www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාදම්පාවිල ගිංපොල්-කඩොලාන පද්ධතිය විනාශ කර සංචාරක හෝටල් හදලා


2018-08-24 08:01:25 -  289 යි

සපුමල් ජයසේන

ලංකාවේ ඉහළම ජෛව විවිධත්වයකින් යුත් අම්බලන්ගොඩ මාදම්පාවිල තෙත් බිම් අභය භූමියෙහි තිබූ දැඩි ආරක්ෂිත ශාක විශේෂයක් වන 'ගිංපොල්' - 'කඩොලාන' පද්ධතිය විනාශ කර දමා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකාගේ සමීපතම ව්‍යාපාරිකයන් පිරිසක් විසින් එහි නීති විරෝධී ලෙස සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන රැසක් ඉදිකර තිබේ. 'ගිංපොල්' යනු තෙත් බිම් පරිසර පද්ධතිවල පමණක් ඉඳහිට දක්නට ලැබෙන ආරක්ෂිත ශාක විශේෂයකි. රටේ හොඳම ගිංපොල් කඩොලාන පද්ධතිය දක්නට ලැබුණේ මාදම්පාවිල තෙත් බිම් අභය භූමියේය. එම කඩොලාන පද්ධතිය කපා විනාශ කර දමා පසුව එයට පස් දමා ගොඩකර එහි නීති විරෝධී ලෙස සංචාරක හෝටල් රැසක්ම ඉදිකර ඇති අතර තවත් නිවාඩු නිකේතන කිහිපයක්ම ඉදිවෙමින් පවතී.

මෙම අභය භූමියෙහි අයිතිය ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. වත්මන් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරවලට මුදල් ආධාර සැපැයූ බව කියන අම්බලන්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙලෙස සංවේදී කලාපයක් ලෙස සැලකෙන තෙත් බිම් අභය භූමිය වනසා දමමින් එහි සංචාරක හෝටල් ඉදිකරන විට නීතිය ක්‍රියාත්මක කළ යුතු වනජීවී නිලධාරීන් අසරණ වී ඇතැයි 'තෙත් බිම් උරුමය' සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා පවසයි.
අම්බලන්ගොඩ නගර සභාව විසින් ඉවක් බවක් නොමැතිව අභය භූමියට කසළ බැහැර කිරීම නිසා විල් ජලය දැඩි ලෙස දූෂණයට ලක් වී ආවේණික මත්ස්‍ය විශේෂ විශාල වශයෙන් වඳවීමේ තර්ජනයට ගොදුරුව ඇතැයිද හෙතෙම කීය.

'ඊතලය' මාධ්‍ය කණ්ඩායමක් පසුගියදා (22දා) අභය භූමියෙහි සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී නීති විරෝධී ලෙස ඉදිකර තිබූ සංචාරක හෝටලයක සේවක පිරිසකගේ ප්‍රශ්න කිරීම්වලටද මුහුණ දීමට සිදුවිය.

මේ සම්බන්ධව විමසීමට අප වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කර ගැනීමට දැරූ සියලු උත්සාහ ව්‍යර්ථ විය.

ඡායාරූප - සස්සඳ ලියනආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com