master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොළඹ මහ නගර සභා "සේවිකාවන්ට ලිංගික හිංසන" !


2018-10-05 07:51:19 -  661 යි

කොළඹ මහ නගර සභාවේ සේවිකාවන් එහි ඉහළ නිලධාරීන්ගේ ලිංගික හිංසනයට ලක්වන බවට ඉදිරිපත්වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විමර්ශනයක් පැවත්වීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශාර්මිලා ගෝනවල මහත්මිය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇති බව ය.

එම චෝදනා සත්‍යය ද යන්න විමසීම සඳහා ආණ්ඩුකාර කාර්යාලයෙන් ද පරීක්ෂණයක් පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මෙම පැමිණිල්ල නාගරික මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරිපත් වූවක් නොවන අතර මහ නගර සභාවේ ඉහළ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළ එකකි.

මේ සම්බන්ධ විමර්ශනයට නීතිඥවරයෙකු, විශ්‍රාමලත් විනිසුරුවරයෙකු, කාන්තා පාර්ශවය නියෝජනය වන පරිදි නිලධාරිනියකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා තිබේ.

එම කමිටුව මගින් කෙරෙන ප්‍රශ්න කිරීම් සහ විමර්ශන අනුව මූලික විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට නියමිත ය.

කෙසේ වෙතත්, ලිංගික හිංසනවලට ලක්වූ බවට කොළඹ මහ නගර සභාවේ කිසිදු සේවිකාවකගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

 Sharmila Gonawalaකොළඹ නාගරික මන්ත්‍රී ශාර්මිලා ගෝනවලමෙම චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ කොළඹ නාගරික මන්ත්‍රී ශාර්මිලා ගෝනවල මහත්මිය පැවසුවේ, කොළඹ නගර සභාවේ සේවය කරන කාන්තාවන් කිහිප දෙනෙකු වරින් වර ඉදිරිපත් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන තමන් ඒ බව ලිඛිතව ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බව ය.

ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වූ බවත් ඇය ප්‍රකාශ කළා ය.

"මේ සම්බන්ධයෙන් පැමිණිලි කළේ කිසිදු නිලධාරියෙක් ගැන පෞද්ගලික පළිගැනීමකට නෙවේ. මෙවැනි බලපෑම් ගණනාවක් විවිධ තරාතිරම්වල සේවිකාවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ කාන්තාවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමත් ඉදිරියේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමත් අරමුණු කරගෙනයි මේ පැමිණිල්ල කළේ"

ඇය පැවසුවේ, ලිංගික හිංසනවලට ලක්වූ බවට විවිධ අවස්ථාවලදී කාන්තාවන් නාගරික කොමසාරිස් කාර්යාලයට සහ කාන්තා කාර්යංශයට කරන ලද පැමිණිලිවල පිටපත් ද තම ලිඛිත පැමිණිල්ල සමග අමුණා භාර දුන් බව ය.

මේ අතර, කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව තමන්ට දැනුම් දුන් බව ද ශාර්මිලා ගෝනවල මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා රෝසි සේනානායක මහත්මිය ඇමතීමට දැරූ උත්සහය සාර්ථක නොවිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com