master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉහළම ‍පොලිටික් නමක් කියාගෙන සැපටම දුවන නයිට් ක්ලබ් එකක්


2018-07-30 13:19:30 -  962 යි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මතට එරෙහි සටනක නිරත වන විට කොළඹ බිෂොප් විද්‍යාලය ආසන්නයේ සුරාබදු බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරමින් රාත්‍රි සමාජ ශාලාවක් පවත්වාගෙන යන්නේ ‍පොලිසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක්ගේ ආශිර්වාදයෙනි. එම රාත්‍රි සමාජ ශාලාව පිහිටි දෙමහල් ගොඩනැගිල්ල අයත් වන්නේ යැයි කියන්නේ පසුගිය ආණ්ඩුවේ හිටපු කලහකාරී ඇමතිවරයෙකුගේ පුතෙකුටය. කාමර දහයක් පමණ ඇති එම රාත්‍රි සමාජ ශාලාව තුළ මත්පැන් පමණක් නොව, හොර සිගරට් පවා අලෙවි වන බව තතු දත්තෝ පවසති. ඊට අමතරව චීන කාන්තාවන් එහි ගණිකාවන් ලෙස අලෙවි වන බවද සඳහන්ය.

මෙම රාත්‍රි සමාජ ශාලාව මෑතකදී කොළඹ දකුණ දූෂණ මර්දන ‍පොලිස් බල ඇණියේ වැටලීමකට ලක්වන්නේ බල පත්‍ර නොමැතිව එහි මත්පැන් අලෙවි වන බවට ලැබුණු තොරතුරකට අනුවය. එහිදී බලපත්‍ර නොමැතිව අලෙවියට තබා තිබුණු මත්පැන් බෝතල් පමණක් නොව, නීති විරෝධී ආකාරයට බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන එන ලද සිගරට් තොගයක්ද ‍පොලිස් භාරයට ගෙන ඇත්තේ එහි කළමනාකරු ඇතුළු තිදෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි. චීන තරුණියන් තිදෙනෙක්ගේ පහස එක් කාමරයක් තුළදී ලබා ගැනීමට රුපියල් 30000 ක් පමණ එහි අයකරන බව හෙළිවන්නේ එම වැටලීමේදීය.

චීන ජාතිකයන් බහුලව ගැවසෙන එම රාත්‍රි සමාජ ශාලාව තුළ බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කෙරෙන්නේත් වෙනත් නීත්‍යානුකූල නොවන ක්‍රියා සිදුවන්නේත් ලොකු බලයක් ඔවුන්ට ඇති බැවිනි. ‍පොලිසියේ ලොකු ලොක්කන් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කන් ඊට එරෙහි වන්නට ඇඹරෙන්නේ ඒ නිසා වන්නට පුළුවන. කොළඹ දකුණ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඒ තැන වටලන්නේ ඒ බවක් නොදැනය. ‍පොලිස් ලොක්කන්ගේ උදහසට එම ඒකකයේ නිලධාරීන් ලක්වන්නේත් දින කිහිපයකට එම ඒකකය විසුරුවා හැරෙන්නේත් ඒ නිසාය. අවසානයේදී නැවතත් කොළඹ දකුණ දූෂණ මර්දන ඒකකය පණ ගන්වන්නේ එම රාත්‍රි සමාජ ශාලාව පැත්ත පලාතේ නොයන ලෙස වාචික නියෝගයක්ද නිකුත් කරමිනි.

දැන ගන්නට ඇති ආකාරයට අනුව මෙම රාත්‍රි සමාජ ශාලාව මේ ආකාරයට ‍පොලිසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ පවා ආශිර්වාදයෙන් පවත්වාගෙන යන්නේ යැයි කියන්නේ අපේ රටේ ඉහළම පුරවැසියෙකුගේ නම විකුණමිනි. සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන ආකාරයට ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට බලපෑම් කර ඇත්තේ එම ඉහළ පුරවැසියාගේ ‍ලේකම්වරයෙක් බව සඳහන් පුද්ගලයෙකි. ‍පොලිසිය මෙන්ම සුරාබදු නිලධාරීන්ද ඇඹරෙන්නේ ඒ නිසාය.

මෙම රාත්‍රි සමාජ ශාලාව මෙයට වසර දෙක තුනකට පෙර ස්ථාපිත වන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ආශිර්වාදය ඇතිවය. සුරාබදු බලපත්‍රයක් පවා මුලින්ම ඊට ලබාදෙන්නේ එම ඇමතිවරයාගේ මැදිහත්වීම මතය. එවිට එම රාත්‍රි සමාජ ශාලාවට එරෙහිව නැගී සිටින්නේ ඊට කිට්ටුවපාත ඇති බිෂොප් විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් පිරිසකි. ඒ පාසලක් ආසන්නයේ මත්පැන් අලෙවිසලක් පවත්වාගෙන යාම නීති විරෝධි මෙන්ම මත්පැන් බලපත්‍ර ලබාදීමට හැකියාවක් නැති බව බලධාරීන්ට පෙන්වා දෙමිනි. එය බිරි අලීන්ට වීණා වැයීමක් බඳු වන විට ඔවුන් ඊට එරෙහිව 2017 වසරේදී යන්නේ අභියාචනාධිකරණයටය. ඒත් එක්කම; එම රාත්‍රී සමාජ ශාලාවට මුද්‍රා තබා විමර්ශනයක් ආරම්භ කරන්නේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය හරහාය. එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙන්නේ 2018 වසරට එම රාත්‍රි සමාජ ශාලාවට මත්පැන් බලපත්‍රයක් නිකුත් නොකරන බවය. ඒ අනුව තවදුරටත් නඩුවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පාස‍ලේ දෙමාපියන්ට ඇති නොවීය. ඒත් එක්කම නඩුවද හමාර විය. එම තීන්දුව ගත් සුරාබදු කොමසාරිස්වරියටද ස්ථාන මාරුවීමක් ලැබුණේය. ඒ වෙනුවට අලුත් කොමසාරිස්වරයෙක් පත්ව ආවේය. සමාජ ශාලාවට තැබූ මුද්‍රා ගැලවී ගියේය.

අධිකරණයට දැක්වූ කරුණු දැක්වීම් වලට අනුව යමින් 2018 වසරට මත්පැන් බලපත්‍ර එකී රාත්‍රි සමාජ ශාලාවට නිල වශයෙන් නිකුත් නොකළද ඔවුන් මේ වන විට මත්පැන් අලෙවි කරමින් රාත්‍රි සමාජ ශාලාව පවත්වාගෙන යන්නේ යැයි දෙමාපියන් චෝදනා කරන්නේ බලපත්‍ර ඇතිව කෙරෙන්නක් ලෙසිනි. ඒ ගැන සුරාබදු දෙපාර්තමේන්තුවට දෙමාපියන් කිහිප විටක්ම පැමිණිලි කර ඇතත් එහි බලධාරීන්ගෙන් ලැබෙන පිළිතුර වී ඇත්තේ ඉහළ දේශපාලන අත පෙවීමක් හේතුවෙන් තමන් අසරණ බවය. ඒ අතර ඇතැම් දෙමාපියන් රිවිරට හෙළිකරනු ලැබුවේ ‍පොලිස් ලොක්කෙක්ට එම රාත්‍රි සමාජ ශාලාවෙන් රුපියල් ලක්ෂ 05 ක්ද සුරාබදු ලොක්කෙකුට රුපියල් ලක්ෂ 07 ක්ද මාසිකව අල්ලස් ලෙස බෙදී යන බවය. එම ගණන් මිනුම් කොතරම් සත්‍යදැයි කිව නොහැකි වූවත් ‍පොලිසියත් සුරාබදු දෙපාර්තමේන්තුවත් මේ රාත්‍රි සමාජ ශාලාවට දක්වන ඇල්මෙන් නම් පෙනී යන්නේ ඒ චෝදනාවේ නැත්තක්ම නැති බවය. මේ ගැන විමසන්නට රිවිර අවස්ථා ගණනාවකදීම සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් දුරකතනයෙන් අමතනු ලැබිය.

සුහදව කථාබහකරන ඔහු බිෂොප් විද්‍යාලය ආසන්නයේ රාත්‍රි සමාජ ශාලාව ගැනයි කථාකරන්නට ගත්තේ යැයි කියන විට දුරකතනය විසන්දි කරන්නේ හලෝ හලෝ යැයි කියමින් සංඥා දෝසයක් ඇති වූ බවට රඟපෑමක්ද කරමිනි. එම නිලධාරියා එතරම් අසරණ වී ඇත්තේ ඔහු අල්ලසට යට වී ඇති නිසාද නැති නම් දේශපාලනයට යට වී ඇති නිසාදැයි දන්නේ ඔහු පමණි. අධිකරණයටත් කොළේ වසා රටේ ඉහළම දේශපාලනඥයෙකුගේ නම විකුණමින් කරනු ලබන මෙවන් සෙල්ලම් තවත් කොපමණ ගණනක් රටේ සිදුවනවා ඇද්දැයි මේ අනුව බලන කල සිතා ගන්නට බැරිය.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com