. හේතුව සල්ලි ඉල්ලනවා. කප්පම් ඉල්ලනවා. ඒවා දෙන්නේ නැති වෙනකොට මිනිසුන්ව කපලා දානවා, ගෙවල්වලට බෝම්බ ගහනවා. දේපළ හානි කරනවා. ඉතින් මේ හින්ද මිනිස්සු බය වෙලා තමයි ඉන්නේ."

උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා සේම යාපනයේ වැසියන්ට බියවීමට හේතූන් ගණනාවක්ම ඇත. අවසානයට සභාපතිවරයා විස්තර කළ අන්දමේ දේපළ මුදල් කොල්ලකෑමට ඔවුන් පැමිණීම එක් බියකි.

දෙවැනි කාරණය වන්නේ මේ යාපනයේ ක්‍රියාත්මක විවිධ නම්වලින් හඳුන්වන කල්ලිවල ඇත්තම අරමුණ කුමක්දැයි යන්න කිසිවකුටත් තවම පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකිවීමයි.

පොලිසිය විසින් පනස් අට දෙනකුම අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන් මේ කඩුවලින් මිනිසුන්ව කපමින් බිය ගන්වමින් යාපනයේ කරගෙන යන්නේ මංකොල්ලකෑමක් පමණක්ද? යන්න විශාල ප්‍රශ්නයක් වී තිබේ.

දකුණේ මංකොල්ලකරුවෝ පුංචි රත්තරන් බඩු කඩයක් කොල්ලකෑමට පැමිණියත් වෙඩි තබා හෝ පිහියෙන් ඇන එක්කෙනකු හෝ දෙන්නකු මරාදමා දේපළ මිල මුදල් කොල්ල කති. නමුත් යාපනයේ වසර තුනක් තිස්සේ එක දිගටත්, ඊට වසර කීපයක් වරින් වරත් ක්‍රියාත්මක වූ මේ කල්ලි විසින් සිදු කරනු ලබන්නේ කඩුවලින් කපා කොටා බියට පත්කිරීමක් පමණි. එසේ නම් යාපනයේ වැසියන් බියට පත් කොට ඔවුන් මේ කාගෙන් හෝ වසන් කර ගැනීමට උත්සාහ දරන්නේ කුමක්ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකිවී නොමැත. නමුත් මේ අවස්ථාවේදී විය යුත්තේද ඒ කාරණාවමය.

කඩු කිණිසි හා පොලු රැගෙන මේ පිරිස යාපනයේ මිනිසුන් කපා දමමින් බිය කරන්නේ මන්ද? යන කාරණය වහාම හෙළි කරගත යුතුවේ.

එසේ කීමටත් අවධාරණය කිරීමටත් ප්‍රධාන හේතුව වන්නේ මේ සතියේදී ලැබුණු තොරතුරු දෙස බලන විට යාපනයේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' කල්ලිය ක්‍රියාත්මක වන්නේ නිකම්ම නිකම් මිනිසුන් බිය කිරීමට නොවන බව ඉතාම පැහැදිලිය.

මේ වන විට 'ආවා ගෘෘප්' කල්ලියේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්දියාවට යවා ඉන්දියාවේදී ස්ථාන කීපයකදීම ඔවුන්ට අවි පුහුණුව ලබා දෙන බවට තොරතුරු වාර්තා වෙයි. මේ අවි පුහුණුව ලබා දෙන්නේ මුදලටය. මුදල් ගෙවා අවි පුහුණුව ලබා දීමට 'ආවා ගෘෘප්' කල්ලියට මුදල් අවශ්‍ය නිසා ඔවුන් යාපනයේ වැසියන් බිය ගන්වා කප්පම් ලබා ගනිමින් මංකොල්ලකමින් මුදල් එකතු කරනවා විය හැකිය.
ඒ මුදල් ඉන්දියාවට යවා ඔවුන්ට ගිනි අවි පුහුණුව ඇතුළු යුද පුහුණුව ලබා දෙනවාට කිසිදු සැකයක් නොමැත.

ඊළඟට පැනනඟින ගැටලුව වන්නේ 'ආවා ගෘෘප්' කල්ලියේ ඇත්තම අරමුණ යාපනයේ මංකොල්ලකෑමේ කටයුතුවල නිරතවීම පමණක් නම් ඔවුන්ට ඉන්දියාවේදී යුද පුහුණුව ලබා දෙන්නේ මන්ද? යන ප්‍රශ්නයයි. ඒ ලබා දෙන පුහුණුව සාමාන්‍ය ශරීර යෝග්‍යතා පුහුණුවක් නොව ස්වයංක්‍රිය අවි උපයෝගී කරගෙන සිදු කරනු ලබන විධිමත් යුද පුහුණුවක් බව ඡායාරූපවලින් ඉතාම පැහැදිලිය. එය එසේ නම් යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෘෘප්' කල්ලිය හදිසියේම යුද පුහුණුවක් ලබන්නේ මන්දැයි යන කාරණය සොයා බැලීමේ වගකීම ඇත්තේ ආරක්‍ෂක අංශ සතුවය.

'ආවා ගෘෘප්' කල්ලිය වවුනියාව පුරා පෝස්ටර් අලවමින් 'අපි ප්‍රබලයි, අපි වවුනියාවේත් පෙනී සිටින්නෙමු' යනුවෙන් පෝස්ටර් ඇලවූ අවස්ථාවේදී පොලිසියත් ආරක්‍ෂක අංශයත් කියා සිටියේ ඒවා 'ආවා ගෘෘප්' කල්ලියේ පෝස්ටර් නොවන බවය.

මේ ලිපිය හා ඡායාරූප දුටු විටත් ඒ ආරක්‍ෂක අංශ මේ යුද පුහුණුවක් ලබනවා නොව තරුණයන් පිරිසක් විනෝදයට තුවක්කු අතින් ගෙන සිටිනවා යැයි කීමට පුළුවන.
නමුත් මේ සියලුම ක්‍රියා වැඩි කරන්නේත් ඒ කල්ලිවලට අසීමිත බලයක් ලබාදී ඇත්තේත් ජනමාධ්‍යවේදීන් යැයි ආරක්‍ෂක අංශවලට නිහඬ වීමට තරම් සාමකාමී පසුබිමක් 'ආවා ගෘෘප්' කල්ලිය විසින් ඉදිරි කාලයේදී ඉතිරි නොකරනු ලබන බව නම් ඉතාම පැහැදිලිය.

මේ නිසා ආරක්‍ෂක අංශ සුළුවෙන් සිතා මන්දගාමීව කටයුතු කිරීම අනාගතය පිළිබඳව විශාල අවදානමක පෙරනිමිත්තක් යැයි කිව හැකිය.

රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com