master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරේ ඉන්න චමින්ද එළියට ගන්න පාතාල ගෝලයන් 3ක් ගේමක් ප්ලෑන් කරලා


2018-07-06 08:19:33 -  1805 යි

සමයංගේ ගෝලයකු වන දැනට බන්ධනාගාර ගතව සිටින චමින්ද නමැති පාතාල සාමාජිකයකු විසින් මෙහෙයවන ලද තුන් දෙනකුගෙන් සමන්විත අපරාධ කල්ලියක් අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (05දා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අවුරුදු 28, 22 හා 19 වයස් කාණ්ඩවල පසුවන මෙම තුන්දෙනාගේ කල්ලිය විසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් අලුත්ම යතුරුපැදි තුනක්, හෙල්මට් දෙකක් සමඟ මි.මී. 8 උණ්ඩ භාවිත කළ හැකි නවීකරණය කරන ලද 3.8 වර්ගයේ පිස්තෝලයක් සමඟ මි.මී. 8 ජීව උණ්ඩ 5ක්, කඩුවක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ කොල්ලකන ලද යතුරුපැදි පනාගොඩ - ඇඹුල්ගම මාර්ගයේ හා පනාගොඩ මැදමණ්ඩිය ප්‍රදේශයේදී ගිනි අවි හා කඩුවක් බෙල්ලට තබා පැහැරගත් ඒවා බව කොල්ලකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී දැනට බන්ධනාගාර ගතව සිටින සමයංගේ ගෝලයකු වන චමින්ද නමැත්තා විසින් ඔවුන් මෙහෙයවා ඇති බවත් චමින්දට ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ඉදිරියේ සිදු කිරීමට සැලසුම් කර තිබූ කොල්ලකෑම් හා වෙනත් අපරාධ සිද්ධීන් සඳහා මෙම යතුරුපැදි කොල්ලකෑ බවත් අනාවරණය වූ බව පොලිසිය පවසයි. පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා සාමාජිකයකුගේ යතුරුපැදියක් පළමු කොට මැදමණ්ඩිය ප්‍රදේශයේදී කොල්ල කෑමෙන් පසු එම යතුරුපැදියෙන් ගොස් පනාගොඩ හංවැල්ල පාරේ පොඩි පාලම අසලදී අනෙක් යතුරුපැදි දෙක, ගිනි අවි හා කඩු පෙන්නා කොල්ල කා තිබේ.

සිද්ධීන් සිදුවූ ස්ථාන අවට සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් අතුරුගිරිය අපරාධ අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව දැඩිගමුව ප්‍රදේශයේ පාළු නිවෙසක සැඟව සිටි සැකකරුවන් හා යතුරුපැදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන 28 හැවිරිදි පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටි පිස්තෝලය පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගියදා අතුරුගිරිය ගල්වරුෂාව පාරේදී පෞද්ගලික ආයතනයක ණය මුදල් එකතු කරමින් ගිය අයකු සන්තකයේ තිබූ රු. 250,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට මෙම සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com