master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යළි නැගිටින කොටි ගැන ඔඩ්ඩුසුඩාන් කැලෑවෙන් සාක්කි


2018-07-03 14:28:31 -  671 යි

ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කළ හැකි අනාගතයේ රට හමුවේ ඇති අභියෝගයක් ඇල්වතුරෙන් දිය කරන්නාක් මෙන් වසා දමන්නට ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදීත් උත්සාහ ගන්නා වග මේ සතිය වන විට අනාවරණය වූයේය.
සංහිඳියාවට මුවාවෙන් කොටි සංවිධානයේ යළි නැගිටීමේ ප්‍රයත්නය වසා දැමුවා පමණක් නොව කොටි ඔත්තුකරුවන් රටට හෙළි කිරීමේ චෝදනාවද ලැබුවේය.

අතුරුගිරිය මි‍ලේනියම් සිටි හි නිවසක පවත්වාගෙන ගිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කපිතාන් නිලාම්ගේ රහසිගත ඒකකය රටට පාවාදීමේ චෝදනාවද එජාප රජයට එල්ල වූයේ 2002දීය.
එදා එම පාවාදීමෙන් වසර දහසයකට පසුව මීළඟ පාවාදීම සිදු කෙරෙන්නේ ඔඩ්ඩුසුඩාන්හිදීය.

පසුගිය සතියේ (22) සිකුරාදා ඔඩ්ඩුසුඩාන්-පුදුකුඩිඉරිප්පු මාර්ගයේදී මාර්ග රාජකාරියේ නිරත ‍පොලිස් සැරයන් නෙරන්ජන් (10336) ‍පොලිස් කොස්තාපල් රත්නායක (8036) යන නිලධාරීන් දෙදෙනාට ව්කබ් 8007 දරන නිල් පැහැති ත්‍රිරෝද රථය තුළ හමු වූ ක්‍ලේමෝ බෝම්බය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමග ඔඩ්ඩුසුඩාන් සිද්ධිය කරළියට ආවේය.

‍පොලිසිය මගින් කරගෙන ගිය විමර්ශන, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ඊච්) වෙත භාර කිරීමත්  සමග මෙය සුළු සිදුවීමක් බවට පත් විය. මෙහි දී සිදුවූ බරපතළම කාරණය වූයේ යුද හමුදාවේ සිටි පැරණිම කොටි ඔත්තුකරුවකු ගැන උදයන් දෙමළ පුවත්පත මගින් රටට හෙළි කිරීමය. මෙම චෝදනාව ‍පොලිසිය වෙත දිගු වෙද්දී ඔවුන් චෝදනා කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙතය.

ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන අයුරෙන් අප සැමවිටම වගකීමෙන් ක්‍රියා කළේ රට හමුවේ ඇති කොටි තර්ජනය පමණක් හෙළි කරමිනි. රටේ කොඳු නාරටිය වන් බුද්ධි අංශයට අබමල් රේණුවකවත් බලපෑමක් නොවන්නට මෙන්ම බුද්ධි අංශයට එරෙහි දේශපාලන මෙහෙයුම්වලදී බුද්ධි අංශ වෙනුවෙන් පෙනී සිටින්නට අපි නිරන්තරයෙන් කටයුතු කළෙමු.

අපට තොරතුරු ගලාගිය ආකාරය සොයන්නට බුද්ධි නිලධාරීන් උත්සුක වන්නේ රජයෙන් එල්ල වන චෝදනාවෙන් ගැලවෙන්නටය. නමුදු අප ජාතික වගකීමක් සේ සලකා මෙය අනාවරණය නොකරන්නට ඔඩ්ඩුසුඩාන් බෝම්බ සිද්ධිය හමුදා බුද්ධි අංශයේ කරමතින්ම යැවීම අනිවාර්යයෙන්ම සිදුවන බව දන්නෝ දනිති.

පසුගිය සඳුදා යුද හමුදා මූලස්ථානයේදී හමුදා ප්‍රධානීන් රැස්ව සාකච්ඡා කර තිබුණේත් උදයන් පුවත්පතට හා අපට තොරතුරු ගිය ආකාරය සොයා බැලීම ගැනය.

උදයන් පුවත්පත මගින් මෙම 24දා හෙළිකර තිබුණේ ඔඩ්ඩුසුඩාන් බෝම්බ සිද්ධියේදී යුද හමුදාවෙන් පඩිගත් ඔත්තුකරුවකු එහි සිටි බවටය.

උදයන් දෙමළ පුවත්පතේ සඳහන් වූ පුවත ටැමිල්වින් වබේ අඩවියේ සඳහන් වූයේ මෙම ඔඩ්ඩුසුඩාන් සිද්ධියට අත්අඩංගුවට ගත් පස්දෙනකු අතරින් යුද හමුදා බුද්ධි අංශයෙන් මාසිකව මුදල් ලබාගත් අයකු සිටින බවට ‍පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇති බවත්ය. මෙම සිදුවීම පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලබාදුන් පූර්ණ වාර්තාවේ ඒ බව සඳහන් කර ඇති බවට උදයන් පුවත්පත අනාවරණය කර ඇතැයි ටැමිල්වින් වබේ අඩවිය සඳහන් කර තිබුණේය.

දැන් කාට ඇඟිල්ල දිගු කළද සිදුවූ විනාශය සිදුවී අවසන්ය. තමන්ගේ ඇතුළේ සිටම  හමුදාවට ඔත්තු දුන් පුද්ගලයා මෙම පස්දෙනා අතර සිටින බවට දැන් සියලු දෙනාට හෙළිකර අවසන්ය. මෙය මි‍ලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානක වන්නේ මෙකී ඔත්තුකරු ජාතික සම්පතක් වූ නිසාය. එවන් සුවිශේෂි ඔත්තුකරුවකු බිහිකරලීමත් හමුදා බුද්ධි අංශය සතු දක්ෂතාවකි. කොටි නායක ප්‍රභාකරන්ගේ සමීපතමයෙකු හමුදා ඔත්තුකරුවකු බවට පරිවර්තනය කර රටට මෙහෙවරක් කරන්නට කළ බුද්ධි මෙහෙයුමේ කීර්තිය හිමිවිය යුත්තේ සන්නද්ධ බුද්ධි බළකායේ ආරම්භක ‍‍‍ජ්‍යෙෂ්ඨයකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් වෙතය.

එවන් වටිනාකමක් ඇති ඔත්තුකරුවකු ගැන හෙළිවීමත් සමග ඔහුට මරණ වරෙන්තුව දීමට අනිවාර්යයෙන්ම විදෙස් රටවල සිටින කොටි නායකයන් ක්‍රියාත්මක වනු ඇත.

නෝර්වේහි සිටින නෙදියවන් මෙන්ම ප්‍රංශයේ සිටින විනයාකම්ගේ කොටි ඔත්තු ජාලයටත් හසු නොවූ මෙවන් පුද්ගලයකු ගැන රජයේ පාර්ශ්වයෙන්ම හෙළිකර දී කර ඇත්තේ බන්දේසියක තබා එම ඔත්තුකරු බිල්ලට දීමය.
සිව්වැනි ඊළාම් යුද්ධය 2009 මැයි 18දා අවසන් කිරීමෙන් පසුව යළිත් ප්‍රතිසංවිධානය වන කොටි ජාත්‍යන්තර ජාලයේ ඇතුළතට රිංගා ගන්නට සන්නද්ධ බුද්ධි බළකාය දක්ෂ වී තිබුණේය. ඒ තුළම සිටින කොටින්ගෙන් ඔත්තු ගැනීමට හැකිවීම රටේම ජයග්‍රහණයකි.

2016 මාර්තු 29දා චාවකච්ච්ෙරි ‍පොලිස් වසමේ මරවන්පුලම් මධ්‍යම ප්‍රදේශයේ වූ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක්, ක්‍ලේමෝ පැති බෝම්බ හතරක්, ක්‍ලේමෝ පුපුරුවා හරින බැටරි පැක් දෙකක්, මිලිමීටර් 9 උණ්ඩ පනහ බැගින් වූ පෙට්ටි දෙකක් හා අධි බලැති ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය කිලෝ විස්සක් සොයා ගැනෙන්නේය.

හිටපු කොටි සාමාජිකයකු වූ කබ්රියල් එඩ්වඩ් ජුලියට් (33) නමැත්තා බිරිඳ සමග රණ්ඩු වී පහරදීමෙන් පසුව එකී කාන්තාව යාපනය ‍පොලිසියේ කොට්ඨාස බුද්ධි ඒකකය වෙත ලබාදුන් ඔත්තුවකින් මෙම ආයුධ සොයා ගත්තේය. ඉන්පසුව ඉහළින් ‍පොලිසියට නියෝග කෙරෙන්නේ මෙම තොරතුරු පිටතට යාමට ඉඩ නොදෙන ලෙසටය. එමගින් සංහිඳියාවට බලපෑමක් එල්ල වෙතැයි රජයේ බලධාරින් සිතූ නිසා පරීක්ෂණ යට ගසා මෙය පසුපස හමුදා බුද්ධි අංශය සිටින බවට රටට ඒත්තු ගැන්නුවේය.

සන්නද්ධ බුද්ධි බළකායට මෙන්ම යුද්ධයේදී අනගි මෙහෙවරක් කළ නාවික හමුදා බුද්ධි අංශයටද මෙවැනිම බුද්ධි මෙහෙයුම්වලින් පසුව හිරේ තපින්නටද සිදුවූයේ සංහිඳියාව නිසාය. සංහිඳියාවට මුවා වී හිස ඔසවන කොටි ඩයස්‍පෝරාව හා එන්.ජී.ඕ. නඩවල වුවමනාවට බුද්ධි අංශ දඩයම් කළ මෙහෙයුමද එවන් පාවාදීමකි. ඔපරේෂන් ඩබල් ඒජ් මෙහෙයුම මගින් සන්නද්ධ බුද්ධි බළකාය සොයාගෙන තිබුණේ මුරලි නමැති කොටි නායකයකු යොදාගෙන සිංහල කොටින් සමග කොටි සංවිධානය දකුණේ කරන්නට ගිය මහා විනාශයන් රැසකි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඉලක්ක කරගෙන හමුදා මූලස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළ මංජුලා දේවි නමැති බෝම්බකාරියට ඉලක්කය ගැනීමට ඔත්තුව ලැබෙන්නේ හමුදාපතිවරයාගේ කෝකියා වූ සිද්ධික්ගෙන්ය. යාපනයේ ආඥාපතිව සිටියදී ජෙනරාල් ෆොන්සේකාගේ කෝකියා වූ සිද්දික්ව කොටින්ගේ වැටුප් ලබන ඔත්තුකරුවකු කරගෙන තිබුණේ කොටි සංවිධානය ලක්ෂ ගණන් වැටුප් ගෙවමිනි. මේ සියලු බුද්ධි මෙහෙයුම්වලදී බුද්ධි අංශවල දක්ෂතාව මත ඔත්තුකරුවන් තම පැත්තට නම්මවා ගත්තේය.

ඔඩ්ඩුසුඩාන්වලදී හමු වූ අවි ආයුධ සමග හසුවූ කණ්ඩායමේ සිටි ඔත්තුකරුද එවන් බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස කොටින් අතරට රිංගවූ වටිනා සම්පතකි.

ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනපති හා අගමැති ඉදිරියේදී සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එල්ටීටීඊය අලුතෙන් හිස ඔසවමින් යන ආකාරය ගැන වූ බුද්ධි තොරතුරු කාලයක් තිස්සේ ඉදිරිපත් කර තිබිණි.

වසරකට ඉහත සිට ඇරඹුණු මන්නාරම හා පුදුකුඩිඉරිප්පු මූලික කරගෙන සිදු කරන එල්ටීටීඊයේ නැවත නැගිටීම ගැන සොයාගෙන ඇරඹි හමුදා මෙහෙයුම යුද හමුදා මූලස්ථානය දැනුවත්ව සිදුවූවක් විය. බුද්ධි අංශයේ දක්ෂතාව මත කොටි සංවිධානයට නොදැනෙන්නට රිංගවූ කොටින්ගේම වැඩකරුවන් ලවා දිනෙන් දින සිදුවන කොටි ක්‍රියාකාරකම් මෙම මෙහෙයුම මගින් කරළියට ගෙනැවිත් තිබුණි.

ආරක්ෂක ‍ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් පසුගිය ජුනි 20දා විදෙස් රටවල සිටින කොටි ප්‍රබලයන් දාහතර දෙනකුට මෙරටට ඇතුළු වීම තහනම් කරමින් පැනවූ නියෝගයද පනවන්නට බුද්ධි තොරතුරු එක්රැස් කෙරුණේද මෙම හමුදා බුද්ධි මෙහෙයුමෙනි.

මෙම බුද්ධි මෙහෙයුමට අනුව ප්‍රංශය, මැ‍ලේසියාව, කටාරය, ඉන්දියාව, ජර්මනිය, නෝර්වේ ඇතුළු රටවල සිට දෙමළ ඩයස්‍පෝරාවේ නායකයන් යළි එල්ටීටීඊය නගාසිටුවීමට වෙර දරන ආකාරයද අනාවරණය වී ඇත. විදෙස් රටවල සිට අරමුදල් ගලා එන්නේද නැවත නගා සිටුවීමේ මෙහෙයුමක් සඳහාය. ඒ සඳහා එල්ටීටීඊය අත දිගහැර මුදල් වියදම් කරන බවද හෙළිවී ඇත.

මෙකී මෙහෙයුමට කිලිනොච්චි, මුලතිව්, ඔඩ්ඩුසුඩාන්හිදී යුද සමයේ වළ දැමූ අවි ආයුධද කාලාන්තරයක් තිස්සේ ගොඩ දමා එකතු කර ඇති වගද මන්නාරම මුහුදු තීරය ඔස්සේ අවි ආයුධ රැගෙනවිත් ඇති වගද හෙළි වූයේය. එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය නිද්‍රාශීලී කොටි ත්‍රස්තයන්ගේ හිස එසැවීම සඳහා මන්නාරම ප්‍රදේශය තෝතැන්න කරගෙන ඇති බව බුද්ධි අංශ මීට පෙර  පෙන්වා දුන්නෙමු.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානීන් විසින් මන්නාරම නිල කේන්ද්‍රස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ භූමියේ ඇති වාසිය සැලකිල්ලට ගෙනය.

මන්නාරමේ සිට සිදු කෙරුණ මෙම හිස එසැවීම තවත් තහවුරු වන්නේ නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණි සාගයා ස්ටීෆන් නමැති තලෙයිමන්නාරමේ පදිංචිකරුවකු ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළේදී මෙම 27දා අත්අඩංගුවට ගැනීමත් සමගය. මොහු සමග පැමිණි අනෙක් දෙදෙනා කැලෑවකට පැන පලාගොස් තිබූ අතර ඔවුන් ඉන්දියාවට ගිය බෝට්ටුව සොයාගෙන තිබුණේය.

මෙම හදිසි මෙහෙයුම සිදුවන්නේ ඉන්දියාවේ රාමේෂ්වරම්හිදී ඉකුත් අඟහරුවාදා (26) පතොරම් පෙට්ටි පනහක්, සැහැල්ලු මැෂින් තුවක්කු 41ක්, බිම් බෝම්බ 05ක්, මැෂින් තුවක්කු 22ක් ඇතුළු අවි ආයුධ සොයා ගැනීමත් සමගය.
යාපනයේ, චාවකච්ච්ෙරියේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමග අල්ලාගත් එඩ්වඩ්ද මන්නාරමේ මුරුක්කන් පදිංචිකරුවෙකි.

මන්නාරමෙන් අවි ආයුධ එක්රැස් කරන අතරේ පුදුකුඩිඉරිප්පු පිහිටි කරන්ගේ ගරාජයේදී දිනේෂ් ඇතුළු කණ්ඩායමට අවශ්‍ය යතුරුපැදි හා ත්‍රීවීල් සකස් කර තිබුණේය. දිනේෂ්ගේ පල්සර් යතුරුපැදියේ පැත්තක මයික්‍රෝ පිස්තෝලයක් රැගෙන යාහැකි අයුරින් රහසිගත තැනක්ද සකස් කරගෙන තිබුණේය. උතුරු නැගෙනහිර හා වන්නියෙන් සාමාජිකයන් බඳවාගෙන දිගුකාලීන මෙහෙයුම් සඳහා සූදානම් වීමට අවි ආයුධ රැස් කිරීම මෙම සියලු කණ්ඩායම්වලට ලබාදී තිබූ මූලික ඉලක්කය වී තිබුණේය.

බුද්ධි අංශ වාර්තා කර ඇති පරිදි යළි නැගිටින කොටි සාමාජිකයන් දෙමළ ජාතියේ ද්‍රෝහීන් ලෙස නම්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. මෙන්ම දකුණේ නායකයන්ද ඉලක්ක කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි නැගිටින කොටින්ගේ ප්‍රබල ඉලක්ක වී ඇති බව බුද්ධි අංශ අනාවරණය කර තිබෙන්නේය.

මෙවර ප්‍රභූ ඉලක්ක සඳහා යළි නැගිටින කොටි පෙරටත් වඩා සංවිධානාත්මකව එන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් පාතාලයද එකතු කරගෙන නිසා ප්‍රභූ ජීවිතවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව බුද්ධි අංශ පෙන්වා දෙයි. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ හා ‍පොලිසියේ සාමාජිකයන් පවා දැනටමත් කොටින්ගේ ඔත්තුකරුවන් ලෙස මුදල් වියදම් කර එක් කරගෙන ඇති වගද අනාවරණය වන්නේය.

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය වන වග පිළිගන්නට වත්මන් බලධාරීන් අකමැති වුවද, එන්.ජී.ඕ. කාක්කන් අකමැති වුවද රට හමුවේ ඇති අභියෝගය බුද්ධි අංශ ජාතික ආරක්ෂක මණ්ඩලය හමුවේම අනාවරණය කර ඇත.

ජාතික ආරක්ෂක මණ්ඩලයේ නියෝග මත හමුදා බුද්ධි වාර්තා කාලයක් තිස්සේ ‍පොලිස්පතිවරයාට යොමුකර ඇත්තේද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලවා ඉදිරි විමර්ශන කරන්නටය. ඒ සන්නද්ධ බුද්ධි බළකායට මෙම විමර්ශනවලදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට නීතිමය බලයක් නොමැති නිසාය.

දැන්වත් සිදුවිය යුත්තේ ජාතික ආරක්ෂාව ගැන සිතා යුද හමුදාපතිගේ සෘජු අධීක්ෂණය යටතේ හෝ මෙම බුද්ධි මෙහෙයුම හැකි අයුරෙන් ක්‍රියාත්මක කර රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com