master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිකඩ ජේලර්ලගෙ ෆෝන් බිස්නස් ගැන හිරකාරයෙක් ෆෝන් එකෙන්ම අපට කිව්ව කතාව


2018-07-21 09:55:28 -  1549 යි

ෆෝන් විතරක් නමෛයි, සල්ලි තියෙනව නම් මේකෙ ඇතුළට ගෑනු උනත් ගේන්න පුළුවන්. සල්ලි කොළ පෙන්නුවම මහත්තුරුත් දෙකට නැවෙනව.

වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටින සිරකරුවෙක් රිවිර සමග ජංගම දුරකථනයකින් සම්බන්ධවෙමින් මෙසේ කියන්නට වූයේ මුදල් හයියට බන්ධනාගාරය තුළ ඕනෑම දහජරා වැඩක් කරන්නට ඉඩ තිබෙන බව නොකියා කියමිනි.

මෙම සිරකරුවා ව්‍යාජ මුදල් සහ කේ‍රඩිට් කාඩ් වංචාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හසුවූවෙකි. ඉහළ අධ්‍යාපනයක් පවා ලබා සිටින ඔහු අපරාධ ලෝකයට පිවිසෙන්නේ ‍පොලිසියේ ඇත්තන්ගේ වරදිනි.

ඒ සිය සහෝදරයා විසින් කළ සොරකමකට ඔහු අත්අඩංගුවට ගෙන නිකරුණේ බන්ධනාගාරගත කිරීමෙනි. එසේ ඔහුට බන්ධනාගාරගත වන්නට සිදුවන්නේ උසස් අධ්‍යාපනය හැදෑරීමට එංගලන්තය බලා පිටත්ව යාමට දිනක් තිබියදීය.

බන්ධනාගාරයෙන් එළියට එන්නේ පරිනත අපරාධකරුවෙක් ලෙසිනි. ව්‍යාජ මුදල් අච්චුගසන්නේත් කේ‍රඩිඩ්කාඩ් වංචාවල නිරතවන්නේත් බන්ධනාගාරයේදී අපරාධකරුවන්ගේ ඇසුරෙන් ලද දැනුම් සම්භාරයද යොදා ගනිමිනි.

මේකෙ ඇතුළේ හැම ගනුදෙනුවක්ම වෙන්නේ ඊෂි කෑෂ්වලින්. කුඩු වැහි වැහැල. රුපියල් දාහේ දෙදහේ ෆෝන් එකක් ඇතුළට ගේන්න මහත්තුරු රුපියල් 25000 ක් ගන්නව. ඇපල් ෆෝන් හිටන් මේකෙ ඇතුළේ තියෙනව. ඒව ඇතුළට ගේන්නේ ලොකු මහත්තුරු. වෙ‍ලේ සුදාල සිද්ධික්ල දෙමටගොඩ චමින්දල පාවිච්චි කරන්නේ වටින ෆෝන්. පසුගිය කා‍ලේ සිද්ධික් ගාව තිබ්බ ඇපල් ෆෝන් එකක් මහත්තුරුන්ට හසුවුණා. ඒවත් ඉතින් කරන්නේ එයාල වැඩ කරනව කියල පෙන්නන්න. අනික ෆෝන් ඇල්ලුවොත් විතරයිනේ ඇතුළට ෆෝන් එන්නේ. ඇතුළට ෆෝන් එනකොට තමයි මහත්තුරුන්ගේ සාක්කුව පිරෙන්නේ. ඔහු ලොකු කතාවක් කියන්නට මුල පිරුවේය.

මුදලට ගිජුකමක් දක්වන බන්ධනාගාර නිලධාරීන් කවුරුන්දැයි සිරකරුවෝ දනිති. ඒ අය රාජකාරියේ නිරතවන වේලාවන් පවා නොරහසකි. ඇතුළට දුරකථන ගෙන එන්නේ ඔවුන් රාජකාරියේ නිරතව සිටින වේලාවන්වලදීය. වැඩි හරියක් දුරකථන සිරකරුවන් අතට පත්වන්නේ රාත්‍රි කාලයටය

ටෙලි ෆෝන් ආවට ගියාට හැම තැනින්ම ගන්නේ නැහැ. බොරැල්ල ටවුමේ කඩයක් තියෙනව. ඇතුළට යවන්න ෆෝන් එකක් ඕනේ කිව්වම  ෂොප් එකේ කොල්ල දන්නව දෙන්න ඕනේ ෆෝන් එක මොකක්ද කියල. ස්කෑන්වලට හසුවෙන්නේ නැතිවෙන්න ‍පොඩි වැඩක් කරන්න තියෙනව. ෂොප් එකේ කොල්ල වැඩේ කරලයි ෆෝන් එක දෙන්නේ. ජංගම දුරකථනයක් බන්ධනාගාරය තුළට ගෙන ඒමට පෙර කෙරෙන රහසක් ඔහු හෙළිකළේ එසේය.

ජංගම දුරකථනය මිලදී ගත් පසු එම දුරකථනය බන්ධනාගාර නිලධාරියා විසින් ලබාගන්නේ බන්ධනාගාරය ඉදිරිපිට බේස්ලයින් මාර්ගයේදීය. ඒ වන විට එම නිලධාරියාගේ අතට ජංගම දුරකථනය ඇතුළට ගෙන යනවා වෙනුවට රුපියල් 25000 කුලියද ලැබි හමාරය

ඔය වැඩේ වැඩි හරියක් කරන්නේ අලුත් මහත්තුරු. එයාල තරුණයි. එයාලට ඕනේ සල්ලි. ඒත් පරණ මහත්තුරු අල්ලගන්න එක ලෙහෙසි නැහැ. එයාල විසිපන්දහකට මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඊට වඩා ලොකු ගණන්වල වැඩයි එයාල භාරගන්නේ. ඔහු කියන්නේය.

ජංගම දුරකථන පමණක් නොව, සිම් කාඩ්පත් ඇතුළට ගෙනියන්නටද නිලධාරීන් විවිධාකාර ගණන් අය කරති. එම ගණන් තීරණය වන්නේ හාර පන්දහසේ සිටය

මේ වැඩේ හැමෝම කරන්නේ නැහැ. වැලිකඩ ප්‍රිෂන් එකේ මේ වැඩේම කරන මහත්තුරු හය දෙනෙක් ඉන්නව. ෆෝන් ඇතුළට එන්නේ ඒ අයගේ කට්ටියම ගේට්ටුවල ඩියුටි ඉන්න වෙලාවටයි. අපෙන් ගන්න ගාන ඒ හැමෝටම බෙදිල යනව. ඒකයි ඔච්චර ලොකු ගාණක් ගන්නේ. ජංගම දුරකථන බන්ධනාගාරය තුළට රැගෙන යාමේ ජාලය ගැන ඔහු හෙළිකරන්නේ එසේය.

එකී සිරකරුවා පවසන ආකාරයට, ඔවුන්ට එපාම කරපු බන්ධනාගාරය වන්නේ මහර බන්ධනාගාරයයි. එහි ඇත්තේ තදබල පාලනයකි. ජංගම දුරකථන තබා දුම්කොළයක්වත් බන්ධනාගාරය තුළට ගෙනි යන්නට බැරිය. මහර බන්ධනාගාර අධීකාරිවරයාගේ දරුණු පාලනය හරහා බන්ධනාගාරය තුළ සිදුවන දූෂණ ක්‍රියාවන්ට උපරිමයෙන් වැට බැඳී හමාරය.

මහරට යන්න හැමෝම අකමැතියි. එස්.පී. මහත්වරු (අධිකාරිවරු) හරියට ඉන්නව නම් එල්ලුම් ගහ ඕනේ නැහැ. ප්‍රිෂන් එක ඇතුළේ සල්ලි තියෙනව නම් සුරපුරයක්. ඕනෙම දහජරා වැඩක් ඇතුළේ ඉඳන් කරන්න පුළුවන්. කප්පම් ගන්නව, කුඩු බිස්නස් කරනව, කේ.ජී. බිස්නස් කරනව. නොකරන දෙයක් නැහැ. ඔක්කොම වෙන්නේ ෆෝන් එකෙන්. සමහර උන් ඔන්ලයින් සෙක්ස් පවා කරනව ෆෝන් එකෙන්.

ඔහු මේ කියන්නේ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් කෙලින් සිටීනම් සියල්ල පාලනය කළ හැකි බවය. අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව, මිනිස් ඝාතන පවා මෙහෙයවන්නේ බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනයෙනි. රිවිර ක්‍රයිම් අතිරේකයේ මෙවර එවන් ඝාතන ප්‍රයත්නයක් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ව්‍යර්ථ කළ ආකාරය පිළිබඳ ලිපියක්ද පළ වී තිබේ.

වාට්ටු (රැඳවූවන් රඳවා තබන සිර මැදිරි) චෙක්කරන්න මහත්තුරු එනකොට ඊට විනාඩියකට විතර කලින් අපිට හිතවත් මහත්තුරු චෙකින් චෙකින් කියමින් යනව. එතකොට අපි දන්නව දෙකින් එකක් වෙනව කියල. එතකොට අපි ෆෝන් විතරක් නමෛයි අපි ගාව තියෙන දුම්කොළ කුඩු, ගංජා හැම දෙයක්ම හංග ගන්න ඕනේ. ඒව හංග ගන්න බංකර්කාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නව. ඒ අය චෙකින් ඉවර වෙනකම් බඩු ටික තියාගන්නව හව් වෙන්නේ නැතිව.

බන්ධනාගාරය තුළ බංකර් ගසනවා යැයි කියන්නේ ගුදමාර්ගයේ සඟවා තබා ගැනීමටය. වරකට ජංගම දුරකථන දෙක තුන බංකර් ගසාගෙන සිටින්නෝද සිටිති. ඒ අයට ඒ වෙනුවෙන් ලැබෙන්නේ මත්කුඩු ටිකක් පමණි. බංකර් ගසන්නෝ වැඩි හරියක්ම මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ය.

බංකර්කාරයෝ නඩුවලට උසාවියට යනකොටත් ෆෝන්, කුඩු, ගංජා වගේ දේවල් අරගෙන එනවා. උසාවියේ ෂෙල් එකේදි ඒවා ඒ අයට ලැබෙනව. මහත්තුරුනුත් දැනුවත්වයි ඒව ලැබෙන්නේ. අපිත් අපිට ඕනේ බඩු ගෙවල්වලට කියල වැඩි හරියක් ගෙන්න ගන්නේ බංකර්කාරයෝ උසාවි යන දවස්වලටයි.

ඔහු කියන ආකාරයට අනුව වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එක් වාට්ටුවක අඩුම තරමින් ජංගම දුරකථන දහයක් පහළොවක් පමණ තිබේ. ඒවායේ බැටරි පණ ගැන්වීමට ඔවුන් විදුලි බල්බවලට විදුලිය ලැබෙන වයර් කපා අමුණාගෙන ඇත. සියල්ල සිදුවන්නේ බන්ධනාගාරයේ ලොකු මහත්වරුන්ගේ අනුදැනුමද ඇතිවය.

අවුරුදු උත්සව, ක්‍රිකට් තරග වගේ බණ භාවනා වැඩසටහන්, උත්සව ඕගනයිස් කරනකොට මහත්තුරු අපිට කලින්ම ඒ ගැන කියනව. එතකොට අපි දන්නව එයාල මොනවද ඉල්ලන්න් කියල. ඇතුළේ ඉන්න කුඩුකාරයෝ තමයි ඒ උත්සවවලට සල්ලි දෙන්නේ. මහත්තුරුත් කුඩුකාරයන්ට ළෙන්ගතුයි. මහත්තුරුන්ගේ ගෙවල්වල පාටිවලට විස්කි බ්‍රැන්ඩි සප්ලයි කරන්නෙත් කුඩුකාරයෝනේ. ඔහු අලුත් පැතිකඩක් එසේ අනාවරණය කළේය.

එම සිරකරුට අනුව අද වන විට බන්ධනාගාරයේ නිලධාරීන් වැඩි දෙනෙක් යැපෙන්නේ හිරකාරයන්ගෙනි. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ය. සාමාන්‍යයෙන් වසරකට බන්ධනාගාර පද්ධතිය තුළ කෙරෙන සෝදිසි මෙහෙයුම්වලින් ජංගම දුරකථන දහසක් පමණ සොයා ගනිති. එහෙත් එළියට එන්නේ දුරකථන දෙතුන් සියයක් අල්ලාගත් බවටය. ඒ වෙන කිසිවක් නිසා නොව, අල්ලා ගන්නා දුරකථන නැවතත් සිරකරුවන්ගේ අතටම පත්වන නිසාය.

එළියේ විතරක් ‍නෙවෙයි ඇතුළෙත් ෆෝන් විකිණෙනවා. ඇතුළෙන් ෆෝන් එකක් ගන්නව නම් අඩුම ගාණ වෙන්නේ තිස්පන්දාහයි. සිම් එකත් එක්කයි ෆෝන් එක හම්බ වෙන්නේ. කාඩ් ෆෝන් තමයි තියෙන්නේ. ඒ කාඩ් ෆෝන්වලට අයිතිකාරයෙක් නැහැ.

ජංගම දුරකථන භාවිතය අඩපණ කිරීමට වැලිකඩ, මැගසින් හා රිමාන්ඩ් බන්ධනාගාර ආශ්‍රිතව පසුගිය ආණ්ඩු සමයේදී ජෑමර් පවා හමුදාව සවිකරන ලදී. එම ජෑමර් අදටත් එල්ලෙමින් තිබේ. ඒවා වැඩ කරන්නේ ඉඳහිටය. ජෑමර්වලට හසුනොවන දුරකථනද බොහෝය.

ජෑමර් හයිකළාට ඇතුළේ ෆෝන්වලින් කතාකරන එකට බාධාවක් වුණේ නැහැ. ජෑමර්වලට හසුවෙන්නේ නැති තැන් අපි හොයා ගත්ත. අනික සමහර කනෙක්ෂන් ජෑමර්වලට හසුවෙන්නේ නැහැ. ජෑමර් වැඩකරන වෙලාවට වයිබර්, ඉමෝ, වට්ස්ඇප් වැඩ.

දීර්ඝ කතාබහකට නැවතීමේ තිත තබමින් එම සිරකරුවා සිය ජංගම දුරකථනය අක්‍රිය කරනු ලැබුවේ මේව නවත්වන්න ඕනෙ නම් මහර ප්‍රිෂන් එකේ වගේ හොඳ මහත්තුරු හැම ප්‍රිෂන් එකකම ඉන්න ඕනේ යැයි කියමිනි.<

 වීරසිංහ

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com