master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දිවි ඇති තෙක් සිර දඬුවම් විඳින ආනන්දන් සුදාකරන් මානුෂීය හේතූන් මත නිදහස් කරන්න


2018-06-20 07:45:17 -  449 යි

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් මානුෂීය හේතූන් මත නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා 18දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ජනාධිපතිවරයා කිලිනොච්චියට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාට මතක් කොට ඇත්තේ ආනන්දන් සුදාකරන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අස්සන් ලක්ෂයක් සමඟ තමන් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය සම්බන්ධයෙනි.

ආනන්දන් සුදාකරන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව සිටි අවධියේදී කොළඹ බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩු විභාගයකදී ඔහුට ජීවිතාන්තය දක්වාම සිරදඬුවම් නියම විණි.

ආනන්දන් සුදාකරන් බන්ධනාගාරගතවී සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිය පිළිකාවක් සෑදී මරුමුවට පත්වූ අතර ඇයගේ ආදාහනයට බන්ධනාගාරයේ සිට සුදාකරන් කිලිනොච්චියට ගෙන එන ලද අවස්ථාවේදී කුඩා දියණිය හඬා වැලපෙමින් පියා සමඟ තමන්ටත් යෑමට අවශ්‍ය බව කියමින් බන්ධනාගාර බස් රථයට නැඟීම නිසා මහත් සංවේදී තත්ත්වයක් ඒ අවස්ථාවේදී ඇති විණි.

දරුවන් දෙදෙනාට මවත් පියාත් යන දෙදෙනාම නොමැති නිසා කිලිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන එක්වී අස්සන් ලක්ෂයක පෙත්සමක් අස්සන් කරමින් සුදාකරන්ට නිදහස ඉල්ලා සිටියහ.

එම පෙත්සම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා ප්‍රධාන අමාත්‍යවරයා මඟින් ජනාධිපතිවරයා වෙත යවන ලද අතර ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් කිලිනොච්චියේදී විමසා ඇත්තේ එම පෙත්සම පිළිබඳවය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් කටයුතු කිරීමට ප්‍රධාන අමාත්‍යවරයාට එකඟ වූ බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය 19දා උතුරේ මාධ්‍ය ආයතනවලට පවසා තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com