master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රණවිරුවාගේ දේහය කොටි කටින් බේරාගත් බිහිසුණු මෙහෙයුම


2018-07-09 11:11:26 -  1741 යි

පසුගිය සතියෙන්!

මේජර් ලලිත් ජයසිංහ හා කණ්ඩායමේ සගයකු තුවාල ලැබුවත් සටන අත් නොහැරියේය. එකදිගට සටන් කරමින් මෙම පිරිස හැකි තරම් පසු බසින්නට වූහ.

ආරක්ෂිත තැනකට පසුබැසීමට ඉලක්ක වූ අතර කිලෝමීටර් හතරක් පමණ පසුපසට ආවේ දැඩි අසීරුතා මධ්‍යයේය. දින නවයක් තිස්සේ වතුරෙන් පිරී ගිය ප්‍රදේශයේ රැඳී සිටීම නිසා බූට් සපත්තු තුළට වතුර ගොස් කකුල්වල ඇඟිලි කුණු වී තිබුණේය. මේ නිසා ඉක්මනින් පසුබැසීම අසීරු වූ අතර වේගය ද අඩාළ විය.

ආරක්ෂිත තැනකදී මේජර් ජයසිංහට ප්‍රතිකාර ලබා දුන් අතර වැස්ස නිසා මෙම පිරිස පසුබැස ගිය මාර්ගයේ බූට් සපත්තුවල අඩි සලකුණු රැඳිණ. ඒ අඩි සලකුණු මාර්ගයෙන් සොයමින් ලුහුබැඳ ආ කොටි කණ්ඩායම් සහ විශේෂ බළකා භටයින් අතර යළිත් ගැටුම් ඇති විණි.

කලින් තුවාල ලැබුවද ඒවා නොතකා තම අවියේ මැගසිනයක් අවසන් වනතුරුම මේජර් ලලිත් ජයසිංහ නොබියව සටන් කරමින් සිය වීරත්වය විදහා පෙන්වූයේය. සටන් අතරේ පපුවට එල්ල වූ වෙඩි උණ්ඩයක් සුෂුම්නාව කඩාගෙන පිටවූයේ අභීත සෙන්පතියකු දැයට අහිමි කරමිනි.

ඒ නොවැම්බර් 26 දා දහවල් 11.30ට පමණය. විනාඩි හතරක් පමණ කෙටි කාලයක් තුළ ඔහුගේ ප්‍රාණය ‍පොළොවට මුසු විය. රට දැය වෙනුවෙන් අභීත මෙහෙවරක් කළ මෙ සුවිශේෂී නායකයාගේ දේහය කෙසේ හෝ රැගෙන යාම ඉතිරි කණ්ඩායමට වූ අභියෝගය විය. කපිතාන්වරයකු යටතේ ඉතිරි මෙහෙයුම ක්‍රියාත්මක විය.

තවත් කිලෝමීටර් දෙකක් රජයේ පාලන ප්‍රදේශය දක්වා පසුබැස මඩ සහිත ප්‍රදේශයක මේජර් ජයසිංහගේ සිරුර හා තුවාල ලද සගයා සඟවා දෙදෙනකු උද්ගත වූ තත්ත්වය අණදෙන නිලධාරියාට දැන්වීමට රජයේ පාලන ප්‍රදේශයට දෙදෙනකු යැවීමට තීරණය විය.

මේ අනුව කපිතාන්වරයා හා එහි වූ සැරයන්වරයා ඇතුළු කණ්ඩායම කොටි අඩවියේ රැඳී සිටියදී දෙදෙනෙක් රජයේ පාලන ප්‍රදේශය කරා පැමිණියහ. කොටි අඩවියේ මියැදුණත් තම නායකයාගේ දේහය කොටින් අතට පත්වීමට නොදීම මෙම කණ්ඩායමේ එකම අරමුණ විය.

මේ වන විට ඔවුන් සතු පණිවුඩ හුවමාරු යන්ත්‍ර වර්ෂාව නිසා අක්‍රියව තිබුණේය. මේ නිසා අණදෙන නිලධාරියාට මෙම තත්ත්වය දැනුම් දීමට ද නොහැකි විය.

උද්ගත වූ තත්ත්වය අණදෙන නිලධාරියාට දැනුම් දීමට හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ගමන් ඇරඹූ වීරෝදාර සෙබළුන් දෙදෙනා පසුදින (27) ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පැමිණියහ. මෙහිදී වූ සිද්ධිය අණදෙන නිලධාරියාට සැලකර තවත් කපිතාන්වරයකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් සමග යළිත් මේජර් ජයසිංහ ඇතුළු කණ්ඩායම සිටි දෙසට ළඟා වන්නට වූහ.

මෙම සහායක කණ්ඩායම අදාළ ඉලක්කය වෙත ළඟා වෙන තුරු කපිතාන්වරයා ඇතුළු විශේෂ බළකා විරුවන් තිදෙනෙක් මේජර් ජයසිංහ හා තුවාල ලද සගයා සමග එහි රැඳී සිටියහ. සහායක කණ්ඩායම් ඉලක්කයට ගිය පසු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එතැනට ගොඩ බැස්සවීමට අණදෙන නිලධාරිහු සැලසුම් කළහ.

ඔඩ්ඩුසුඩාන්වලට නිරිත දෙසින් වූ කොටි පාලන ප්‍රදේශයේදී අභීත මෙහෙවරක් කර දැයෙන් සමුගත් මේජර් ලලිත් ජයසිංහගේ දේහය රැගෙන ඒමට ගුවන් හමුදා සහාය ගැනීමට තීරණය කෙරුණේ මෙම සැලසුමට අනුවය. හෙලිකොප්ටරයක් ගොඩබස්සවා මෙම පිරිස මුදා ගැනීම සැලසුම විය.

වන්නි මානුෂීය මෙහෙයුමේ සේනාංක මේ වන විට ඒ-9 මාර්ගයේ බටහිර කොටසේ මෙහෙයුම් සිදුවූ නිසා ඉතිරි ප්‍රදේශවල කොටින්ගේ උපරිම වෙඩි බලය යොදවා රැකවල් යොදවා තිබිණි. මේ නිසා හෙලිකොප්ටර් ගොඩබැස්සවීම අවදානම් වුවද ගුවන් නියමුවෝ එම වගකීම නිර්භීතව භාර ගත්හ.

මෙහෙයුමට බෙල් 212 හෙලිකොප්ටර් යානයක් හා එහි ආරක්ෂාවට එම්.අයි. 24 ප්‍රහාරක හෙලි යානා දෙකක් සූදානම් කෙරිණි. බලගන නායක ධම්මික ඩයස් බෙල් 212 යානයේ නියමුවා වූ අතර පියාසර ලුතිනන් ප්‍රසන්න ගුණරත්න මෙහි උප නියමුවා විය. කෝප්‍රල් ත්‍රීසිංහ හා දිසානායක මෙම යානයේ අවි භාරව ක්‍රියා කළහ.

වින්ග් කමාන්ඩර් සම්පත් තුයියකොන්තා සහ බලගන නායක චන්න දිසානායක එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකේ නියමුවන් ලෙස එක්වූහ.

නොවැම්බර් 27 දා මෙහෙයුම ගැන දැනුම් දීමට බෙල් 212 හෙලි යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවරට ගෙන්විය. මෙදින සමස්ත මෙහෙයුම ගැන සැලසුම් කෙරුණු නමුත් පසුදින (28) උදෑසන වනතුරු යා යුතු තැන ගැන නිශ්චිත ලෙස දැන ගන්නට නොවීය. මෙහෙයුමට යන හෙලිකොප්ටර් අනුරාධපුර ගුවන් කඳවුර වෙත ගෙන්වා සූදානමින් තැබිණි.

මේජර් ජයසිංහ යටතේ ගිය විශේෂ බළකා කණ්ඩායමේ පණිවුඩ හුවමාරු බිඳ වැටී තිබිම නිසා ඔවුන් සොයා යැවූ කපිතාන්වරයා ඇතුළු කණ්ඩායම එහි ළඟා වනතුරුම හෙලිකොප්ටර් ගොඩ බස්ස වන්නේ කොතැනද යන්න ප්‍රශ්නයක් විය.
දහවල් වන විට ඉලක්කගත ප්‍රදේශය, ළඟා වූ විශේෂ බළකා භටයින් ලබා දුන් අතර ඒ අනුව අවසන් සැලසුම සකස් විය. සිතියම් හා ජී.පී.එස්. මගින් භූමිය ගැන හොඳින් අධ්‍යයනය කළ ගුවන් නියමුවන් 28 දා සවස 5.00ට ඉලක්කය සොයා පියාසර කරන්නට වූහ.

ඉලක්කය තිබුණේ කිලෝමීටර් 35ක් දුරින් වූ කොටි පාලන ප්‍රදේශයේය.
මේ වන විට වන්නි සටන් බිමේ සිටි ප්‍රහාරක සේනාංක අතරින් 57 හා 58 වන සේනාංක ඒ-9 මාර්ගයේ බටහිර කොටස මුදා ගනිමින් ඉදිරියට ඇදෙමින් තිබිණි. කාර්ය සාධක බළකාය 3ට අයත් භට පිරිස් ඒ-9 මාර්ගයේ මාන්කුලම් නගරය අල්ලාගෙන තිබිණි. එතැනින් පහළට ඕමන්ත දක්වා කොටින්ගේ පාලනයට නතු විය.

මේ අනුව තුනුක්කායි, මාන්කුලම් හරහා ගොස් මාන්කුලම්වලින් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වී ඔඩ්ඩුසුඩාන් දෙසට යාම ගුවන් නියමුවන්ගේ ඉලක්කය විය. මාන්කුලම් නගරයේ සිට ඉලක්කගත ප්‍රදේශයට කිලෝමීටර් විස්සක් දුර විය.
ඝන කැලෑව හා අඳුර මධ්‍යයේ රහසිගත උපක්‍රම යොදමින් කොටි ත්‍රස්තයන්ට නොදැනෙන සේ ඉලක්කගත ප්‍රදේශයට හෙලිකොප්ටර් යානා ළඟා විය. කොතරම් අවදානමක් තිබුණත් කොටින්ට සැක නොහිතෙන සේ ගස්වල ගෑවෙන තරම් පහළින් මෙම හෙලි යානා පැදවීමට නියමුවෝ වග බලා ගත්හ. කොතරම් අවදානමක් මැද වුවත් කොටි බලකොටුවට හෙලිකොප්ටර් යානා ගොඩ බස්සවා තම සගයින් බේරාගන්නට තරම් සුවිශේෂී කැප කිරීමක් කළ ගුවන් නියමුවන් සිටි නිසා දිගු දුර විහිදුම් බළකාවල විරුවන්ට ද එය ශක්තියක් විය. සතුරු බිමේ ඈත කෙළවරක මියැදුණත් තමාව රැගෙන ඒමට ගුවන් හමුදාව එන බවට විශ්වාසයක් ඔවුන්ට තිබුණේය.

විනාඩි හතළිහක් පමණ ඇතුළත ඉලක්කය වෙත ආ හෙලිකොප්ටර් යානා තුන අතරින් ර් 24 ප්‍රහාරක යානා දෙක ගුවනේ රවුමක් කැරකී ආරක්ෂාව සපයන අතරේ බෙල් 212 හෙලිකොප්ටර් යානය කැලෑව මැද විශේෂ බළකා විරුවන් රැඳී සිටි තැනට හීයක වේගයෙන් ගොඩ බෑවේය. මුළු ප්‍රදේශයම වැසි ජලයෙන් පිරී ගියත් එහි නියමුවන් දෙදෙනා වූ ධම්මික ඩයස් හා ප්‍රසන්න ගුණරත්න දක්ෂ ලෙස තම යානය ගොඩ බස්සවා තත්පර හතළිහක් ඇතුළත යළි යානය උඩු ගුවනට එසවීය. මේජර් ලලිත් ජයසිංහගේ දේහය සමග විශේෂ බළකා නිලධාරින් දෙදෙනාත් භටයින් අටදෙනාත් රැගෙන ක්ෂණයකින් ගුවනට නැගගත් හෙලි යානය වේගයෙන් යළි අනුරාධපුර බලා පැමිණෙන්නට විය.

ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකේ ආරක්ෂාව මැද විශේෂ බළකා භට පිරිස් රැගත් බෙල් 212 හෙලි යානය සවස 6.20 වන විට අනුරාධපුරයට පැමිණියේ වික්‍රමාන්විත මෙහෙයුමක් නිම කරමිනි.

පැයකුත් විනාඩි විසි පහක් ඇතුළත කොටි බළකොටුවට ගොස් විශේෂ බළකා විරුවන් මුදාගෙන කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ගුවන් හමුදා විරුවන්ට වීර වික්‍රම විභූෂණ පදක්කම නිර්දේශ විය.
තුන්වන විශේෂ බළකාය සතු දිගු දුර විහිදුම් ඒකකයේ සිටි අතළොස්සක් පමණ වූ දක්ෂ නිලධාරින් අතරේ සිටි සුවිශේෂී චරිතයක් වූයේ ලලිත් ජයසිංහය. වන්නි කොටි බළකොටුවේ කළ වික්‍රමාන්විත මෙහෙයුම් නිසාම වීර වික්‍රම විභූෂණ පදක්කම දෙවරක් හිමි කර ගත්තේය. ඒ කොටි ගුවන් බළකායේ ප්‍රධානී ශංකර් හා මුහුදු කොටි බළකායේ දෙවැනියා වූ කන්ගෙයි අමරන් කොටි බළකොටුවේදීම අවසන් ගමන් යැවූ සුවිශේෂී මෙහෙවර අගය කිරීමටය. ජීවතුන් අතර සිටියදී ලැබෙන උසස්ම පදක්කම ද මෙය විය.

මෙම වීර වික්‍රම විභූෂණ පදක්කම් තුනක් සඳහා ඔහුව නිර්දේශ වූයේ කොටි නායක ප්‍රභාකරන්ගේ වාහන පෙළ හා නායකයින් ගමන් ගන්නා වාහන ඉලක්ක කරගෙන කළ ප්‍රහාරයන් හි සුවිශේෂී මෙහෙවර අගය කිරීමටය.
වරෙක මෙම ඒකකයේ සුවිශේෂී ඉලක්කයකට ගිය කපිතාන් උඩුගම ඇතුළු කණ්ඩායමක් කොටි පාලන ප්‍රදේශයේ සිර වූ මොහොතේ කොටි බල ප්‍රදේශයට ගොස් එම පිරිස මුදාගෙන ඒමට නායකත්වය දුන්නේ ද ලලිත් ජයසිංහය. එවන් වූ සුවිශේෂී මෙහෙවරක් මෙම අභීත සෙන්පතියාගෙන් රටටම ඉටු විණි.

තවත් සංග්‍රාමික පදක්කම් රැසකට උරුමකම් කී මෙම විරුවා කළ සේවය වෙනුවෙන් පරම වීර විභූෂණ පදක්කම උරුම වූ අතර ලුතිනන් කර්නල් තනතුරට ද උසස් කෙරිණි.

කොටි පාලන ප්‍රදේශය තුළ තම බලය පතුරවමින් කොටි නායකයින් පරලොව යවමින් උපන් භූමිය වෙනුවෙන් නොනිමි මෙහෙවරක නිරත වූ මෙම අභීත විරුවාගේ සේවය සදා සිහිපත් කළ යුතුය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com