master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අයාලේ ගිය නීතිය අනුරාධපුරයේදී හමුවෙලා


2018-07-05 08:00:58 -  1759 යි

"හැමදාම අයාලේ යන කාන්තාවෝ කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් සමඟ යහන් ගතවන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. පොලිසිය ඒ අයවත් අධිකරණයට ඉදිරිපත් කරන්න​. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න එපා"යි නලින් දිමුතු බණ්ඩාර නැමැති නීතිඥවරයා පසුගියදා පොලීසියට අභියෝග කර තිබුනේ අනුරාධපුර අධිකරණයක් තුළදී. සිද්ධියට පාදක වුනේ, ගණිකා වෘත්තිය සඳහා නගරයේ රැඳී සිටි බවට සැක කරමින් කාන්තාවන් දෙදෙනෙක් අත්ඩංගුවට ගත් පොලිසිය ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීම​.

බැලූ බැල්මට නලින් නීතිඥවරයාගේ තර්කය නිවැරදියි. මානුෂිකයි. ඒත් ඒ තර්කයට නීතිය තුළ වලංගුභාවයක් තියෙනවාද ​?

 

"අයාලේ නීතිය" යටතේ අත් අඩංගුවට ගන්නේ තනි පුද්ගලයෙක්. නීතිඥවරයාගේ තර්කයට අනුව එක් චූදිතයෙක් පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීම මොනතරම් අයුක්ති සහගතද ​?  නමුත් එහෙම සිද්ධ වෙනවා. එහෙමනම් අපි සොයා බැලිය යුතුයි මොකක්ද මේ "අයාලේ නීතිය" කියන්නේ කියලා. මේ නීතිය බලගැන්විමට බලපෑ සමාජ සංදර්භය මොකක්ද ​?  

 

18 වැනි ශතවර්ෂයේ යුරෝපයේ යකඩ හොයා ගැනීමත් සමඟ කාර්මික විප්ලවයක් ඇතිවුනා. මුලින් මුලින් කර්මාන්ත ඇතිවුනේ නගර මුල් කරගෙන​. මේ නිසා ඈත ගම්වල මිනිස්සු රැකියා හොයාගෙන නගරයට එන්න ගත්තා. එහෙම ආපු මිනිස්සු ස්ථිර අරමුණක් නැතිව රැකියා හොයමින් රස්තියාදු  වුනා. ඔබ මොබ ඇවිදින්න වුනා. මිනිසුන්ගේ මේ ක්‍රියාකලාපය කර්මාන්ත හිමියන්ට රිස්සුවේ නැහැ. ඔවුන්ට සිය දේපළ ආරක්‍ෂාව පිළිබඳ අනියත බියක් ඇතිවුනා. ඒ නිසා මෙයට වැට බැඳීමට ධනපතියන් කල්පනා කළා. ඒඅනුව පැවැති ආණ්ඩු මගින් "අයාලේ නීතිය" නමින් නව නීතියක් ගෙනාවා. මේ නීතිය  මුලින්ම ඇති කළේ එංගලන්තයේ. වරදේ ස්වාභාවය​ තමයි නිශ්චිත තැනක්, ගමනේ නිමාවක් නැතිව ඔබමොබ ගමන් කිරීම.

 

දහවැනි ශතවර්ෂයේදී පමණ මේ හා සමාන නීතියක් ලංකාවේත් තිබුනා කියලා උදය ආර්. තෙන්නකෝන් ලියූ "බදුලු ටැම් ලිපිය දසවන සියවස නැවත කියවීම​" නැමැති පොතේ සඳහන් වෙනවා. ඒ කාලයේ ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන්ට කීවේ නගර සෝබනියන් කියලා. ඒ අයගේ රැකියාවට සමාජ තත්වයක්, කිසියම් වූ පිළිගැනීමක් ලබා දීල තිබුනේ. අම්බපාළී කියන්නේ එවැනි කෙනෙක්. රජවරු පවා ඇයගේ පහස සොයා ආව කියලා තමයි කියන්නේ.

 

ඉතින් මේ නගර සෝබනියන් සිය රැකියාව සඳහා තමන්ගේ නගරය හෝ ගම් සීමාවෙන් පිටතටත් යන්න පටන් ගත්තා. මේ නිසා විවිධ ආරාවුල් ඇතිවුනා. ඒ ආරාවුල්වලට විසඳුමක් ලෙසින් තමන්ගේ නගරය හෝ ගමේ සීමවෙන් පිට ගණිකා වෘත්තියේ යෙදීම නීතිවිරෝධී කරුණක් බවට පත් කළා කියලා තමයි කියන්නේ. 

 

අනුරාධපුර සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරීන්ද පවසා ඇත්තේ දහවැනි ශත වර්ෂයේ නීති තර්කය. එනම් සැකකාරියන් මැදවච්චියේ පදිංචිව සිටියත් අනුරාධපුර නගරයේ ගැවසෙමින් සිටීම යන චෝදනාව​. ඒ එක්කම පොලිසිය සිය නීතියේ සීමාව ඉක්මවා යමින් අධිකරණයට ප්‍රකාශ කර තිබුනේ මැදවච්චිය ප්‍රදේශයට ගියොත් මේ කතුන්ගේ පැටිකිරිය කවුරුත් කියයි කියලා. හැබැයි එහෙම බැලුවොත් පොලිස් අත්අඩංගුවට ගත්තාම රෑ එළිවෙන තුරු සිදුවන්නේ කුමක්දැයි පොලිසියේ පැටිකිරියත් මේ වීදී කාන්තාවන්ගෙන් අහගන්න පුලුවන්. ඒත් ඒවාට නීතිය තුළ හව්හරණක් නැත්තේ වැද්දාට ගොරකාත් දඩමස් කළ හැකි නිසා.

 

පොලීසියේ සිනා උපදවන අනෙක් ප්‍රකාශය නම් මේ සැකකාරියන් අත්අඩංගුවට ගන්නේ අනුරාධපුර පොසොන් උත්සවය නිසාය​. අනුරාධපුරයට එන බැතිමතුන් ආරක්‍ෂා කර ගැනීම සඳහාය​. කළ යුත්තේ බැතිමතා සැදැහැවතා බවට පත් කිරීමය​. නැතිනම් බැතිමතා අනුරාධපුර එන්නේ වන්දනාවේත් ගිහින් තලගොයිත් මරාගෙන එන්නය​. "කාන්තාවන් දූෂණයට ලක් වන්නේ ඇය පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයේ ඇඳුම් අඳිනා නිසාය​. ඒනිසා කාන්තාව පිරිමින්ගේ හැඟීම් කුප්පන ලෙස ඇඳුම් නොඇඳීමට වග බලාගත යුතුය​." අපේ රටේ හැටි එහෙමය​. අපි කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින එකය.

 

නලීන් නීතිඥවරයා ප්‍රශ්න කරනා ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී රටෙක ඕනෑම පුරවැසියකුට රටේ ඕනෑම තැනක නිදහසේ යෑමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇත​. එය සත්‍යය​. එහෙත් පසුගිය පාලන සමයේ මහා මාර්ගවල බැරියර් දමා වාහන නවතා පිටස්තර පළාත්වලින් කොළඹට පැමිණි දෙමළ තරුණයන් අත්අඩංගුවට ගත්තේ මේ මූලික අයිතිවාසිකම් එසේම තිබියදීය. ත්‍රස්තවාදය​ වැලැක්වීමේ පණත ක්‍රියාත්මක වුනේ මේ සියලු මූලික මිනිස් අයිතිවාසිකම් යටපත් කරමිනි. නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ යැයි කියන්නේ ඒ නිසා විය යුතුය​.

 

සැකකාරියන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කළ අයාලේ නීතිය, බටහිරයන් අහෝසි කොට දැන් බොහෝ කල්ගත වී ඇත​. ඒත් බටහිර විරෝධී අපි ඒ නීතියෙන් තවම වැඩ ගන්නෙමු. බටහිරයන් එකී නීති අහෝසි කලේ නැඟී ආ ජනතා විරෝධය නිසාය​. ඒත් මෙවැනි ප්‍රශ්න මුල් කරගනිමින් අපේ රටේ ජනතා විරෝධ ගොඩ නැගෙන්නේ නැත​. අදවත් අප එයට සූදානම්ද ​?

 

පාලකයන් නීති වෙනස් කරන්නේ එයට විරුද්ධව නැගෙන මහජන විරෝධයන් හමුවේය​ යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ බව ඕනෑවටත් වඩා ඉතිහාසය විසින් ඔප්පු කර ඇත​. අධිකරණය ක්‍රියාත්මක වන්නේ රටේ තිබෙන නීති රීති අනුවය​. පොලිසිය කිසිදා මේ නීතිරීති වෙනස් කිරීම සඳහා කටයුතු කරන්නේ නැත​. එබැවින් සිය සේවාදායකයාට අහිතකර යල්පිනූ නීති ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන්ටය​. එසේ නොමැතිව කරන්නා වූ මල්වෙඩි සංදර්ශනවලින් පමනක් කිසිවක් සිදුවන්නේ නැත​.

 

නමුත් අපේ රටේ වෛද්‍ය වෘත්තිකයෝ රෝගී සත්කාර සේවාවේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගල නොකරති. ඔවුන් අරගල කරන්නේ "ඉක්ටා ගිවිසුම" හෝ "සයිටම්" වෙනුවෙනි. නැතිනම් තීරුබදු සහිත වාහන වැනි පුද්ගලික පරමාර්ථ හා අරමුණු වෙනුවෙනි. නීති වෘත්තිකයෝ සටන් කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව හෝ "සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට" විරුද්ධවය​. සුද්දාගේ යල් පැනගිය නීති අහෝසි කරන ලෙස හඬ නඟන්නේ නැත​. නමුත් සිදුවිය යුත්තේ වෘත්තීය හෝ දේශපාලන ඉල්ලීම් හා සමානවම සිය සේවාදායකයන්ගේ යහපත වෙනුවෙන් ද සටන් කිරීමය​.​ 

 

බටහිර වෘත්තිකයන් එහෙම වුනත් අපේ වෘත්තිකයන් මෙහෙමය​. එනයින් බලනකල අපේ වෘත්තිකයෝ බටහිර විරෝධීන්ය​.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com