master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නැගෙනහිර පළාතේ වැඩිම ගම්වාසීන් මරා දැමූ ගෝනගල ඛේදවාචකය


2018-09-11 15:08:31 -  5150 යි

දෑතේ කරගැට එනතෙක්‌ මහ පොළවත් සමඟ ඔට්‌ටුවී කුස පුරවා ගන්නට රන්වන් බීජ වැපුරූ අම්පාර ගෝනගල ගම්මානයේ කෙත් බිම් රන්වන් කරලින් පිරි තිබුණි. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ සින්නවත්ත ඇතුළු දෙමළ ගම්මාන වෙන්ව තිබුනේ මෙම වෙල් යායෙනි. සරු අස්‌වැන්නක්‌ ලැබී තිබීම නිසා ගොවීහු සතුටින් අස්‌වැන්න නෙලන්නට වූහ. නුමුත් ගත වූයේ සුළු මොහොතකි. එක්‌වරම හතර වටින් මතුවූ රුදුරු කොටි ත්‍රස්‌තයෝ දිගින් දිගටම අසරණ ගොවීන්ට වෙඩි පිට වෙඩි තබන්නට වූහ. ගිනියම් වෙඩි උන්ඩ ගොවීන්ගේ සිරුර පෙනෙර කරමින් ගමන් කරද්දී මුළු ගෝනගල වෙල්යායම රක්‌ත වර්ණ ලෙයින් තෙත් වන්නට වූයේ ගොවීන් 12 දෙනෙකුගේ අවසන් හුස්‌ම වාතලයට එක්‌ කරළමිනි.

කෙතකට බසින්නටද නිදහසක්‌ නැත. එනිසා කෙත්බිම් රැසක්‌ පුරන්ව යන ලදී. රෑට ගෙදර නිදන්නටද නොහැක. බීමට කළුවර වැටද්දීම කුසට අහරක්‌ දමා ගන්නා ගෝනගල ගම් වැසියෝ කැලෑ වදිති. එසේත් නැතිනම් ගම මැද්දේ නිවසකට යති. යුද්ධයේ කුරිරු බව අත් විදින්නට දසතින් නැගෙන කන් බිහිරි කරවන වෙඩි හා බෝම්බ හඬ මැද මේ ගම් වැස්‌සන් අන්ත අසරණව කල් ගෙව්වත් ආරක්‌ෂක අංශ වලින් නිසි ආරක්‌ෂාවක්‌ ලබා නොදීමට ඉදිරිපත්වූ නිසා මොවුන් තව තවත් අන්ත අසරන වන ලදී.

වේලාව රාත්‍රී එකේ හෝරාවට ලංව තිබිණි. දුවේ, දුවේ ඉක්‌මණට නැඟිටින්න කොටි එනවා කියත්ම දිනේෂා සහ හත් හැවිරිදි රවින්ද ප්‍රියන්තද සැනෙකින් ඇහැරිනි. නමුත් අවුරුදු එකහමාරක්‌ වයසැති තිළිණි මහේෂිකා නැඟණියත් පස්‌ හැවිරිදි චම්පිකා නැඟණියත් තවමත් සුව නින්දේය. නිවෙස ඉදිරිපිටින් දෙමළින් කතා කරන හඬ ඇසේ. පුංචි නංගී දිනේෂාගේ අතේය. මවගේ අතේ අනෙක්‌ නැගණියයි. දියෙන් ගොඩ ගත් මාළුවන්සේ සියලුම දෙනා ගැහෙමින් සිටිති. අදුරේම ඔවුන් කුස්‌සියේ දොරින් පිටව යැමට සැරසෙත්ම ඉදිරි පසින් විදුලි පන්දම් එළි කිහිපයක්‌ වැටන්නට වූහ. එක්‌වරම දොර කඩා ගත් මිනීමරු ත්‍රස්‌තයෝ 15 ක්‌ අධික පිරිසක්‌ ගේ තුළට කඩා පනින්නට වූහ. නැවතත් නිදා සිටි සාලයේ පැදුර මතට පැමිණි හීන්මැණිකේ දරුවන් සමඟින් පැදුරේ වාඩිවූයේ අන්ත අසරණවය. හතර දෙනකු විදුලි පන්දම් ගෙන මුළු නිවසම ඇල්මාරි පවා පරීක්‌ෂා කරන්නට වූහ. විනාඩි 15 කට ආසන්න කාලයක්‌ ගත වන ලදී. විදුලි පන්දම් ගත් සිව් දෙනා සිටියදී ඉතිරි ත්‍රස්‌තයෝ සියල්ලෝම නිවසින් පිටව යන්නට වූහ. දැන්නම් අපිට කරදරයක්‌ කරන්නේ නැතිවෙයි ඔවුන් සිතෙන්නට වූහ. තවත් ගත වූයේ මොහොතකි. කැති දෙකක්‌ ගත් ත්‍රස්‌තයෝ දෙදෙනෙක්‌ ඔවුන්ගේ ඉදිරියේ දිස්‌වන්නට වූයේ අළුගෝසුවන් මෙනි. දරුවන් සිව්දෙනා පසු පසට කොට අනේ අපිව මරන්න එපා යනුවෙන් හීන් මැණිකේ මාතාව ලේ පිපාසිත කොටින්ගෙන් ජීවිතය යදින්නට වූවාය. නමුත් තෙතමනයක්‌ නොමැති තිරිසනුන් එල්ල කළ කැති පහර ඇයගේ දකුණත වැදුනි. තවත් කැති පහරක්‌ එල්ල වෙද්දී එයද ඉහළට එසවුණු ඇයගේ වම් අතේ වැදුණි. අනේ මාව මැරුවත් කමක්‌ නැහැ මගේ පුංචි දරු පැටව් හතර දෙනා මරන්න එපා යනුවෙන් ඇය විලාප තබද්දීම හිසට වැදුනු ඊළග කැති පහරින් ඇය සාලයම ලේ විලක්‌ කරමින් පැදුර මතම ඇද වැටෙන්නට වූවාය.

බියට පත්වූ අසරණ පුංචි දරු පැටව් ටික තම මවට සිදුවූ දේ දැක අනේ අම්මේ යෑයි අඬන්නට වූහ. අනේ මාමේ. අපිව මරන්න එපා කියත්ම හත් හැවිරිදි රවින්දට මිනීමරු තිරිසනුන් කැති පහරවල් 03 ක්‌ එල්ල කර පෙති පෙති ගසද්දී හතර වටේ චිරිස්‌ගා ලේ විසිවෙද්දී තම මල්ලි වේදනාවෙන් කෑගසන ආකාරය දිනේෂා ගැහෙමින් බලා සිටින්නට වූවාය. බියට පත්ව හඬමින් සිටි අවුරුදු එකහමාරක්‌ වයසැති තිළිණි එක්‌ අතකින් ඔසවා ගනිද්දී පුංචි මුවින් නැඟුණු විලාපයට ගල් හිතක්‌ ඇති තිරිසනුන්ගේ හිත මෘදු නොවුනි. එක්‌ අතකින් කැත්තේ මැදින් අල්ලා ගෙන අනෙක්‌ අතකින් මලක්‌ මෙන් සුරතල් කිරිකැටි නැඟණිය ඔසවා ගත් මෘගයා නැගණියගේ සියුමැලි මුව කැපී යනසේ පහරක්‌ එල්ල කරන අයුරු කදුඵ කැට අතරින් පෙනෙත්ම දිනේෂාට හදවත පිපිරී යන සේයක්‌ දැනුණි. නංගිගේ ඇඬුම නැවතිණි. පුංචි නැගණියගේ සිරුර තිරිසනා බිමට විසි කර දමන්නට දැමීය. ඇයගේ දෙනෙත් පියවිණි. මොහොතකින් දෙනෙත් විවර කර බලද්දී අවුරුදු 05 ක්‌ වයසැති චම්පිකා නැඟණියද ලේ විලක්‌ මැද වැටි සිටියාය.

සුදුපාට අත් දිග කමිසයක්‌ ඇඳ ලොකු කලිසමක්‌ ඇඳ සරම කැහිපොට ගසා ගත් කොටියෙක්‌ උඹ ඔක්‌කොම දැක්‌කා නේද? උඹ ඔක්‌කොම බලාගත්තා නේදැයි ඉතිරිවී සිටි දිනේෂාගෙන් ඇසීය. මව සහ කුඩා සහෝදර සහෝදරියන් ලේ විලක්‌ මැද වැටී ඇත. දිනේෂා මහත් බියට පත්ව සිටින්නීය. කෙසේ නම් මේ නව හැවිරිදි දැරිය මෙම මෘග නඩයෙන් බේරෙන්නද. පපුවට කොට්‌ටයක්‌ තුරුළු කොට ගත් ඇය අම්මේ, අම්මේ කියමින් නැගී සිටිමින් මව වෙතට එන්නට උත්සාහ කරත්ම හිසට කැති පහරක්‌ වැදුනි. අනේ අම්මේ කියා හඬමින් ඇය නැවතත් අම්මා අසලට ඒමට උත්සාහ ගන්නට වූවාය. ඒ සැනින් තවත් කැති පහරක්‌ ඇගේ හිසට වැදුනි. නමුත් එම කැති පහරවල් දෙකටම ඇය බිම ඇද නොවැටුනි. තුන් වන කැති පාර ඇයගේ අතත් කපා ගෙන පතිතවත්ම මෙම පුංචි දැරියද ලේ විලක්‌ මැද ඇඳ වැටුණි.

ත්‍රස්‌තයෝ සියලුම දෙනාම නිවෙසින් පිටව ගියහ. වාසනාවට මෙන් දිනේෂා තවමත් ජීවතුන් අතරය. ඇයට හිට ගන්නට ශක්‌තියක්‌ නැත. සෙමින් දණ ගාමින් මිදුළට යද්දී මීනිමරුවන් වත්තෙන් පිටව යනවා පෙණුනි. ඉදිරි පස ලොකු තාත්තාලාගේ ගෙදරට යැමට සිතුනද එහෙත් කොටින් ඇතැයි සිතුණි. අනේ අම්මේ කියා හඬමින් විනාඩි 30 ක්‌ පමණ මෙම අසරණ දැරිය මිදුලේ සිටින්නට වූවාය. හිසෙන් සහ අතෙන් ගලා යන ලෙයින් මුළු ගතම තෙත්ව ඇත. ඇයගේ ඇගට පණ නැතිව යන්නට වූවාය. දැඩි පිපාසයක්‌ දැනීම නිසා ඇය අම්මේ කියමින් නැවතත් ගේ දෙසට ඇදෙන්නට විය.

ගේ තුළින් අම්මාගේ හඬද ඇයට ඇසිණි. කළුවරේම මව දිනේෂා සොයා ගෙන බඳාගෙන අඬන්නට වූවාය. නංගිලයි, මල්ලිටයි මොනවා වෙලාද දන්නේ නැහැ කියා විදුලි බල්බයක්‌ පත්තු කිරීමට තම නිවසේම ස්‌විචය සොයා ගැනීමට ඔවුණට නොහැකි විය. සාලය පුරාම ගලා ගොස්‌ ඇති රුධිරය නිසා ඔවුන් විටෙක සාලයේම ලිස්‌සා වැටෙන්නටද විය. දිනේෂා තුරළු කොටගත් මව යන් ඔයාව වත්තෙන් තියලා ඇවිත් මම මල්ලිලාව එක්‌කරන් එන්නම් යනුවෙන් පවසා ඇය සමඟ වත්ත පහළට ගොස්‌ ඒ ආසන්නයේ තිබුණු කුඩා ඇළක්‌ ආසන්නයට ගියාය. අනේ අම්මා මට බයයි. මාව දාලා යන්න එපා. මගේ ඇගට පණ නැහැ අම්මේ යනුවෙන් දිනේෂා හඬත්ම මව මල්ලිලා රැගෙන එන්නට නොගොස්‌ ඇය තුරුළු කොට සිටින්නට විය.

දිනේෂාලාගේ නිවස ඉදිරිපිට පදිංචිවී සිටින හේමචන්දු ලොකු තාත්තාද ශබ්දයක්‌ ඇසී එළියට විත් බලද්දී දුටුවේ දෙමළෙන් කතා කරමින් පිරිසක්‌ එන අයුරුය. ඔහුට ඉදිරිපස නිවසේ හීන් මැණිකේලාට මේ බව කියන්නටද කාලයක්‌ නැත. ගෙදර අයටද කියන්නටද කාලයක්‌ නැත. සැනෙකින් තම නිවසේ පිට සිට ජනේල වලට ගසමින් අන්න කොටි එනවා ඉක්‌මනට ගෙදරින් පනින්නයි පවසමින් නිවසේ වැසිකිළිය පිටුපස සැඟවෙද්දී නිවෙස්‌ සිටි පිරිස එළියට පැණ දුව යන්නට වූහ. නමුත් නින්දේ සිටි ප්‍රේමතිලකට ගෙයින් පිටව යැමට නොහැකි වුනි. එක්‌ වරම කොටින් ගේ තුළට කඩා පනිද්දී ප්‍රේමතිලක පණ බේරාගැනීම සඳහා නිවසේ තිබුණු පන් මිටියකට මුවාවී සිටිද්දී එල්ල කළ කැති පහරින් නිවස තුළම ඇඳ වැටුණි. තම පුතාට කැත්තෙන් කොටද්දී වේදනාවෙන් කෑ ගසන ආකාරය එළියේ සිටි අසරණවූ පියා දැරිය නොහැකි වේදනාවෙන් අසා සිටින්නට වූවේය.

තම දියණියගේ පස්‌ හැවිරිදි කාංචනා නම් මිණිපිරියද වඩා ගත් දිනේෂාගේ ලොකු අම්මා වන ලිලාවතී මාතාව ඒ ආසන්නයේ පදිංචිව සිටින සිය ලොකු පුතාට කොටි එන බව පැවසීමට දිව යන ලදී. නමුත් යැමට හැකි වූයේ ටික දුරකි. අනෙක්‌ පසින් පැමිණි ත්‍රස්‌තයෝ රැළක්‌ එක්‌වරම ඇය ඉදිරියෙන් මතුවන්නට වූහ. ඇයට මොහොතක්‌ හෝ සිතන්නට ඉඩ නොතබාම කොටින්ගේ රුදුරු අවියෙන් නිකුත්වූ ගිණියම් වෙඩි උන්ඩයකින් ඇයගේ සිරුර පාසාරු කරගෙන යද්දී අතෙහි සිටි පස්‌ හැවිරිදි කාංචනා ඒ ආසන්නයේ කුඩා ඇළකට විසිවුණි. අනේ ආච්චියේ කියමින් පුංචි දියණිය හඬමින් සිටිද්දී සැනෙකින් එතෙනට පීනු මෘගයෝ එම දැරියද පෙත්තෙන් පෙත්ත කැති ගහද්දී මල් කැකුලක්‌ වන් එම සුරතල් කෙලි පැටික්‌කියද ලේ විලක්‌ මැද වේදනා බර මරණයකට ගොදුරු වූවාය.

දිනේෂාලගේ නිවස ආසන්නයේ රංහාමි යන අයගේ නිවසේ පසුදින පිංකමක්‌ පැවෙත්වෙන බැවින් එම නිවසේ බොහෝ දෙනකු සිටින ලදී. එක්‌වරම එම නිවසට පැන වියරු මෘගයෝ දුටු සියලුම දෙනා කඩු, පිහි, කැතිවලින් පෙති ගහන්නට වූහ. නිවටයෙකුසේ මැරෙන්නට මැළිව අයෙකු ත්‍රස්‌තවාදීන්ගෙන් බේරෙන්නට සටන් කරන්නට වූවේය. නමුත් නිරායුධ වූ අයෙකු අවිගත් තිහ හතළිහක්‌ සමගින් කෙසේ නම් සටන් කරන්නද? අවසානයේ ඔහුගේ සිරුරද කැපී ගොස්‌ ලේ විලක්‌ මැද ඇඳ වැටෙද්දී එම නිවස තුළ පමණක්‌ 14 ක්‌ මියගියහ. දරුවා ලැබෙන්නට පෙරුම් පුරමින් සිටි මාතාවගේ හිසට කඩු පහර එල්ල කර පෙති ගැසු නරුමයෝ එයිනුත් නොනවති ඇයගේ උදරය පලා කුස තුළ සිටි නුපන් දරු පැටියද එළියට ගෙන ඇයගේ සිරුර මත තබා කැති ගෑවේ අහස පොළවද කම්පා කරමිනි.


පිංකම් ගෙදර එකම ලේ විලක්‌ කළ තිරිසුනන් එම නිවසේ සකස්‌ කර තිබු කැවිලි පෙවිලි පිරවූ බේසම්ද රැගෙන මගට ගොස්‌ රස කර කර සතුටෙන් කන්නට වූහ. ඒවන විටත් මුළු ගමක්‌ම පෙති ගසා භීතියට පත්ව තිබුණි. එම ගම්මානයේම අංක 75 නිවසේ සිටි 09 දෙනාම කොටින්ගේ තියුණු ආයුධ වල මුවහත් පහරින් මරු තුරුළට යෑවිණී. මේ ආකාරයට නිවෙස්‌ තුළ සහ කොටින්ගෙන් පණ බේරා ගැනීමට දිව ගිය අහිංසක ජනයා පෙති පෙති ගසා තිබුණි.

දිනේෂාගේ ලොකු තාත්තා බොහෝ වෙහෙසක්‌ දරා ඒ ආසන්නෙයේ නිවෙසක අත් ට්‍රැක්‌ටරයක දමාගෙන කොටින් විසින් දරුණු ලෙස කපා දමා තිබුණු සිය පුතු රෝහල වෙත ගෙන යද්දී අතර මඟදී කොටි එම අත් ට්‍රැක්‌ටරය පසු පසද හඹා එන්නට වූහ. නමුත් එවර මෙම අහිංසක ගම්වැස්‌සෝ එම මරු කටෙන් ගැළවෙන්නට වූහ.

මේ අවස්‌ථාවේ ගෝනගල විද්‍යාසිරි පිරිවෙනේ විහාරාධිපති රන්සෑගොඩ මිත්තසිරි හිමියෝ ගලපිටගල ප්‍රදේශයේ පිරිතකට වැඩම කර ගලපිටගල පන්සලේ එම අවස්‌ථාවේ වැඩ වැසූහ. රෑ විදුලි පන්දම් ගසා ගෙන අත් ට්‍රෑක්‌ටර්වල නැගි පිරිසක්‌ යන බව දැක විමසීමේදී ගෝනගල ගම්මානයට කොටි ගැසු පුවත දැනගත්හ. ඒසැනින් ගලපිටගල විහාරාධිපති පඤ්ඤාසාර නාහිමියන් සමගින් පා ගමනින්ම ගෝනගලට පිටත්වූහ. පොලිස්‌ ජීප් රථයක්‌ පැමිණෙන දුටු උන් වහන්සේලාට එය විශාල අස්‌වැසිල්ලක්‌ විය. නමුත් ගලපිටගල සොහොන් පිටිය අසලට පැමිණී එය නතර කර මෙතනින් එහාට අපට යන්න ඕඩර් නැතැයි පවසමින් නැවත පොලිසිය කොටි කැපු ගෝනගල ගම්මානයේ ජනතාව තනි කරලමින් යන්නට විය.

පොලිසිය බියට පත්ව පසුබා යද්දී කිලෝ මීටර් 03 ක්‌ දුර ගෙවාගෙන මෙම සඟරුවන් යුගලය තම ජීවිතය ගැන නොතකා පා ගමනින් ගෝනගලට එද්දී මුළු ගම්මානයම එකම කාලගෝට්‌ටියකි. තැන් තැන්හි සිටි තරුණ පිරිසද එකතු කරගනිමින් මහ රෑ මෙම හිමිවරුන් විසින් සෝදිසි මෙහෙයුමක්‌ අරඹා තිබුණේ කොටින්ගේ පහර කෑමට ලක්‌ව තවමත් ජීවතුන් අතර සිටි ජනයා බේරා ගැනීමටය. ගෙයින් ගෙට යමින් අවට ලදු කැලෑ ඇළවල් අසල බලමින් මිය ගිය සහ තුවාලකරුවන් සොයන්නට වූහ. ඒ වන විටත් දැඩිසේ තුවාල සිදුව තවමත් ජීවතුන් අතර සිටි පස්‌ දෙනකු කඩිනමින් රෝහල් ගත කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. ඒවන විටත් දැඩිසේ ලේ ගලා ගොස්‌ සිහිසුන් සිටින දිනේෂා සහ ඇගේ මවද ඒ අනුව අම්පාර රෝහලට යෑවීමට හැකි වන්නේ ඒ නිසාය.

මේ ගමට නිරන්තරයෙන්ම ශක්‌තියක්‌ වූ ගෝනගල ශ්‍රී විද්‍යාසිරි පරිවේනාධිපති රන්සෑගොඩ මිත්තසිරි හිමියන්ගේ හඬයි.

ඒදා දවස 99 සැප්තැම්බර් 19 ය. මම එද්දී ගමම මළ ගෙයක්‌, අහිංසක කිරි සප්පයෝ ගැබිණි මාතාවෝ ඇතුළු 57 ක්‌ ගෙවල්වල තැන් තැන්වල කපලා කොටලා මරලා දාලා. ගෙවල්වල තිබ්බ රුපවාහිනි, කැසට්‌, රත්තරන් බඩු සල්ලි කොල්ලකාලා. සමහර මිය ගිය කාන්තාවන්ගේ කන් පවා ඉරාගෙන කරාබු අරන් තිබ්බා. මුළු ගෝනගල ගම්මානයම එකම ලේ විලක්‌ වෙලා. මම තුවාල කරුවන් 05 ක්‌ ඒ වෙලේ රෝහලට යෑවීමට කටයතු කල නිසා ඉන් දෙනෙකුගේ ජීවිත බේරා ගත්තා. නමුත් මෙය දැනගත් විගසම ආරක්‌ෂක අංශ පැමිණියා නම් තවත් ජීවිත කිහිපයක්‌ හෝ බේරා ගන්න තිබ්බා. නමුත් කියන්න කනගාටුයි ආරක්‌ෂක අංශ ආවේ උදේ 7 ත් පසු උනාම. ගමේ තැන් තැන්වල මීනි තියෙද්දී බලධාරීන් 19 වන දා දවල් වෙද්දීම බැකෝ එකක්‌ ගෙනල්ලා වළවල් කපනවා මෙම ජනතාව ඉටි කොළවල ඔතලා වළ දාන්න. නමුත් මම ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. 20 වැනිදා මිණී පෙට්‌ටිවල තැන්පත් කරලා ඉතා ගෞරවාන්විතව එම පිරිසගේ අවසන් කටයුතු කරන්න මට සෑහෙන්න මහන්සි වෙන්න උනා.

මම මෙම ඝාතනයට පෙර මාස දෙකකට ඉහතදී ෆැක්‌ස්‌ එකක්‌ යවලා ගමට ආරක්‌ෂාව අවශ්‍ය බව රත්වත්තේ ආරක්‌ෂක ඇමැතිතුමාට දැනුම් දුන්නත් එයා ගමට එද්දී 57 ක්‌ මැරිලා ඉවරයි. මම ගමේ අයත් රැස්‌ කරලා ජනතාව පුළු පුළුවන් විදිහට බේර ගන්න කටයුතු කලා. නමුත් එදා බලධාරින් ගෝනගලා ජනතාවට ආරක්‌ෂා කරන්න කටයුතු කළා නම් මෙම විනාශය වන්නේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පින් සිදු වෙන්න අපි මොනදේ නැතත් නිදහසේ හුස්‌ම ටිකක්‌ අරගෙන බයක්‌ සැකක්‌ නැතිව ගමනක්‌ ගිහින් ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කම තියෙනවා. එහෙම නොවුනා නම් තවමත් අපට සිදුවන්නේ රෑට බයෙන් බයෙන් කැළැවල් වලට බඩගාගෙන ඉන්නයි යනුවෙන් මිත්තසිරි හිමියෝ ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටියහ.

එදා අවුරුදු නමයක දැරියක්‌ වූ එම ම්ලේච්ජ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් දිනේෂා විමුක්‌ති ජයරත්න අද කියන කථාවයි. මගේ මල්ලියි නංගිලා දෙන්නයි මරා දැමු ආකාරය මතක්‌ වෙද්දී මට දරා ගන්න අමාරුයි. මායි අම්මයි යන්තමින් බේරුනා. එදා මාව කොටි කැපුවට පස්‌සේ මාව අම්පාර රෝහලට යවලා පස්‌සේ එතනින් නුවර යවලා දවස්‌ හතරකට පස්‌සෙයි මට සිහිය ඇවිල්ලා තියෙන්නේ. මාස 03 ක්‌ මටයි අම්මටයි රෝහලේ ඉන්න සිදු වුණා. අපි ඒ දවස්‌ වල රෑට ඉන්නේ කැළැවේ. එහෙම නැත්නම් පන්සලේ. එහෙම නැත්නම් ගම මැදට වෙන්න තියෙන ගෙදරක. කුඹුරකට යන්න විදිහක්‌ නැහැ. කොටි වෙඩි තියලා මරනවා. රෑ දවල් කියලා නැහැ. අපි හරිම බයෙන් හිටියේ තාත්තා අම්පාරේ වැඩට යන නිසා අපි තාත්තා නැති දවස්‌ වල රෑට නිදාගන්නේ හරිම බයෙන්. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට පින් සිදුවෙනවා මේ රට කොටින්ගෙන් බේරලා දුන්නට. අපි විදපු දුක ටවුන්වල ඉන්න අයට තේරෙන්නේ නැතිව ඇති. මීට කලින් හිටපු පාලකයන් කවුරු හරි යුද්ධය නතර කළා නම් මගේ නංගිලා මල්ලිලා තවමත් ජීවතුන් අතරයි. එම නිසා මෙම යුද්ධය නිමා කරලා කළ මෙහෙයට අපි එතුමාට සදා ණයගැතියි යනුවෙන්ද දිනේෂා සිය බිහිසුණු අත්දැකීම අපට දෙනුවන් අතරින් වෑහෙන කදුළු කැට අතරින් පවසා සිටින්නට වූවාය.

මම එදා කොටි ගමට ආපු වෙලාවේ ගොයම් වැඩවලට මහවැලියට ගිහිල්ලා හිටියේ. ගෙදර හිටිය මගේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි මල්ලියි මරලා දැම්මා. මගේ අයියයි එයාගේ නෝනයි ළමයි දෙන්නයි අයියගේ නැන්දම්මයි එදා ඇවිල්ලා හිටියා. ඒ නම දෙනාම කොටි මරලා දාල තිබ්බා. ඒ දවස්‌වල සිංහල, දෙමළ කුඹුරු අක්‌කර 300 ක්‌ විතර වගා කළේ නැහැ. යුද්ධය නිමා කල නිසා අපි බයක්‌ නැතිව ජීවත් වෙනවා. කුඹුරු ටිකත් කරදරයක්‌ නැතිව වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොනදේ නැතත් අපිට නිදහසේ ජීවත් වෙන්න හැකි වුනේ ජනාධිපතිතුමා ඇතුළු රණවිරුවෝ ජීවිත කැපකරලා රට බේරාගත්ත නිසා යෑයිද ගෝනගල ඩබ්. එල්. ආරියදාස මහතා පවසා සිටියේය.

මේ මහා විනාශය සිදුව දැනට වසර 18 කි. නමුත් තව මෙම ගම එන්නට ඇත්තේ තවමත් තාර කුට්‌ටි ගැලවී ඇති බොහෝ අබලන් වූ පාරෙනි. ඒ පාරෙහි මෙලෝ යකෙකුට යන්නට බැරිය. ඒ නිසා මෙම ගමට බස්‌ රථයක්‌ පැමිණෙන්නේ මැත. එක්‌ පසෙකින් එන බස්‌ රථ කේ.සී. ජනපදයෙන් නතරවෙයි. අනෙක්‌ පසින් ගලපිටගල දක්‌වා බස්‌ රථ එයි. ඒ නිසා මෙම දැඩිසේ අබලන් මාර්ගයේ කිලෝ මීටර් හතරක්‌ පහක්‌ පයින් යැමට ගම්වාසීන්ට සිදුවේ. එදා කොටින්ගෙන් බැටකෑ ගම්වැසියන් අද අලින්ගෙන් බැට කති. මීට පෙරදි අලි ගසා දෙදෙනතු මිය යන ලදී. නමුත් ගම්වාසීන් බේරා ගන්නට අලි වැටක්‌ නැත. මෙම පිරිවෙනට යාමට තිබෙන පාරද ගන්නම දෙයක්‌ නැත ගමට බස්‌ රථ එන්නේ නැති නිසා පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරුන් පිරිවෙනේම වැඩ වාසය කරති. නමුත් ඒ පිරිවෙනේද මහා අඩුපාඩු ගොඩකි.

මෙම පුදබිමේ දාන ශාලාවක්‌ නැත. ශිෂ්‍ය නේවාසිකාගාරක්‌ නැත. ආවාස ගෙයද වැස්‌සට තෙමී දැඩිසේ අබලන්ය. ප්‍රමාණවත් වැසිකිළි පහසුකම්ද නැත. වසර 30 ක්‌ තිස්‌සේ සාදන බුද්ධ මන්දිරයේ වැඩ තවමත් අවසන්ව නැත. මේ ආකාරයෙන් මෙ පිsරිවෙනේද අඩුපාඩු බෙහොමයකි. රජයෙන් මේ ගම සහ ගමට තිබෙන එකම ශක්‌තිය වූ මෙම පිsරිවෙන ගොඩනඟන්නට රජයෙන් සහනයක්‌ බලාගෙන සිටියද කොටි ජනතාව කපපු දා සිට මෙම ගමට තවමත් පිළිසරණක්‌ ලැබී නොමැත.

අවසානයේදී පිරිවෙන ගොඩනගන්ට මේසන් බාසුන්නැහෙලා සමඟින් මිත්තසිsරි ලොකු හාමුදුරුවෝද මේසන් හැන්ද ගෙන වැඩ කරති. ලී යතු ගා වඩු වැඩද කරති. පොඩි හාමුදුරුවරු ගඩොල් අදිති. වැලි අඳිති. අත් උදව් දෙති. මේ ආකාරයෙන් කිසිවකුගේ පිළිසරණක්‌ නැති මේ ගම්මානය ගොඩනඟන්ට ඒ හිමිවරුන් පුදුමාකාර වෙහෙසක්‌ ගනිති. නැගෙනහිර පළාතේ ගමකට පැන මේ ආකාරයෙන් විශාල පිරිසත් ඝාතනය කළේ මෙම ගෝනගල ගම්මානය වුවත් මෙම ඝාතනය වෙනුවෙන් සිනමා පට නිර්මාණය වුවත් බලධාරීන්ගේ ඇස්‌ ඇරුණද තවමත් මෙම ගම්මානය එදා කොටි කපා විනාශ වූ අයුරුන්ම පවතින්නේය. මේ පිරිවෙන ගොඩනඟන්නට ගමට සහයක්‌ දෙන්නට කැමති නම් 077 999 6137 හෝ 063 3632149 යන දුරකතන අංකයෙන් මිත්තසිරි ලොකු හාමුදුරුවන්ගෙන් මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැක





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com