master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රටම තැති ගත් ඉල්මහේ කොටින් තැති ගත් මෙහෙයුම


2018-06-26 11:53:56 -  1122 යි

රහසිගමෙහෙයුම්වලට නම් දරා ඇති නිලධාරින් කිහිප දෙනෙක් වව්නියාව මෙහෙයුම් මැදිරියට එක් වූහ.
රහසිගතව සැලසුම් කළ පරිදි කුඩා කණ්ඩායම් වශයෙන් කොටි පාලන ප්‍රදේශයේ කිලෝමීටර් තිහ, හතළිහක් ඇතුළට යාමට නියමිත විය.

ක්‍රියාන්විතය දින විස්සක්ම සැලසුම් කෙරිණි. කොටි පාලන ප්‍රදේශයේ ඉලක්ක ලබාගෙන යළි පැමිණීමට නොහැකි ලෙස තත්ත්වය දරුණු වුවහොත් කැලෑවන් තුළ සැඟවී දින ගණනක් හෝ රැඳී සිටීමට දින විස්සකට සරිලන සුවිශේෂී කෑම පවා සූදානම් කර ගැනිණි.

සෑම අයකුගේම ගමන් මල්‍ලේ කල් තබාගත හැකි ආහාර මෙන්ම වතුර ලීටර් පහක් හා පතොරම් මැගසින් පහ බැගින් විය. මේ සූදානම් වනුයේ නොවැම්බර් මාසයට පමණක් සුවිශේෂී වූ දිනයක ඉලක්කයක් සොයා යෑමටය.
නොවැම්බර් මාසය යනු වසර ගණනාවක්ම රටම භීතියෙන් වෙළුණු කාල සීමාවකි.

ඒ කොටි ත්‍රස්තවාදීන් ඊළාම් යුද ඉතිහාසය පුරාවට ප්‍රධාන පෙළේ ප්‍රහාර හා ම්‍ලේච්ඡ ඝාතන වැඩියෙන් සිදු කළ මාසයක් නිසාය. මේ සඳහා නොවැම්බර් මාසය යොදා ගත්තේ නොවැම්බර් 20 සිට 27 දා දක්වා කොටි මහ වීර සතිය යෙදීම හා කොටි නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදීම හේතුවෙනි.

හමුදා කඳවුරකට, මායිම් ගම්මානයකට පහරදීම හෝ දකුණේ සිවිල් වැසියන් අතරේ බෝම්බයක් පුපුරුවා හැරීම හෝ අනිවාර්යයෙන්ම සිදුවිණි.

රටම භීතියෙන් වෙළා ගත් කොටි ත්‍රස්තවාදීන්ට කාලයාගේ ඇවෑමෙන් මෙම කාලසීමාව කොටින්ටම භීතිය දනවන කාලසීමාවක් බවට පත් විණි.

ඒ කොටි ආරක්ෂක වළලු තුළින් රිංගන කණ්ඩායමක් කොටි අඩවියේ කිලෝමීටර් තිහ හතළිහ දුරක් ගෙවා ගෙන ගොස් කළ අබිරහස් ප්‍රහාරත් සමගය. මහසෝනා ගැහුවා සේ යැයි දකුණේ ප්‍රචලිත වූ කියමන සමග මෙම කණ්ඩායම දකුණේ ඇතැමුන් හැඳින්වූයේ මහසෝන් බළකාය ලෙසිනි.

මෙම කණ්ඩායම් කොටි පාලන ප්‍රදේශය තුළට රිංගා කොටි නායකයාගේ අඩවියේත් අබිරහස් ප්‍රහාර දියත් කරන්නට වූහ. විශේෂත්වය වූයේ මෙම අබිරහස් ප්‍රහාරවල ඉලක්කය වූයේ කොටි නායකයකු ගමන් ගන්නා වාහනයක් හෝ කොටි නායකයකු රැඳී සිටින ස්ථානයකි.

මෙම ඉලක්කයක් වෙනුවෙන් කොටි අඩවියේ දින සති ගණන් අව්වැසි බාධා නොතකා රැඳී සිටිමින් ඉලක්ක සපුරා ගන්නට තරම් මෙම සුවිශේෂී දක්ෂතාවලින් හෙබි රහස් කණ්ඩායම්වලට හැකිවිණි. කොටි අඩවියේ මෙම අභීත මෙහෙවර කළේ යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ විරුවන්ය මෙම සුවිශේෂී මෙහෙයුම්වලදී මේජර් ලලිත් ජයසිංහ (පසුව ලුතිනන් කර්නල්) විශේෂ බලකාය සතු පතාක යෝධයකු විය.

දිගු දුර විහිදුම් බළකාය අතින් කොටි ගුවන් බළකායේ ප්‍රධානී ශංකර්, මුහුදු කොටි බළකායේ දෙවැනියා වූ කන්ගෙයි අමරන්, සන්නද්ධ බුද්ධි නායක චාල්ස් ඇතුළු නායකයින් මරණයට පත් වීමත් සමග කොටි සංවිධානය භීතියෙන් ඇළලී ගියේය. කොටි බලකොටුවේ නායකයින් ගමන් ගන්නා මහමග බෝම්බ පුපුරන්නට වීමත් සමග කොටි නායකයින්ගේ ගමන් බිමන් පවා සීමා වූයේය.

මේ නිසාම කොටි නායකයින්ගේ ගමන් බිමන්වලට කොටි පාලන ප්‍රදේශයේදීත් වෙඩි නොවදින තහඩු සවි කළ වාහන සකස් කර ගැනීමට සිදුවිණි.

කෙසේ වෙතත් මෙම සුවිශේෂී කණ්ඩායම් තම ඉලක්කයන් අත්හැරියේ නැත.
ඒ 2008 වසරේ නොවැම්බර් මාසයයි. සිව්වැනි ඊළාම් යුද්ධයේ උච්චතම අවස්ථාවය. මෙවර දින විස්සක ක්‍රියාන්විත සැලසුමේ ඉලක්කය වූයේ ද මහා වීර දින උත්සවවලට යන කොටි නායකයකු කොටි අඩවියේදීම මරා දැමීමය. මේ සඳහා ඉදිරිපත් වූයේ තුන්වැනි විශේෂ බළකායේ ඉන්ඩියා කණ්ඩායම භාර නිලධාරි මේජර් ලලිත් ජයසිංහ යටතේ වූ කණ්ඩායමකි. මේ සඳහා කපිතාන්වරුන් හත් දෙනකුගේ කණ්ඩායම් හතරක් සූදානම් කෙරිණි. එක් කණ්ඩායමකට මේජර් ලලිත් ජයසිංහ ද එක්වූයේය.

කොටි පාලන ප්‍රදේශයේ ගහක් ගලක් ගානේ දන්නා මේජර් ලලිත් ජයසිංහ ඇතුළු කණ්ඩායමට මෙවර ද ලැබුණේ විශාල අභියෝගයකි.

ඒ මේ වන විට ඒ-9 ප්‍රධාන මාර්ගයේ බටහිර කොටසේ සටන් ඇවිළීීමත් සමග සිවිල් වැසියන් හා කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර කොටසට කොටු වී සිටියේය. කෙසේ හෝ මෙම ප්‍රදේශයට ඇතුළු වී ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් මෙම කණ්ඩායම් තුනම නොවැම්බර් 18 දා හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල තුළින් කොටි අඩවියට රිංගා ගත්හ.

මෙම මෙහෙයුම්වල විශේෂත්වය වූයේ මෙම කණ්ඩායම් තුනේ එක කණ්ඩායමක් යන ප්‍රදේශය අනික් කණ්ඩායම දැනුවත් නොකිරීමය. මේ තරමටම මෙහෙයුම රහසිගතය. මේ සියල්ල දන්නේ අණදෙන නිලධාරියා හා වව්නියාවේ සිට මෙම කණ්ඩායම් සමග පණිවුඩ හුවමාරු කරනා නිලධාරියාම පමණකි.

වව්නියාව හා ඕමන්තේ අතරින් වූ මහකච්චිකුඩිය ප්‍රදේශයෙන් මේජර් ලලිත් ජයසිංහ ඇතුළු හත් දෙනෙක් ඉදිරියට ඇදුණහ. පුල්ලෙයාර් දෙවියන්ගේ අඩවියට ඇතුළුවත්ම කොළ අත්තක් එල්ලා යන්නට ද මෙම පිරිස අමතක නොකළහ.

ඔඩ්ඩුසුඩාන් කොටි පාලන ප්‍රදේශයට යාමට කොටින්ගේ බලකොටුවේ සහ වනාන්තර තුළින් රහසිගතව ඉදිරියට ඇදෙන්නට වූහ. කිලෝමීටර් හයක් පමණ යද්දී ප්‍රදේශයට මහා වැසි පතිත වන්නට විය.

මෙය වැසි සහිත කාලගුණයක් නිසාත් කාලගුණය ගැන ඇති අවබෝධයත් නිසා මෙම විරුවෝ ඕනෑම බාධකයකට මුහුණ දීමට සූදානමින් මෙහෙයුමට එක්ව සිටියහ. දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙවැනි අත්දැකීම් නුහුරු නොවන නිසා මොවුහු තම ඉලක්කය කරා ඇදුණහ.

මහ වැසි මැද ඉදිරියට ඇදුණු මෙම අභීත විරුවෝ පළමු දිනයේ කිලෝමීටර් දහයක සීමාවට එද්දී වන් සීරෝ ලයින් ලෙස හැඳින්වූ ප්‍රදේශයට ළං වූහ.

කොටි ත්‍රස්තයින් ඕමන්තේ නොච්චිමොටෙ සිට වැලිඔය වෙඩිවච්චිකල්ලු දක්වා මෙම දෙවැනි ආරක්ෂක වළල්ල යොදවා තිබිණි. තැනින් තැන බංකර් ඉදිකර ජොනි බට්ටන් හා මර උගුල් යොදවා තිබූ මෙම ප්‍රදේශයෙන් පැන ගැනීම පළමුවැනි ඉලක්කය විය.

ලබන සතියට

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com