master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරගෙදර ඇලෝසියස් පස් වැනි මාසයත් ගෙවන හැටි


2018-07-02 15:59:56 -  694 යි

පර්පෙචුවෙල්  ටේ‍රෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මැගසින් බන්ධනාගාර ගත කළේ පසුගිය පෙබරවාරි 4 වන දාය. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයකට අනුවය.
මැගසින් බන්ධනාගාරයේ  එච් කාමරයේ    රඳවා සිටි අර්ජුන් ඇලෝසියස්ව සහ කසුන් පළිසේන පසුගිය සතියේදී ඊ වාට්ටුව වෙත මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය. එසේ ඔවුන්ව මාරු කරන ලද්දේ දඬුවමක් ලෙසය. ඔවුන් සිටි කාමර පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථනයක් තිබිම මෙසේ ස්ථාන මාරු දඬුවමට හේතුවක් වූවේය.

ලක්සරි ජීවිතයෙන් ඈත්ව බන්ධනාගාර ගත වූ ඇලෝසියස්ට සිරකුටියක් තුළ ගත කිරීමට සිදු වූයේ දින කීපයකි. බන්ධනාගාර රැඳවියන් තුළ සුළභව දක්නට ලැබෙන රෝගයක් වූ කස කසානා  හෙවත් පණු රෝගයෙන් පීඩා විඳින්නට ඔහුට සිදු විය. එපමණක් නොව සිරකුටිය තුළ පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වයේ ප්‍රතිඵලක් ලෙස අර්ජුන් ඇලෝසියස්ගේ සිරුර පුරා දහඩිය බිබිලිද හට ගැනුණි. මෙයින් දරුණු ලෙස පීඩා විඳි ඔහු අවසානයේ ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළේය. එහි වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කළ අතර එහිදී ඔහුට වැළදී ඇත්තේ බන්ධනාගාරයේ රැඳවියන් තුළ සාමාන්‍යයෙන් හට ගන්නා  සමේ රෝගයක් බව  හඳුනා ගත්තේය.

සමේ හට ගත් එම රෝගී තත්ත්වයට අමතරව කොන්දේ වේදනාවක් ද ඇලෝසියස්ට  ඇතිවී තිබුණේය. වෛද්‍යවරුන්  ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කළේ බිම නිදාගැනීම හේතුවෙන් මෙසේ කොන්දේ වේදනාව හට ගෙන ඇති බවකි. මෙය නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතු රෝගී තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් වෛද්‍යවරුන් එයට ප්‍රතිකාර ලෙස ලබා දුන්නේ අඟලක් පමණ උසකින් යුත් මෙට්ටයකි.

එහෙත් ඇලෝසියස්ට අවශ්‍ය වූයේ එම රෝගී තත්වයට මුවා වී බන්ධනාගාර රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමටය. එහෙත් ඇතැම් වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ ඇලෝසියස්ව  බන්ධනාගාරය වෙත යැවීමය. එහෙත් ඇලෝසියස්  වෛද්‍යවරුන් කීපදෙනෙකු සමග හිතවත්කම්පාමින් ඔවුන්ගේ රැකවරණය ලබාගනිමින් රෝහල තුළ රැඳී සිටීමට උත්සාහ ගෙන ඇත. නමුත් අවසානයේදී වෛද්‍යවරුන් නිර්දේශය වූයේ ඇලෝසියස්ව  බන්ධනාගාරය වෙත යැවීය යුතු බවකි.

මේ වන විට බන්ධනාගාර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මෙන් අර්ජුන් ඇලෝසියස්වද රෝහ‍ලේ රඳවා ගැනීමට ඇතැම් වෛද්‍යවරුන් කටයුතු කළද දුමින්ද සිල්වාට එම අවසරය වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලබා දී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. එහි සඳහන් වූයේ ඔහුව විෂබිජවලට නිරාවරණය නොකළ යුතු බවකි. මේ හේතුවෙන් දුමින්ද සිල්වාට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය ලැබි ඇත්තේය.

දුමින්ද සිල්වා සිරිතක් ලෙස රෝහල් වාට්ටුව තුළ තම ආගමික වතාවත් යෙදේ. ඊට අමතරව දිනපතා පුවත්පත් කියවීම, මිල අධික බෙහෙත් ලබාගැනීමට නොහැකි වන අසරණ රෝගීන්ට බෙහෙත් මිලදී ගැනීමට උදව් උපකාරී කිරීම ආදී සමාජ සත්කාරයන්ගේ  යෙදීම, පෞද්ගලික ලියකියවිලි පරීක්ෂා කිරීම පුරුද්දක් ලෙස කරන්නකි.

ඇලෝසියස් බන්ධනාගාර රෝහල් වාට්ටුව තුළ සිට මේ සිදුවීම් බලා සිටියා විය හැකිය. එහෙත් ඔහුට වැඩිදුරටත් එහි රැඳීමට නොහැකි විය. රෝගයක් නොමැතිය රෝහල් වාට්ටුවක නේවාසිකව සිටීම තහනම්ය. මේ හේතුවෙන් ඔහුව බන්ධනාගාරට යැවීමට සිදුවිය.

බන්ධනාගාර  කාමරය තුළ ටීෂර්ට එකකින් සහ දිග කලිසමකින් ඇලෝසියස්ව නිතරම සැරසී සිටින්නේය. ඔහුට තුන් වේලටම සිය නිවසෙන් ආහාරපාන ලැබෙන අතර ඉඳහිට ඉංග්‍රීසි පත්තරයක් කියවීමටද ඇලෝසියස් කටයුතු කරන්නේය. කොහොම නමුත් බන්ධනාගාර නිලධාරීන් දෙස එක එල්‍ලේ බලා නොසිටීම මොහු පුරුද්දක් කරගත්තේය.

කා සමගවත් කිසිම කථාවක් බහක් නොමැතිව කල් ගෙවන ඇලෝසියස් උසාවි  දිනයට ඉතාමත් සතුටින් උසාවිය වෙත යන්නේය. ඔහුට නැවත බන්ධනාගාරය වෙත ඒමට සිදුවුවහොත්  එසේ පැමිණ අඬන බවද බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේය.

කෙසේ නමුත් බන්ධනාගාරය වෙත පැමිණෙන බොහෝ බලවතුන්  රෝගයක් නැතත් රෝහල් වාට්ටුව වෙත රඳවා ගැනීමට බොහෝ පිරිසක් උත්සාහ දරන්නේය.

රජයේ නියෝජ්‍ය ඇමැති කෙනෙකුගේ සහෝදරයකු පසුගියදා කුමන හෝ කරුණක් හේතුවෙන් බන්ධනාගාර ගත විය. එහෙත් ඔහු නතර වූයේ බන්ධනාගාර රෝහ‍ලේය. වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කළද ඔහුට කිසිදු රෝගයක් නොමැති බව වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදීත් ඔහුව රෝහ‍ලේ නේවාසිකව තබා ගැනීමට ඉහළින් නියෝගයන් ලැබෙන බවට සැකයක් මතුව ඇතැයි වාර්තා විය.

ඇති හැකි අය බන්ධනාගාරගත වූ විට ඔවුන්ව බන්ධනාගාර රෝහල තුළ රඳාව ගැනීමට වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දීමේ ජාවාරමක්ද ජයටම කෙරෙන බව බන්ධනාගාරය තුළ අසන්නට ලැබෙන ප්‍රසිද්ධ රහසකි. ඇලෝසියස්ව බන්ධනාගාර රෝහ‍ලේ රඳවා ගැනීමට ඇතැම් වෛද්‍යවරුන්ට විශාල වශයෙන් මුදල් ලබා දීමක් සිදුව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබි තිබෙන බැවින් මේ වනවිටත් එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඇලෝසියස්ට රාත්‍රී කාලයේදී  කොට්ටයක් ලබා දීමට උත්සාහ කළ වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබි ඇති බවද එම නිලධාරීයා සඳහන් කළේය.

එහෙත් බන්ධනාගර රෝහ‍ලේ ඇතැම් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ රෝහලට වෙත පැමිණෙන  රැඳවියන්ව හොඳින් පරීක්ෂා කර ඔවුන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට තරම් රෝගයක් නොමැති නම් වහාම බන්ධනාගාරය වෙත යැවීමට ක්ෂණයකින් කටයුතු කරන බවකි.

කෙසේ නමුත් බන්ධනාගාර රෝහ‍ලේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන්  අපි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ.

යම් යම් සිදුවීම්වලට සම්බන්ධ වෛද්‍යවරුන් කීපදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන්ව රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් තව එක වෛද්‍යවරයෙක් රෝහ‍ලේ රැඳී සිටින නමුත් ඔහු සම්බන්ධයෙන් කිසිවක් නොකරන්නැයි ඇමැතිවරයා සඳහන් කළ බවකි. අපි ඇමැතිවරයාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com