master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මිය ගිය ලාන්ස්‌ කෝප්‍රල්ගෙන් ඉපදුණු මේජර්ගේ අරුම පුදුම කතාව!!!


2018-07-22 09:43:50 -  7783 යි

මෙහෙම කතාවක්‌ ඇහුවමයි දෙන්නම එකම එකයි

හේමන්ත පුෂ්පකුමාර ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වර්ෂ 1971 නොවැම්බර් මස 09 වැනි දින උපන් ඔහුගේ හිතේ කුඩා කල සිටම දැඩි ආශාවක්‌ තිබිණි. ඒ යුද හමුදාවට බැඳීමටයි. පාසල් අධ්‍යාපනයට සමුදුන් ඔහු සාමාන්‍ය සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්‌විය. ඒ නිවැසියන්ගේද විරෝධතා මැදයි. 

මාස කිහිපයක යුද පුහුණුවෙන් පසු හේමන්ත උතුරුකරයේ යුද බිමට පිවිසුණේය. එම වකවානුව යුද්ධය ප්‍රබලව පැවති සමයකි. එනම් වර්ෂ 1991 යි. අලිමංකඩ "බලවේගය" යුද මෙහෙයුමේ ඉදිරි ආරක්‌ෂක වළල්ලේ නොබියව මුහුණට මුහුණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් සමඟ ඔහු සටන් කළේය. ඒ තම රට ජාතිය නිදහස්‌ කරගැනීම සඳහා ය. 

විටෙක ත්‍රස්‌තවාදීන්ට පරාජය වෙමින්ද තවත් විටෙක ත්‍රස්‌තවාදීන් පරාජය කරමින්ද අලිමංකඩ බලවේගය යුද මෙහෙයුම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබිණි. තම දෙමාපියන්, සහෘදයන් සහ ඥති හිතමිතුරන් ආදී සියලු දෙනාම අමතක කර දමමින් හේමන්ත යුද බිමේ තම දස්‌කම් පෙන්වූයේ සතුරාට දැඩි අභියෝගයක්‌ වෙමින්ය. එම වර්ෂයේම ජූලි 21 වැනි දින උදාවිය. පෙර දිනවල ලෙසම ඉතා දරුණු අයුරින් යුද පිටිය තුළ ගැටුම් ඇති විය. 

හේමන්ත හැකි උපරිම අයුරින් අනෙක්‌ සහෝදර සෙබළුන් සමඟ සතුරාට නොබියව මුහුණ දුන්නේය. ගතවූයේ තත්පර කිහිපයකි. කොහේදෝ සිට ආ උණ්‌ඩයක්‌ හේමන්තගේ පපුවට කි බැස්‌සේය. ඒ සමඟම යුද පිටිය තුළ ඔහු ඇද වැටුණි. සහෝදර සෙබළු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොගත් උත්සාහයක්‌ නොමැත. එහෙත් ඵලක්‌ නොවිණි. අවසානයේ හේමන්ත පුෂ්පකුමාර නමැති එම වීරෝදාර රණවිරුවා රට දැය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළේය.

රණවිරු හේමන්ත මියගොස්‌ මාස කිහිපයක්‌ ගතවිණි. තෙමස්‌ පූර්ණ පිංකම යෙදී තිබුණේ එම වසරේම ඔක්‌තෝබර් මස 21 වැනි දිනටයි. එම තෙමස්‌ පූර්ණ පිංකම දින සදා සොවින් තැවෙන ඔහුගේ අම්මා, තාත්තා, සොයුරු සොයුරියන් ඇතුළු මිතුරු කැළ දම් දෙසුමක්‌ සහ සඟ සතු දානයක්‌ සංවිධානය කර තිබිණි. ඒ ඔහුගේ නිවසේය. එම තෙමස්‌ පිංකම සිහිකිරීම සඳහා දැන්වීමක්‌ද දමා තිබිණි. ඒ 1991 ඔක්‌තෝබර් මස 19 වැනි සෙනසුරාදා "දිවයින" පුවත්පතේය. 

එම දැන්වීමේ මියගිය ලාන්ස්‌ කෝප්‍රල් හේමන්ත පුෂ්පකුමාරගේ පිංතූරයක්‌ සහිතව උපත, විපත ආදී පවුලේ සියලුම විස්‌තර සඳහන් කර තිබිණි. එයට අමතරව නිසදෙස්‌ දෙකක්‌ද ඔහු වෙනුවෙන් ලියා තිබිණි.

මොහුද නමින් හේමන්ත පුෂ්පකුමාරයි. පදිංචිය හොරණ ප්‍රදේශයේය. මෙම හේමන්ත ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද ඉතා දස්‌කම් පෑ අයෙකි. හොරණ තක්‍ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ මොහු පාසල් ශිෂ්‍යභට කණ්‌ඩායමේ සාමාජිකයකු මෙන්ම ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කළේය. එයට අමතරව කරාටේ ක්‍රීඩාවද මොහු ප්‍රගුණ කර ඇත. ඉගෙනීමට ඉතා දක්‍ෂ වූ හේමන්ත උසස්‌ පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා ඉහළින්ම සමත් විය. ඒ අනුව ඔහුට සරසවි වරම්ද හිමිවිය.

ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හැදැරුවත් හේමන්ත කලාකාමී අදහස්‌ ඇත්තෙකු විය. එම නිසාම කුඩාකල සිටම පුවත්පත් කියෑවීමේ පුරුද්දක්‌ ඔහුට තිබිණි. සරසවි වරම් අපේක්‍ෂාවෙන් නිවසට වී සිටි ඔහු සුපුරුදු පරිදි "දිවයින" පුවත්පත කියවමින් සිටියේය. එහි එක්‌වරම ඔහුගේ නෙත ගැටුණේ මියගිය ලාන්ස්‌ කෝප්‍රල් හේමන්ත පුෂ්පකුමාර රණවිරුවාගේ තෙමස්‌ පූර්ණ සිහිකිරීමේ දැන්වීමටය. 

පුදුමයකි. ඒත් සත්‍යයකි. ඔහුට දෑස්‌ අදහා ගැනීමට නොහැකි විය. "දිවයින" පුවත්පතේ එම දැන්වීමේ සිටින රණවිරුවාගේ රූපය සහ ඔහුගේ රූපය එක හා සමානය. එහි කිසිදු වෙනසක්‌ නොමැත. දෙදෙනා කපාපු පළුව සේය. ඔහු විනාඩි කිහිපයක්‌ තුෂ්ණිම්භූතව පුවත්පතේ ඇති එම රණවිරුවාගේ මුහුණ දෙස බලා සිටියේය. ලෝකයේ එක වාගේ හත්දෙනකු සිටිනවා යන කියමන සත්‍යයක්‌ බව ඔහුට හැඟුණේය. 

රණවිරුවාගේ රූපයෙන් නෙත් ඉවත් කරගත් ඔහු එහි ඇති විස්‌තරය කියෑවීමට පටන් ගත්තේය. නැවත වරක්‌ ඔහු පුදුමයෙන් පුදුමයට පත්විය. එම මියගිය රණවිරුවාගේ නම, උපන්දිනය පමණක්‌ නොව පවුලේ සිටින සහෝදර සහෝදරියන් ගණනද එක හා සමානය. ඔහුට මෙය අදහා ගැනීමට නොහැකි විය. පුවත්පතට වැරැදීමක්‌ සිදුවී ඇත්දැයි විටෙක ඔහු කල්පනා කළේය. නැත. එසේ වීමට නොහැකිය. මෙය සත්‍යයක්‌ විය යුතුය. යළි ඔහු එලෙස කල්පනා කළේය.

හේමන්තට යමක්‌ මතක්‌ විය. ඒ ඔහු පාසල් කාලයේ කැඩෙට්‌ නිලධාරියකු ලෙස නිල ඇඳුමෙන් සිට ගත් ඡායාරූපයක්‌ තමන් සතුව ඇති බවයි. වහාම ඔහු එය ගෙන පුවත්පතේ ඇති පිංතූරය සමඟ එය සස බැලුවේය. ඇරපු අතක්‌ නොමැත. එම පිංතූර දෙකේ සිටින්නේ දෙදෙනෙක්‌ නොව එක්‌ අයෙකිs. ඔහුට මෙය මහත් ප්‍රහේළිකාවක්‌ විය. එහෙත් ඒ බව ඔහු කිසිවෙකුටවත් පැවසුවේ නැත. කතුරක්‌ ගෙන එම පුවත්පතේ ඇති දැන්වීම ඔහු කපා සුරක්‌ෂිත ස්‌ථානයක තැබුවේය.

එදින රාත්‍රිය ඔහුට නිදි නොමැති රැයක්‌ විය. මියගිය එම රණවිරුවා සහ තමාගේ සමානකම් ගැන ඔහු දිගින් දිගටම කල්පනා කළේය. මෙය සිදුවූයේ කෙසේද? ඔහුට එය මහත් ප්‍රහේළිකාවක්‌ විය. ඔහුට එම මියගිය රණවිරුවා ගැන සිතේ ඇතිවුණ හැඟීම අමතක කර දැමීමට නොහැකි විය. රට ජාතිය බේරා ගැනීමට දිවිපිදූ එම රණවිරුවා ජාතික විරයෙක්‌ යෑයි ඔහු කල්පනා කළේය. 

හේමන්තගේ එකම අරමුණ වී තිබුණේ විශ්වවිද්‍යාලයට ගොස්‌ වෛද්‍යවරයකු වීමටයි. එහෙත් තමාට සමානකම් ඇති මියගිය රණවිරුවාගේ පිංතූරය දැකීමෙන් පසු ඔහුගේ සිත වෙනස්‌ විය. සති ගණනක්‌ ඔහු කල්පනා කළේ ඒ පිළිබඳවයි. අවසානයේ ඔහු තීරණයක්‌ ගත්තේය. ඒ සරසවියට නොගොස්‌ යුද හමුදාවට බැඳීමටයි. ඔහු නිවැසියන්ට හොරෙන් ඒ සඳහා අයෑදුම් කළේය. 

හමුදා නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්‌වීමට ඔහු අයෑදුම්පත් කිහිපයක්‌ම දැමුවේය. එහෙත් ඒ කිසිවක්‌ සඳහා පිළිතුරු නොලැබිණි. තනතුරු සඳහා උවමනාවටත් වැඩියෙන් සුදුසුකම් ඔහු සතුව තිබිණි. එහෙත් කැඳවීම් ලිපියක්‌ හෝ කිසි දිනක නොලැබිණි. අවසානයේ ඔහු සාමාන්‍ය සෙබළ තනතුර සඳහා අයෑදුම්පතක්‌ යෑවීමට තීරණය කළේය. 

දිනක්‌ හේමන්තගේ පියා ඔහුගෙන් මෙලෙස විමසුවේය. 

"පුතේ ඔයා කැම්පස්‌ යන්න කැමැති නැද්ද..."

"නැහැ තාත්තෙ.... මම දැන් කැමැති නැහැ. මට ආමි එකට යන්න ඕනා"

"ඇයි ඔයා එක පරටම ඔහොම තීරණයක්‌ ගත්තේ"

ඔහු රූපෙන් සහ සියලු දෙයින් තමාට සමානකම් ඇති මියගිය රණවිරුවා ගැන දැන ගැනීමෙන් පසු මෙවැනි තීරණයක්‌ ගත් බව පියාට පැවසුවේ නැත. එසේ නොපවසමින් ඔහු මෙලෙස පැවසුවේය.

"මට නිකන් හිතුණා තාත්තේ... කැම්පස්‌ යනවට වඩා හොඳයි ආමි එකට ගිහින් රට ජාතිය බේරගන්න එක"

"ඒත් මම කැමති පුතා ඔයා කැම්පස්‌ යනවට"

"අනේ තාත්තේ මට ඕන ආමි එකට යන්න. ප්ලීස්‌ ඒක වළක්‌වන්න එපා. මොනව කරන්නත් ඉස්‌සෙල්ලා රට ජාතිය බේරගන්න ඕන..."

"එහෙනම් ඔයාගේ කැමැත්තක්‌. මෙන්න තියනවා ලියමන"

එලෙස පවසමින් හේමන්තගේ පියා ඔහුට ලිපියක්‌ දුන්නේය. ඒ යුද හමුදාවෙන් සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවා තිබූ ලිපියයි. මීට පෙරද එවැනි ලිපි කිහිපයක්‌ ලැබී තිබිණි. එහෙත් හේමන්තගේ පියා එම ලිපි කිසිවක්‌ ඔහුට ලබා දුන්නේ නැත.

හේමන්ත සම්මුඛ පරීක්‍ෂණයෙන් ඉහළින්ම සමත් විය. ඒ අනුව ඔහු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. වසර කිහිපයක පුහුණුවකින් පසු ආරක්‌ෂක විදුහල් උපාධිය ලබමින් උප ලුතිනන්වරයකු වශයෙන් ඔහු යුද හමුදාවට එක්‌විය. 

යුද හමුදා සම්මුඛ පරීක්‍ෂණයට යැමට පෙර ඔහු පියාට සෑම අතින්ම තමාට සමාන මියගිය රණවිරුවා ගැන සියලු විස්‌තර පැවසුවේය. පියා එය ඇසීමෙන් පුදුමයෙන් පුදුමයට පත්විය. එලෙස පවසා හේමන්ත තම පියාට එක්‌ පොරොන්දුවක්‌ද වූවේය. "ඒ ඔහුගේ පියා ජිවත්ව සිටින තාක්‌කල් මියගිය රණවිරුවාගේ දෙමාපියන් බැහැ දැකීමට නොයන බවයි. එසේම මෙය රහසක්‌ වශයෙන් තබා ගන්නා ලෙසද තම පියාට පැවසුවේය. 

තමා හා සෑම අතින්ම සමාන පුද්ගලයකු රට වෙනුවෙන් දිවි පුදා තිබීම නිසා කිසි දිනක යුද බිමේදී තමා මිය නොයන බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. ඒ බව තම පියාටද ඔහු පවසා තිබිණි. හේමන්තට උවමනා වූයේ යුද බිමට ගොස්‌ සතුරා සමඟ සටන් කිරීමටයි. 

යුද බිමේදී අවස්‌ථා කිහිපයකදීම ඔහුගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. වරක්‌ නැගෙනහිර යුද බිමේදි ත්‍රස්‌ත කඳවුරක්‌ අත්කර ගැනීමට යැමේදී මුහුණට මුහුණලා හමුවූ ත්‍රස්‌තවාදියකුගෙන් ඔහුට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වූවේය. හතුරා එම වෙඩි ප්‍රහාරය එල්ල කළේ හේමන්තගේ හිසටය. එහෙත් ඔහුගේ වම් ඇසට ඉදිරිපසින් තම හිසේ පැළඳ සිටින ආරක්‌ෂක හිස්‌වැසුමත් අතරින් එම වෙඩි උණ්‌ඩය පිටවිය. ආරක්‌ෂක හිස්‌ වැසුම කුඩුපට්‌ටම් වුවත් ඔහුට කිසිදු හානියක්‌ සිදු නොවිණි. 

major3තවත් වරෙක මාන්කුලම් අත්පත් කර ගැනීමේ සටනේ දී හේමන්ත ත්‍රස්‌තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයකට ලක්‌විය. එහිදී ඔහු පැළඳ සිටි ආරක්‌ෂක කබාය කුඩු පට්‌ටම් විය. මෝටාර් කෑලි හතරක්‌ ඔහුගේ ශරීරය ඇතුළට කිඳා බැස්‌සේය. වටේ සිටි සෙබළු දහ දෙනෙක්‌ පමණ මියගිය අතර ඔහු එලෙස තුවාල ලබා ජීවිතය බේරා ගත්තේය. තවද රාජකාරි අවස්‌ථාවලදී දහ හතර වතාවක්‌ පමණ මැලේරියා රෝගය වැළඳුණි. එක්‌ අවස්‌ථාවකදී ඔහු මැලේරියා රෝගයද නොසලකා යුද්ධ කළේය. අවසානයේ ඔහු දරුණු ලෙස වකුගඩු රෝගයකටද ලක්‌විය. එහෙත් ඒ සෑම අවස්‌ථාවකදීම ඔහුගේ දිවි ගැලවිණි.

යුද හමුදා නිලධාරි හේමන්ත පුෂ්පකුමාර එම සෑම අවස්‌ථාවකදීම විශ්වාස කළේ තම ජීවිතය බේරා දුන්නේ මියගිය ලාන්ස්‌ කෝප්‍රල් හේමන්ත පුෂ්පකුමාර බවයි. වරක්‌ නිවාඩු ලබා නිවසට පැමිණි මොහොතක මීගොඩ දුම්රිය හරස්‌ මාර්ගයේ දී ඔහුගේ මෝටර් රථය මුහුණට මුහුණ ගැටුණි. මෝටර් රථය කුඩුපට්‌ටම් වුවත් ඔහුගේ ජීවිතය බේරුණි. එම සිද්ධියෙන් පසු ඔහු විශ්වාස කළේ යුද බිමේදී පමණක්‌ නොව එළියේ දී ද මියගිය රණවිරුවා තමාව ආරක්‌ෂා කරන බවයි.

හේමන්ත තවත් දෙයක්‌ කිසිවෙකුටත් නොකියා හොර රහසේ සිදු කළේය. ඒ ඉඩ ලද සෑම අවස්‌ථාවකම මියගිය රණවිරු හේමන්ත පුෂ්පකුමාරගේ මවට දුරකථන ඇමතුමක්‌ ලබාදී ඇයගේ දුක සැප විමසීමයි. මේ කාලය අතරතුර මේජර් හේමන්තගේ පියා මිය ගියේය. ඔහුගේ පියා මියගොස්‌ හරියටම වසරකට පසු ලාන්ස්‌ කෝප්‍රල් හේමන්තගේ පියාද මිය ගියේය. 

පියා මියගිය පසු මේජර් හේමන්ත, මියගිය ලාන්ස්‌ කෝප්‍රල් හේමන්තගේ මව ඇතුළු සහෝදර සහෝදරියන් බැලීමට එම රණවිරුවාගේ නිවසට ගියේය. මියගිය සෙබළාගේ මවට අදහා ගැනීමට නොහැකි විය. ඇයගේ දෙනෙතින් කඳුළු පැන්නාය. "මේජර් හේමන්ත කියන්නේ තම පුතාමයි" ඇය විශ්වාස කළාය. සහෝදර සහෝදරියන්ද එලෙසමය. ඔවුන්ද පළමුව සිතුවේ මේ සිටින්නේ තම සහෝදරයා කියා ය. එහෙත් මේජර් හේමන්ත ඔවුනට සියලු කරුණු පහදා දුන්නේය. 

මියගිය රණවිරු හේමන්තගේ මව ඒ කිසිවක්‌ පිළිගත්තේ නැත. ඇය තවමත් සිතා සිටින්නේ මේජර් හේමන්ත තම මියගිය පුතා කියාය. අවසානයේ ඇය මේජර් හේමන්තට මෙලෙස පවසා ඇත. "කමක්‌ නැහැ පුතේ... උඹ ඉන්න තැනක හොඳින් හිටපන්. උඹ දැන් ආමි එකේ ලොකු මහත්තයෙක්‌ නෙ..."

රණවිරු ලාන්ස්‌ කෝප්‍රල් හේමන්ත පුෂ්පකුමාර අද ජීවතුන් අතර නැත. යුද හමුදා නිලධාරී මේජර් හේමන්ත පුෂ්පකුමාරද අද යුද හමුදාවේ නැත. ඔහු යුද හමුදාවෙන් ඉල්ලා අස්‌විය. ඒ යම්කිසි කලකිරීමක්‌ මතයි. එහෙත් රට ජාතිය බේරා ගැනීම සඳහා මෙම රණවිරුවන් කළ සේවය කිසිසේත් මිල කළ නොහැකිය. 


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com