www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර දහයකට පසුව කොටි බළකොටුවට රිංගු මෙහෙයුම


2018-06-20 10:55:48 -  1541 යි

කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර හමුවේ යුද හමුදාව අලිමංකඩ දක්වා පසුබැස තිබූ කාලයයි. 2000 වන විට කොටි ත්‍රස්ත ප්‍රහාර හමුවේ රජයේ හමුදා අලිමංකඩ දක්වා උපක්‍රමශීලීව පසුබැස සිටියහ.

යුද හමුදා භටපිරිස් රැඳී සිටි අවසාන මායිම වූයේ තමිලමඩම්ය. අලිමංකඩ හා වෙත්තිලයිකර්නි දක්වා වූ දූපත් සමූහයන් අතරේ වූ තමිලමඩම්හි දහවන සිංහ රෙජිමේන්තු බ්‍රාවෝ කණ්ඩායමේ භටයින් ස්ථානගතව සිටියහ. මෙම දූපත්වලට භටපිරිස් ප්‍රවාහනය කෙරුණේ ද බෝට්ටු මගිනි. නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනයේ බෝට්ටු මගින් නිවාඩු යන හා සේවයට යන භටපිරිස් ප්‍රවාහනය කෙරිණි. අලිමංකඩ සිට තමිලමඩම් වෙත කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් විය.
තමිලමඩම් සිට ඔබ්බට යාම අවදානම් නිසා මෙම අවදානම් කලාපයට යාමට හමුදා භටපිරිස් වසර දහයක් තුරාවට උත්සාහ කර තිබුණේ ද නැත. තමිලමඩම් දූපතට මීටර් 750 ක් පමණ ඉදිරියෙන් වූ දූපතක කොටි ත්‍රස්තවාදින් විටින් විට පැමිණ කූඩාරම් පවා ගැසුව ද එම ප්‍රදේශයට ළඟාවීම අපහසු විය.

යම් හෙයකින් දූපත් අතරින් කලපුව ඔස්සේ ගොස් කොටින්ට කොටු වුවහොත් යළිත් පැන ගැනීම ද අසීරු ය. මේ නිසාම කොටි ත්‍රස්තයන් පවා තමිලමඩම් වෙත ඒමට උත්සාහ කළේ ද නැත.

තමිලමඩම් සිට කොටි ත්‍රස්තවාදීන් සිටින දෙසට එක එල්‍ලේ බැලූ විට පේන තෙක් මානයේ ඇත්තේ කලපුව පමණකි. අතරමැද කුඩාවට දූපත් තිබුණ ද එම දූපත් පසුකර ඇතුළු වීමෙන් හැර ඉදිරියේ සිදුවන්නේ කුමක්දැයි දැකගත නොහැකි විය.

මෙම ප්‍රදේශයෙන් ඉදිරියට සිදුවන කොටි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම පැවරුණේ විශේෂ බළකායේ දිගුදුර විහිදුම් ඒකකය වෙතය. මෙම දූපත්වලින් අනෙක් දූපත් වෙත යාම හා ජලය සහිත ප්‍රදේශයක ගමන් ගැනීම ඉතා අසීරු එකක් විය. එමෙන්ම කුඩා කණ්ඩායමකට හැර විශාල කණ්ඩායමක් ගියහොත් ත්‍රස්තවාදීන්ට නිරීක්ෂණය වීමේ ඉඩකඩ ද වැඩි ය.

මේ නිසාම හතරේ කණ්ඩායමක් පිටත්කර යැවීමට තීරණය විය. මේජර් උපුල් වීරසිංහගේ අණදීම යටතේ විශේෂ බළකා හතරේ කණ්ඩායමක් සූදානම් කෙරිණි.

තමිලමඩම් සිට කෙවිල් දක්වා අවදානම් කලාපය තුළ කිලෝමීටර් දහයක් කලපුව මතින් බැස යාමේ අභියෝගය මෙම හතරේ කණ්ඩායමට පැවරිණි.

දින පහක මෙහෙයුමක් සඳහා මෙම කණ්ඩායම සූදානම් කෙරුණු අතර කෑම බිම හා අවි ආයුධ සියල්ල වතුර නොයන ආකාරයට ආරක්ෂිත ආවරණවලින් ආවරණය කෙරිණි. හදිසියක දී වෙඩි තැබිමට හැකි අයුරින් ගිනි අවි ආවරණය කෙරිණි.

රාත්‍රි කාලයේ ඉදිරියට ගමන් ඇරඹීමට මෙම කණ්ඩායම තීරණයකට පැමිණියහ. වෙරළ අයින දිගේ මුලතිව් දෙසට වූ මාර්ගයක් අඔස්සේ් රාත්‍රි 7.00 ට පමණ ගමන් ඇරඹූ මෙම කණ්ඩායම හෙමින් සීරුවේ කලපුවට බැස ගත්හ. මේ වෙද්දී අඳුර වැටී තිබූ නිසා ඈත තියා සතුරාට නිරීක්ෂණය වීමේ අවදානම අඩුවිය.

තමන් ඇඳ සිටි ඇඳුම් ගලවා පිහිනීමට යොදා ගන්නා යට ඇඳුම් පිටින් කලපුවට බැස හෙමින් සීරුවේ ඉදිරියට ඇදුණු මෙම පිරිසට වූ පළමු බාධකය වූයේ කලපුවේ ඇති වළවල්වලින් බේරී ඉදිරියට යාම ය.

කොටි ඉලක්ක වෙත එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් කලපුව තුළ හෑරී තිබුණු වළවල් වෙත වැටෙමින් යළි ගොඩ ඒම අසීරු කාර්යයක් විය. කරවටක් වතුරේ බැස ගෙන යද්දී වළවල් හසු වූ විට දියයටට යන මොවුන් ජලය මත පිහිනීමට ලබා දී තිබූ සුවිශේෂී පුහුණුව නිසා යළි කෙසේ හෝ උඩට එන්නට සමත් වූහ.

මහ ඝන අඳුරේම වතුරේ බැසගෙන රාත්‍රි 7.00 පටන් පාන්දර 2.00 වනතුරු කිලෝමීටර් හතරක් පමණ බාධක මධ්‍යයේ ඉදිරියට ඇදෙන්නට වූහ. තව ටික දුරක් යාමේ දී දූපතක් හමු වූ අතර ආරක්ෂිතව එයට ඇතුළු වීමට සමත් වූහ. දූපත පුරා හරක් පවා දකින්නට විය.

වතුර නොමැති කාලයේ පැමිණ දූපත්වලට කොටු වූ හරක් ගාලක් එහි විය. මැරී කුණු වී ගිය හරකුන්ගේ මළකුණුවලින් දූපත දුර්ගන්ධයෙන් වැසී ගොස් තිබිණි. මෙම හතරදෙනා ඇතුළුවත්ම දූපතේ සිටි හරක් කුලප්පු වී දුවන්නට විය. දූපතේ මැදට වන්නට ගස් කොළන් කිහිපයක් දක්නට වූයෙන් ඒ දෙසට ඇවිදගෙන යන්නට මෙම සිව්දෙනා තීරණය කළහ.
පාන්දර 4.00 වන විට දූපතේ මැදට පැමිණි මෙම පිරිස අධික ලෙස වෙහෙසට පත්ව සිටි නිසා වෙහෙස නිවාගන්නට විය.

පළමු දිනය මෙම දූපතේ ගත කරන්නට තීරණය කර එහි ආරක්ෂිත තැනක ආවරණය වී රැඳී සිටියහ. අලුයම පින්නට ඉහළට එසවුණු දියතිඹිරියා ගස් අතරේ දූපතට වී සිටි මෙම විශේෂ බළකා සෙබළුන් සිව්දෙනා හිරුඑළිය වැටීමත් සමග තවත් අභියෝගයකට මුහුණ දුන්හ.

ඒ හිරු එළිය දැඩිවීමත් සමග දිය තිඹිරියා ගස් බිමට පහත් වන්නට පටන් ගැනීම ය. දහවල් 12.00 වන විට ගස් සියල්ල බිමට පහත් විය. මේ නිසා දූපතේ එහා මෙහා ගමන් කිරීම ද අසීරු විය. වෙත්තිලයිකර්නි දෙසින් හා පරන්තන් දෙසින් ත්‍රස්තවාදීන් ස්ථානගතව සිටින නිසා දූපතේ හිටි තැනම රැඳී සිටීමට මෙම භටයින් සිව්දෙනා කතිකා කරගත්හ.

දහවල් 12.00 පසුවීමත් සමග මෙම සිව්දෙනා සිටි තැනට මීටර් තුන්සියයක් පමණ එහාට වන්නට පැමිණි කොටි සිව්දෙනකු මාළු බාන අයුරු නිරීක්ෂණ විය. මේ නිසා කොටින්ට නිරීක්ෂණය නොවන අයුරෙන් වැල්‍ලේ දිගා වී සිටීමට මොවුන්ට සිදුවිණි. කෑමට, බිමට තබා වැසිකිළි අවශ්‍යතාවකටවත් හිස එසවීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.
හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් මෙම පිරිස මුදා ගැනීමට ඒමට නාවික බෝට්ටු සූදානම් කර තිබුණ ද රබර් ඩිංගි බෝට්ටු ඒ දෙසට පැමිණීම අවදානමක් ද විය. බෝට්ටුවට වෙඩි වැදුණහොත් ගමන් ගැනීම අසීරු වන නිසා හදිසි අවස්ථාවක දී බෝට්ටු ගෙන්වා ගැනීමට වඩා කෙසේ හෝ සැඟ වී පලා යාමට මෙම කණ්ඩායම්වල අරමුණ වූයේ ය.
යට ඇඳුම්වලින් පමණක් දූපතේ වැල්ල මත උඩු බැලි අතට දිගා වී සිටි මෙම සිව්දෙනා ගිනි අව්වේ පිච්චෙන්නට විය.

මුහුදු සුළං හා ලුණු සහිත ගතිය නිසා තොලකට වේළී පැලෙන තත්ත්වයට පත් විය. වැසිකිළි අවශ්‍යතාවක් ඇති වූ විට උඩුබැලි අතටම හෙමින් සීරුවේ වැල්ල හාරා එතැනම එය ඉටු කර ගැනීමට ද සිදු විය.

පැය දොළහක් පමණ එක දිගට එකම ඉරියව්වෙන් මොවුන්ට සිටීමට සිදු වූයේ මාළු බෑමට පැමිණි කොටි ත්‍රස්තයන් අඳුර වැටෙන තුරුම දූපතේ කොනක මාළු බෑම නිසා ය. දූපත තුළ සිටි සෙබළුන්ගේ ඉරියව්වක්වත් වෙනස් නොවුණු නිසා කොටින්ට කිසිදු සැකයක් ඇති නොවිණි. දූපත තුළට හමුදා කණ්ඩායමක් ඇතුළු වී සිටින බව නොදත් කොටි ත්‍රස්තයන් එතැනින් නික්ම ගියහ.

රෑ වෙද්දී කෑම කා තම ශරීර අවශ්‍යතාවන් ඉටුකර ගත් විශේෂ බළකා භටයින් සිව්දෙනා තම මීළඟ අදියර ක්‍රියාත්මක කළේ ය. නැවත කලපුවට බැස කිලෝමීටර් දෙකක් පමණ ඇවිදගෙන යන්නට වූහ. ඒ මීළඟට තිබෙන දූපත සොයාගෙන ය.

රාත්‍රි 12.00 ට පමණ මෙම දූපතට ඇතුළු වූ භට කණ්ඩායම එතැන් සිට තවත් කිලෝමීටරයක් පමණ ගොස් කොටි බළකොටුව තුළට ඇතුළු විය.

මෙහිදී වෙත්තිලයිකර්නි සිට මුහුදු වෙරළට සමාන්තරව දිවෙන මාර්ගයක් නිරීක්ෂණය විය. මෙම කණ්ඩායම සතු වූ රාත්‍රී දුරදක්නයක් මගින් නිරීක්ෂණය කරද්දී මෙම මාර්ගය කොටි නායකයින්ගේ ගමන් බිමන් සඳහා යොදා ගත් එකක් බවට අත්දැකීමෙන්ම තහවුරු වූයේය. නායකයින් යද්දී මාර්ගය දෙපස ආරක්ෂාව යොදවන බවට සලකුණු විය. තවත් ළං වී විමර්ශන කරද්දී දිවාකාලයේ දී කොටි ත්‍රස්තයන් එහි නතර වූ සලකුණු පවා දැකගත හැකිය.
මෙතැන සිට කොටි නායකයන් ගමන් ගන්නා වාහනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි බව තහවුරු වුවත් එය නොකිරීමට මෙම කණ්ඩායම තීරණය කළේය. ඒ යම්කිසි ප්‍රහාරයක් එල්ල කර පසුබැසීම අසීරු කාර්යයක් වන නිසා ය.
එදින රාත්‍රියේ කොටි අඩවියේ සියලු ක්‍රියාකාරකම් මාර්ගය අසලට පැමිණ නිරීක්ෂණය කර තොරතුරු රැස් කර ගත්හ. මේ වන විට තම අණදෙන නිලධාරියා සමග පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා සබඳකම් පැවැත් වූ මෙම කණ්ඩායමට ලබාගත් තොරතුරු සමග යළි ආරක්ෂිතව පසුබසින්නැයි නියෝග ලැබිණි.

පෙර පරිදිම දිවා කාලයේ දූපත්වල බිම දිගා වී සිටිමින් රාත්‍රි කාලයේ දී පමණක් පසු බැසීම ආරම්භ කළේ ය.
දිවා කාලයේ අධික හිරු රශ්මිය නොතකා දූපත්වල උඩුබැලි අතට වැතිර සිටි මොවුන්ට කෑම ගැනීම ඇතුළු සියලු දේ කරන්නට වූයේ ද ඒ අයුරෙන්ම ය.

මේ ආකාරයට අතිශය දුෂ්කරතා මධ්‍යයේ කොටින්ගේ අවදානම් කලාපය වෙත වසර දහයකට පමණ පසුව ඇතුළු වූ මෙම හතරදෙනාගේ කණ්ඩායම ඉදිරි මෙහෙයුම් සඳහා වූ සියලු තොරතුරු රැගෙන නිරුපද්‍රිතව යළිත් තම භටපිරිස් සිටි තමිලමඩම් වෙත පැමිණියහ.

මෙම මෙහෙයුමට ගිය විශේෂ බළකා භටයින් සිව්දෙනාගේ විශේෂත්වය වූයේ මින් තුන්දෙනකුම මීට පෙර හමුදා මෙහෙයුම්වල දී කාලතුවක්කු ප්‍රහාරවලට මැදි වී කන් ඇසීම හා කතා කිරීම දුර්වල වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිර්දේශ කර තිබූ අයවීම ය.

1999 නොවැම්බර් 11 වැනිදා කොටි කාලතුවක්කු ප්‍රහාරයකට මැදිව වෛද්‍ය වර්ග කිරීම්වලට ලක්කර තිබුණ ද එසේ නොගොස් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ මොවුන්ගේ නිර්භීත කම නිසා ය.

කොටි බලකොටුවේ අසීරු ඉලක්ක සොයා ගිය දක්ෂයින්ගෙන් සමන්විත මෙම සිව්දෙනාගේ කණ්ඩායම තම දිවි පරදුවට තබා මෙම විමර්ශන මෙහෙයුමට එක් වූයේ තමිලමඩම්හි සිටින තම භටපිරිස්වලට කොටින්ගේ ඇති අභියෝගය පරාජය කිරීමේ ඉදිරි මෙහෙයුම් සඳහා තොරතුරු රැස් කිරීම වෙනුවෙනි.

තවත් මෙහෙයුමක් ලබන සතියට

arroonews@gmail.com

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com