www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලෙයට ලෙය ඉල්ලමින් හිස ඔසවන දෙමළ පාතාලය


2018-08-14 07:41:33 -  1073 යි

කොළඹ පාතාල ගැටුම් මේ වන විට උත්සන්න වී හමාරය. මෝදර තැපැල් කාර්යාලය ඉදිරිපිටදී පසුගිය 03 වැනිදා මහා දවාලයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කරන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඔහු ගෝපාලපිල්‍ලේ බාලචන්ද්‍රන්ය. හැට දෙහැවිරිදි වියේ පසුවූ ඔහු මස්කඩ ව්‍යාපාරිකයෙකි. මෝදර මුතුවැල්‍ලේ පදිංචිකරුවකු වූ බාලචන්ද්‍රන්ව ඝාතනය කරන්නේ ඔහුගේ පුතාගෙන් පළිගන්නටය. කොළඹ පාතාලයේ මේ වන විට නිරන්තරයෙන්නම කියැවෙන ඔහු බාලචන්ද්‍රන් පුෂ්පරාජා නොහොත් පූකුඩිකන්නාය. කිඹුලා ඇල ගුණාගේ පාතාල කල්ලිය සමගද සම්බන්ධකම් ඇති පූකුඩිකන්නාට එල්.ටී.ටී.ඊය සමගද සම්බන්ධකම් පැවැති බව ‍පොලිසිය පැත්තෙන් කියැවෙන්නකි.

යුද්ධය පැවැති සමයේදි පූකුඩිකන්නාව එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් ලෙසද ‍පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතත් වත්මන් ආණ්ඩුව සමයේදී ඔහු නිදහස ලබන්නේ සියලු චෝදනාවලින් නිදහස් වෙමිනි. ඒ පැමිණි ඔහු ඉන්දියාවට පැන ගන්නේ ඔහුට ඇති තර්ජන හේතුවෙනි. එසේ තර්ජන ඔහුට එල්ලවූයේ ජම්පටා වීදියේ කුඩු සෙල්විගෙනි.

කුඩුසෙල්වි මේ වන විට ජීවතුන් අතර නැත. ඇය ඝාතනය විය. ඇයට වෙඩි තබා ඝාතනය කරන්නේ එල්.ටී.ටී.යේ චාල්ස් ඇන්තනී බළකායේ සිටි වෙඩික්කරුවකු වූ කෙනඩි විසිනි. ජම්පටා වීදියෙන් එල්.ටී.ටී.ඊ.යට එක්වූ කෙනඩි යුද්ධය අවසන් වීමෙන් පසු හමුදාවට භාරවී පුනරුත්ථාපනය ලැබූවෙකි. මේ වනවිට පාතාලයේ කුලී ඝාතකයන් බවට පත්ව සිටින කෙනඩි කොන්ත්‍රාත් ඝාතන කිහිපයකටම වගකිව යුත්තෙක් ලෙස ‍පොලිසි හඳුනාගෙන සිටී. සෙල්වි ඝාතනය කිරීමට ගිනි අවියක් කෙනඩිට ලබාදුන්නේ යැයි කියන්නේද පූකුඩිකන්නා. ඒ හිරේ සිටිමිනි.

පූකුඩිකන්නාද ජම්පටා වීදියෙ මත්කුඩු ජාවාරමේ නිරතවූවෙකි. සෙල්විට සිටි එකම තරගකරුවා වූයේ පූකුඩිකන්නාය. පූකුඩිකන්නා තදබලලෙසම විශ්වාසකරන්නට වූයේ සෙල්වි ‍පොලිසිය සමග ඉතා ළඟින් ඇසුරුකළ බැවින් එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ලෙස තමාව සිරගත කිරීම පිටුපස සෙල්වි සිටි බවය. පූකුඩිකන්නා බන්ධනාගාරගත වීමත් සමග ඔහුගේ ගෝලබාලයින්ද බුරුතු පිටින් ‍පොලිසියට හසුවන්නට වූයේ මත්කුඩු සමගිනි. ඒ සියල්ල පිටුපස සිටියේ සෙල්විය.

එසේ මත්කුඩු ජාවාරමේ ජම්පටා වීදියේ ඒකාධිකාරිය ‍පොලිසියේ දූෂිත නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් කුඩු සෙල්වි විසින් හිමිකර ගත්තාය. ඒ වන විට ඇය පූකුඩිකන්නාගේ පවු‍ලේ සාමාජිකයන් සමග ගැටුමකට මුලපුරා සිටියාය. ඒ කෙනඩිගේ බාල සහෝදරයාව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙමිනි. 2015 වසරේ සැතැම්බර් 12 වැනිදා කුඩු සෙල්වි ඝාතනය වන්නේ ඒත් එක්කමය.

එහි දෙවැනි ප්‍රහාරය එල්ල වන්නේ පසුගිය ජුනි 24 වැනිදාය. ඒ ජම්පටා වීදියේ ‍පොල් කඩයක් පවත්වාගෙන යමින් සිටි කරුපයියා මිලනි නොහොත් ගනේෂ් නමැත්තාටය. යතුරුපැදියකින් පැමිණි අයෙක් විසින් එදින රාත්‍රියේ එම ප්‍රහාරය එල්ලකරන්නේ ගනේෂ්ගේ ජීවිතය බිලි ගන්නට වූවත් ඔහුට ජීවත්වීමේ වාසනාව උදාවන්නේ වෙඩිල්ල මාරාන්තික එකක් නොවූ නිසාය. ඔහු කුඩු සෙල්විගේ සැමියාය.

එම ඝාතන තැත වෙන කිසිවකුගේ නොව. පූකුඩිකන්නාගේය. ‍පොලිසිය කියන්නේ වෙඩික්කරු පූකුඩිකන්නාගේ මිතුරාවන කෙනඩි බවය. එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය එල්ලවන්නේ ජුනි 09 වැනිදා රාත්‍රියේදීය. ඒ ජම්පටා වීදියේ පදික වෙළෙඳාමේ නිරතව සිටි යුවළකට වෙඩි තබා ඝාතනය කිරීමෙනි. එම ඝාතනයට චෝදනා එල්ලවී ඇත්තේ කුඩු සෙල්විගේ දරුවන් දෙදෙනාටය. එදා එම ද්විත්ව ඝාතනය වන විට ඔවුන් නිවසින් අතුරුදන්වන්නේ සුරතලයට ඇතිකරන ලද සුනඛයාවද රැගෙනය. ‍පොලිසිය කියන ආකාරයට අනුව ජම්පටා ද්විත්ව ඝාතනයට මුල්වන්නේ ගනේෂ්ට වෙඩි තැබිමට ඔත්තු බැලුවේ යැයි සැකපිටය.

පොලිසිය සඳහන්කරන ආකාරයට අනුව එම දරුවන්ගේ නම් ගෑවුණු පළමු ඝාතනය වන්නේ මෙය නොව. ජම්පටා වීදියේ නමක් දිනා සිටි රීගන් නමැති පාතාල අපරාධකරුව පවා දෙනෝදාහක් බලා සිටියදී ඉකුත් මහා මැතිවරණ සමයේදී කපාකොටා ඝාතනය කරන්නේ ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා එක්වය. ඒ ජම්පටා වීදියේ කුඩු ආධිපත්‍ය වෙනුවෙනි.

පොලිසියේ ඇති තොරතුරුවලට කුඩු සෙල්විගේ දරුවන් දෙදෙනා දැන් සිටින්නේ අංගොඩ ලොක්කාගේ සහ මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායමට එක්වය. ඒ ඔවුන්ට පූකුඩිකන්නාගෙන් ගැලවෙන්නට ඇති එකම විකල්පය ලෙසිනි. ජම්පටා වීදියේදී අඹුසැමි යුවළ ඝාතනය වන්නේද එකී පාතාලයේ හයිය නිසාය. කුඩු සෙල්විගේ දරුවන්ටත් සැමියාටත් දැන් එකම තර්ජනය වී සිටින්නේ පූකුඩිකන්නා සහ කෙනඩිය. කෙනඩි සිටින්නෙ සැඟවීය. ඔහුට දකුණේ පාතාලය සමග ඇත්තේ දැඩි සම්බන්ධකම්ය. ඒ අය අතර කොස්ගොඩ සුජීද සිටී. කොළඹ නාගරික මන්ත්‍රි ක්‍රිෂ්ණා ඝාතනයටද වගකිව යුතුයැයි ‍පොලිසිය කියන්නේ කෙනඩිය. එල්.ටී.ටී.ඊ.යේ පුහුණුව ලැබූවෙක් වන කෙනඩි සිටින්නේ එකී උපක්‍රම යොදා සැඟවීය. පූකුඩිකන්නාද සිටින්නේ දැඩි ආරක්ෂවක් සහිතවය. පූකුඩිකන්නාගේ පියාව ඝාතනය වන්නේ සැඟවී සිටින තැන්වලින් පූකුඩිකන්නාව එළියට ගන්නටය. ඒ ගැන ඉව වැටී සිටි පූකුඩිකන්නා සිය පියාගේ මළගෙදරට අවසන් ගෞරව දක්වන්නට එන්නේ මහා රෑකය. ඒ සිය ගෝලබාලයින් සමග ප්‍රභූවරයෙක් ලෙසිනි. ඒ හරියටම දකුණු ඉන්දියාවේ චිත්‍රපටයක ජවනිකාවක් සිහියට නගමිණි. විනාඩි තිහකට වඩා වැඩි කාලයක් ඔහු මළ ගෙදර ගත කළේ නැත. සිය පියාට අවසන් ගෞරවය දක්වමින් ඔහු පිටව යන්නේ වැඩි කල් යන්නට මත්තෙන් සිය පියාගේ මරණයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව පවසමිනි.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com