master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාතරදී මතක හිටින පාඩමක් ඉගෙන ගත් කොස්ගොඩ තාරක ප්‍රධාන පාතලයින් හත් දෙනාගේ කැරැට්ටුව මෙන්න....


2018-07-03 10:51:43 -  3181 යි

දිවයිනේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වු මාකදුරේ මදුෂ් ඇතුළු ගෝලයින්ගේ පාතාල ක්‍රියාකාරකම් මීට පෙර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවත් කොස්ගොඩ තාරකගේ කල්ලියෙන් මිට පෙර එවැනි තර්ජනයක් ඇති නොවීය.රට පුරාම තමන්ට රිසි පරිදි බැංකු හා මූල්‍ය ආයතන මංකොල්ලකමින් මහ දවල් මිනිසුන් මරා දමමින් පාතාලය මෙහයවු කොස්ගොඩ තාරක අවසානයේ පාඩමක් ඉගෙන ගත්තේ මාතරිනි.

මාතර මිනිස්සු බුද්ධිමත්ව කටයුතු කර ඔවුන්ගේ යතුරුපැදි උස්සා සැගවුවා පමණක් නොව ඉක්මණින් ඒ බව පොලීසිය වෙත දැනුම් දීමටද ක්‍රියා කලේය.මේ නිසා හැම ගසකටම කොට කොටා ගීය කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටන විට හොට පටලවා ගත් ආකාරයටම කොස්ගොඩ තාරකට ද සිදු වුයේ එවැන්නකි.තම ජීවිතය පූජා කර හෝ සටන් කර මංකොල්ලය නතර කිරීමට පුලුවන් පොලිස් වීරයන් ද මාතර සිටීම තුල ඔහුගේ උත්සාහය වැරදුණු කුරුමානමක් බවට පත් විය.

ඒ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා යටතේ පවතින මාතර පොලීසියේ සැරයන් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වික්‍රමාන්විත සටන්කාමීත්වය නිසාය.

යම් හෙයකින් පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ ගිනි අවිය අතර අතරමගදී ක්‍රියා විරහිත නොවුනා නම් කොස්ගොඩ තාරක ඇතුළු කල්ලියට සිදු වන දෙය සිතා ගැනීමටත් නොහැකි වනු ඇත.අවසානයේ ඔවුන්ට සිදු වූයේ රෝහලෙන් දුන් සුදු රෙදි කැබැල්ලකින් නිරුවත වසා ගෙන බල්ලන් මෙන් රෝහලේ ඇදවල් වලට වී සිටීමටය.

ඔවුන්ගේ සගයෙකු වු ඉන්ද්‍රජිත් නැමැත්තාට පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදු වු දෙය පිලිබඳව කිඹුල් කඳුලු හෙලන ඇතැම් දේශපාලඥයින්ට පොලිස් කොස්තාපල් වරයාගේ බිරිදගේ අදෝනාව හෝ ඒ දරු පැටවු දෙදෙනාගේ අසරණකම නොපෙනීම කණගාටුවට කරුණකි.ඒ වගේම කිසිම දෙයකට සම්බන්ධයක් නැතිව පාරේ යමින් සිටියදී පාතාලයින්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතයත් මරණයත් අතර පසුවන බස් කොන්දොස්තරවරයාගේ බිරිදට හා දරුවන් සිව් දෙනාට සිදු වු දෙය අමතකය.

කෙසේ වෙතත් කොස්ගොඩ ,නානතොට ,නෙල්ලිගස් කැලේ පදිංචි ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හිටපු යුධ හමුදා ඉංජිනේරු බලකා සෙබලෙකි.නමින් ධර්මකීර්ති වුවත් හැමවිටම අධාර්මිකව කටයුතු කල ඔහු පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ්ගේ ප්‍රතිවාදී කල්ලි නායකයෙකු ලෙස සැලකේ.එමෙන්ම මදුෂ්ට හිතවාදී කොස්ගොඩ සුජීගේ කල්ලිය සමග නිතර ගැටුම් ඇති කර ගන්නා ඔහුගේ නම ඉදිරියේ නම ගිය අපරාධ රැසක් සටහන් වී තිබේ.

2017 වසරේ නොවැම්බර් මස 29 වැනි දින ගිනි අවි වලින් වෙඩි තබා ඌරගස්මංහන්දිය යුදපිටියේ දී ගජමුණි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා,අයේෂ් ධනංජය ද සොයිසා හා දුමිදු විශ්මිත ද සොයිසා යන තිදෙනා ඝාතනය කිරීම ඔහු ඇතුළු පාතාල කල්ලිය විසින් සිදු කර ඇත.

එදිනම කොස්ගොඩ මැණික් ගම්මානයේ පදිංචි උස්වත්ත ආරච්චිගේ කපිලරත්න නැමැති අය වෙඩි තබා ඝාතනය කර තිබේ.තවද එම දිනය තුලදීම කොස්ගොඩ කුරුදු ගස් පිටියේ පදිංචි සදීප සුරංජන් සිල්වා යන අයට වෙඩි තබා බරපතල තුවාල සිදු කර තිබුණි.

ඉකුත් අප්‍රේල් මස 21 වැනි දින නිට්ටඹුව පොලිස් වසමේ අත්තනගල්ලේදී ගිනි අවියකින් වෙඩි තබා අවුරුදු උත්සවය සංගීත සංදර්ශනයකට සහභාගී වී සිටි පස් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම හා තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලියක් විසින් සිදු කර ඇත.

2017 වසරේ මැයි මස 26 වැනි දින මීරිගම නගරයේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ගිනි අවි පෙන්වා රුපියල් විසි තුන් ලක්ෂ තිස් හය දහසක් කොල්ලකෑම මෙන්ම එදිනම මීරිගම ඉන්ධන පිරවුම්හල අසලදී රුපියල් එක් ලක්ෂ විසි දහසක් වටිනා යතුරු පැදියක් මංකොල්ලකා තිබේ.
2017 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින තංගල්ල කුඩාවැල්ල රජයේ බැංකුවක් තුලට කඩා වැදී ගිනි අවි පෙන්වා ලක්ෂ 56 ක මුදලක් මංකොල්ලකෑවේද කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලිය විසිනි.

2015 මාර්තු 05 වැනි දින කොස්ගොඩ දී වෑන් රථයක් මංකොල්ලකා ඇති අතර එම නඩුව ලබන නොවැම්බර් 11 වැනි දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

2011 ජූලි මස 18 වැනි දින කොස්ගොඩ රාජ්‍ය බැංකුවකට ඇතුළු වී රුපියල් විසි තුන් ලක්ෂ තිස් පන්දහසක් වටිනා මුදල් හා රන් ආභරණ ද බෝර 12 තුවක්කුවක් මංකොල්ලකෑමද සිදු කර ඇත්තේ ඔහුගේ මූලිකත්වයෙනි.

2015 මාර්තු 17 වැනි දින මොරටුව පොලිස් වසමේ සිදු වු මංකොල්ලයකටද ඔහු සහභාගි වී ඇත.2012 ජනවාරි 13 වන දින පිස්තෝලයක් හා උණ්ඩ තුනක් ලග තබා ගැනීම හා 2015 ජුනි 15 වැනි දින ජීව අත්බෝම්බයක් හා රිවෝල්වරයක් ලග තබා ගැනීම යන වැරදි වලට ඔහු කොට්ටාව පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. 
කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන ධර්ම කීර්ති මදුක පෙරේරා නැමැත්තා ද එම අපරාධ රැසක සැකකරුවකු වන අතර ඊට අමතරව 2017 නොවැම්බර් 29 වැනි දින කොස්ගොඩදී උස්වත්ත ආරච්චිගේ විමලරත්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීම හා 2015 ජනවාරි මස 06 වැනි දින ගැණුනි මහින්ද ප්‍රේම රාජයාගේ නිවසට පැන තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කිරීම යන චෝදනාවන්ට ලක්ව තිබේ.

මාතරදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සගවා ඇති බෑගයක් පෙන්වීමට යාමේදී පොලීසියට අත්බෝමාබයක් එල්ල කිරීමට උත්සාහ කල විට පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වු බව කියන වේයන්ගොඩ මාලිගාතැන්න පදිංචිව සිටි තුවක්කුවේ කංකානම්ලගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නොහොත් චාමර හිටපු යුධ හමුදා කොමාන්ඩෝ සෙබලෙකි.

2016 දෙසැම්බර් 24 වැනි දින වේයන්ගොඩ දී ගිනි අවියකින් වෙඩි තබා උදම්විට සමරේ ඝාතනය කිරීම හා තවත් අයෙකුට වෙඩි තැබීම,2016 මාර්තු මස 03 වැනි දින දෙමටගොඩ දී බන්ධනාගාර බසයක ගමන් කල පාතාල කල්ලියකට වෙඩි තැබීම.,2009 දෙසැම්බර් 19 දින වේයන්ගොඩ නයිවල දී ගිනි අවි පෙන්වා රුපියල් හැත්තෑපන් දහසක් මංකොල්ලකෑම,ඉකුත් මැයි 24 වන දින නිට්ටඹුව පනාවලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර ඇගේ දරුවාට තුවාල සිදු කිරීම ආදී අපරාධ රැසක් සිදු කර තිබේ.ඒ කොස්ගොඩ තාරක සමග සිදු කල අපරාධ වලට අමතරවය.

ඔහුගේ විශාලතම මංකොල්ලය වන්නේ 2010 වසරේ නොවැම්බර් මස 23 වැනි දින පොලිස් නිල ඇඳුමින් සැරසී පෑලියගොඩ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 632 ක් මංකොල්ලකෑමය.

අනුරාධපුර දුටුවැව පදිංචි හිරන්දෙනිය ගෙදර අතුල කිත්සිරි නොහොත් මලා හිටපු යුධ හමුදා ඉංජිනේරු බලකා සෙබලෙකි.ඔහුට මාරවිල පොලිස් වසමේ රන් මාල කොල්ලකෑම් ගණනාවක් පවතින අතර 2017 දෙසැම්බර් 05 වන දින හික්කඩුව හෙන්නාතොටදී වෙඩි වැදීමකට ලක්ව තුවාල වු අයෙකි.

දැනට මාතර සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටින බලපිටිය රේවත පාරේ යද්දෙහිගේ දිල්ශාන් මධුසංඛ ද සිල්වා යන අය ඉහත කොස්ගොඩ තාරක මෙහෙයවු අපරාධ හයක චෝදනා එල්ල වී තිබේ.
ඊට අමතරව කොස්ගොඩ නානතොට නදුන් චානක අබේසේකර නොහොත් කොස්ගොඩ චූටි හා හෝමාගම හබරකඩ වසන්ත කුමාර පෙරේරා නොහොත් හබරකඩ වසන්ත යන අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දෙදෙනා ද ඒ ආකාරයටම මිනිමැරුම් හා මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක සැකකරුවන් වෙති.

මෙම සැකකරුවන් හත් දෙනාටම මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සහ ගිනි අවි පෙන්වා යතුරුපැදි තුනක් මංකොල්ලකෑම ආදී චෝදනා එල්ල වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී රටක පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ඝාතනයට ලක් වීම අනුමත කල නොහැක්කකි.

එමෙන්ම පාතාලයන් කියන තම විරුද්ධවාදීන් දඩයම් කරන්නේ නම් එය ඊටත් වඩා අපරාධයකි.එහෙත් පාතාලයින් ඇතැම් දේශපාලඥයින් විසින් පෝෂණය කරන බව නොකියාම බැරිය.ඊට හේතුව ඔවුන්ගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවන්නේ ඔවුන් විසින්ය.පවතින නීතියේ කුමන හෝ හිඩැසක් නිසා එකම දේ නැවත නැවත සිදු වන බව පැහැදිලිය.අපරාධයක් සිදු කල පසු එය විභාග කර නඩුව අවසන් වන තෙක්ම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන්නේ නම් මේ තත්වය යම් හෝ ආකාරයකින් පාලනය කල හැකිය.එසේ නොමැති වු විට ඊයේ මෙන්ම අදත් අද මෙන්ම හෙටත් මෙවැනි අපරාධ තවදුරටත් සිදු වනු ඇත.

වසර දහයක පමණ කාලයක සිට මේ තරමට අපරාධ සිදු කරමින් අවස්ථා ගණනාවකදී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ පසුවී ඇප ලබා ගෙන පිටතට පැමිණ යලි යලිත් එවැනිම අපරාධ සිදු කරන ඔවුන්ට තවමත් හරිහැටි නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.බොහෝ නඩු වල නීතිපති උපදෙස් පොලීසිය ඉල්ලා ඇතත් වසර ගණනක් යන තෙක් නීතිපති උපදෙස් නොලැබීම ද මීට ප්‍රධාන හේතුවකි.නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් පසුගියදා විශාල ලෙස වැඩි කලද මෙවැනි අපරාධ කරුවන්ට එරෙහිව එම උපදෙස් ප්‍රමාද වීම තුල ඔවුන්ගේ කාර්යක්ෂමතාවය මනාව පිලිබිඹු වෙයි.

ඊට අමතරව අධිකරණ වල ගොඩ ගැසී තිබෙන විශාල නඩු කන්දරාව නිසාද එම නඩු ප්‍රමාද වී යුක්තිය ඉටු වීමද දිනෙන් දින කල් යමින් තිබේ.නීතියේ පවතින කුමන දුරාවලතාවයක් නිසා අවසානයේ වටිනා ජීවිත නැති වන්නේය.අපරාධ රැසක සැකකරුවන් වුවත් කෙටි කාලයක් බන්ධනාගාරයට යමින් එමින් ඔවුන් සමාජයට සිදු කරන හානිය සුලු පටු නොවේ.

එම නිසා පාතාලය මර්ධනය කල යුතුද එසේත් නොමැති නම් පාතාලය සුරතල් කල යුතුද යන්න තීරණය කල යුතු කාලය එලඹ ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com