www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරිය මෙහෙකාර සේවයට යොදවා දැරිය සොයාදීමට මවුපියන්ගෙන් කප්පමකුත් ඉල්ලලා


2018-10-05 08:17:34 -  819 යි

බදුල්ල - ඒ.අයි. හසන්

15 හැවිරිදි බාලවයස්කාර දැරියක නිවෙසක මෙහෙකාර සේවයට යොදවා එම දැරිය සොයාදීම සඳහා දැරියගේම මවුපියන්ගෙන් රුපියල් 20,000ක කප්පමක් ඉල්ලූ අඹුසැමි යුවළක් බදුල්ල මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය වයස අවුරුදු 18ට වඩා වැඩිමහල් තරුණියක යැයි කියමින් බදුල්ල ප්‍රදේශයේ බැංකු නිලධාරියකුගේ නිවෙසක මෙහෙකාර සේවයට යොදවා බැංකු නිලධාරියාගෙන්ද රුපියල් 20,000ක මුදලක් ගෙන තිබෙන බවත් දැරියගේ මාර්ගයෙන්ම ඇයගේ මවුපියන් සම්බන්ධ කරගෙන දැරිය සොයා දීමට නම් රුපියල් 20,000ක කප්පමක් ඉල්ලා තිබෙන බවත් මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රොක්කතැන්න වත්තේ පදිංචි එස්. යෝගේෂ්වරන් (25) සහ මහේෂ්වරන් ශාන්තිනදී (28) නමැති අඹුසැමි යුවළකි.

බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙළේ පාසලක (සීවලී විද්‍යාලය) ඉගෙනුම ලබන මෙම දැරිය හපුතලේ කහගලවත්තේ පදිංචිකාරියක වන අතර ඇය මීට සතියකට පෙර මවුපියන් විසින් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් කරන ලද බැන වැදීමක් නිසා නිවෙස අතහැර බදුල්ල නගරයට පැමිණ තිබිණි.

මෙහිදී මෙම දැරියට සැකකාර අඹුසැමි යුවළ හමුවී තිබුණු අතර ඔවුන් විසින් දැරියගේද කැමැත්ත ඇතිව වැඩි වයසක් කියමින් බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරිවරයකුගේ නිවෙසක මෙහෙකාර සේවයට යවා ඇති අතර මෙහි තැරැව්කාර ගාස්තු වශයෙන් මොවුන් විසින් රුපියල් 20,000ක මුදලක් බැංකු නිලධාරියාගෙන් ලබාගෙන තිබිණි.

අනතුරුව දැරියගේ මවුපියන්ගේ දුරකථන අංකය දැරියගෙන්ම ඉල්ලා ගනිමින් ඔයාලාගේ දුව ඉන්න තැන අපි දන්නවා. එයාව හොයලා දෙන්න ඕන නම් රුපියල් 20,000ක් ලබාදෙන්න යැයි කියමින් කප්පමක් ඉල්ලා ඇති අතර මවුපියන් විසින් මේ බව විශ්වසනීය පොලිස් නිලධාරියකුට රහසිගතව පවසා ඇත.

මේ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ බදුල්ල මූලස්ථාන පොලිසිය සූක්ෂම ලෙසින් අඹුසුමි යුවළ බදුල්ල නගරයට ගෙන්වාගෙන මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව මෙහෙකාර සේවයේ නිරතව සිටි දැරියද සොයාගෙන පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකාර අඹුසැමි යුවළ සහ බාලවයස්කාර දැරිය ඊයේ (4දා) බදුල්ල මසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බදුල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර

පරීක්ෂණ සිදුකරනු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com