www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධුෂ්ගෙ ගුරු කඹුරුපිටියෙ තිලක්ටත් විල්පිට කැ‍ලේදි මාරයා එයි


2018-07-02 15:43:00 -  2222 යි

නි‍ලේකා ජුවලරි කොල්ලයට සම්බන්ධ පාතාල අපරාධකරුවෙක් මාතර කිරල කැ‍ලේදී ‍පොලිස් වෙඩි පහරකින් ඝාතනය වීම ගැන සමාජයේ මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයේ දැවැන්ත කතාබහක් ඇතිවෙමින් තිබියදී ඩුබායි සිට මෙරට පාතාලය මෙන්ම මත්කුඩු ජාවාරමේ නිරතව සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙක්ද ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යන්නේ පසුගිය 25 වෙනිදාය. ඒ අකුරැස්සේ විල්පිට රක්ෂිතයේදීය.
ඔහු හේවාසුදු අකුරගේ මානෙල් රෝහණ හෙවත් තිලක්ය. හතලිස් වියැති තිලක්, කඹුරුපිටියේ හොරපාවිල පැත්තේ වැසියෙකි. අපරාධ ලෝකය ගැන මධුෂ්ට මුල්ම පාඩම කියා දී ඇතැයි සඳහන් වන්නේ ඔහුය. මධුෂ් ඩුබායි රටට පැනගත් පසුව දකුණේ ඇති ඔහුගේ ව්‍යාපාර සියල්ල බලාකියාගෙන ඇතැයි පැවසෙන්නේ තිලක්ය. මිරිස්ස සහ වැලිගම පැත්තේ ධීවර වරායවල ඇතැයි පැවසෙන මධුෂ්ට අයත් බහුදින යාත්‍රා මෙහෙයවන බව කියන්නේද ඔහුය. මධුෂ්ගේ දකුණේ මත්කුඩු ජාලයේ මුල්පුරුක ලෙස හඳුනාගෙන සිටින්නේද ඔහුය.

‍පොලිසිය සඳහන් කරන ආකාරයට අනුව මීගමුව, ගම්පහ, ගාල්ල, කිරිටියාන ආදී ප්‍රදේශවල පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන රැසක සිදුවුණු කොල්ලකෑම් ඉදිරියේ ඉහළින්ම ලියැවී ඇති නාමයක් වන්නේ තිලක්ය. එකී සෑම කොල්ලකෑමකටම මධුෂ්ගේද සම්බන්ධයක් පැවතිණි. මධුෂ් අපරාධ ලෝකයට අත‍පොත් තබමින් සිටියේ එකලය.
මංකොල්කෑම් පමණක් නොව. තිලක්ගේ නම ඉදිරියේ ඝාතන කිහිපයක්ද ලියැවී ඇත්තේය. කඩවත සහ මාවරල පැත්තේ ඝාතන දෙකකට මෙන්ම අලුත්ගම පැත්තේ සිදුවුණු ද්විත්ව ඝාතනයකටද තිලක් වගකිව යුතුය. ‍පොලිස් විශේෂ කාර්ය බළකාය කාලයක් තිස්සේ තිලක් පසු පස පන්නමින් සිටියේ එකී පැරණි ගොනු හාර අවුස්සමින් ඒ ඔස්සේ ඔහුව නීතියට කොටුකර ගන්නට නොව. ‍පොලිසියට පවා අභියෝග කරමින් ඩුබායි හී රැඳෙමින් මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් චරිතයට පණ‍පොවන මාකඳුරේ මධුෂ්ගේ බල බිඳින්නටය. ඒ දකුණු පළාතේ මධූෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් සියල්ලක්ම සිදුවූයේ තිලක් හරහා බැවිනි.

මෙරට මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරය පවා හිමිකර ගැනීමට සැරසෙන මාකඳුරේ මධුෂ් ප්‍රතිවාදීන්ට පහරපිට පහර එල්ල කරන්නේ මුළු රටේම පාතාලය සියතට ගනිමිනි. කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කරමින් සමයං නමැති පාතාලයේ ප්‍රබලයා මරා දැමීම පිටුපස සිටින්නේද මාකඳුරේ මධුෂ්ය. අංගොඩ ලොක්කා, කොස්ගොඩ තාරක, ගනේමුල්‍ලේ සංජීව, බ්ලූමැන්ඩල් සංඛ , ආමි සම්පත්, කෙසෙල්වත්තේ දිනුක ආදී පාතාලයේ ප්‍රබලයින් තමන්ගේ සුවච කීකරු ගෝලයින් බවට පත්කරගෙන සිටින මාකඳුරේ මධුෂ් ‍පොලිසියට අත තියන්නේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ‍පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට පිළියන්දලදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරමිනි. එහිදී ‍පොලිස් නිලධාරීයෙක් සහ අසල වෙළෙඳසලක සිටි අහිංසන දියණියක් මිය යන අතර තුන් හතර දෙනෙක්ම තුවාල ලැබූහ. එයින් නොනැවතුණු මධුෂ් ඔහු ගැන පරීක්ෂණ පවත්වන මිරිහානේ පිහිටි විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාටත් ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ‍පොලිස් සැරයන් දාස්ගුප්තාටත් ඔහු දුරකථනයෙන් කථාකොට මරණීය තර්ජන එල්ල කළේය. ඊට අමතරව තවත් ‍පොලිස් නිලධාරීන් රැසකට මෙන්ම ඉහළම ‍පොලිස් නිලධාරියෙකුට පවා ඔහු තර්ජනය කර තිබුණේය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ආරක්ෂක ‍ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට පවා මාන බැලූවෙකි. මැති ඇමැති මට්ටමේ සිට දේශපාලනඥයන් බොහෝ දෙනෙක් සමග සමීප සම්බන්ධකම් පවත්වන මාකඳුරේ මධුෂ් මට්ටු කරන්නට ‍පොලිසියට පවා හැකියාවක් නොලැබෙන්නේ ඔහු ඩුබායි රටේ සිටි බැවිනි. එබැවින් මධුෂ්ගේ බලය බිඳීමට සැබෑ වුවමනාවක් ඇති බලධාරීන් ඔහුගේ මෙරට ජාලය බිඳ දමමින් ඔහුව අඩපණ කිරීමේ වගකීම පවරන්නේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායටය. එහි සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ මෙහෙයැවීමෙන් ඊට සංවිධානාත්මක මෙහෙයුමක් දියත්කෙරෙන්නේ බුද්ධි අංශයත් මෙහෙයුම් අංශයත් ඒකාබද්ධ කර ගනිමිනි. එහිදී අත්අඩංගුවට ගැනෙන සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් ‍පොලිසියෙන් වෙඩි නොකන තැනට පත්කර ගැනීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය වගබලා ගැනීමට මුල සිටම තීරණය කරගෙන තිබුණේය. මධුෂ්ගේ දකුණු අත බඳු රන්හෙට්ටිගේ වජිර කුමාර නොහොත් වජිර නැමැති පාතාල අපරාධකරු ඇතුළු පිරිසක් සීදූවේ ලියනගේ මුල්‍ලේදී 2017 වසරේ අගෝස්තු 12 වෙනිදා විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරයකට ලක්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. වජිර ඇතුළු කණ්ඩායමක් මීගමුවේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට යන බවට ලද බුද්ධි තොරතුරකට අනුව ඔවුන් ගමන් කරන වෑන් රථය නතර කරමින් පරීක්ෂා කිරීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අංශය සූදානම් වූ අවස්ථාවේදි වජිර ඇතුළු පිරිස කළ වෙඩි තැබිමකට විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර එල්ල කළ බව කියැවිණි. එම ප්‍රහාරයෙන් කිසිවෙකුත් මරුමුවට පත් නොවූවත් වජිර බරපතළ ලෙස තුවාල ලැබිය. මේ වන විටත් එම තුවාලවලින් ඔහුගේ දෑස නොපෙනෙන තත්ත්වයකට පත්ව ඇත්තේ මධුෂ්ට දැවැන්ත ශක්තියක් අහිමි කරමිනි.

එය එතැනින් හමාර වන්නේ නැත. තවත් කිහිප දෙනෙක්ම විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මරුමුවට පත්වන්නේ මධුෂ්ගේ පාතාලයේ බලය බිඳ දමමිනි. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධකම් පැවැති ඩී. මංජු නමැති පාතාල අපරාධකරු වත්තලදීත් ඔහුගේ ගෝලයෙක් මහනුවර තලාතුඔයදීත් බයිලා සහ මීගොඩ ජනා මහනුවර වත්තේගමදීත් විශේෂ කාර්ය බළකා ප්‍රහාරයන්ට ලක්වන්නේ ඒ අනුවය. ඒ කාලය තුළ මධුෂ්ගේ පාතාල ජාලයට සම්බන්ධකම් ඇති කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති බවද සඳහන්ය. ඇතැම්විට පසුගිය ගංවතුර සමයේ ගඟේ මුහුදේ ගසාගෙන ගියා වන්නටද පුළුවන.

මධුෂ්ගේ පාතාල ජාලයේ ප්‍රධාන පුරුකක් වන තිලක් අකුරැස්සේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යන්නේද තවදුරටත් මධුෂ්ගේ මෙරට පාතාලයේ ශක්තිය බිඳ දමමිනි. මෙය තවමත් ආරම්භයක් මිස අවසානයක් නොවනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com