master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇලෝසියස්‌ රඳවා සිටි සිර මැඳිරියෙන් සොයා ගත් සිම් කාඩ්වලින් අපරාධකරුවන්ට කතා කරලා


2018-07-20 07:47:32 -  399 යි

ඒ. ඡේ. ඒ. අබේනායක

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අයුතු ලෙස මුදල් උපයාගත්තේ යෑයි කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා අතුළු සැකකරුවන් රඳවා සිටි සිර මැදිරියේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් සිම් කාඩ්පත් උපයෝගී කරගනිමින් විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් සමග සබඳතා පැවැත් වූ බව පෙනී යන්නේ යෑයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊයේ (19 දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේදී ප්‍රකාශ කළාය.

මෙතෙක්‌ ලැබී ඇති දුරකථන විශ්ලේෂණ අනුව ඒ බව පෙනී යන්නේ යෑයි ද පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉතුරු දුරකථන සමාගමෙන් ද දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසුව ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කර ඒ බව තහවුරු වන්නේ නම් සුදුසු අධිකරණ හමුවට.කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගනු ඇතැයි ද ප්‍රකාශ කළාය.
 
 ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී නීති විරෝධී ලෙස කටයුතු කර මුදල් පනතේ වගන්ති උල්ලංඝනය කිරීමේ වරද සිදුකර ඇති බව මෙතෙක්‌ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රකාශ කළාය.
 
 එකී බැඳුම්කර වෙන්දේසිවලදී නීතිවිරෝධී ලෙස කටයුතු කර උපයාගෙන ඇති මුදල් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට මහ බැංකුවේ අතිශය රහස්‍ය දත්ත ලබාදුන් පුද්ගලයන් ඇතුළු තෙවැනි පාර්ශ්වයක්‌ වෙත ලබාදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අවශ්‍ය වවුචර්පත් ඇතුළු ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට පී. ටී. එල්. සමාගමට හා ඊට අනුබද්ධිත සමාගම් හතරකට නියෝග කොට ඇතත් එම නියෝගය අනුව ජෙaරි ඇලෝසියස්‌ මහතා විසින් කටයුතු කර නොමැති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.
 
 එකී කරුණු දැක්‌වීමට පිළිතුරු දෙමින් පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙaරි ඇලෝසියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පෙන්වා දුන්නේ අධිකරණය විසින් ලබාදුන් සෝදිසි වරෙන්තුව අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එකී සමාගමේ තිබූ ලේඛන හා පරිගණක බහුතරයක්‌ රැගෙන ගොස්‌ ඇති බැවින් විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමේ හැකියාවක්‌ නොමැති බවයි.
 
 පර්පෙචුවල් සමාගමේ මේ වනවිට ඉතුරු වී ඇත්තේ කාපට්‌, පුටු හා මේස පමණක්‌ බව ද එහිදී පෙන්වා දුන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රැගෙන ගිය ලේඛන හා පරිගණක ආපසු ලැබුණ පසු එම වාර්තා ලබාදීමේ හැකියාවක්‌ ඇති බවයි.
 
 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු ගිණුම් තහනම් කර තිබීම නිසා සේවකයන්ට වැටුප් ගෙවීමට හෝ නොහැකි වූ බැවින් ඔවුන් රාජකාරියට වාර්තා නොකරන බවත් විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින වාර්තා සකස්‌ කිරීමට කිසිවකුගේ සහායක්‌ ලබාගැනීමේ හැකියාවක්‌ සිය සේවාදායකයාට නොමැති බව ද පෙන්වා දුන්නේය.
 
 ඒ සම්බන්ධයෙන් අධිකරණය මේ වනවිටත් නියෝගයක්‌ නිකුත් කර ඇති බැවින් කුමන ආකාරයකින් හෝ සහායක්‌ ලබාගෙන එකී නියෝගය අනුව කටයුතු කිරීම ජෙaරි ඇලෝසියස්‌ගේ වගකීමක්‌ බව මහෙස්‌ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.
 
 මහ බැංකුව විසින් සිය සේවාදායකයාගේ සමාගමේ බැංකු ගිණුම් තහනම් කර ඇත්තේ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි සමයේදී උපයාගත් මුදල් සම්බන්ධයෙන් පමණක්‌ බැවින් ඊට පෙර උපයාගත් රුපියල් බිලියනයකට අධික මුදල් නීතිපති දෙපාර්තමේන්තුවේ අධිකරණය යටතේ හෝ ආපසු ලබාගෙන අවශ්‍ය පරිපාලන කටයුතු සඳහා යෙදවීමට අවසර ඉල්ලා සිටීමට ඉදිරියේදී පියවර ගන්නා බව දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනා අගෝස්‌තු 02 වැනිදා දක්‌වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. එම අවස්‌ථාවේදී අධිකරණය ඇමතූ විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ උදැසන 8.00 ට පමණ අධිකරණයට රැගෙන පැමිණි එම සැකකරුවන් දෙදෙනාට අවශ්‍ය දිවා ආහාරය හෝ ජලය ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර නොගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌ බවයි.
 
 එම අවස්‌ථාවේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවන් ඇමතූ මහෙස්‌ත්‍රාත්වරිය එම කරුණු සත්‍ය දැයි සැකකරුවන්ගෙන් විමසූ අතර ඔවුන් පැවසුවේ උදැසන 7.00 සිට තමන්ට මේ දක්‌වා නිරාහාරව සිටීමට සිදු වී ඇති බවයි. ජලය හා ආහාර ලබාගැනීම සෑම අයකුගේම මූලික අවශ්‍යතාවක්‌ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණයට පැමිණ සිටි බන්ධනාගාර නිලධාරීන් කණ්‌ඩායමේ ප්‍රධානියා කැඳවා මෙතෙක්‌ වෙලා එම සැකකරුවන් දෙදෙනාට ආහාර ලබා නොදුන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියාය.
 
 ඔවුන් දෙදෙනාට මෙතෙක්‌ ආහාර ලබා නොදුන් බව එම බන්ධනාගාර නිලධාරියා පිළිගත් පසුව මින් මතු එවැනි අකටයුතුකමක්‌ කිසිම සැකකරුවකුට නොකරන ලෙසට තරයේ අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරිය අවශ්‍ය ආහාර සැකකරුවන්ට කඩිනමින් සපයන ලෙසට නියෝග කළාය.
 
 රජයේ අධිනීතිඥවරියන් වන සහන්‍යා නාරංපනාව මෙනවිය, චතුරි විෙ-සිංහ මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය. උප පොලිස්‌ පරීක්‍ෂක සුනිල් ජයවීර ඇතුළු නිලධාරීන් සමග පොලිස්‌ අධිකාරී ප්‍රියසෙන් අම්පාවිල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළේය.
 
 තුන්වන සැකකරු ලෙස නම් කොට ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා සමග නීතිඥ සජිත ජයවර්ධන මහතා පෙනී සිටියේය.
 
 නීතිඥ සනත් විෙ-වර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com