master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එකම පීල්ලේ මුහුණට-මුහුණ ඇවිත් ශ්‍රාවස්තිපුරදී මහා දුම්රිය අනතුරක් නූලෙන් වැළකෙයි


2018-08-24 07:55:03 -  232 යි

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

කොළඹ කොටුව දක්වා (තාවකාලිකව) මැදවච්චියේ සිට ධාවනය වූ "යාල්දේවි" ශීඝ්‍රගාමී දුම්රිය හා කොළඹ කොටුවේ සිට මන්නාරම හරහා (තාවකාලිකව) මැදවච්චිය දක්වා ධාවන වූ ශීඝ්‍රගාමී දුම්රිය දෙක එකම පීල්ලේ ධාවනය වී සිදුවීමට ගිය දරුණු දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට එම දුම්රිය දෙකෙහි රියැදුරන්ට ඊයේ (22දා) සවස හැකිවිණි.

ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වෙල්යාය අසලදී අනතුර සිදුවීමට ගොස් ඇතත් දුම්රිය රියැදුරන් දෙදෙනාම එකම පීල්ලේ දුම්රිය ධාවනය වන අයුරු දැක වහාම හදිසි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර දුම්රිය දෙක නවතා ගැනීමට කටයුතු කළ බව සිද්ධිය ඇසින් දුටු අයෙක් පැවැසුවේය.

ඔහු සිද්ධිය මෙසේ අනාවරණය කළේය.

"වෙලාව 2.10ට 2.20ට විතර ඇති. අනුරාධපුර පැත්තේ ඉඳන් එක දුම්රියක් ආවා ශ්‍රාවස්තිපුර පැත්තට. අනෙක් දුම්රිය ශ්‍රාවස්තිපුර පැත්තේ ඉඳන් අනුරාධපුරය පැත්තට ගියා.
දුම්රිය දෙකම උතුරු දුම්රිය මාර්ගයේ තියෙන එකම පීල්ලේ තමයි ආවේ. මම හොඳටම දැක්කා දෙකම එක පීල්ලේ ඇවිල්ලා බේ්‍රක් ගහලා නවත්ත ගන්නවා. තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් කෝච්චි දෙකම මූණට මූණ හැප්පෙනවා.

මේ පීල්ල තනි කෙළින්ම තියෙන නිසා රියැදුරන් දෙන්නම දකින්න ඇති දුම්රිය දෙක එක පාරේ එනවා. කෝච්චි දෙකේම මැදිරි දහය, දහය විතර තිබුණා. කොළඹ පැත්තේ ඉඳන් ආපු කෝච්චියේ නම් ඒ තරම් සෙනඟ හිටපු බවක් දැක්කේ නෑ. කොළඹට ගිය දුම්රියේ සෑහෙන්න සෙනඟ හිටියා"යි ඔහු පැවැසුවේය.

දුම්රිය දෙක නවත්වා ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා (දැනට මැදවච්චියට පමණක්) ධාවනය වන දුම්රිය ආපසු ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට ධාවනය කරවා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ දෙසට ධාවනය කිරීමට ඉඩ සැලැස්වූ බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් කළ විමසීමකදී එහි ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කීවේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවත් එය මෙහෙයුම් අංශයෙන් අසා දැනගන්නා ලෙසත්ය.

අනතුරක් සිදුවීමට ගොස් රියැදුරන්ගේ දක්ෂතා නිසා එය වැළැකී යෑම සම්බන්ධයෙන් අනුරාධපුර දුම්රිය පාලක මැදිරියෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි ප්‍රධානියා මෙසේ පැවැසුවේය.

"නෑ එහෙම සිද්ධියක් වෙලා නෑ. දුම්රිය මාරුවීමේදී දීපු සංඥාවල දුර්වලතාවක් නිසා දුම්රිය මාරුවීමක පොඩි දෝෂයක් වෙලා තියෙනවා"
"ඒක අනතුරක් නෙවෙයි මූණට මූණ හැප්පෙන්න ගියාද කියන එක මම දන්නේ නෑනේ. මොකද මම එතැන හිටියේ නෑ. ඒක දැක්කෙත් නෑ. ඒක දන්නේ රියැදුරන් දෙන්නා.

එහෙම දෙයක් වුණානම් ඒ ගැන කොළඹින් පරීක්ෂණ කරලා හොයාගනී. මම දකින්නේ නැතිව මොනවත් කියන්න දන්නේ නෑ" යි ප්‍රධාන පාලකවරයා පැවැසුවේය.

කොළඹ - මන්නාරම දුම්රියෙන් අනුරාධපුරයට පැමිණි මගීන් කිහිපදෙනකු කියා සිටියේ යම් හේතුවක් නිසා දුම්රිය ශ්‍රාවස්තිපුර අනුරාධපුර මාර්ගයේ බොහෝ වෙලාවක් නතර කර තිබූ බවයි. වැරැදි දුම්රිය සංඥාවක් ක්‍රියාත්මක වීම නිසා මෙම සිද්ධිය සිදුවී ඇති බව අනාවරණය කර ගැනීමට හැකිවිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com