master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුඩු කිලෝ 4ක් අතුරුදන් ‍පොලිස් ලොක්කෝ කැළඹෙති


2018-09-17 11:49:39 -  924 යි

කුඩු නූර් සහ කොළඹ නාගරික මන්ත්‍රී ෆලීල් අත්අඩංගුවට ගැනීම ගැන ඒ වන විට වැටලීම කළ නිලධාරීන් සිටියේ උදම් අනමිනි. ඒ, ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට එතෙක් කාලයක් අල්ලන්නට බැරිවුණු කුඩු නූර්ව, මත්කුඩු තොගයක් සමග අල්ලා ගැනීමට හැකිවීම නිසාය. එහෙත් කිලෝ 10 ඇල්ලුවා යැයි කීවත් අවසානයේ ‍පොත්වල ලියැවෙන විට එය කිලෝ 06 දක්වා අඩුවීමත් කිලෝ 04 ක මත්කුඩු අඩු වී තිබිමත් ගැන කිසිදු බලධාරියෙක් සොයා බලන්නට හෝ විමසන්නට පවා ගියේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව, කුඩු නූර්ව අල්ලා ගැනීමෙන් ඒ සියලු නිලධාරීන්ද උද්දාමයට පත්ව සිටි බැවිනි.

වැඩි කල් නොගොස් කුඩු නූර්ව ඇල්ලූ ‍පොලිස් කණ්ඩායමට ඇතෙක් බරට තෑගි සහ උසස්වීම් පවා ලබාදීමට ‍පොලිස් බලධාරීහු පියවර ගත්හ. එකී නිර්දේශ පත්‍රිකා ලැබෙන්නේ එවකට අපරාධ සහ අපරාධ බුද්ධි අංශය භාරව ‍පොලිසියේ ඉහළම තනතුරක සේවයේ නිරතව සිටි එච්.එන්.බි. කොටකදෙණිය මහතා අතටය. ඒ, එම නිර්දේශයන් අනුමත කිරීමේ බලධාරියා වූයේ ඔහු වූ බැවිනි. කුඩු නූර් අල්ලා ගැනීමට තොරතුර ලබාදුන් ඔත්තුකරුට රුපියල් ලක්ෂ 03 ක තෑගි මුදලක් පවා එහි නිර්දේශ කර තිබුණේය.

එම තෑගි නිර්දේශ ලිපිගොනුව කොටකදෙණිය මහතාගේ අතට පත්වන්නේ කුඩු නූර්ව අල්ලා මාස දෙකක් යන්නටත් මත්තෙනි. හරියට ඒ 2001 වසරේ දෙසැම්බර් මාසයේ මුල් දෙවැනි සතියේ දිනයකි.

 

කුඩුනූර්ගේ ෆයිල් එක සර්ගේ මේසෙ උඩට දැන් ඇවිල්ල ඇති. කුඩු නූර්ව අල්ලල තාම මාස දෙකක් නැහැ. හැබැයි මිනිහා කේස් එකෙන් නිදහස් වුණා. මිනිහගෙ කටඋත්තරේ කියන්නේ කිලෝ 10 ක් ‍පොලිසිය ඇල්ලුවා කියල. ඒත් ‍පොත්වල ලියැවිලා තියෙන්නේ 06 යි. කුඩු නූර්ගෙ කුඩු කිලෝ 04 ක් ‍පොලිසියේ අය හොරකම් කරල විකුණගෙනයි තියෙන්නේ. සර්ට විතරයි මේ ගැන හොයන්න පුළුවන්. අනිත් අය මේක යට ගහන්නයි හදන්නේ ලිපිගොනුව මේසය මතට ලැබි එතරම් වේලාවක් යන්නට මත්තෙන් මෙම දුරකථත ඇමතුම කොටකදෙණිය මහතාට ලැබෙන්නේ නිර්නාමික පුද්ගලයකුගෙනි.

එම දුරකථන ඇමතුම ගැන යම් සොයා බැලීමක් කරන්නට කොටකදෙණිය මහතා තීරණය කරන්නේ මත්කුඩු පැකට්ටුවක් එක්ක අල්ලා ගන්නා අයකුටත් මාස තුන හතරක් යනතුරු ඇප නොලැබෙන පසුබිමක් තිබියදී කිලෝ ගාණක් සමග අල්ලාගත් කුඩු නූර් නිදහස් වී ඇතැයි කීමෙනි. එසේම ‍පොලිසියේ දූෂණ වංචාවන්ට එරෙහිව මහත් හඬක් නගමින් සිටි කොටකදෙණිය මහතාට කුඩු නූර්ගෙන් අල්ලාගත් මත්කුඩු තොගයෙන් කොටසක් ‍පොලිසිය විකුණාගෙන ඇති බව කී විට ඒ ගැන සොයන්නට පවා ඔහුට ඇතිවන්නේ දැඩි වුවමනාවකි.

ඒ නිසාම ඔහු කුඩු නූර් අත්අඩංගුවට ගැනීමට අදාළ සියලු ලිපි‍ලේඛන පරීක්ෂා කරන්නට ගත්තේය. එහිදී පැහැදිලි වන්නේ යම් වරදක් කොතනක හෝ සිදු වී ඇති බවය. කුඩු නූර් මත්කුඩු තොගයත් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු හලාවත සිට කොළඹට ගෙන එන්නට පැය 14 ක් ගතවීම ගැනද ඔහුට යම් සැකයක් ඇතිවිය. කුඩු නූර්ගේ කටඋත්තරවල සඳහන් වූයේ ද ‍පොලිසිය තමා සතුව තිබි මත්කුඩු කිලෝ 10 ක් අල්ලාගත් බවය. ‍පොලිසිය සටහන් තබා තිබුණේ මුතුපන්තිය වෙරළින් මත්කුඩු තොගය සමග ඔහුව අත්අඩංගුවට ගත් බව වූවත් කුඩු නූර් කියා තිබුණේ තමන්ව අත්අඩංගුවට ගත්තේ වාරිය‍පොළදී බවය. මේ පරස්පරය නිසාම කුඩු නූර් අධිකරණයටත් දෙසැම්බර් 04 වැනිදා නිදහස් වී තිබෙන බවද කොටකදෙණිය මහතාට පෙනී ගියේය. මෙවන් තත්ත්වයක් තිබියදීත් උසස් වීම් සහ තෑගි ඉල්ලීම හිරිකිත ක්‍රියාවක් බව පෙනී ගිය බැවින් කොටකදෙණිය මහතා තීරණය කරන්නේ ඒ ගැන වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්න කරන්නටය. ඔහු ඒ ප්‍රශ්න කිරීම කරන්නට තීරණය කරන්නේ ප්‍රසිද්ධියේය. ඒ වෙන කිසිවක් නිසා නොව, ‍පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ දූෂණ වංචාවන්ට එරෙහිව හඬක් නැගීම නිසා එදා කොටකදෙණිය මහතා සමග බහුතරයක් ඉහළ ‍පොලිස් නිලධාරීන් හිත් අමනාපයෙන් සිටි බැවින් ඒ හැමෝටම දැනෙන්නට මේ හෙළිදරව්ව කළ යුතු බැවිනි.

ඒ දිනය උදාවන්නේ දෙසැම්බර් 18 වැනිදා ‍පොලිස් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ‍පොලිස් මූලස්ථානයේ පැවැති ආරක්ෂක රැස්වීමේදීය. එම රැස්වීමට දිවයිනේ සෑම ප්‍රදේශයක්ම භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු, නියෝජ්‍ය ‍පොලිස්පතිවරු සහ ‍පොලිස් අධිකාරිවරු සහභාගි වී සිටියහ.

එදා කොටකදෙණිය මහතා, කුඩු නූර්ගේ මත්කුඩු තොගයක් ‍පොලිසිය සොරාගෙන ඇති බවට තමාට ලැබි ඇති තොරතුර ගැන කියන විට එහි සිටි නියෝජ්‍ය ‍පොලිස්පති සිරිසේන හේරත් මහතා කුඩු නූර්ව අල්ලා ගත් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නට වූයේ කොටකදෙණිය මහතාට ලැබි ඇති තොරතුරු පට්ටපල් බොරුවක් බව සඳහන් කරමිනි. ඒ එම ‍පොලිස් කණ්ඩායම භාර ප්‍රධානියා ලෙස මෙන්ම ප්‍රියන්ත ජයකොඩි මහතාට ලද තොරතුරට අනුව එම නිලධාරීන් කණ්ඩායම කුඩු නූර්ව අල්ලා ගන්නට මුතු පන්තියට යවන්නේ ඔහු නිසාය. තමා ඉදිරියේ ඉතා විශ්වාසවන්ත ‍පොලිස් නිලධාරීන් පිරිසක් ලෙස පෙනී සිටි ඔවුන් තමාගේ කනෙනුත් රිංගා ගේමක් ගසා ඇති බව ඒ වන විට සිරිසේන හේරත් මහතා දැන සිටියේ නැත. තමන්ගේ නිලධාරීන් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නට වූයේ ඒ නිසාය. එකල ‍පොලිස්පති ධුරයේ රැඳී සිටියේ ලකී කොඩිතුවක්කු මහතාය. ඔහු සහ කොටකදෙණිය මහතා අතර එකල එතරම් හිත් හොඳක් නම් තිබුණු බවක් පෙනෙන්නට නොවීය. ඒ ‍පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මුල්කරගෙනය. ඒ නිසා බොහෝ දෙනෙක් සිතන්නට වූයේ කොටකදෙණිය මහතා කොතරම් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කුඩු නූර්ගේ කතාව කීවත් ‍පොලිස්පතිවරයා එය නොතකණු ඇති බවය. ‍පොලිස්පතිවරයාට ඉතා ලෙන්ගතුව සිටි සිරිසේන හේරත් මහතා පවා කොටකදෙණිය මහතාට එරෙහිව තම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නට වූයේද ඒ නිසා වන්නට පුළුවන. එහෙත් කොටකදෙණිය මහතා ඉදිරිපත් කළ කරුණු ‍පොලිස්පතිවරයාට කිසිසේත් බැහැර කළ හැකි ඒවා නොවීය. එබැවින් ‍පොලිස්පතිවරයා තීරණය කරන්නේ කොටකදෙණිය මහතා ඉදිරිපත් කළ කරුණු ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ස්වාධීන පරීක්ෂණයට ලක්කර සොයා බලන්නටය.

කුඩු සොරා ගැනීම ගැන පුළුල් විමර්ශනයක්.
ලබන සතියට.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com