master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මේ වෙලාවෙ පෙම් කරන එක හරි නෑ ඒත් මරල දාන්න තරම් වැරැද්දක්ද?


2018-07-02 15:18:35 -  489 යි

"හෙට එයාගෙ මළ කඳ ලාම්පු කණුවක ගැටගහල තියනවලු, නරකට හැසිරුණාම දඬුවම මේකයි කියලා දැන්වීමකුත් එක්ක. එතකොට මිනිස්සු සංවිධානෙ විනය ඉහළින් අගේ කරනවලු."

නෝරා නොනවත්වාම හඬා වැලපුණාය.

පවසන්නට වචන නොමැතිව අපි සියලු දෙනා නිහඬවම සිටියෙමු.

මහත්තයා උත්සාහ කරන්නේ නෝරා බිය ගන්වන්නට විය යුතුය. එසේ නැතහොත් දහඅට වියැති නාඹර තරුණයෙක් ප්‍රේමයක පැටළුණු පළියට මරණය තරම් දරුණු දඬුවමක් දෙනු ලබාවිද?

මහත්තයා එවැනි ඝාතන බොහෝ ගණනකට වගකිව යුත්තා බව මා එදා දැන සිටියේ නැත. මා නෝරාගේ වදන් විශ්වාස නොකළේ එබැවිනි.

හදිසියේම වංගුවෙන් මතුවූ ජීප් රථයක් කඳවුර ඉදිරිපිට නතර වූයේ දූලි වලාවක් නංවමිනි. ඉදිරිපස මගී අසුනෙන් බැස්සේ ර් 16 තුවක්කුවක් අත දරාගත් තරුණයෙකි. ඔහු රියෙහි පසු පස ‍ෙදාර විවර කළේය. ඉන් බැස ගත් තරුණයා අපි ක්ෂණයකින් හඳුනාගතිමු. ඒ ශාන්තන්ය. නෝරා අප හා සිටිනු ඔහු දුටුවේය. තත්ත්පරයක් පමණ ඔහු ඇය දෙස බලා සිටියේ ඇසි පිය නොසලමිනි. ඒ හා ම රියැදුරා සහ අනෙක් තරුණයා මහත්තයා සිටි කඳවුර වෙත ශාන්තන් රැගෙන ගියේ බලහත්කාරයෙනි.

ගොළු බිහිරන් සේ බලා සිටිනු හැර අප හට කළ හැකි අන් යමක් නොවීය. නෝරා සිටියේ අවසිහියෙන් මෙනි. මගේ හදවත මහා වේගයකින් ගැහෙන්නට විය. මම ඇසිපිය නොහෙළා කූඩාරම දෙස බලා සිටියෙමි.

"බෑං.... ග්"
එකම එක වෙඩි හඬක් ඇසුණි. නිසලව ලැග සිටි පක්ෂීහු තටු සලා ඉවතට පියඹා ගියහ. වඳුරන් ගසින් ගසට පැන ගියේ අසුබ හඬක් නංවමිනි. තත්ත්පර කිහිපයකින් සියල්ල නිසල විය. නිහඬ විය. නැවත වෙඩි හඬ නොඇසුණි. හරියට රළු මුහුදේ දළ රළ පෙළක් මතුව පෙනී නොපෙනී ගියාසේය.

"අයියෝ ශාන්තන්...."
විලාප දුන් නෝරා බිමට ඇද වැටුණාය.

අනෙකුත් ගැහැනු ළමුන් ගල් ගැසී බලා සිටියේ දරාගත නොහැකි කම්පනයෙනි. මට නෝරා දෙස හැරී බලන්නට හෝ ශක්තියක් නො ආවේය.

ශාන්තන් කැඳවාගෙන ගිය තරුණයන් දෙදෙනා ආපසු පැමිණියේ ඔහුගේ සිරුර දෙපසින් බාහුවලින් අල්ලා බිම දිගේ ඇදගෙනය. ඔහුගේ නළල් තලය මැදින් ගලා ආ උණු ලේ දහරාවක් සිරුර තෙමා ගලායමින් තිබිණි. ඔහු හැඳ සිටි නිල් හා සුදු කොටු සහිත කමිසය කෙමෙන් රත් පැහැ ගැන්විණි.

එක් අයෙක් ජීප් රියේ පිටුපස ‍ෙදාර ඇරියේය. අනතුරුව දෙදෙනාම එක්ව ශාන්තන්ගේ අප්‍රාණික සිරුර ජීප් රිය තුළට විසි කළේය. නැවතත් දුහුවිලි වලාවක් නංවමින් ජීප් රිය නොපෙනී ගියේය.

නෝරාගේ අ‍ෙදා්නාවන්ට සවන් දෙමින් අපි එතැනම වාඩි වී සිටියෙමු. අපි කිසිවකුත් එකිනෙකා දෙස නොබලා සිටින්නට ප්‍රවේශම් වීමු. මේ ළපටි තරුණයාගේ කෘෘර ඝාතනය මට අවබෝධ කරගත නොහැකි සංසිද්ධියක් විය. එතැන් සිට අවුල් වූ සිතින්, අධික කෝපයෙන් හා අසනීප ගතියකින් මම පීඩා විඳිමින් සිටියෙමි.

"මහත්තයා අයියා අර විදියට ශාන්තන්ව මැරුවෙ කොහොමද?"
එදින මුර සේවාව තුළදී මම අකිලාගෙන් සෙමෙන් ඇසුවෙමි.

"මේ වෙලාවෙ පෙම් කරන එක හරි නෑ කියමු. ඒත් ඒක මරල දාන්න තරම් වැරැද්දක්ද?"
"මං හිතන්නෙ මේ ප්‍රශ්නෙ ඇතුළෙ තව මොන මොනවා හරි ඇති."

අකිල කතා කළේ මා පමණට කැලැඹිලි ස්වභාවයකින් නොවේ.
"මේ නීතිය අපි කොයි කාටත් වලංගුයි ඉතින්."

"අයියයි, එයාගේ මිනිස්සුයි හැම වෙලාවෙම හරිදේ තමයි කරන්නෙ. ඔයා ඒ පැත්තෙන් විශ්වාසය ගොඩනඟා ගන්න."

ඒ අකිලාගේ පිළිතුර විය.
අකිලා තුළ ද අපගේ නායකයන් පිළිබඳ තිබු විශ්වාසය ස්වල්ප වශයෙන් හෝ බිඳී නොගියා නොවේ. මම ඒ බව ඇගේ කටහඬෙහි ස්වරූපයෙන් වටහා ගතිමි. එහෙත්, අනෙක් අතට මගේ සිත තුළ මතු වූ විරෝධය මට පහසුවෙන් සඟවා ගත නොහැකි විය.

මහත්තයා හට 'කිඹුලා' යන පටබැඳි නාමය යොදා තිබූ බව මම දැන සිටියෙමි. එහෙත් ඔහු සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් මගේ සිත තුළ ගොඩනැඟී තිබුණේ නැත. ඔහු පිළිබඳ නොයෙක් දෙනා පැවැසූ නොයකුත් කතා මා විශ්වාස කළේද නැත.

එහෙත් මේ සිද්ධියෙන් අනතුරුව විශිෂ්ට නායකයකු ලෙස ඔහු වෙනුවෙන් මා සිත තුළ වූ ගර්වය සිඳී ගියේය. ඔහුගේ යථා ස්වභාවය මම මගේ දෑසින්ම දැකගතිමි. අප හා අපගේ අණ දෙන්නවුන් පාලනය කරනු ලබන ආචාර විද්‍යාවේ ස්වභාවය මෙබඳුද? මා ඒ පැනය ඇසුවේ මාවෙතින්මය.

මට බෙන්ජමින්ගේ කුරිරු ඝාතනය නැවතත් සිහි විය. දෙමළ ජාතිකයකු වුවද තමාට සතුරුව නැඟී එමින් සිටි අයකු ලෙස ඔහු මරා දැමුවේය. එහෙත් මේ තුච්ඡ ඝාතනයට එවන් හේතුවක් හෝ තිබුණේ නැත. ඔහු යුවතියකට ආදරය කළා පමණකි. මාස කිහිපයකට පෙර අපේම තරුණයන් සුදුමලෙහි හිදී වෙල්ලායි මරා දැමුවේ ඔහු පාවා දෙන්නෙකු යැයි චෝදනා කරමිනි. මෙවැනි පාපිෂ්ට ක්‍රියාවන් සිදුවන්නේ කෙලෙසදැයි තේරුම් ගන්නට මම උත්සාහ කෙළෙමි.

මේ ප්‍රදර්ශනය වන්නේ සංවිධානයේ ඉහළ සිට පහළ පැළැන්තිය දක්වාම එකිනෙකාගේ සිතු තුළ සැඟව සිටින්නා වූ මමත්වය නොවන්නේද? ඔවුන් තම දුෂ්ට ආශාවන් ඉෂ්ට කරගන්නේ සංවිධානයේ යහපත උදෙසා යැයි සියල්ල සාධාරණීයකරණය කරමිනි. එක අතකට තමාගේම වර්ගයා පීඩාවට පත් කරමින් ඝාතනය හා භීෂණය ක්‍රියාත්මක කිරීම අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇතුවා නොවේද?

මා සංවිධානයට බැඳුණේ මෙවැනි කටුක හා අමන අත්දැකීම් විඳිමින් සිටින්නට නොවේ. මගේ අභිප්‍රාය වූයේ රජය විසින් දෙමළ ජාතිය වෙත එල්ල කෙරෙන අකටයුතුකම්වලින් මගේ ජනතාව ගලවා ගැනීමයි. අපට නිදහසේ ජීවත් වීමට දෙමළ ඊළමක් ගොඩනැංවීමයි. එහෙත් මා ඒ සඳහා තෝරාගෙන ඇත්තේ නිවැරැදි මාවතද? මෙහි තිබෙනුයේ භීෂණය හා භීෂණය අතර ගැටුමක් නොවන්නේද? මා වට කොට සිටින්නේ වධ හිංසා, ඝාතන හා අපරාධ නොවේද?

අකිලාත්, මමත් සන්ධ්‍යා මුර සේවය හමාර වී ආපසු කඳවුරට එමින් සිටියමු. ඒ අතර මම තනිව මනසින් අතීතයට ගියෙමි. මම මගේම දෑසින් දුටු අවාසනාවන්ත සිදුවීම් පෙළගස්වා බැලුවෙමි.

මටත්, කාංචනාටත් බයිසිකලයක් මුර කරන්නට දී එය අයිතිකරුවාට මහත්තයා පහර දුන් හැටි, නවීන් හා නිසාම් සාප්පු සංකීර්ණය තුළ දී සාමාන්‍ය වැසියෙක් තළා පෙළා දැමූ හැටි, මහ දවාලේ සිදුවූ වෙල්ලායි ඝාතනය, ශාන්තන්ගේ බිහිසුණු ඝාතනය... ඒ සිදුවීම් දාමය තුළම භීෂණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති ආකාරය මම පැහැදිලිව දුටිමි. ඒ කිසිවක් නවතාලන්නට මම කිසිවක්ම නොකළෙමි.

එසේ වී නමුත් ඒ කිසිවකුට හෝ මගේ සිත ක්ෂමාවක් දුන්නේද නැත. කෙසේ වුව, කොටි සෙබළියක් මෙන්ම අපරාධ ඇසින් දුටු සාක්ෂිකාරියක් ලෙසට මගේ දෑතෙහිද ඒ ලේ තැවරී ඇති සෙයක් මට දැනෙන්නට විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com