master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රබල ඉලක්කයක් ගැනීමේ මධුෂ්ගේ තැත වරදී


2018-06-20 10:37:33 -  2333 යි

ඩුබායිහි සිට මෙරට පාතාල කිරුළ දරන්නට උත්සාහ ගන්නා මාකඳුරේ මධුෂ්ගේ බස්නාහිර පළාතේ අපරාධ රැල්ල භාරව සිටි ඉරේෂ් හෙවත් බයිලා ‍පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යන්නේ මෙම සතියේය.

ඉරේෂ් මධුශංඛ (30) නොහොත් බයිලා පනාගොඩ, රෝහණ ප්‍රියදර්ශන මාවතේ හා ඉඹුල්ගොඩ, යාගොඩ පාරේ පදිංචිව සිටි අයකු වන අතර, ‍පොලිස් වාර්තා අනුව 2010 සිට අපරාධ සඳහා යොමුවී ඇත්තෙකි.

‍පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකය හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් බයිලා ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ පසුගිය කාලසීමාවේ සිදුවූ කරුණු කාරණා සමගය. බයිලාට මෙම අවුරුද්දේ අප්‍රේල් මාසයේදී අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප නියම වෙන්නේ වසරකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුවය. අවිස්සාවේල්ල මහාධිකරණයෙන් බයිලාට ඇප ලබාගැනීම සඳහා දක්ෂ නීතිඥවරුන් කණ්ඩායමක් පාතාල නායක මධුෂ්ගේ නියෝග මත යොදවා තිබුණේ බයිලා කෙසේ හෝ මුදාගන්නටය.

පසුගිය වසරේ ජනවාරි 18දා හෝමාගම උසාවිය අසලදී චමින්ද පෙරේරා (34) නොහොත් චානා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව බයිලා අත්අඩංගුවට ගෙන තිබුණේ අතුරුගිරිය ‍පොලිසිය මගිනි. අතුරුගිරිය ‍පොලිසියේ අපරාධ අංශයේ සැරයන් පියල් (56750) ට ලද තොතුරක් මත හිටපු ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සංජීව මහනාමගේ මෙහෙයවීමෙන් යුත් කණ්ඩායමක් බයිලා අල්ලා ගන්නේ මීගොඩ, වටරැකදීය. බයිලාගේ ඉණෙහි තිබි මයිකේ‍රා වර්ගයේ පිස්තෝලයක්, මැගසින් දෙකක් හා උණ්ඩ 52ක් එවකට සොයා ගැනුණේය.

ඉන්පසු බයිලා සැඟවී සිටි වටරැක දෙමහල් නිවසේ උඩුමහ‍ලේ තිබි චානා ඝාතනයට යොදාගත් ටී-56 ගිනි අවියද ‍පොලිස් අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධියට පසුගිය වසරේ පෙබරවාරි 02දා අත්අඩංගුවට ගත් බයිලා දක්ෂ නීතිඥ කණ්ඩායමක් යොදවා අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප ලබාගත්තේ මධුෂ්ගේ උපදෙස් මත නීතිඥයන්ට මුදල් වියදම් කරමිනි. එහිදී මිනීමැරුම් චෝදනාවට රුපියල් ලක්ෂ තිහක ඇපයක්ද, ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවට රුපියල් ලක්ෂ 20ක ඇපයක්ද නියම කෙරන්නේ බල අපරාධ 20/17 නඩු විභාගයේදීය.

මෙම ඇප මුදල නියම කර පැයක් තුළ රුපියල් ලක්ෂ පනහම ගෙවා බයිලා හෙවත් ඉරේෂ් මුදාගෙන යන්නේ මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත මුදල් එවීමෙන් බව පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබුණේය.

එම තොරතුරුවලට අනුව පාතාල මර්දන ඒකක බයිලා ගැන තවදුරටත් සොයන්නට වූයේ ලක්ෂපනහක් ගෙවා බයිලා මුදා ගන්නට තරම් මධුෂ්ට තිබූ වුවමනාව කුමක්දැයි සෙවීමටය. බයිලා යොදවා ප්‍රබල ප්‍රභූ ඉලක්කයක් ගැනීමට මධුෂ් සූදානම් වන බව සංවිධානාත්මක අපරාධ ඒකක හා බුද්ධි අංශ හෙළිකර ගත්තේ මේ අතරය. ඩුබායිහි සිටින මධුෂ් තමාගේ බලය උරගා බැලීමේ සටනක් ලෙසින් ඉලක්කයක් සඳහා යාමට සැරසෙන බවට බුද්ධි අංශ කල්තියා අනාවරණය කරගෙන තිබිණි. උසාවියට ලක්ෂ පනහක ඇපයක් තබා බයිලා මුදාගත්තේ මෙම ඉලක්කය සඳහා බවට මේ අනුව තවත් සනාථ වී තිබුණේය.

මෙම සිදුවීම් අතරේ අතුරුගිරිය ‍පොලිසියෙන් බයිලා අත්අඩංගුවට ගැනුණද කිසිවක් හෙළි නොවුණු අතර, ඇප මත  නිදහස් වූ බයිලා යළිත් අතුරුදන් වන්නේ සැකයක් මතු කරමිනි.

පාතාල මර්දන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අතරේ බයිලා මහනුවරට පැන ආරක්ෂක නිවස්නයක කණ්ඩායම් රැස් කරන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත තොරතුරු ලැබෙන්නේ මේ අනුවය. නියෝජ්‍ය ‍පොලිස්පති කමල් සිල්වා යටතේ වූ සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත ලද තොරතුරු ‍පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත යොමු කෙරෙන්නේය. ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නියෝග මත පාතාල මර්දන ඒකකයට අයත් බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් අරඹන්නේ ඒ අනුවය. බයිලා මහනුවර, මඩවල, නාපාන ප්‍රදේශයේ ආරක්ෂිත නිවස්නයක සැඟවී සිටින බවට අනාවරණය වන්නේ එම විමර්ශනයේදීය. තොරතුරුකරුවන්ට අනුව සීසර්වරුන් මෙන් කණ්ඩායමක් නාපානේ වූ බයිලාගේ ඥාති නිවසකට යන එන බව බුද්ධි අංශවලට තොරතුරු ලැබෙන්නේය.

ඒ අනුව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ කණ්ඩායමක් සමග පාතාල මර්දනයේ අත්දැකීම් ඇති දක්ෂ බුද්ධි නිලධාරියකුත් පිටත් කර යවන්න ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පියවර ගත්තේය. මහනුවරට පැමිණෙන විශේෂ බළකා කණ්ඩායම් දින කිහිපයක් ඉලක්කය සොයා විමර්ශන කරද්දී පාතාල කල්ලියක් පැමිණෙන නිල් පැහැති හොන්ඩා ස්‍පෝර්ට්ස් මෝටර් රථයක් ගැන අනාවරණය විය.

වේලාව නවවැනිදා දහවල් 12.15ට පමණ විය. මඩගල්ල, දිගන පාර ඔස්සේ වාහනය එන බවට තොරතුරු ලැබුණේය. වාහන නිරන්තරයෙන් ගමන් ගන්නා මෙම මාර්ගයේ නාපාන මඩවලදී මහමග ගමන් ගන්නා අයට බාධාවක් නොවන පරිදි පාතාලයන් පරීක්ෂා කිරීමට සැලසුම යොදා තිබිණි. අවි ආයුධ සමග මොවුන් පැමිණෙන බවට තොරතුරු වූයෙන් ක්ෂණික මාර්ග බාධකයට අමතරව එය පලාගියහොත් නවත්වා ගැනීමට මීටර් දහයක් පමණ ඉදිරියෙන් සන්නද්ධ භට කණ්ඩායමක් යොදවා තිබුණේය.

සැණින් වාහනය මතුවෙත්ම නතර කරන්නට අණ කළද අණ නොතකා යන බවට හැඟී ගියෙන් ඉදිරියෙන් සිටි කණ්ඩායම යොදා හරස් කරද්දී පාතාලයන් පැමිණි රථයේ සිටි දෙදෙනා ගිනි අවිවලින් වෙඩි තබා පැන යන්නට ගත් උත්සාහය දෙපාර්ශ්වයේම වෙඩි හුවමාරු මැද නතර විය. විනාඩි හතරක් වැනි කාලයක් තුළ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසු බරපතළ තුවාල ලද පාතාලයන් දෙදෙනකු ‍ලේ විලක් මැද වැටී සිටියේය. වහාම කටුගස්තොට රෝහල වෙත මොවුන් රැගෙන ගියද ජීවිත බේරාගැනීමට නොහැකි වී තිබිණි. දෙනෝදාහක් බලා සිටියදී විනාඩි හතරක පහක කාලයක් තුළ මහමගදීම මෙම  මෙහෙයුම අවසන් වන්නේ මධුෂ්ට සිටි ප්‍රබල වෙඩික්කරුවකු අහිමි කරමිනි.

බයිලා හෙවත් ඉරේෂ් සහ උපාලි නොහොත් ජානා නමැති අංගොඩ, හිඹුටානේ පදිංචිකරුවකු මරණයට පත්ව සිටියහ. මිලිමීටර් නවය වර්ගයේ නවීන පන්නයේ පිස්තෝලයක් හා රිවෝල්වරයක් පාතාලයන් සතුව තිබි සොයා ගැනුණේය.

බයිලාට මිනීමැරුම් දෙකක් හා මංකොල්ලකෑම් රැසකට චෝදනා එල්ල වී තිබුණේය. මුලදී යතුරුපැදි, වෙළෙඳසල්, රන් ආභරණ කොල්ලකෑම් සම්බන්ධව හෝමාගම, පාදුක්ක, නිට්ටඹුව, මොරටුව, පිළියන්දල ‍පොලිස් වසම්වලදී හත් වතාවක් ‍පොලිසියට කොටුවී තිබුණේය.
බයිලාට එරෙහිව වූ පළමු මිනීමැරුම 2011දී කළුතර ‍පොලිස් වසමේ ගිනි අවියකින් වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනය කර තිබුණේ මිතුරකුගේ වුවමනාවටය.

බයිලා හෙවත් ඉරේෂ් පනාගොඩ මැදමණ්ඩියේ පදිංචිව සිටි වැදගත් පවුල් පසුබිමක් සහිත පුද්ගලයන් සිටි පවුලක සිටි අයකු බව ‍පොලිසිය කියන්නේය. කොටි ත්‍රස්තවාදීන් කොළඹදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි පිදූ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර ‍පොලිස් අධිකාරීවරයකු බයිලාට ඥාතිකමට වන්නේ මාමාය. පාසල් යන වයසේදී පරෙවියන් ඇති කිරීමට ගොස් වැරදී සමාජ ඇසුරක් ඔස්සේ පාතාල කල්ලි ඇසුරට යාමෙන් පාතාලයට යොමුවූවෙකි. නේවි රුවන්, නේවි අසංක, කොස්ගම චමින්ද ඇසුරේ හැදෑ වැඩී පාතාල ලෝකයට මුලකුරු  කියමින් සිරගත වූ පසුව ලලිත් පිංතු හා මීගමුවේ වජිර යන මධුෂ් කල්ලියේ ප්‍රබලයන් ඇසුරෙන් මාකඳුරේ මධුෂ් හඳුනාගෙන තිබිණි. අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා සමග පාතාල ක්‍රියාවල නිරත වන්නේත් මේ අවධියේදීය.

කඩුවෙල සමයං විසින් අතුරුගිරියේ ලඩියාගේ කල්ලියට රිද්දන්නට 2017 ජනවාරි 17දා අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයකදී අනිල් බණ්ඩාර නොහොත් අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කළ පළිය ගන්නට සමයංගේ සගයකු සොයන අතුරුගිරියේ කල්ලියට මීගොඩ චානා මරා දමන්නට ඉදිරිපත් වන්නේ බයිලාය.

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරන්නාක් මෙන් බයිලා තම පාසල් මිතුරා වූ අනුරව ඝාතනය කරන්නට වෙර දරන මීගොඩ චානා හා ඔහුගේ සොහොයුරා වන ඩිලා හෝමාගම උසාවියට ගොස් එන මොහොතේ ඝාතනය කරන්නට යන්නේ අනුරද සමගය. එහිදී චානා ඝාතනය කරන බයිලා ගිනි අවි සමග පෙබරවාරි 02දා අතුරුගිරිය ‍පොලිසියට කොටුකර ගන්නට හැකි විය.

කළුතර එතනමඩලදී සමයං ඝාතනයට අංගොඩ ලොක්කා, ලඩියා ඇතුළු කණ්ඩායම සමග යාමට සූදානමින් සිටි බයිලා නොසිතූ අයුරෙන් චානාගේ ඝාතනයට අතුරුගිරිය ‍පොලිසියට කොටු වූයෙන් එම ප්‍රහාරයට එක්වූයේ හිරගෙදර සිට ජංගම දුරකථන මගිනි. සමයං ඝාතනයට ගියා නම් සමහර විට බයිලා අනෙක් අය සමග ඩුබායිවලට පැන යාමටද ඉඩ තිබුණේය.

කෙසේ වෙතත් ඉන්පසුව බයිලා ලවා බස්නාහිර පළාත පුරා මධුෂ්ගේ කප්පම් ගැනීම්, මිනීමැරුම් හා කුඩු ජාවාරම් මෙහෙයවා ඇති බව පාතාල මර්දන ඒකක අනාවරණය කර ඇත්තේය. මීගොඩ නීලාරෝ හෝටලයේ හිමිකරු වන ඉන්දිකගෙන් මෑතකදී මාකඳුරේ මධුෂ් විසින් ඉල්ලා ඇති රුපියල් ලක්ෂ පහළොවක කප්පම ගෙනඒමට ගොස් ඇත්තේද බයිලා බවට බුද්ධී අංශවල සැකයක්ද ඇත්තේය.

බයිලාගේ හා ජානා ඝාතනය වූ පසුව කඩුගන්නාවේ සැඟවී සිටි තවත් පාතාලයන් තුන්දෙනකු ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. දැනට සැක කෙරෙන්නේ මාකඳුරේ මධුෂ් මතෛක් දකුණේ පවත්වාගෙන ගිය ආරක්ෂිත නිවස්න (ඉචටඥ ඩ්ධභඵඥ) දැන් කන්ද උඩරටටත් ගෙන ගොස් ඇති වගය. මහනුවර ප්‍රදේශයේ ගම්මාන රැසකම මත්කුඩු බහුලව විකිණෙන්නට වීමත් සමග මධුෂ්ගේ කුඩු ජාවාරමද බයිලා ලවා ව්‍යාප්ත කර ඇති වග හෙළිවී ඇත්තේය.

මහනුවර සැඟවුණු කණ්ඩායම ප්‍රභූ ඉලක්කයක් ගැනීමෙන් පසුව නුවර සැඟවෙන්නට සැලසුම් කළ බවට සැක පහළ වී ඇත්තේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com