master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලෙයට ලෙය උණ්ඩයට උණ්ඩය රටම හොල්ලන පාතාල සෙල්ලම් මෙන්න


2018-06-26 10:19:05 -  2258 යි

අපේ රටේ පාතාලය දැන් මෙහෙයවන්නේ ඩුබායි මධුෂ්ය.  දැන් මුළු රටේම පාතාලයේ ලොක්කා මධුෂ්ය. මධුෂ්ට පාතාලයේ හයිය නැති අපේ රටේ නගරයක් දැන් නැති තරම්ය. ඕනෑම ගමක ඔහුගේ ගෝලයෙක් දෙන්නෙක් සිටින තැනට ඔහු සිය පාතාලය වර්ධනය කරගෙන හමාරය. මේ වන විට ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මත්කුඩු ජාවාරමය. එකී මත්කුඩු ජාවාරමෙන් උපයාගන්නා මුදල් ඔහු මේ වන විටත් මෙරට ව්‍යාපාරවලද ආයෝජනය කර හමාරය. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේදී මෑතකදී ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරිකයාද මධුෂ්ගේ කුඩු සල්ලි ව්‍යාපාර සඳහා ආයෝජනය කළ අයෙකි. බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට මධුෂ් ඔහුගේ කුඩු සල්ලි රට වටේම ඉඩම් මිලදී ගන්නටද වැයකර හමාරය. ඒ ඔහුගේ ඒජන්තවරුන් හරහාය.

මත්කුඩු ජාවාරමේත් පාතාලයේත් මේ වන විට සිය අණසක පතුරුවාගෙන සිටින මධුෂ්ගේ ප්‍රධාන සගයා බවට පත්ව සිටින්නේ අංගොඩ ලොක්කාය. කඩුවෙල පැත්තේ රජකළ පාතාල කල්ලි නායක සමයංව ඔහුගේ ගෝලබාලයින් රොත්තක්ද සමග කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනය කරන්නේ අංගොඩ ලොක්කාය. ඒ ඩුබායි සිට කෙරුණු මධුෂ්ගේ සැලසුමකට අනුවය. එදා එම ප්‍රහාරයට මධුෂ්ගේ ගෝලබාලයින් රොත්තක්ම සම්බන්ධ වී සිටියේ අංගොඩ ලොක්කා සහ මධුෂ් අතර පාතාලයේ සුසංයෝගයක් ඇති කරවමිනි. එම ප්‍රහාරයෙන් සතියක් ඉක්ම යන්නට මත්තෙන් අංගොඩ ලොක්කා සිය ප්‍රධාන ගෝලයා වන ලඩියා සමග  තලෙයිමන්නාරමෙන් බෝට්ටුවක නැගී  පැන යන්නේ ඉන්දියාවටය. එකී සැලසුමද මධුෂ්ගේය. ඉන්දියාවේදී අංගොඩ ලොක්කාවත් ලඩියාවත් පිළිගන්නේ කිඹුලා  ඇළ ගුණා නමැති පාතාලකල්ලි නායකයාය. මෝදර කේන්ද්‍ර කර ගනිමින් කොළඹ හොල්ලාගෙන සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙක් වූ කිඹුලාඇළ ගුණා දැන් සිටින්නේ ඉන්දියාවේය. ඒ පසුගිය ආණ්ඩුවේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ මෙහෙයුම්වලට බියෙන් පැනගත් දා සිටය. ඉන්දියාවේ සිට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන කිඹුලාඇළ ගුණාද දැන් මධුෂ්ගේ සගයෙක් වී හමාරය. මධුෂ්ගේ ගෝලබාලයින් ඉන්දියාවට පැන ගන්නා විට ඒ අයට දැන් රැකවරණය සලසන්නේ ඔහුය. අංගොඩ ලොක්කා සහ ලඩියාටත් ඉන්දියාවේදී රැකවරණය ලබාදීමට ඔහු ඉදිරිපත් වන්නේ ඒ අනුවය. මධුෂ් සැලසුම් කරන්නේ ඔවුන් දෙදෙනාව ඉන්දියාවේ සිට ඩුබායි රටට පන්නා ගන්නටය. ඒ සඳහා ව්‍යාපාර විදෙස් ගමන් බලපත්‍ර පවා ඔහු සැකසුවේය. එහෙත් වැඩ වරදින්නේ ඩුබායි බලා යාමට සූදානම් වූ ඔවුන් දෙදෙනා චෙන්නායි ගුවන් තොටු‍පොළේදී එරට ආගමන විගමන බලධාරීන්ට කොටුවීමත් සමගිනි. සති කිහිපයක් ඉන්දියාවේ බන්ධනාගාරයක රඳවා සිටි ඔවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ ඇප මතය. ඉන්දියාව පුරා ඇවිදිමින් සැපවත් ජීවිතයක් ගතකරමින් සිටින ඔවුන් දැන් හිතේ හැටියට මෙරට ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් ගනිමින් සිටිති. මෙරට ප්‍රමුඛ පෙළේ කොන්ත්‍රාත් සමාගමක් වන එස්.ඇන්.කේ. කොන්ත්‍රාත් සමාගමේ මුල්‍ලේරියාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වන්නේ  අංගොඩ ලොක්කාට කප්පම් නොදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ ආකාරයට ව්‍යාපාරිකයන් බිය ගන්වමින් මහා පරිමාණයෙන් කප්පම් ගනිමින් සිටින අංගොඩ ලොක්කාට කප්පම් දීම ප්‍රතික්‍ෂේප කළ ව්‍යාපාරිකයෙක් මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ඇවිදින මංතීරුව ආසන්නයේදී ඝාතනය වන්නේ පසුගිය මාර්තු 25 වෙනිදා රාත්‍රියේදීය. ඒ වෙඩි ප්‍රහාරයකට ලක්වය.  මුල්‍ලේරියාවේ හිඹුටු උයනේ පදිංචිව සිටි ඔහු නමින් රොෂාන් ප්‍රේමලාල්ය. බොහෝ දෙනෙක් ඔහුව දැන හඳුනාගෙන සිටියේ නම් ‍පොලී රොෂාන් යැයි කියාය. මුදල් ‍පොලියට දෙමින් සිය ව්‍යාපාරික දිවිය ආරම්භ කළ ඔහු ඝාතනය වන විට ප්‍රකෝටිපතියෙකි. අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිවලට පවා ඔහු ඒ වන විට බර වාහන සැපයීමට තරම් ශක්තිමත් ව්‍යාපාරිකයෙක් බවට පත්ව සිටියේය. අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට දුරකථනයෙන් තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටින විට ඔහු කප්පම් නොදෙන්නේ ඔහු වටාද යම් පිරිස් බලයක් පැවැති බැවිනි. ‍පොලී රොෂාන්ගේ ආයුෂ කෙටි වන්නේ එකී තර්ජනයන්ට බිය නොවීම නිසාමය.

ඒ වන විට ‍පොලී රොෂාන් සිය බිරිඳ සමගින්ද යම් ආරවුලක පැටලී සිටියේය. වරක් බිරිඳ ඔහුව මරා දමන්නට යන්නේ පිහි පහරක් එල්ල කරමිනි. ඒ නිසාම රොෂාන්ගේ ඝාතනයේ සැකය ඇය වෙතද ඇදී ගියේය. එහෙත් තවදුරටත් ‍පොලී රොෂාන්ගේ ඝාතනයට ඔහුගේ බිරිඳව සැකකරන්නට බැරිය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය ‍පොලී රොෂාන්ට වෙඩි තැබූ වෙඩික්කරුවාව කොටුකරගත් බැවිනි. අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන ඔහු අසිත ප්‍රේමතිලකය. තිස්තුන් වියැති ඔහු අංගොඩ පැත්තේ ජීවත්වන්නෙකි. ඒ පැත්තේ අය ඔහුව දැන හඳුනන්නේ ෂොල්ටා යැයි කී විටය.

කොළඹ අපරාධ කොට්ඨාසයට ෂොල්ටා කොටුවන්නේ බොරැල්‍ලේදීය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය 18 වැනිදාය. මිලි මීටර් 09 වර්ගයේ නිකල් පැහැති ගිනි පිස්තෝලයක් සමග හෙරොයින් ග්රූම් හතකට කිට්ටු ප්‍රමාණයක් ඔහු සතුව ඒ වන විට තිබුණු බව කොළඹ අපරාධ කොට්ඨාසය පැත්තෙන් කියැවෙයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිල කියැවීමට අනුව එම හෙරොයින් ඔහු බෙදාහැරීමට රැගෙන යමින් තිබූවකි. ‍පොලී රොෂාන්ට වෙඩි තැබූවේ යැයි කියන්නේ ඔහු සතුව තිබුණූ එම පිස්තෝලයෙනි. එම පිස්තෝලය ඔහු පත්තුකර තිබුණේ ‍පොලී රොෂාන්ට පමණක් නොවේ, කාන්තාවකටද ඔහු එය පත්තු කර තිබුණේය. ඇය මංජුලා සඳුනි අබේරත්නය. ඇයට ඔහු වෙඩිල්ල පත්තු කරන්නේ ඉකුත් වසරේ නොවැම්බර් 30 වෙනිදා කොට්ටාව රුක්ම‍ලේ පිහිටි ඇය පදිංචිව සිටි නිවසේදීය. රූපලාවණ්‍ය ශිල්පිනියක් වූ ඇයව ඝාතනය කරන්නේ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් වූ බණ්ඩා නමැති පාතාල සාමාජිකයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙසිනි. ට්‍රනිල් බණ්ඩා නොහොත් අතුරුගිරියේ බණ්ඩාව මරා දමන්නේ අතුරුගිරියේ පිහිටි මංජුලාට අයත් රූපලාවණ්‍යාගාරයේදීය. ඒ පසුගිය වසරේ ජනවාරි 17 වෙනිදාය. රූපලාවණ්‍යාගාරයට ගොස් ෆේෂල් එකක් දමමින් සිටියදී බණ්ඩාට වෙඩි තබා මරා දමන්නේ සමයංගේ සැලසුමකට අනුවය. ඊට මංජුලාද සම්බන්ධ වී සිටියාය. සමයංගේ ඉරණම බන්ධනාගාර බස් රථයක් තුළම විසඳෙන්නට බණ්ඩාගේ ඝාතනයද බලපා තිබුණේය.

බණ්ඩාගේ ඝාතනයට ගෑවුණු බොහෝ දෙනෙක් අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රහාරයන්ට ලක්ව පරලොව යන විට මංජුලාගේ දිවි රැකෙන්නේ ඇය එකී ඝාතනයට සැකපිට ‍පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වන නිසාය. ඇය බන්ධනාගාරයෙන් ඇපමත නිදහස ලබන විට අතුරුගිරියේ ඇගේ රූපලාවණ්‍යාගාරයද ගිනිබත්ව තිබෙන්නේ ඇයට තවදුරටත් එහි රූපලාවණ්‍ය ව්‍යාපාරයක් කරගෙන යන්නට ඉඩක් නොතබමිනි. එතැන් සිට ඇයට කුරුමානම් අල්ලමින් සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයින් අතරින් ඉලක්කය හරියටම ගන්නේ ෂොල්ටාය. සුරූපී මංජුලාගේ සිරුර ලෙයින් නැහැවී රත්පැහැවෙන තුරු වෙඩි වර්ෂාවක්ම ඔහු මංජුලාට තැබුවේය.  එය සටහන් වන්නේ ෂොල්ටාගේ කුලුඳුල්  ඝාතනය ලෙසිනි.

මංජුලාව මරා දැමීමේ කොන්ත්‍රාත්තුව අංගොඩ ලොක්කා විසින් ෂොල්ටා ට පවරන්නේ බණ්ඩාගේ ඝාතනයෙන් ෂොල්ටා කාලයක් තිස්සේම වියරු වැටී සිටි බැවිනි.  ෂොල්ටා සැලකෙන්නේ බණ්ඩාගේ අතිජාත මිතුරෙක් ලෙසය.

එම මිතුදම ඇති වන්නේ දේශපාලනය හරහාය. එකල බණ්ඩා කොළොන්නාවේ දේශපාලන බලවතා වූ දුමින්ද සිල්වාගේ රියැදුරාය. ත්‍රිරෝද රථයක් පදවමින් ජීවිතය ගැටගසා ගනිමින් සිටි ෂොල්ටාද රජයේ ස්ථීර රැකියාවක් අපේක්ෂාවෙන් එකල දුමින්ද සිල්වාගේ දේශපාලන ආධාරකරුවෙක් බවට පත්ව සිටියේය. කුඩා කල සිය පියා අතහැර යාමෙන් පසු නිට්ටඹුව පැත්තේ ළමා නිවාසයක වයස අවුරුදු පහේ සිට දොළොස් වසරක් තිස්සේ හැදී වැඩුණු ඔහු පාසල් ගොස් තිබුණේද දහවැනි පන්තියට පමණි. රජයේ ස්ථිර රක්ෂාවක් අපේක්ෂාවෙන් දේශපාලන වන්දනාවේ යන්නට ඔහුට සිදුවන්නේ එබැවිනි. ඔහුගේ රජයේ රැකියා සිහිනය බොඳවී යන්නේ දුමින්ද සිල්වා වෙඩි වැදීමකට ලක්වීමත් සමග ඇතිවන පෙරළිය නිසාය.

අංගොඩ ලොක්කාව ෂොල්ටා දැන හඳුනා ගන්නේ අලුත් කඩේ උසාවියේදීය. මුදල් වංචා චෝදනාවකට ලක්වුණු මුල්‍ලේරියාව පැත්තේ පදිංචිකරුවෙක් කාලයක් තිස්සේම නඩු දිනයේදී උසාවියට ගියේ ෂොල්ටාගේ ත්‍රිරෝද රථයේ නැගීය. ඒ යන බොහෝ අවස්ථාවන්හීදී නඩු විභාගයන් පවත්වන අයුරු දැක බලා ගන්නට ඔහු අධිකරණ ශාලාවටද ගියේය. ගිනි අවි සහ මත් ද්‍රව්‍ය සමග අංගොඩ ලොක්කා සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටියේ ඔය වකවානුවේදීය. අංගොඩ ලොක්කා අධිකරණයට ගෙන එන සෑම අවස්ථාවකදීම ඔහුගේ ගෝලබාලයින් අධිකරණයට ඒම පුරුද්දක් කරගෙන සිටියහ. ඒ අය අතර බණ්ඩාද සිටියේය. ඒ නිසාම ෂොල්ටාත් අධිකරණයට යන දිනවල බණ්ඩා සමග අංගොඩ ලොක්කා බලන්නටද ගියේය. ඒ නිසාම අංගොඩ ලොක්කාට ෂොල්ටාගේ මුහුණුවර හොඳින් මතකයේ තිබුණේය. ඔහු බන්ධනාගාරයෙන් ඇප මත නිදහස ලැබිමෙන් පසු අතුරුගිරියේ පැවැති සාදයටද ෂොල්ටාට ආරාධනාවක් ලැබෙන්නේ එබැවිනි. ෂොල්ටා පාතාලයේ අත‍පොත් තබන්නේ එතැන් සිටය.

අපේ බණ්ඩව මරපු ගෑනිට ඇප හම්බවෙලා දැන් එළියට ඇවිල්ලයි ඉන්නේ. ඕකිට යහතින් ඉන්න දෙන්න නරකයි. වැඩක් දෙන්න ඕනේ. දිනක් අංගොඩ ලොක්කාගෙන් ෂොල්ලාට වයිබර් තාක්ෂණය ඔස්සේ දුරකථන ඇමතුමක් ලැබෙන්නේ එසේ පවසමිනි.

ලොකු අයිය කැමැති නම් වැඩක් දෙමු, ෂොල්ටා කීවේය.
ඒ වන විට මිනිහෙක් මරනවා තබා සතෙකුවත් නොමරා සිටි ෂොල්ටාගේ හිතට මංජුලාව මරා දැමීමේ බිජය අංගොඩ ලොක්කා වැපිරුවේය. එපමණක් නොව, ගිනි අවියක් ජීවිතේට අතපතගා නොමැති ෂොල්ටාට දුරකථනය ඔස්සේම වෙඩි තබන හැටි කියා දුන්නේය. අන්තිමට ඔහු අතට ගිනි අවිය සිය සගයෙක් හරහා අංගොඩ ලොක්කා පත් කළේය.

දුරකතනයෙන් ලද පුහුණුව උරගා බලන්නේ මුල්‍ලේරියාව පැත්තේ ඇති ක්‍රීඩාංගණයකදී අහසට වෙඩිල්ලක් තබාය.
ඒ වන විට අංගොඩ ලොක්කාගේ සෙසු ගෝලයින් මංජුලාට සිටියේ ඇස ගසාගෙනය. අංගොඩ ලොක්කාගේ නියෝගයෙන් ඔවුන් මංජුලා ඒ වන විට ජීවත් වූ නිවසද ෂොල්ටාට පෙන්නා දෙන්නේ වෑන් රථයක රැගෙන ගොසිනි.

මංජුලාව මරා දැමීමට දිනවකවානු මෙන්ම වේලාවන් පවා තීරණය කරන්නේ අංගොඩ ලොක්කාය. එදා නොවැම්බර් 30 වෙනිදා මංජුලාට වෙඩි  තබා ඝාතනය කරන්නේ රාත්‍රී කාලයේදීය. ෂොල්ටා අතට ගිනි අවිය ලැබුනේ යැයි කියැවෙන්නේ ඊට පෙර දිනයේදීය.

මංජුලාට වෙඩි තබන්නට ෂොල්ටා ගමන් කරන්නේ යතුරුපැදියක නැගීය. අතුරුගිරිය පැත්තේ කරක් ගසන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් එදා ඒ යතුරුපැදිය පදවාගෙන ආවේය. මුහුණු වැසෙන ආකාරයට හිස් ආවරණයක් පැලඳ සිටි බැවින් ඔහු කවුරුන්දැයි ෂොල්ටා මුලින් දැන නොසිටියේය. ඒ කවුරුන්දැයි ෂොල්ටා දැන ගන්නේ ඔහුගේ දෙවැනි ඉලක්කය වූ ‍පොලී රොෂාන්ට වෙඩි තබන්නට ගිය විටදීය. ‍පොලී රොෂාන්ට වැඩක් දෙන්නැයි ෂොල්ටාට නියෝග කරන්නේද අංගොඩ ලොක්කාය. ෂොල්ටාටම ඔහු ඒ වැඩේ පවරන්නේ ‍පොලී රොෂාන් සමග ඔහුට කාලයක සිට ගැටුමක් පැවැති නිසාය. ඒ මළගෙදරක ඇතිවන බහින් බස් වීමකි. එහිදී ‍පොලී රොෂාන් සිය හයිය පෙන්වමින් ෂොල්ටාව පලවා හරින්නේ ඔහුව ලැජ්ජාවට පත්කරමිනි.

‍පොලී රොෂාන්ට වැඩක් දෙනවනම් දෙන්න පුළුවන්. හෙට හවසට මම උඹේ ස‍පෝට් එකට එකෙක්ව එවන්නම්. අංගොඩ ලොක්කා වැඩේ පවරන්නේ එසේය.

‍පොලී රොෂාන් සමග ආරවුලක පැටලී සිටි ෂොල්ටා ඒ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ දෙවරක් ඒ ගැන නොසිතාය. එදා ඔහු ‍පොලී රොෂාන්ට වෙඩි තබන්නේ ළඟටම ගොසිනි.  අනතුරුව ඔහු සිය තුන්වැනි බිල්ලද ගන්නට සූදානම් වූයේ මෙයට මාසයකට පමණ ඉහතදීය. ඒ වැල්ලම්පිටියේ පදිංචිව සිටින මත්කුඩු ජාවාරමේ නිරත වන්නෙකි.

එදා ඔහුව ඝාතනය කිරීමට යමින් සිටියදී සිදුවන යතුරුපැදි අනතුරින් ෂොල්ටා තුවාල ලැබිය. එම මත්කුඩු ජාවාරම්කරුවා අදටත් ජීවත්වන්නේ එම අනතුරට පින් සිදුවන්නටය.

අංගොඩ ලොක්කාගේ අණට කීකරු වෙමින්  ඝාතකයෙක් බවට පත්වන ෂොල්ටා ඒ කිසිදු ඝාතනයක් වෙනුවෙන් සත පහක මුදලක් අංගොඩ ලොක්කාගෙන් ගෙන තිබුණේ නැත. එහෙත් ඔහුට යම් බලා‍පොරොත්තුවක් තිබුණේය. ඒ ගෙයක් දොරක් සාදාගෙන සිය අඹුවත් එකම දරුවාත් සමග නිදහස් ජීවිතයක් ගතකරන්නටය. ඊට පෙර ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ ඒ සියලු බලා‍පොරොත්තු බිඳ දමමිනි.
 

වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com