www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගිනි අවිය අතැතිව විරෝධය පෑ සාජන් අල්ලන්න එස්ටීඑෆ් කැදවයි - අවු. 14 ක් කොටි හිරේ හිටිය මට මාංචු හුරුයි සාජන් කියයි


2018-10-04 07:45:47 -  6527 යි

තමන් විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව රාජකාරි ගිනි අවියද රැගෙන ගොස් තෙබුවන මංසන්ධියේ විරෝධතාවක නිරත වූ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (03 වැනිදා* තෙබුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා ඊයේ සවස මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තෙබුවන පොලිස්‌ ස්‌ථෘනාධිපතිවරයා අදාළ වැලි ලොරිය සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග නොගෙන නිදහස්‌ කිරීමට එරෙහිව පොලිස්‌ සැරයන්වරයා රාජකාරි ගිනි අවිය සමඟ තෙබුවන මංසන්ධියේ පැය දෙකහාමාරක පමණ කාලයක්‌ රැඳී සිටිමින් විරෝධතාවේ නිරත විය.

සිය පෙරපාසල් වියේ දියණියද සිටියදී හෙතෙම මෙසේ විරෝධතාවේ නිරතවූ අතර ඒ හේතුවෙන් එම ස්‌ථානයේ සුළු කලබලකාරී බවක්‌ද ඇතිවී තිබිණි.

පොලිස්‌ සැරයන්වරයා වැලි ලොරිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 29 වැනිදාය. තෙබුවන පොලිසියේ අධිකරණ දිනය වූ ඊයේ (03 වැනිදා) එම සැකකරුවන් මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබී ඇති අතර එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනගැනීමෙන් පසු පොලිස්‌ සැරයන්වරයා එයට විරෝධය පාමින් මෙසේ විරෝධතාවේ නිරතවී තිබේ.

සැරයන්වරයා විරෝධතාවේ නිරතව සිටියදී කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා ඇතුළු උසස්‌ නිලධාරීන් තෙබුවන මංසන්ධියට පැමිණ ගිනි අවිය ඉවත දමා පැමිණ ප්‍රශ්නය විස ගන්නා ලෙස ඔහුට දැනුම් දී ඇතත් වැලි ලොරිය සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඊට අදාළ ලියවිලි තමාට පෙන්වන තෙක්‌ තම ක්‍රියාමාර්ගය අත්නොහරින බව ඔහු පවසා ඇත.

ප්‍රදේශවාසින්ද භිතියට පත්වන අයුරින් මෙසේ පොලිස්‌ සැරයන්වරයා හැසිරෙන්නට වීම නිසා අවසානයේ තත්ත්වය පාලනය කිරීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කැඳවීමටද කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට සිදුවිය.

අනතුරුව උපක්‍රමශීලීව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ඔහුගේ අවධානය වෙනතකට යොමු කරද්දී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු සැරයන්වරයා වෙත කඩාපැන ඔහු අල්ලා ගෙන ඇත. එහිදී ඔහු අත තිබී ටී 56 ගිනි අවිය පත්තුවී අහසට වෙඩි දෙකක්‌ නිකුත් විය. ඉන් ප්‍රදේශවාසීහුද දැඩි ලෙස භීතියට පත්වූහ.

ඒ සමගම දැඩි පරිශ්‍රමයක්‌ දරා සැරයන්වරයාගේ අතින් ගිනි අවිය උදුරාගත් පොලිස්‌ නිලධාරීහු පසුව ඔහු අත්අඩංගුවට ගත්හ.

ඒ සමගම "මම අවුරුදු 14 ක්‌ කොටි හිරේ හිටිය මිනිහෙක්‌' යෑයි හඬනඟා කී පොලිස්‌ සැරයන්වරයා තමන්ට මාංචු හොඳට හුරු යෑයිද අවට සිටින පිරිසට ඇසෙන සේ කෑ ගැසීය.

පසුව සැකකාර පොලිස්‌ සැරයන්වරයා මතුගම පොලිස්‌ ස්‌ථානය වෙත රැගෙන යැමට පොලිස්‌ නිලධාරිහු කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් පසුව අදහස්‌ දැක්‌වූ කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා "මෙම වැලි ලොරිය බලපත්‍රයක්‌ ඇතිවයි ප්‍රවාහනය කරලා තිබෙන්නේ. බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය වෙලා කියමින් තමයි සැරයන්වරයා එම ලොරිය අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. බලපත්‍ර තිබූ නිසා උසස්‌ නිලධාරීන් එය නිදහස්‌ කරලා.'

'මෙතැන වරදක්‌ අසාධාරණයක්‌ වෙලා නැහැ. එහෙම දෙයක්‌ වෙලා තිබුණා නම් ඔහුට තිබුණා ඒ පිළිබඳ මට පැමිණිලි කරන්න. මේක තවත් අයට වැරදි පූර්වාදර්ශයක්‌. ඒ නිසා මෙම නිලධාරියාගේ සේවය වහාම අත්හිටුවනවා. මොහුව මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසත් අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා" යෑයි පැවසීය.

පොලිස්‌ සැරයන්වරයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ඔහුගේ බිරිඳ හා සිඟිති දියණියද එම ස්‌ථානයේ සිටිමින් හඬාවැටෙන්නට වූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com