www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලංගම සේවක කැප කිරීම් අගයා වැටුප් වැඩි වීම් සමඟ බෝනස්


2018-08-31 08:23:44 -  442 යි

උපතිස්ස පෙරේරා

පසුගිය කාලසීමාව තුළදී විටින් විට රට තුළදී සිදුවූ වැඩවර්ජන හේතුවෙන් ප්‍රවාහන සේවාව අඩපණ වීමට නොදී රැක ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංගමයේ සියලුම සේවකයන්ගේ වැටුප් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර වැඩි කිරීමට කටයුතු කරන බවත් එසේම ඔවුන්ට මෙතෙක් කිසිවිටෙක ලබා නොදුන් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් මෙම වසර අවසානයේදී ලබාදීමට පියවර ගන්නා බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංගම සේවකයන්ගේ සාමූහික කැපවීම අගය කිරීමක් ලෙස මෙම තීරණයට එළැඹි බව සඳහන් කරන අමාත්‍යවරයා මෙය කිසිසේත්ම ඇතැම් වෘත්තීයසමිතිවල තර්ජන, ගර්ජන හෝ බලපෑම්වලට යටත්ව සිදුකරන්නක් නොවන බව දැඩි ලෙස අවධාරණය කරයි. ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අවධාරණය කළ අමාත්‍යවරයා වසර 60කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංගමය මේ වන විට දිනකට රුපියල් මිලියන 100ක ආදායමක් ලැබෙන ආකාරයේ ප්‍රගතියක් ලැබීම පිළිබඳව ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංගමය මෙම ප්‍රගතිය අත්කර ගැනීම සඳහා 6100කින් යුත් බස් රථ ඇණියක්ද විවිධ ශේ්‍රණිවල නිලධාරීන් ඇතුළු 30,463ක සේවක පිරිසකගේ සේවයද ලබා ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා දිවයින පුරා පිහිටි ප්‍රධාන ඩිපෝ 107ක් හා උප ඩිපෝ 13ක් මඟින් මගී ප්‍රවාහන පහසුකම් ලබා දෙන බවද සඳහන් කළේය.

මෙම ඩිපෝවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතැයිද පසුගිය වසරේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 1618 මේ වසරේදී රුපියල් මිලියන 2000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද අතිරික්තව සිටි ශ්‍රී ලංගමයේ 4000කට ආසන්න සේවක සංඛ්‍යාවක් ස්වේච්ඡා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමක්, ශ්‍රී ලංගමයට මෙතෙක් නොතිබූ බඳවා ගැනීමේ පටිපාටියක්, අවශ්‍ය කාර්ය මණ්ඩල වාර්තාවක් හා උසස්වීමේ ක්‍රමවේදයක්ද මේ වන විට සකසා ඇතැයි පැවැසූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මනා කළමනාකරණය නිසා වසර 25කට පසු ශ්‍රී ලංගමය නියම පීල්ලට වැටී තිබීම සතුටට කරුණක් බවද සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංගමයට කිසිදු සේවකයකු බඳවා නොගත් බවත් පසුගිය පාලන කාලය තුළ විවිධ දේශපාලන බලපෑම් මත බඳවා ගැනීම සිදුකළ නිසා ශ්‍රී ලංගමය පිරිහීමටත් ආර්ථික පසුබෑමකටත් ලක්ව සේවක වැටුප පවා ගෙවාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com