master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බොලිවුඩ් චිත්‍රපට දුෂ්ටයෙක් වගේ ගැබිනි දුවගේ සැමියා මරන්න පියා ගහපු මාස්ටර් ප්ලෑන


2018-09-25 12:00:42 -  1167 යි

ධර්ම යුද්ධය මෑත කාලීන සිංහල සිනමාවට ලැබුණු ත්‍යාගයක් බඳු නිර්මාණයකි. නමුත් එය ලාංකික තිර පිටපත්කරුවන්ගේ මනසෙහි පැළවුණු අපූරු වස්තු බීජයකින් නිර්මාණය වූවක් නොවේ. එය මලයාලම්, හින්දි සිනමා නිර්මාණයකින් පිටපත් කරන ලද සිංහල සිනමාපටයකි. සැබැවින්ම පවුලේ අය එකට සිට නැරඹිය යුතු කතා තේමාවක් සහිත එම සිනමා නිර්මාණය මලයාලම් හා හින්දු බසින් නිර්මාණය වූ චිත්‍රපටය වන්නේ ද්‍රිශ්‍යාම් චිත්‍රපටයයි. ද්‍රිශ්‍යාම් චිත්‍රපටය බොහෝ පැසසුමට ලක්වූ සිනමාපටයක් වුවද මේ දිනවල එහි උත්පත්තිය වූ ඉන්දියාවට පවා එය සිහිපත් වී ඇත්තේ බිහිසුණු අපරාධයක් නිසාය. පසුගිය දින කිහිපයේම ඉන්දියාවම කම්පා කළ, චිත්‍රපටයක් පවා සිහිගැන්වූ ඒ අපරාධයේ සුල මුල මෙසේය.

පෙරුමාල්ලා ප්‍රෙනේයි කුමාර් නම් තරුණයා පදිංචිව සිටියේ ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ නල්ගොන්ඩා ප්‍රදේශයේය. කඩවසම් තරුණයකු වූ ඔහුගේ සිත් ගත් තරුණිය වූයේ අම්රුතා වර්ශිනීය. පාසල් යන අවධියේ පටන් ඔවුන් දෙදෙනා අතර පැවැති පෙම් සබඳතාව බිඳ දැමීමට මාපියන් නොගත් උත්සහයක් නැත. ඒ ඔවුන් පාසල් දරුවන් නිසාම නොවේ. කෙසේ හෝ වේවා දැන් කුමාර්ගේ වයස අවුරුදු 23කි. වර්ශිනි තවමත් 20 හැවිරිදිය. මලයාලම්, තෙළිඟු සිනමා නළු නිළියන් දෙපළක් මෙන් සුන්දර මේ දෙදෙනා වෙන් කිරීම වඩාත් අවශ්‍ය වී තිබුණේ වර්ශිනීගේ මාපියන්ටය. ඊට හේතුවී තිබුණේ කුල භේදයයි. ධනවත් ඉහළ කුල පරම්පරාවකින් එන වර්ශිනීගේ සිරුර පුරා දිවූයේ ඉහළ කුලයක වෙනස් පැහැ ලේ බව සිතන තරමටම ඇයගේ මාපියන් කුලවාදියෝ වූහ. කුමාර් ඩාලිට් ක්‍රිස්තියානි අයෙකි. හින්දු හෝ ක්‍රිස්තියානි ආගම්වලින් බිඳී ආ අඩු කුල පරම්පරාවක අය ලෙස ඉන්දියාවේ මොවුන්ට ඇත්තේ අඩු සැලකිල්ලකි. මේ කුලභේදය නිසාම බොහෝ කරදරවලට මුහුණදෙමින් මොවුන් සිය පෙම් සබඳතාව පවත්වාගෙන ආයේය. මේ වසරේ ජනවාරි මාසයේදී මොවුන් විවාහ වූයේ මාපියන්ගේ දැඩි විරෝධය හමුවේ ඔවුන්ගෙන් මිදී ගොස්ය. දැන් වර්ශිනී මාස 5ක ගැබිනියකි. ඒ ආදරය, විවාහය තුළ ගලාගියේ කුමාර්ට මරණ තර්ජනවලින් ද දරුවා ගබ්සා කරන ලෙස ද වර්ශිනිගේ මාපියන්ගේ බලපෑම්, තර්ජන ගර්ජන හමුවේය.

පසුගිය 14 වැනිදා පහන් විය. සුපුරුදු ලෙස ගමේ ගැබිනි සායනයට වර්ශිනි සමග ගිය කුමාර් එම කටයුතු නිමවී පිටතට ආවේය. කඩුවක් අතැතිව පිටුපසින් ආ හැඩිදැඩි පුරුෂයකු කුමාර්ගේ සිරුරේ හැමතැනම කපා කොටා දැමුවේ ගැබිනි බිරිය ඉදිරිපිටදීමය. වර්ශිනී කෑ මොරදීගෙන සිහි විසඥව බිම ඇද වැටුණාය. සාහසික ලෙස කඩුවෙන් කුමාර් කීතු කීතු කළ ඝාතකයා කුමාර් නිසල වූ බව දැන පලා ගියේය. මේ සියල්ල වූයේ කවුරුත් යන එන මහමගය. අසල සිටියවුන් මොවුන් දෙදෙනාම ගිලන් රථයකින් රෝහල්ගත කළෝය. සිහිය ආ විට වර්ශිනිට දැනගන්න ලැබුණේ තමන් සිය ජීවිතය හා සමානව ආදරය කළ කුමාර් මෙලොව හැර ගොස් ඇති බවය. රෝහලට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට වර්ශිනි වැදගත් ඔත්තුවක් දී තිබුණි. ඒ ඔස්සේ පොලිස් පරීක්ෂණ ඇරඹිණි.

දින 4ක් ගතවිය. බිහාර ප්‍රාන්තයට පැනගොස් සිටියදී සමස්තිපූර් ප්‍රදේශයේදී සුභාෂ් ෂර්මා නමැති ඝාතකයා අල්ලා ගැනීමට තෙලංගනා පොලීසියට හැකිවිය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් අතරතුරදී තවත් 6 දෙනකු අත්අඩංගුවට ගැනිණ. ඝාතකයාගේ ආරක්ෂාව තකා විශේෂ නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන ඔහු හැර සෙසු 6 දෙනා මාධ්‍ය හමුවට ද ගෙන ඒමට පොලිසිය කටයුතු කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කොංග්‍රස් පක්ෂ නායකයකු වූ අබ්දුල් කරීම්, වර්ශිනිගේ පියාගේ සොයුරා, පියාගේ රියැදුරු හා අශ්ගාර් අලි නමැත්තකු ද විය. පොලිස් ප්‍රකාශකයාට අනුව සිද්ධියේ මහමොළකරු කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයකු වූ වර්ශිනිගේ පියා වන මරුති රාඕය. සියල්ල හෙළිවන්නට වූයේ එතැන් සිටය.

තම පවුලට නින්දා පමුණුවමින් අඩු කුලේ දරුවකු බිහිකිරීමට වර්ශිනි සූදානම් බව දැනගත් වහාම පියා කළේ ඇයට ගබ්සා කරන ලෙස බලපෑම් කිරීමය. සියලු ගැටලු අවසන් කරන තෙක් වසර කිහිපයක් දරුවන් නොහදන්නැයි ද පියා පවසා තිබුණි. නමුත් පියාගේ හැටි දන්නා වර්ශිනී, කුමාර්ට මරණ තර්ජන හමුවේ ද දරුවා හදාගැනීමට තීරණය කර තිබුණි. ඒ බව ඉව වැටුණු පියාට යක්ෂාවේෂ වී මෙම සැලසුම කඩිනම් කළේය.

අශ්ගාර් අලි නමැත්තා අයිඑස්අයි ත්‍රස්ත සාමාජිකයකු මෙන්ම පාකිස්තානු අන්තර් බුද්ධි ඒකකයට සම්බන්ධව කටයුතු කරන අයෙකි. ඔහු මීට පෙර ගුජරාට් හිටපු ස්වදේශීය කටයුතු අමාත්‍යවරයාගේ ඝාතන සැකකරුවකු වේ. වර්ශිනිගේ පියා වන රාඕගේ සැලසුමක් මත බෑණා මරාදමන්නට සැලසුම හදන්නේ පසුගිය ජුනි මාසයේ සිටයි. කරීම් හා ත්‍රස්ත සාමාජික අලි වරින් වර හමුවී අපරාධය සැලසුම් කර තිබේ. අලි සහ කුමන්ත්‍රණයේ අනෙක් සැලසුම්කරුට මෙම ඝාතනය කිරීමට ඉන්දීය රුපියල් කෝටි 2.5ක මුදලක් අවශ්‍ය බව කියා ඇත. එහෙත් පසුව එය රුපියල් කෝටිය දක්වා අඩු කරගෙන ඇත්තේ කුමන්ත්‍රණයට සම්බන්ධ වන සෙසු අයට රුපියල් ලක්ෂ 10 බැගින් දෙන පොරොන්දුව පිටය. අත්තිකාරම් මුදල් ඝාතනයට අවශ්‍ය කරන වාහන, ආයුධ මිලදී ගැනීමට වැය කළේය. අගෝස්තු 17 වැනිදා ද කුමාර් ඝාතනයට මොවුන් තැත් කළද එය වැරදී ගියේය.

ඝාතනයට ඍජුව හා වක්‍රව 8 දෙනකු සම්බන්ධ බවට පොලිසිය කියයි. ඝාතකයා ඇතුළු 7 දෙනකු පොලිස් කූඩුවේය. සැකකරුවකු වන කොංග්‍රස් නායකයකු වූ කරීම් පක්ෂයෙන් ඉවත් කිරීමට කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබේ. නමුත් ඝාතනයේ මහමොළකරු වන වර්ශිනිගේ පියා තවමත් නිදැල්ලේය. ඊට හේතුවී ඇත්තේ වර්ශිනිගේ පියා වන මරුති රාඕ ඝාතනය සිදුවූ දින වෙනත් ස්ථානවල, විශේෂ පුද්ගලයන් හමුවී තමන් ඊට සහභාගි නොවූ බව රඟදැක්වීමේ අපූරු සැලසුමක් රහසිගතව දියත් කර තිබූ නිසාය. ඔහු ඝාතකයා හා සම්බන්ධ නොවී සියල්ල කර තිබුණේ තම සොයුරා හා පක්ෂ නායකයා ලවාය. මරුති මින් බේරීමට කළ රඟදැක්වීම් සියල්ල දැන් හෙළිවී තිබේ. එය හරියටම ද්‍රිශ්‍යාම් සිනමාපටයට බෙහෙවින් සමාන යැයි ඉන්දියාවේ මාධ්‍ය හුවාදක්වයි. ඇතැමුන් චෝදනා කරන්නේ ප්‍රබල සාක්ෂි සඟවාගෙන, දේශපාලන බලපෑම් හමුවේ පොලිසිය මරුති රාඕ අත්අඩංගුවට නොගැනීමට තබා ප්‍රකාශයක්වත් නොගැනීමට කටයුතු කර ඇති බවයි. මරුති රාඕට ඇති දේශපාලන හයිය සහ මුදල් බලය, කුල භේදයක් නිසා අහිංසකයකු වූ බෑණා ඝාතනය කොට, දියණියගේ තරුණ ජීවිතයට අඳුරු පැල්ලමක් එක් කොට හමාරය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com