master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරගෙදර ඉඳන්, සෙල්ෆෝන් තියන්, කප්පම් දිදී කුඩුකාරයො එල්ලන තීන්දුවට මුල් වුණු සුසෙයි ගහපු ගේම මෙන්න


2018-07-17 12:33:21 -  952 යි

අපේ රටේ අධිකරණයට මරණීය දණ්ඩනයෙන් දඬුවම් නියම කරන්නට නීතිමය හැකියාව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ මිනිස් ඝාතකයන්ට පමණි. මරණීය දණ්ඩනයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දඬුවම් නියම වන්නට හෙරොයින් ග්රෑම් දෙකක් සන්තකයේ තබාගත්තත් ප්‍රමාණවත්ය. ෙදෙනිකව ‍පොලිසිය කරන වැටලීම්වලින් අල්ලාගන්නා බව කියන මත්ද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලීමේදී රටින් බාගයක්වත් මේ වන විට සිටිය යුත්තේ හිරගෙවල්වල මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් ලෙසිනි. එහෙත් නීතියේ යම් හිඩැස් සහ රුපියල් ශතවලට වහල්වුණු නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසාම අදවන විට ඒ අල්ලන බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින්නේ නිදහසේය. ඒ අල්ලන මත්ද්‍රව්‍ය පිටිගුලි හෝ වෙනත් ද්‍රව්‍යක් බව අවසානයේදී පත්වන බැවිනි. නැතිනම් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පරස්පර ආකාරයට ඒවා වාර්තා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව වුවමනාවෙන්ම ගලවන්නට දූෂිත ‍පොලිස් නිලධාරීන් කටයුතු කරන බැවිනි.

රටේ ඉහළම දේශපාලන අධිකාරිය පවා ඉතා ළඟින් ඇසුරු කරමින් සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෝර්ඩ් පෙදෙසේ සියාම්ව හොරොයින් තොගයක් සමග ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ විසින් අත්අඩංගුවට ගත් විට ඔහුව නිදහස් කර ගන්නට පෙරමුණ ගත්තේ මැති ඇමැතිවරුය. ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සටහන් ‍පොත්වල පිටු අතුරුදන් විය. වැටලීම කළ නිලධාරීන්ට කෝටි ගණනින් අල්ලස් දෙන්නට උත්සාහ ගත්තේය. ඊට නතු නොවූ නිලධාරන්ට මරණ වරෙන්තු පවා ගලා ආවේය. එහෙත් මරණයට මෙන්ම රුපියල් ශතවලට යට නොවූ නිලධාරීන් පිරිසක් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටි බැවින් සියාම්ට සිදුවන්නේ මරණිය දණ්ඩනයෙන් දඬුවම් ලබන්නටය.

සියාම් මෙන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ම දැන් සිටින්නේ මරණීය දණ්ඩනයෙන් දඬුවම් නියම වීය. ඒ අය අතර හොරොයින් කිලෝ ගණනින් අල්ලාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ග්රැම් ගණනින් අල්ලාගත් ඡාවාරම්කරුවන් ද සිටිති. බන්ධනාගාර වාර්තා පෙන්වා දෙන ආකාරයට මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරුවන්ව මරණීය දණ්ඩනයට නියමව මේ වන විට සිටින්නේ 13 දෙනෙක් පමණි. ඊට අමතරව එම සංඛ්‍යාව මෙන් තුන් හතර ගුණයක්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවීය. මේ අයගෙන් බහුතරයක් බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන භාවිතයෙන් කරන්නේ සුපුරුදු මත්ද්‍ර්‍ය ජාවාරමය. ඒ බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන්ගේද ආශීර්වාදය ඇතිවය.  මරණිය දණ්ඩනය නියමවූවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවත් ඔවුන් බන්ධනාගාරයේ සුරසැප විඳින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා කළු සල්ලිවලිනි. දූෂිත නිලධාරීන්ට බෙදන්නේද එම කළු සල්ලිය.

එසේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් ජංගම දුරකථන භාවිත කරමින් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කොතෙකුත් ‍පොලිසිය අනාවරණය කර ගත්තද මරණිය දණ්ඩනය නියමව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවන ලද මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමක් අතටම අල්ලාගෙන තිබුණේ නැත. එය ඉටුවෙන්නේ ඉකුත් 07 වෙනිදාය. ඒ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කථාබහක් ඇතිවීමට පවා එම මත්ද්‍රව්‍ය වැටලීම මේ වන විටත් මුල්වී හමාරය. ඒ මරණීය දණ්ඩනය මෙරට ක්‍රියාත්මක කිරීමට ජනපති විසින් ගෙන ඇති තීරණයයි. එම තීරණයට ජනාධිපති එළඹෙන්නේ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඉකුත් 07 වෙනිදා කරන වැටලීමය

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එම වැටලීම කරන්නේ කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේදීය. ඒ මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට කල්තියා ලද තොරතුරකට අනුවය. එහිදී ඔවුන්ගේ වැටලීමට ලක්වන්නේ විසල් වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයකි. රියැදුරා සමග එහි තිදෙනෙක් ගමන් කරමින් සිටියහ. රියැදුරා දෙහිවල පාසල් මාවතේ පදිංචිකරුවෙක් වන චතුර ජයශාන්තය. දෙහිවල රොබට් පාරේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් සුහයිඩ්, හෝමාගම පිටිපන කුලී නිවසක පදිංචිව සිටින මොහොමඩ් මාහීර් අනෙත් දෙදෙනාය. ඔවුන් ඒ වන විටත් සිටියේ මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමිනි. එම මත්කුඩු තොගය ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලාධාරීන්ට හමුවන්නේ ජිප් රථයේ සගවා තිබියදීය. එය ‍පොඩි ප්‍රමාණයක් නොව, කිලෝ 33 යි ග්රෑම් 374 කි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අල්ලා ගන්නේ එහි සේවයේ නිරතව සිටි ‍පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකට පිළියන්දලදී එල්ලවුණූ ප්‍රහාරයෙන් පසුව වැටී සිටි මත්ද්‍රව්‍ය කාර්යාංශය අළු ගසා දමා නැවත නැගිටීමක් ලෙසිනි. දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සුහයිඩ් සහ මාහීර් මෙන්ම රියදුරු ජයශාන්ත නිහඬව සිය අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සහය ඉල්ලන විට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිය විමර්ශන දක්ෂතාව පිළිබිඹු කරමින් රටටම මත්කුඩු බෙදන ඔවුන්ගේ තිප්‍පොළ වටලන්නේ තවත් හොරොයින් කිලෝ 70 ක් සොයා ගනිමිනි. ඒ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ පිහිටි මහල් නිවසකිනි. එම නිවස ගැන අත්අඩංගුවට ගත්තවුන් කිසිවක් නොකීවත් ඒ තැන සොයා ගැනීමට මුල්වන්නේ ජිප් රථයේ තිබුණු යතුරු කැරැල්ලක් සහ ජල බිල්පතකි. ඒ ගැන සැකයක් ඇතිවන්නේ කොස්තාපල්වරයෙකුටය.

ප් එක අපි දෙහිවල රෙන්ට කාර් එකකින් ගත්තේ. අපි ගන්නකොටත් ඕවා වාහනේ තිබ්බ. ප්‍රශ්න කිරීම් හමුවේ මාහිරී ඒ ගැන කියන්නට විය.

ජිප් රථය කුලියට ගෙන තිබුණේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික කුළීයකටය. වාහනය කුලියට ගෙන තිබුනේ මාස කිහිපයකට පෙරය. ජිප් රථයේ තිබුණු ජල බිල්පත ඊට පසු මාසයක නිකුත් කර තිබූවකි. මාහීර්ගේ බොරුව අතේම පත්තුවන්නේ ඒත් එක්කමය.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් තීරණය කරන්නේ එම බිල්පතේ සදහන් ලිපිනය සොයා යන්නටය. බත්තරමුල්‍ලේ සුභූති මාවතේ නිවස වටලන්නේ ඒ අනුවය. එය තෙමහල් සුවිසල් නිවසකි. ඒ නිවස තිබෙන්නේ දොරගුළු දමාය. එම වැටලීමට නිලධාරීන් එන්නේ ජිප් රථයේ තිබි හමුවුණු යතුරු කැරැල්ල ද රැගෙනය. එම යතුරු කැරැල්‍ලේ යතුරු එහි අගුල්වලට පෑහුනේය. දොරවල් විවෘත කරමින් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එහි ඇතුළට ගොස් අහුමුළු ඇවිස්සුවෝය. පැකට් 66 අසුරා තිබුණු හොරොයින් කිලෝ 70 හමුවන්නේ එවිටය. මෙම හෙරොයින් තොගයත් සමග ඒ වන විට හොරොයින් කිලෝ 103 කට වැඩි ප්‍රමාණයක් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ වැටලීමේදී සොයා ගත්තේය. ඒ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ඉතිහාසයේ පළමුවරට ගොඩබිමකදී ඔවුන් අත්අඩංගුවටගත් විශාලතම හොරොයින් තොගය එය වන බවට වාර්තා ‍පොත් අලුත් කරමිනි. එම ප්‍රමාණය ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ගොඩබිමකදී අල්ලාගත් විශාලතම හොරොයින් ප්‍රමාණය වූවත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ‍පොලිස් මත්ද්‍රව්‍යකාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව සමග එක්ව 2013 වසරේ නොවැම්බර් 09 වෙනිදා ඹරුගොඩවත්ත රේගු අංගනයේදී ග්‍රිස් ටිංවල අසුරා තිබියදී සොයාගත් හොරොයින් කිලෝ 261 මෙරට ගොඩබිමකදී සොයාගත් විශාලතම හොරොයින් ප්‍රමාණය වනු ඇත. ඊට දෙවැනි වන්නේ හලාවත ‍පොලිසිය මුතුපන්තිය ප්‍රදේශයේදී ඩිපෙන්ඩරයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය වසරේ මාර්තුවේදී අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 211 පමණි.

සුභුතිපුර නිවසින් හොරොයින් තොගය සමග හොරොයින් ප්‍රවාහනයට ජාවාරම්කරුවන් යොදාගත් අලුත්ම ක්‍රමවේදයක්ද සොයා ගත්තේය. ඒ හිස් ගෑස් ටැංකි කපා හොරොයින් එහි සගවා ප්‍රවාහනය කිරීමය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව එම හොරොයින් තොගය මෙරටට ගෙනවිත් ඇත්තේ මුහුදු මාර්ග ඔස්සේය. ඒ බෝට්ටුවලිනි. හොරොයින් තොගය ආරක්ෂිතව සඟවා තිබි ඇත්තේ ගෑස් ටැංකි අස්සේය. එම ටැංකි සුහයිඩ්ටත් මාහීර්ටත් ලැබි ඇත්තේ ගල්කිස්සේදීය. ඔවුන්ට ඒ සිලින්ඩර් දෙක ගෙනවිත් දෙන්නේ වෑන් රථයකිනි. එම සිලින්ඩර් වෙනත් වෑන් රථයක පටවාගෙන රැගෙන යන්නේ සුභූතිපුර නිවසටය. එම නිවස ඔවුන් මාස හයක් තිස්සේ කුලියට ගත්තකි. ඒ මාසිකව රුපියල් හැත්තෑදහසකටය.

නිවසට ගෙනියන සිලින්ඩර් ග්‍රයින්ඩරයකින් කපා හෙරොයින් තොග පිටතට ගත් පසු ඒවා බෙදාහරින්නේ සුඛෝපභෝගී මෝටර් රථවල දමාය. ඒ වෙනුවෙන් මේ දෙදෙනාට ලැබෙන්නේ එක් කිලෝවක් අලෙවි කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් පමණි. මේ ජාවාරම මුළුමනින්ම මෙහෙයවන ලද්දේ වෙනත් පුද්ගලයෙකි. සුහයිඩ් සහ මාහීර් ඉත්තන් පමණි. ජාවාරම්කරු ධර්මරාජා සුසේන්ද්‍රන් නොහොත් සුසෙයිය. ඔහු ඒ වන විටත් සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනයට නියමවූ සිරකරුවෙක් ලෙසිනි. මරණිය දණ්ඩනයෙන් ඔහුට දඬුවම් නියමකරන්නේ කොළඹ මහාධිකරණය විසිනි. ඒ 2017 වසරේ මාර්තු 30 වෙනිදාය. මරණිය දණ්ඩනයෙන් දඬුවමක් ඔහුට හිමිවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමකටය. 2013 වසරේ පෙබරවාරි 13 වෙනිදා හෙරොයින් කිලෝ 2 යි ග්රෑම් 250 ක් සමග සුසෙයිව බම්බලපිටියේදී අත්අඩංගුවට ගන්නේද ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනි.

මරණිය දණ්ඩනය නියම වී සිටියදීත් බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින සිරකරුවන්ට මරණිය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගන්නේ ඒත් එක්කමය. අනාවරණය වෙමින් ඇති ආකාරයට මෙම හොරොයින් ජාවාරම පිටුපස සිටින්නේ සුසෙයි පමණක් නොව. මරණීය දණ්ඩනයට නියම වී සිටින වෙ‍ලේ සුදා මෙන්ම මරණිය දණ්ඩනය අභියස සිටින සිද්ධික්ද සිටිති. ජාවාරම මෙහෙයවන්නේ ඩුබායි කේන්ද්‍රකරගෙනය. ඒ එක් කොනක මාකදුරේ මධුෂගේ නමද ගෑවී ඇත්තේය.

මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් නියම වී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින්නේ සුසෙයි පමණක් නොව. තවත් කිහිප දෙනෙකුම ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හදුනාගෙන සිටිති. ඒ අය අතර මත්ද්‍රව්‍ය ජාවාරමට පමණක් නොව, මිනිස් ඝාතනයන්ට මරණීය දණ්ඩනය නියම වූවන්ද සිටිති. ජනාධිපතිවරයා සදහන් කළ ආකාරයට අනුව ඔහුගේ අත්සන යොදන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට මරණිය දණ්ඩනයට නියමවී සිටියදීත් බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නන්ට එරෙහිවය. එහිදී මිනිස් ඝාතනවලට වරදකරුවන් ව මරණීය දණ්ඩනයට නියම වී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ගැන ඔහු කිසිවක් සඳදහන් කරන්නේ නැත.

මිනිස් ඝාතනවලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් ලබන සිරකරුවන්ට බන්ධනාගාරය තුළ නිදහසේ ජංගම දුරකතන භාවිතාකරමින් මත්ද්‍ර්‍ය ජාවාරම මෙහෙයවන්නට අවකාශ ලැබි ඇත්තේ බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන්ට පිංසිදුවන්නටය. සුසෙයි පසුගිය කාලයේ බන්ධනාගාර නිලධාරීන් රැසකට තෑගි බෝග පවා ලබාදී ඇති බව සඳහන්ය. ඔහු විසින් ලබාදුන් රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් පවා බන්ධනාගාරයේ සවිකර තිබිම විශේෂිතය.

මේ වන විට එම රූපවාහිනී යන්ත්‍ර අතුරුදන්ව ඇත්තේ ඉහළ නිලධාරියෙක්ගේ නියෝගයකිනි. එම නිලධාරියාගේ බිරිද සුසෙයි විවාහ වන්නට සිටින තරුණියගේ පාසල් මිතුරියක් බව කියති. එම පාසල් මිතුරිය වෙ‍ලේ සුදාගේ බිරිදගේ නැගනියයි. සුසෙයිගේ කුඩු සල්ලිවලින් බන්ධනාගාරයේ රූපවාහිනී යන්ත්‍ර සවිකෙරෙන්නේත් ජංගම දුරකතන නිදහසේ භාවිතා කරමින් සුසෙයිටත් වෙ‍ලේ සුදාටත් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නට අවකාශ ලැබි ඇත්තේත් මෙවන් පසුබිමක් යටතේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com