master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තාත්තාගේ දෙණ මත දිවුරා ඩුබායි මධුෂ් පළිගන්න හදන්නේ කාගෙන්ද?


2018-09-09 09:37:28 -  1246 යි

මාකඳුරේ මධුෂ් තරම් කතාබහකට ලක්වුණූ පාතාල අපරාධකරුවෙක් රටේ නැති තරම්ය. මාකඳුර ග්‍රාමයේ අහිංසක චරිතයක්ව සිටි ඔහු පාතාල ලෝකයට පිවිසෙන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටියගේ ඝාතනයත් සමගිනි. එම ඝාතනය සිදුවන විට ඔහු සිටියේ මංකොල්ලකෑම් රැසකට සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගතවය. ‍පොලිසිය කියන ආකාරයට අනුව ඩැනී හිත්තැටියව ඔහු ඝාතනය කරවන්නේ බන්ධනාගාරයේ සිට කුලී ඝාතකයෙක් යොදාය

සඳහන් වන ආකාරයට ඩැනී හිත්තැටියගේ ඝාතනය කාලයක් තිස්සේ පැවැති ඉඩම් ආරවුලක ප්‍රතිඵලයකි. ඩැනී හිත්තැටියද සිය දේශපාලන බලයෙන් මාකඳුරේ මධුෂ්ට හිරිහැරකර තිබුණේ ඔහු අපරාධ ලෝකයට තල්ලු කරමිනි. ඊට ‍පොලිසියෙන්ද ලැබි තිබුණේ පිටිවහලකි

මධුෂ්ගේ එකම සහෝදරයාව ඝාතනය වන්නේද ඔහු බන්ධනාගාරයේ සිටියදීය. නාඳුනන කණ්ඩායමක් මාකඳුරේ නිවසේ සිටි ඔහුව පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර මළසිරුර දමා යන්නේ මාතර වේල්ල මතය. ඒත් එක්කම වෙන කිසිදු පාතාල අපරාධකරුවෙක් නොකළ ක්‍රියාවකට මාකදුරේ මධුෂ් මුල පුරන්නේ එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් ගොඩනගා ගනිමින් එවකට සිටි රාජ්‍ය නායකයාව සිටි මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නටය. ඒ ගැන බුද්ධි අංශ බලධාරීන්ට වාර්තා කිරීමත් සමග බන්ධනාගාරගතව සිටි මධුෂ්ව විශේෂ අධිකරණ නියෝගයකින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගත්තේ එකී ඝාතනය ගැන විමර්ශනය කරන්නටය. වසර දෙකකට ආසන්න කාලයක් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිර මැදිරියක රඳවා සිටියේය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කරන්නට ඔහු ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ වූ බවට ඇල්පෙනෙති තුඩකවත් සම්බන්ධයක් සොයාගන්නට නොවීය. අවසානයේදී සිදුවන්නේ ආණ්ඩු පෙරළියත් සමග මධුෂ් ඇප මත නිදහස ලැබිමය. ඒ වන විටත් වසර ගණනාවක්ම සැකකරුවෙක් ලෙස ඔහු බන්ධනාගාරගතව සිටියේය. ඒ එළියට එන විට ඔහු හොඳටෝම තෙම්පරාදු වී සිටියේය. රටේම පාතාල අපරාධකරුවන් සමග ඒ වන විටත් මධුෂ් සම්බන්ධයක්ද ගොඩනගාගෙන සිටියේය. ඔහු එළියට එන්නේ නැවත ඇතුළට නොයන බව සිතාගෙනය. බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් ඩුබායි රටට පැන ගන්නේ එබැවිනි. මාකඳුරේ මධුෂ් එතැන් සිට වැඩ පෙන්වන්නේ ඩුබායි සිටය. මේ වන විට පාතාලයේ ගෝඩ්ෆාදර් බවටද පත්ව සිටින්නේ මධුෂ්ය. මධුෂ්ට ඉහළින් අද පාතාලයක් රටේ නැති තරම්ය. ‍පොලිසියට පවා මේ වන විට මධුෂ් අභියෝග කර හමාරය. ඔහු පවසන්නේ අසාධාරණයට එරෙහිව තමා නැගී සිටින බවය. මධුෂ්ගේ ජීවිතයේ අභ්‍යන්තර කතාව විමසීමේදී පෙනී යන්නේ එය හරියටම දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක් බඳු බවය.

ඩුබායි සිට වැඩ පෙන්වන මධුෂ්ගේ ජීවිත කතාවද යම් දවසක චිත්‍රපටයකටද පෙරළෙනු ඇත. ඒ තරමට ඔහු වටා ගෙතී ඇති කතා බොහෝය.

මේ සටහන් තබන්නට යන්නේ මධුෂ්ගේ අණින් සිදු කෙරුණු බව කියන ඝාතන හෝ අපරාධ ගැන නොව, මධුෂ්ගේ පියාගේ අවමඟුල ගැනය. මධුෂ්ගේ පියා එස්.ඩී. ලක්ෂ්මන්ය. ඔහු ජීවත්වූයේ මාකඳුරේය. එහෙත් පසුගිය 29 වැනිදා ඔහු කළුතර නාගොඩ රෝහ‍ලේදී මිය යන්නේ රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

සිය පියාගේ මරණය කන වැකුණු සැණින් මධුෂ් පිය සෙනෙහස උතුරා යමින් කඳුළු වගුරවා ඇතැයි විශ්වාසවන්ත තොරතුරු අනාවරණය කළේය. ඒ මධුෂ්ටත් උණු වන හිතක් ඇති බව පසක් කරමිනි. ඇතැම් විට මධුෂ්ද පියෙක් වන බැවින් ඔහුට පියාගේ වටිනාකම පෙරට වඩා දැනෙන්නට ගත්තා වන්නටද පුළුවන. කෙසේ වෙතත් මධුෂ් තීරණය කරන්නේ සිය පියාගේ අවසන් කටයුතු මහත් ඉහළින් සිදු කරන්නටය. එහිදී ඔහු සිය පියාගේ දේහය මාකඳුරේ නිවසට රැගෙන නොයා සූරියවැව ඥාති නිවසකට රැගෙන යන්නට පවා වග බලා ගත්තේය. ඒ ඇතැම් විට ඔහු ඩුබායි සිට හොර පාරෙන් පැමිණ සිය පියාට අවසන් ගෞරවය දැක්වීමට සිතාගෙන වන්නට පුළුවන. එසේ ඔහු අවස්ථා කිහිපයකදී ඩුබායි සිට මෙටට පැමිණ ගොස් ඇති බවට විවිධාකාර කතා බුද්ධි අංශ කියති. වරක් ඔහු මෙරටට ආවේ යැයි කියන්නේ දකුණේ ඇමැතිවරයකුගේ පුතෙකුගේ විවාහයටය. තවත් වරෙක මෙරටට ආවේ යැයි කියන්නේ මැතිවරණ සමයකදීය. එහි ඇත්ත නැත්ත දන්නේ මධුෂ් පමණි. යම් දවසක මධුෂ්ම එහි ඇත්ත නැත්ත කියනු ඇත.

බුද්ධි අංශ සඳහන් කරන්නේ මධුෂ් සිය පියාගේ මළසිරුර සූරියවැවට ගෙන ගියේ සූරිය වැව වැසියන් ඔහුව මුහුණුවරින් නොහඳුනන නිසා බවය. ඔහු ඩුබායි සිට සිය පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙන විට ඔහුව නොහඳුනන පිරිසක් සටින ප්‍රදේශයට යාම ආරක්ෂාකාරී බව මධුෂ්ට හිතෙන්නට ඇතැයි බුද්ධි අංශ අනුමාන කරති.

කෙසේ වෙතත් මධුෂ්ගේ පියාගේ මරණය කන වැකුණු මොහොතේ සිටම බුද්ධි අංශය සිටියේ ඒ දෙස දැඩි විමසිල්ලකිනි. සූරියවැව මළ ගෙදරට එන සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි පැය 24 පුරාම සන්නද්ධ සිවිල් ‍පොලිස් නිලධාරීන් යොදවා සිටියේ මධුෂ්ව කොටුකර ගන්නටය. ඒ මළසිරුර දින හතරක් තබා ගැනීමට හැකි වන ලෙස බෙහෙත් ගල්වා තිබිම නිසාය.

මධුෂ්ට හැම පැත්තෙන්ම ඔත්තුකරුවන් සිටිති. ඒ අතර ‍පොලිසියේ අයද නැතුවාම නොවේ. තමාව දඩයම් කිරීමට ‍පොලිසිය මාන බලමින් සිටින බව එකී ඔත්තුකරුවන්ගෙන් මධුෂ් දැනගන්නට ඇත. සිය පියාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙනවා වෙනුවට ඔහු මළගෙදර සිදුවන සෑම දෙයක්ම සජීවීව නැරඹීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් මළගෙදරට සිය ගෝලබාලයින් මගින් යොදවනු ලැබිය. හතර වටේම කැමරා සවිකරමින් මළ ගෙදරට එන යන අය කවුරුන්දැයි කියා පවා ඔහු ඩුබායි සිට නැරඹුවේය. මළ ගෙදර අවට සිදුවන්නේ කුමක්දැයි කියා ඩෝන කැමරාවක් ගුවන් ගත කර ලබාගන්නා දර්ශනවලින් ඔහු නැරඹුවේය. ඒ අතර ඔහු සිය පියා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක්ද නිකුත් කළේය. සිය පියා කෙරෙහි ඇති අසීමිත ආදරය ගැන සටහනක් පවා තබා තමන් අපරාධකරුවෙක් වූයේ ඇයි දැයි ඔහු එම ශෝක ප්‍රකාශයෙහි නොකියා කියා තිබුණේය. ඒත් එක්කම ඔහු යම් අනතුරු ඇඟවීමක් පවා කර තිබුණේ රටට සමාජයට වින කරන උන් අකාමකා දමන බවටය.

ප්‍රභුවරයෙකුගේ මළගෙදරක් බඳු සෑම අතින්ම පහසුකම් සහිතව පැවැති මෙම මළගෙදරට විවිධාකාර පුද්ගලයින් ආවෝය. ඒ පැමිණි සෑම අයෙක්වම බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කරමින් තොරතුරු රැස්කරන්නටද අමතක නොකළේය. බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් වෙනම ‍ලේඛනයක් පවා පවත්වාගෙන ගියේය. ඒ තත්ත්වය මත 02 වැනිදාට නියමිතව තිබුණු අවසන් කටයුතු 01 වැනිදා සිදුවන්නේ හදිසියේම ගත් තීරණයකට අනුවය. අවසන් කටයුතු සඳහා පවු‍ලේ සුසානභූමිය වෙත රැගෙන යාමට දේහය නිවසින් පිටතට ගන්නවාත් සමග එකවරම ගුවන ගිගුම් දෙමින් මතුවන්නේ හෙලිකොප්ටරයකි. මඳ වේලාවක් මළගෙදර ඉහළ අහසේ කරකැවෙමින් තිබුණු එම හෙලිකොප්ටරයෙන් මල් වර්ෂාවක් මළසිරුර මිහිදන් කරන තෙක් ගුවනින් වැටෙන්නට ගත්තේ බුද්ධි අංශ පවා හොල්මන් කරවමිනි.

ධුෂ් සිය පියාගේ මළගම හරහා සිය බලය පෙන්වූවා පමණක් නොව තමන් අපරාධකරුවෙක් බවට පත්වූයේ ඇයි දැයි සමාජයටම පණිවිඩයක් දුන්නේය. එම පණිවිඩයෙන් ඔහු කියන්නට උත්සාහ දරන්නේ තමන් සරදියල් කෙනෙක් මිස අපරාධකරුවෙක් නොවන බවයි.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com