www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිලිනොච්චි කොටි ඉලක්ක වැනසූ කෆීර් නියමුවෝ


2018-08-21 15:18:08 -  1832 යි

කොටින්ගේ ඉරණම තීරණය කළ සිව්වැනි ඊළාම් යුද්ධය විජයග්‍රහණය කිරීමේ ලා ගුවන් හමුදාවට තිබුණේ විශාල කාර්යභාරයකි. ප්‍රහාරක ජෙට් යානා සඳහා දක්ෂ නියමුවන් බඳවා ගැනීම ඔවුන් හමුවේ වූ විශාලතම අභියෝගය විය.
මෙම විජයග්‍රහණයේ සාඩම්බර හිමිකරුවකු වීමට ගුවන් හමුදාවට එක්වූ නියමුවන් අතරින් ප්‍රහාරක ජෙට් යානා නියමුවකුට හිමිවන්නේ සුවිශේෂී තැනකි.
මෙම සුවිශේෂී පුද්ගලයන්ගේ අත්දැකීම අපට බෙදා ගැනීමට හැකි වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ගුවන් හමුදාවට එක් වූ කෆීර් ප්‍රහාරක බලඝනයේ නියමුවකු වූ පියාසර ලුතිනන් මොනාත් පෙරේරා සමගිනි. මොහාන් ගුවන් සංදර්ශනයකදී කෆීර් යානය අනතුරට පත්ව දිවි පිදූ විරුවෙකි. මොහාන් තමා රට වෙනුවෙන් කළ මෙහෙවර ඔහු දිවි පුදන්නට පෙර රිවිර සමග අදහස් හුවමාරු කළේය.

2006 ජුනි මාසයේ තම පුහුණුව අවසන් කරද්දී එෆ්-07 ප්‍රහාරක ජෙට් යානා මගින් අධිවේගී ජෙට් යානාවල පුහුණුව ලද මොනාත් පුහුණුවෙන් අනතුරුව කෆීර් ජෙට් යානාවල නියමුවකු බවට පත් වී සාර්ථක ඉලක්ක පනහකට පමණ හිමිකම් කීවේය.

වින්ග් කමාන්ඩර් ෂෙහාන් ප්‍රනාන්දුගේ අණදීම යටතේ වූ කෆීර් ජෙට් බලඝනයෙන් වන්නි සටනට ලැබුණේ සුවිශේෂී දායකත්වයකි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඇතුළු ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ගුවන් නියමුවන් මෙහෙයවීමට දුන්නේ විශිෂ්ට නායකත්වයකි.

ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට ලැබෙන ඉලක්කය අනුව ප්‍රහාරයට අවශ්‍ය සැලසුම් සකස් කරන්නේ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයයි.
මේ අනුව ඉලක්කය කුමක්ද, පුහුණු කඳවුරක්ද, නායකයින් සිටිනවාද, ඉලක්කයේ සිට සිවිල් වැසියන් ඉන්නේ කොපමණ දුරකින්ද, ප්‍රහාරය එල්ල කරන ප්‍රදේශයේ වැව් හා ජලාශ තිබේද යන්න සියල්ල මුලින්ම අධ්‍යයනය කරනු ලබයි. මින් අනතුරුව ගුවන් නියමුවන් කැඳවා ප්‍රහාරයට යානා කීයක් උපයෝගී කර ගන්නේ ද බෝම්බ කොපමණ ප්‍රමාණයක් ගෙනියනවාද යන්න චන්ද්‍රිකා මගින් ලබා ගත් ඡායාරූප මගින් ඉලක්කය තහවුරු කර ගනිමින් සැලසුම් සකස් කිරීම සිදුවෙයි.

මෙහිදී ප්‍රහාරයට යන නියමුවන් යූ.ඒ.වී. (නියමුවන් රහිත යානා) මගින් වීඩියෝ දර්ශන ලබාගෙන ඉලක්කගත ප්‍රදේශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගනී.
ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ තීරණය කරන්නේ මින් පසුවය. මෙම යානයක කිලෝ 1500ක උපරිම බෝම්බ ගෙන යා හැකිය. අවශ්‍ය නම් කිලෝග්‍රෑම් දෙසිය පනහේ බෝම්බ හයක් ද, නැතිනම් කිලෝ 500 හෝ කිලෝ 1000 බෝම්බ වුවද ගෙන යාමට පුළුවන.
අපි අඩි 15,000ට ගිහිල්ලා ඉලක්කය හොයාගෙන අඩි දෙදාහ තුන්දාහ දක්වා පහළට එනවා. වලාකුළු වැඩි නම් අඩි පහළොස්දහසේ සිට දොළොස් දහස දක්වා පහළින් ගමන් කරනවා. ඒ වගේ වේලාවට ඉලක්කය හොයාගෙන අඩි දහස දක්වාත් පහළට ගිය අවස්ථා තිබුණා. මේ පියාසර ලුතිනන් මොනාත් පෙරේරාගේ අත්දැකීමය.

ඔවුන් පැයට කිලෝමීටර් අටසියයක පමණ වේගයෙන් ඉලක්කය සොයා යන්නේය. කටුනායකින් ගුවන්ගත වී විනාඩි විස්සක් ඇතුළත කිලිනොච්චියේ ඉලක්කවලට බෝම්බ හෙළීමට මෙම යානාවලට හැකිය.
ප්‍රහාර සඳහා සෑම අවස්ථාවකම ප්‍රහාරක ජෙට් යානා දෙකක් හෝ තුනක් පිටත් කර යවන්නේය. මෙම යානාවලට ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් හා පළපුරුද්දෙන් වැඩි නිලධාරියා කණ්ඩායමේ නායකයා ලෙස ගමන් කරන්නේය.
මිෂන් (මෙහෙයුම්) එකකට යද්දී ලීඩර් තමයි මග පෙන්වන්නා වෙන්නේ. එයා මුලින්ම ඉලක්කය ගත්තට පස්සේ අනෙක් යානා පිළිවෙළින් ඉලක්කයට ගොස් පහර දෙනවා. අපි සියලු දෙනා එකිනෙකාට පණිවුඩ හුවමාරු කර ගන්නවා.

මෙම ඉලක්ක ලබා ගැනීමේදී වලාකුළු තිබේ නම් වටයක් කැරකී වලාකුළු අතරින් ගොස් ඉලක්කය ගැනීමට සිදු වන්නේය. අහස පැහැදිලි නම් අනුරාධපුර හරියට යද්දී කිලිනොච්චි නගරය පැහැදිලිව හඳුනාගත හැකිය. බොහෝ විට ඉලක්කය හඳුනා ගන්නේ එම ප්‍රදේශයේ ජලාශ හෝ කලපු මගිනි. එය ඉලක්ක කරගෙන ගොස් චන්ද්‍රිකා ඡායාරූපය අනුව ඉලක්කය සොයා ගැනීම නියමුවාට පැවරෙන්නේය. ඉලක්කය හඳුනා ගන්නේ ගුවන් යානයේ ඉදිරිපස වීදුරුවෙන් නිරීක්ෂණය කරමිනි. නියමුවාගේ තියුණු ඇස්වලට ඉලක්කය සොයා ගැනීමට සිදුවන්නේ යානය ගුවන්ගත වන අතරය.

පැයට කිලෝමීටර් අටසියයක වේගයෙන් යන ගුවන් යානයේ සිට තනිවම තමාට දුන් ඡායාරූපය බලමින් ඉලක්කය පියවි ඇසින් හඳුනා ගැනීම භාරදූර කාර්යයකි. ඉන්පසුව තම ජීවිතය හා යානය, අවදානමක් ගෙන පහළටම පියාසර කරන අවස්ථා ද ඇත. බෝම්බ පහළට හෙළීම සඳහා අඩි පහළොස්දහසේ සිට අඩි දහසක් දක්වා පහළට හීයක වේගයෙන් ගොස් බෝම්බ හෙළීම බිහිසුණුම කාර්ය භාරයක් වන්නේය. මෙහිදී පැයට කිලෝමීටර් දහසකට වඩා වේගයෙන් පහළට ගොස් නියමිත දත්තයන් අනුව බෝම්බ හෙළීම සිදුවෙයි.
ඉලක්කයන් සොයා ගොස් යානය හරවන්නේද ගුවන් යානය යන වේගයෙන්මය. විනාඩි දහයක් ඇතුළත යානය අහසේ කරකවමින් ඉලක්කය සොයා ගැනීමට නියමුවාට සිදුවෙයි. කෆීර් යානා එකිනෙකට අඩි තුන්දහසක විතර පමණ පරතරයකින් පියාසර කරන අතර එක් යානාවක් ඉලක්කය සොයා යන විට අනෙක් යානය ඉලක්කයට බෝම්බ හෙළීමට යන යානයට කොටින්ගෙන් එල්ල විය හැකි මිසයිල හෝ ගුවන් යානා නාශක අවි ප්‍රහාර නිරීක්ෂණය කරන්නේය.
පියාසර ලුතිනන් මොනාත් ඇතුළු කණ්ඩායම ගිය යානාවලටද අවස්ථා කිහිපයකම කොටින්ගේ ප්‍රහාර එල්ල වුවද නියමුවන්ගේ දක්ෂතා නිසා යානා බේරාගෙන ඒමට හැකි විණි.


යම් හෙයකින් යානයේ එන්ජිමට ප්‍රහාරයක් එල්ල වුවහොත් යානය අනතුරට ලක් වන අවදානමක් ද ඇත. එම අවදානම නොතකා පැයට කිලෝමීටර් දහසක පමණ වේගයෙන් පහළට යන්නේ කොටින්ට ඉලක්කයක් ගැනීමට පවා අවස්ථාවක් නොදෙමිනි.

මෙම මෙහෙයුම් අතරේ මුහමා‍ලේ, පුදුකුඩිඉරිප්පු, කිලිනොච්චි ප්‍රදේශවලදී මොනාත් ඇතුළු නියමුවන් ගිය යානාවලට කොටි ප්‍රහාර එල්ල වූ අවස්ථා තිබුණ ද ඔවුන් ඒවායෙන් තම යානා බේරාගත්තේ සිය සහජ දක්ෂතාවන් මතය.
ඇතැම් අවස්ථාවල හමුදා සෙබළුන්ගේ ජීවිතවලට හානි නොවන පරිදි ප්‍රහාර එල්ල කිරීමට වූ අවදානම් සහගත අවස්ථා ද විය.
අපි දහවල් 12.00ට ලයින් එක මීටර් 500ක් පස්සට ගන්නවා. 12.00 ඉඳන් 12.20 වෙනකන් ගහන්න. ඊට පස්සේ අපි ආයෙත් ලයින් එකට එනවා මේ කොටින්ගේ බිඳ දැමිය නොහැකි පස්බැමි බිඳ දැමීමට යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ඉලක්ක දුන් අවස්ථාවකි. මෙවන් ඉලක්ක ගැනීමේදී ලබා දුන් නියමිත කාල සීමාව ඇතුළත කොටි ඉලක්ක වෙත බෝම්බ හෙළීමට නියමුවන්ට සිදුවන්නේ සතුරා ඉදිරියේ සිටින සෙබළ ජීවිත ගැන ද කල්පනාකාරීව ප්‍රහාර එල්ල කරන අතරේය.

මෙම ඉලක්ක ගැනීම මෙන්ම ප්‍රහාරය සඳහා ගත කරන කාලය නීර්ණය කිරීම ද වැදගත්ය. එක්වරකට යානයට පුරවන ඉන්ධන ලීටර් 5740න් ගුවනේ සැරිසැරීමට හැක්කේ පැයකුත් විනාඩි විස්සක් පමණකි.
මේ අනුව පැයකුත් විනාඩි පහක් ඇතුළත උපරිම කාලය ගනිමින් මෙහෙයුම් නිමා කරන්නට නියමුවන් වගබලා ගනී. ගුවන් ප්‍රහාරයකට යෑමට ඒමට විනාඩි විස්ස බැගින් වෙන් කර ප්‍රහාරයට විනාඩි 30ක කාලයක් තබා ගැනීමට නියමුවෝ කටයුතු කරති.
වරෙක මොනාත්ගේ කණ්ඩායම ප්‍රහාරය එල්ල කර පැමිණෙද්දී වත්තල, මීගමුව ප්‍රදේශයේ ඇති වූ මහ වැස්සකින් පසු අහස පුරා වලාකුළු පිරී තිබුණි. මේ නිසා ගුවන් පථය සොයා ගැනීම අසීරු විය. වට කිහිපයක් අහසේ කැරකී යානයේ ඉන්ධන අවසන් වීමට පෙර යානය ගොඩ බා ගත්තේ දැඩි පරිශ්‍රමයකිනි. මෙවන් අවස්ථාවල ළඟම ගුවන් පථයකට යානා ගොඩබැස්සවීමට සිදුවන අවස්ථා ද ඇත.
2009 මාර්තු 31 වැනිදා දහවල් පුදුකුඩිඉරිප්පුහි මාර්ගය අයිනේ තබා ගනිමින් හමුදාවට ප්‍රහාර එල්ල කළ කාලතුවක්කු අවිය සොයා ගොස් පහර දීම මොනාත්ගේ කණ්ඩායම වන්නි අවසන් සටනේ ලබා දුන් විශිෂ්ට ජයග්‍රහණයක් විය. මෙම ප්‍රහාරයට ගිය යානාවල නායකයා වූයේ බලඝන නායක වජිර ජයකොඩිය.
මෙම කොටි කාලතුවක්කු අවියෙන් පාබල හමුදා භට පිරිස් වෙත සෘජු ප්‍රහාර එල්ල වූයෙන් ඔවුන්ගේ ඉදිරි ගමන ප්‍රමාද වූවා මෙන්ම සෙබළුන් තුවාල ලබන්නට ද විය. මාර්තු 31 වැනිදා දහවල් 12.00ට ඉලක්කය ගැනීම සඳහා ලද උපදෙස් අනුව මෙම යානා ගුවන්ගත කෙරිණි.
අපි මේකට යද්දී යූ.ඒ.වී. එක බලලා ඉලක්කය හඳුනාගෙනයි ගුවන්ගත වුණේ. ඉක්මනට යන්න තව ටිකකින් කාලතුවක්කුව වෙන තැනකට ගෙන යයි කියලා අපිට උපදෙස් ලැබුණා. අපි ඉලක්කයට යන එක ගුවන් හමුදාපතිතුමාත්, මෙහෙයුම් අධ්‍යක්ෂතුමාත්, යූ.ඒ.වී. දර්ශන මගින් නිරීක්ෂණය කළා. අපි මගක් යන අතරේ අණදෙන නිලධාරිතුමා කතා කරලා කිව්වා ගන් එක වෙන තැනකට ගෙනියන්න හදනවා කියලා. අපි මුලින් බලා ගත්ත තැන වෙනස් වුණු නිසා අදාළ තැනට ගියාම ඉලක්කය දෙන්න කියලා දන්වා අපි ඉදිරියට ගමන් ගත්තා.
නන්දිකඩල් කලපුව පැත්තේ තල්ගස් අස්සේ තියෙන කැලෑවක හැංගුවා කියලා අපිට මෙහෙයුම් මැදිරියෙන් ඉලක්කය යළිත් ලබා දුන්නා. අපිට උඩින් පෙනුණේ කැලෑව විතරයි. අපි තැන හඳුනා ගත්තා. ලීඩර් විදියට ගිය බලඝන නායක ජයකොඩි මුලින්ම පහළට ගිහින් බෝම්බ දෙකක් දාලා උඩට ආවා. මම එතකොට උඩ ඉඳන් බලන් හිටියා.
ඊළඟට මම ගිහිල්ලා අඩි තුන්දහසක් විතර පහළ දී බෝම්බ දැම්මා. ඒත් එක්කම කැලෑවේ තිබූ අවිය පුපුරා ගිනි ගත්තා. යළිත් ලීඩර් ගිහිල්ලා බෝම්බ දැම්මා. ඊට පස්සේ මට ඊළඟ බෝම්බ ටික අනෙක් ඉලක්කයට දාන්න උපදෙස් ලැබුණා.
අපි ප්‍රහාරය එල්ල කරලා කටුනායකට ආවහම දැන ගත්තා ඉලක්කය සාර්ථකයි කියලා. ගුවන් හමුදාපතිතුමාත් මේ ඉලක්කය ගන්න අයුරු මුල ඉඳන්ම බලා ඉඳලා කටුනායකට ආවහම සුබ පැතුවා.
මේ අයුරින් වන්නි සටනේ පියාසර ලුතිනන් මොනාත් පෙරේරා ඇතුළු ප්‍රහාරක නියමුවන් කළේ අති විශිෂ්ට සේවාවකි. වන්නි අවසන් සටනේ දවසේ පැය විසි හතර පුරාම ඕනෑම මොහොතක ඉලක්ක සොයා යෑමට මොවුන් සූදානම් වී සිටියහ.

මෙම විරුවන් ගුවනේ දස්කම් පෑවේ සිය ජීවිතවලට ඇති වූ තර්ජන පවා නොතකමිනි. ගුවන් හමුදාවේ මෙම
විශිෂ්ට සේවාව සැබැවින්ම අගය කළ යුත්තේ එබැවිනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com