www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරේ ඉඳන් ගෝනහේනේ චමිලා මැරූ ගණේමුල්‍ලේ සංජීව


2018-09-09 09:15:15 -  1583 යි

රන්මුතුගල, ගෝනහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය නමින් චමිලා කුමාරි වූවාය. ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සමග කාලයක් තිස්සේ පැවති පෙම් සබඳතාවකින් පසු ඇය ඔහු සමග විවාහ වූවාය. ඔහු විවිධ පුද්ගලයින්ට ‍පොලියට මුදල් දුන්නේය. මේ නිසා කෙටි කලකින්ම ඔහු කෝටිපති ව්‍යාපාරිකයකු විය. සමාජයේ විවිධ කටයුතුවලටද ඔහු මුදල් වියදම් කළේය.

මේ යුවළ පදිංචිව සිටියේද ගෝනහේන ප්‍රදේශයේ පිහිටි සෑම පහසුකමකින් යුතු නිවසකය. චමිලාට මුදලින්ද අඩුවක් නොවීය. ඇය සිය අවශ්‍යතා සඳහා සිත් සේ මුදල් වියදම් කළාය. ව්‍යාපාරිකයාද සිය බිරිඳට මහත් ආදරයක් දැක්වූවේය.

ටික කාලයක් ගත වෙද්දී ඔවුන්ගේ කැදැල්ලට සිඟිති දැරියක් එකතු වූවාය. කාලය ක්‍රමයෙන් ගත වෙද්දී දෙන්න දෙමාල්ලෝ අතර නිතර නිතර අඬදබර ඇති වන්නට විය. ව්‍යාපාරිකයා සහ චමිලා අතර දිගින් දිගටම පැවති මේ විරසකය නිසා චමිලා සිය දියණියද රැගෙන, ව්‍යාපාරිකයාගේ නිවසට මීටර් සියයක් පමණ දුරින් වූ නිවසක පදිංචියට ගියාය.

මුදල් නොමැතිවීම නිසා චමිලා සිය දැරියද සමග ගැටලු රැසකට මුහුණදුන්නාය. ඇය ඉතිරිකරගත් දෙයක්ද නොවීය. මේ කාලයේදී පුද්ගලයකු ඇයට හිතවත් වී උදව් උපකාර කරන්නට විය. එය අනියම් පෙම් සබඳතාවක් දක්වාම දුරදිග ගියේය. ඔහු කාන්තාවගේ නිවසේ නවාතැන් ගත්තේය. ඇයටද අවශ්‍ය වූයේ ඔහු සමග විවාහ වීමටය. නමුත්, ව්‍යාපාරිකයාගේ කෝටි ගණනක දේ‍පොළ පිළිබඳව ඇය ඇස ගසාගෙන සිටියේය.

ව්‍යාපාරිකයාද මේ කාලයේ තවත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පැවැත්වීය. ව්‍යාපාරිකයා චමිලාගේ අනියම් සබඳතාව ද දැනගෙන සිටියේය. මේ අතර ව්‍යාපාරිකයා මහර අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනු කළේය. එය සති දෙකකට වරක් විභාග වෙමින් පැවතුණි. චමිලා ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ ගණනක් වන්දි වශයෙන් ඉල්ලා සිටියාය. මේ නිසා නඩුව දිගින් දිගටම කල් ගියේය.

ව්‍යාපාරිකයාට අවශ්‍ය වූයේ චමිලා කුමාරිගෙන් වෙන් වී දැන් සම්බන්ධතාව පවත්වාගෙන යන කාන්තාව සමග විවාහ වීමටය. මෙම නඩුව අධිකරණයේ විභාග වෙමින් පැවතියදී හදිසියේම ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වන්නේය. ඒ මීට වසරකට පමණ ඉහතදීය. ව්‍යාපාරිකයා නිවසේ සිටියදී පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා යන්නේය.

මෙම ඝාතන සිද්ධිය පිළිබඳව ‍පොලිසිය දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වීය. ඝාතනය සිදුවී හරියටම මාස දෙකකට පසුව ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක පිට චමිලා කුමාරි සහ ඇගේ අනියම් සැමියා කඩවත ‍පොලිසිය අත්අඩංගුවට ගන්නේය. ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නා යැයි සැකපිට ‍පොලිසිය, ව්‍යාපාරිකයාගේ බිරිඳත්, අනියම් සැමියාත් අත්අඩංගුවට ගත්හ. කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයාද ‍පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදී. කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයින් හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින්නන් බවද ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

චමිලා සහ ඇගේ අනියම් සැමියා අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මීට මාස දෙකකට පමණ ඉහතදී චමිලා ඇප මත අධිකරණයෙන් මුදාහැරියාය. මේ වන විට චමිලාගේත්, ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේත් දියණිය ප්‍රදේශයේ පාසලක උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටියාය.

චමිලා පසුගිය අගෝස්තු 07 වෙනිදා අධිකරණයට ගියේ දික්කසාද නඩුව විභාග වෙමින් පැවති නිසාවෙනි. ඇය නඩුවට ගොස් ආපසු නිවසට පැමිණියාය. චමිලා කුමාරි කුමක් හෝ අවශ්‍යතාවකට එදින සිය දියණිය හමුවීමට පාසලට යමින් සිටියාය. ඇය ගෝනහේන හන්දිය අසලින් ගමන් කරමින් සිටියාය. මේ යන්නේ සිය අවසන් ගමනයැයි ඇය කිසි ලෙසකින් වත් නොසිතන්නට ඇත. යතුරුපැදිකරුවකු ඇය යන්නේ කොහේදැයි හොර රහසේ විපරම්කරමින් සිටියේය

යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයා සඟවා ගෙන සිටි ගිනිඅවිය එළියට ගෙන ඇයට වෙඩි පහර කීපයක් එල්ලකර පලා ගියේය. ඇගේ අතකට සහ හිසට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි. කෙසෙල් කඳක් බිම හෙළුෑ පරිද්දෙන් ඇය ‍ලේ පෙරාගෙන මාර්ගය මත ඇද වැටුණේ අවසන් හුස්ම ‍පොද වා තලයට මුසු කරමිනි.

මෙම ඝාතනය ගැන පරීක්ෂණ පැවරෙන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයටය. එහි අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරී මහේෂ් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පැවැති දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අගෝස්තු 28 වැනිදා අත්අඩංගුවට ගන්නේ එම ඝාතනයේ සැගවුණු බොහෝ තොරතුරුද සමගිනි.

ඝාතකයා නමින් රන්කොත් පේඩිගේ සංජීව සම්පත්ය. විසිතුන් හැවිරිදි ඔහු නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකි. ‍පොළවල්වල මුරුක්කු විකුණමින් ජීවිකාව සරිකරගත් ඔහු මිනිස් ඝාතකයෙක් බවට පත්වන්නේ ගනේමුල්‍ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් ඉටුකරන්නට ගොසිනි. මත්කුඩු පානයටද දැඩිව ඇබ්බැහි වී සිටින ඔහු ගනේමුල්‍ලේ සංජීව දැන හඳුනාගන්නේ මත්කුඩු ළඟ තබා ගැනීමකට බන්ධනාගාරගතවීමකින් පසුවය. සංජීවගේ පියා දරුණු රෝගී තත්ත්වයකින් පෙළී ඇති අතර ඒ සඳහා ශල්‍යකර්මයක් කිරීමට වියපැහැදම් කර ඇත්තේ ගනේමුල්‍ලේ සංජීවය. එතැන් පටන් සම්පත් ඉඩ ලැබෙන සෑම විටකදීම මැගසින් බන්ධනාගාරයට යන්නේ ගනේමුල්‍ලේ සංජීවගේ දුක සැප විමසන්නටය. පසුගිය ජූලි මාසයේ අන්තිම සතියේද සම්පත් මැගසින් බන්ධනාගාරයට ගියේ සංජීවගේ දුක සැප විමසන්නටය. චමිලා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ඔහුට ලැබෙන්නේ එහිදීය. සම්පත්ට ඒ සඳහා අවශ්‍ය ගිනිඅවිය දෙන්නේ ගනේමුල්‍ලේ සංජීව සමග බන්ධනාගරයේ රැඳී සිටින ගොත අසංක නමැති පාතාලයේ ප්‍රබලයාය. සමයං නමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙක් වන ඔහු සමයංගේ ඝාතනයෙන් පසු ඒ තැන ගන්නට මාන බලන්නෙකි. මේ වන විට ගනේමුල්‍ලේ සංජීව සමග එක්ව පාතාලයේ හයිය වර්ධනය කර ගනිමින් ඔහු සිටින්නේ මාකඳුරේ මධුෂ් සමගින්ද සම්බන්ධකම් ගොඩ නගා ගනිමිනි.

චමිලා ඝාතනය කරන්නට යන සම්පත්ට යතුරපැදිය මෙන්ම එය පදවන්නෙක් ලබාදෙන්නේද ගනේමුල්‍ලේ සංජීව විසිනි. සම්පත්ට පැවරෙන්නේ කෙසේ හෝ චමිලාව ඝාතනය කරන්නටය. ඒ සඳහා ඔහුට සංජීවගෙන් අත්තිකාරම් වශයෙන් රුපියල් 50000 ක් ද ලැබුණේය.

එදා චමිලා උසාවියට යන විට සම්පත්ද ගිනි අවිය ඉනේ ගසාගෙන උසාවිය ඇතුළට ගියේය. ඔහු සූදානම් වන්නේ උසාවිය

ඇතුළේදීම චමිලාට වෙඩි තබා මරා දමන්නටය. බන්ධනාගාර නිලධාරීන් ඔහුව පරීක්ෂා කළත් ගිනි අවිය ඒ අයට හසුවී තිබුණේද නැත. උසාවිය ඇතුළේ කොකා ගස්සන්නට සම්පත්ට ඉඩක් නොලැබෙන්නේ බන්ධනාගාර නිලධාරියෙක් විසින් උසාවිය ඇතුළේ හිටගෙන සිටි ඔහුව එළියට ඇද දමන නිසාය. ඒ අනුව ඔහු චමිලාව ඉලක්ක කරන්නේ උසාවියෙන් පිටතදීය. එම ඝාතනයෙන් පසු සංජීව ඔහුට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ වැඩේ තිතට කළ බැවින් තවත් වැඩ දෙක තුනක් කරන්නට ඇති බවය. එහෙත් ඒ වැඩ මොනවාදැයි ඔහුට කියා නැත. ඔහු කොටුවන්නේ එම වැඩ භාරගන්නට මත්තෙනි. මේ වන විට කෙරී ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ චමිලා ඝාතනය කරන්නට ගනේමුල්‍ලේ සංජීවට කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ චමිලාගේ සැමියාගේ ඥාතියෙක් විසින් බවය.

එම ඥාතියා කවුරුන්දැයි හඳුනාගෙන ඇති බැවින් වැඩි කල් යන්නට මත්තෙන් සාක්ෂි සහිතව ඔහු හෝ ඇයව අත්අඩංගුවට ගනු ඇත.

ඉමේෂ් නුවන්ත-කඩවත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com