master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෝඨාට නිකුත් කළ නොතීසිය අවලංගුයි


2018-08-24 08:04:57 -  237 යි

කවින්ධ්‍යා පෙරේරා

වීරකැටිය ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක් අවභාවිත කළා යැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙසට නම් කර සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කර තිබූ නොතීසිය නීත්‍යනුකූල නොවන බව සඳහන් කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අදාළ නොතීසිය අවලංගු කිරීමට ඊයේ (23දා) නියෝග කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෝසම් පත්‍රයක් ගොනු කරමින් අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර සිටියේය.
අදාළ මෝසම් පත්‍රය ගොනු කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවට අදාළව නොතීසි නිකුත් කර ඇති සැකකරුවන් අධිකරණය මඟහරිමින් විදෙස් ගතවීමට උත්සාහ දරන බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග මඟින් දැන ගැනීමට ලැබී ඇති බැවින් මෙම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසය.

අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ පළමු සැකකරු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොතීසි නිකුත් කිරීම නීත්‍යනුකූල නොවන බව පෙනී යන බවත් එකේ සිට හත්වැනි සැකකරු දක්වා නොතීසි නිකුත් කිරීම නෛතික වශයෙන් විශාල වරදක් වන බවත් පළමු සැකකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති 391/17 පෙත්සමට අදාළ නියෝගයට අනුව එය පටහැනි බැවින් පළමු සැකකරු වන ගෝඨාභය රාජපක්‍ෂ යන අයගේනොතීසිය ආපසු කැඳවීමටත් දෙවැනි සැකකරුගේ සිට හත්වැනි සැකකරු වෙත නිකුත් කර තිබූ නොතීසිය නැවත කැඳවීමටත් නියෝග කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, සාමාන්‍යාධිකාරි ගමඇති රාලලාගේ භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මදම්පෙරුම ආරච්චිලාගේ ශ්‍රී මති මල්ලිකා කුමාරි සේනාධීර යන අයවලුන්ගේ නොතීසි ආපසු කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කර සිටියේය.

එසේම මෙම සැකකරුවන් සය දෙනා විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් සිදු කර ඇති බැවින් මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නියෝග කරනු ලැබීය. නඩුව සැප්තැම්බර් 07 වැනිදාට කල් තැබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com